ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙන බලගතු පූජාවක් | සිළුමිණ

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙන බලගතු පූජාවක්

ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි වාරියපොල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී,

මෙවර සිළුමිණ පාඨක ඔබ දැනුම්වත් කරන්නේ බිහිසුණු විපත්, වසංගත තත්ත්වයන් ඇතිවන අවස්ථාවන්හිදී ඉතා ගෞරවයෙන් සහ විශ්වාසයෙන් යුතුව භාවිත කර අපමණ පිහිට ලැබිය හැකි විශ්වය සුරකින ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා වෙනුවෙන් පුද පූජා පවත්වා පිහිට ලබා ගන්නා ආකාරයයි.

"මුළු මහත් විශ්වය කුඩයක් නම් එම කුඩය දරා සිටින මිට ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා බව හින්දු පුරාණයේ දැක්වෙනවා. ඉන් කියැවෙන්නේ මුළු විශ්වයම රඳා පවතින්නේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාගේ බලය මත බවයි.

තිසරණයේ පිහිට පතන බොදුනුවන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හැර වෙනත් දෙවිවරුන් පිළිබඳව එසේ පූර්ණ ඇදහීමක් කරන්නේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා තුළ තෙරුවන් සරණ ගිය මහානුභාව සම්පන්න දෙවිවරු සහ අපිරිමිත වූ විශ්වයෙහි අප්‍රමාණ භූත කොටස් පිළිබඳව ඉතා පැහැදිලිව දක්වා තියනවා. බුදු දහම කිසි දිනක දෙවිවරු ප්‍රතික්ෂේප කරලා නැහැ.

ඒ අතරිනුත් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාට බොදුනුවන් තුළ ඇත්තේ මහා ගෞරවයක්, භක්තියක්, විශ්වාසයක්. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා.

"වෙනු" යනුවෙන් සහ "වෙන්හූ ච දේව" යනාදී වශයෙන් සඳහන්ව ඇත්තේ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා පිළිබඳයි.

අපේ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරස්ථානයේ නුවර යුගයේ ඉදිකළ ඓතිහාසික ටැම්පිට විහාරයේ වඩා හිඳුවා ඇති ශ්‍රී විෂ්ණු දිව්‍ය ප්‍රතිමාව මුල් කරගෙන පවත්වන පුද පූජා විධි නුවර යුගයේ සිට අපේ ආදි කර්තෘ සංඝ පරම්පරාව පරම්පරානුගතව පවත්වාගෙන එන ඒ සඟ පරපුරටම අනන්‍ය වූ පුද පූජා විධි.

එම පුද පූජා නිසි ලෙස පවත්වා පඬුරු වෙන්කර බාරහාර වීමෙන් ඒ සඳහා පැමිණෙන සියලු දෙනාගේම යහපත් ඉල්ලීම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා. එම පූජාවේ දී භාවිත කරන ඉතා දුර්ලභ මහානුභාව සම්පන්න ශ්‍රී මහා විෂ්ණු දැහැනයි මා සිළුමිණ පාඨක පින්වත් ඔබට ලබා දෙන්නේ.මේ දැහැන වාණිජ පරමාර්ථයෙන් භාවිත කරන්න එපා. එය පින්වත් ඔබට කරන විශේෂ මතක් කිරීමක්; අවවාදයක්.

තමන් සහ අන්‍යයන්ට සෙත සහනය ශාන්තිය ලැබෙන්නෙ පවිත්‍ර චේතනාවෙන් එය භාවිත කළොත් පමණයි. ඔබට සහ ඔබ සෙත් පතන අයට පිහිට ලැබෙන්නේ. ඒ බව මා ඔබට දැඩිව අවධාරණය කරනවා .

තෙරුවන් වන්දනා කර, ඔබ විසින් දෛනිකව පවත්වනු ලබන බුද්ධ පූජා ආදිය ඇත්නම් ඒ සියල්ල සිදුකර සියලු ලෝක සත්ත්වයා පිළිබඳව මෛත්‍රී සිත් උපදවාගෙන අඩුම තරමින් කරණීයමෙත්ත සූත්‍රයවත් සජ්ඣායනා කර පහත සඳහන් ගාථා රත්නයෙන් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාට පින් දෙන්න.

ඉන්පසු ඔබගේ නමටම බල පිහිටුවා සජ්ඣායනා කළහැකි ශ්‍රී විෂ්ණු දැහැන අඩුම තරමින් තුන්වතාවක්වත් එසේ සජ්ඣායනා කරන්න. එහෙම කරද්දි එම දැහැන ඔබේ නමට සිද්ධි වෙනවා. ඉන්පසු ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා ඔබගේ උරහිස මත වැඩ සිටිනවා වාගේ ඔබට පිහිට ලැබෙනවා. සියලු රෝග පීඩා සමනය වෙනවා. ග්‍රහ පීඩා, පහත් පෙළේ බලවේගවලින් සිදුවන පීඩා ඇතුළු සියලු කාය චිත්ත පීඩා දුරුවී ඔබට සතුට, සාමය, සෞභාග්‍යය උදාවෙනවා. දවසින් දවස ඔබ දියුණුවෙන් දියුණුවට පත්වෙනවා.

මේ පූජාව දිනපතා පැවැත්විය නොහැකි නම් සෙනසුරාදා බදාදා යන දින දෙකේ උදේ නම් උදේ 5.00 - 6.00 අතරත් රාත්‍රියේ නම් රාත්‍රි 10.00න් පසුවත් පවත්වන්න.⁣

තෙරුවන් වන්දනා කරන සහ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් පූජා කරන ස්ථානයේ කිසිම අවස්ථාවක දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම හෝ පුද පූජා පැවැත්වීම නොකළ යුතුයි.

ඒ සඳහා වෙනත් සුදුසු, පිරිසුදු ස්ථානයක් තෝරා ගත යුතුයි. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයා උදෙසා ගිතෙල් පහනක් දැල්වීම, මදුරුතලා (තුලසි) අත්තක් පූජා කිරීම දිව්‍ය ප්‍රසාදය ආකර්ෂණය ලබා ගැනීමට හේතු වෙනවා.

බිහිසුණු වසංගතය රෝග පැතිරී, විවිධ පීඩාකාරී තත්ත්වයන්ට අප කාටත් මුහුණ දීමට සිදුව ඇති මේ මොහොතේ නිර්මාංශාහාරව මෙම පූජාව තැබිය හැකිනම්, බුද්ධ ශ්‍රාවක දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාට පින් දීමේ ගාථාව 
සම්බුද්ධ සාසනවරං - යතිපුංග වංච 
සම්පාලනාය පටිලද්ධ - වරෝ යසස්සි 
පුඤ්ඤානිමානි අනුමෝදිය - වාසුදේවෝ 
පාලේතු මං සතත සහත - හිතා වහන්තො 
ශ්‍රී මහා විෂ්ණු දැහැන

ඕම් ශ්‍රී මහා විෂ්ණු නාරයන සතපත්‍ර නේත්‍රධාරී ශ්‍රීමත් ශ්‍රී කුමාරි අම්මා හාමිනා ............... වන මා දෙස බලා වෛකුණ්ඨ නාරායනේ ජය ජය සිද්ධි සිද්ධි ස්වාහා ඕම්.

(.....................ඇති තැනට ඔබේ හෝ සෙත් පැතිය යුතු අයගේ නම යොදාගන්න.)

සකස් කළේ - සුනිල් පොරමඬල

Comments