වසර 23කට පසු ඝාතන නඩුවෙන් කලවානේ සර්පයාට නිදහස ලැබුණු හැටි | සිළුමිණ

වසර 23කට පසු ඝාතන නඩුවෙන් කලවානේ සර්පයාට නිදහස ලැබුණු හැටි

 

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉකුත් සඳුදා දිනද සුපුරුදු පරිදි කාර්යබහුල වෙමින් තිබිණි. එදින මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ විභාග වූ සුවිශේෂ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත දිනය විය. ඒ, 1999 සැප්තැම්බර් 03 වැනිදා රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, දවුල්ගම, නිකගොඩ, 7 කණුව ප්‍රදේශයේදී සබරගමුව පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරයකු වූ සුදුවැලි කන්දගේ රංජිත් නන්දසේන සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක දොලවත්තගේ තුෂාර දීපාල් ගුණසිංහ යන දෙදෙනා වෙඩි තබා ඝාතනය කොට 57-4947 දරන වෑන් රථය තුළදී පුළුස්සා දැමීමට තැත්කිරීමට අදාළ නඩු තීන්දුවයි.

වසර 23ක් පමණ පැරැණි එම ද්විත්ව ඝාතන චෝදනාවට ලක්ව සිටියේ තපස්සර මුහන්දිරම්ලාගේ හසිත සමන්ත හෙවත් සර්පයා නමැත්තායි. හසිත සමන්තද එජාපයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායකයා ද වේ.

එම ද්විත්ව ඝාතන චෝදනාවලින් හසිත සමන්ත නිදොස් කොට නිදහස් කිරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් පැමිණිල්ල විසින් ඔප්පු කර නොමැති බවත් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවත් සඳහන් කළේය.

එසේම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළේ පොලිසිය ඉතාම නොසැලකිලිමත් ලෙස මෙම විමර්ශනය සිදුකර ඇති බවත්, අඩුම තරමේ ඇඟිලි සලකුණු වාර්තාව හෝ නිසි පරිදි ඉදිරිපත් කර නැති බවයි. තවද සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොර බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

එසේම විනිසුරු නවරත්න මාරසිංහ දීර්ඝ ලෙස අධිකරණයේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙකී නඩුවේ වෛද්‍ය සාක්ෂි සම්බන්ධව බොහෝ කරුණු ඉදිරිපත් වී ඇති බවත් පැමිණිල්ල විසින් සාක්ෂියට කැඳවන ලද චූදිතව පරීක්ෂා කරන ලද වෛද්‍යවරයාගේ සාක්ෂි පිළිගත නොහැකි බවයි. අවුරුදු 20කට පසුව අධිකරණ වෛද්‍ය වාර්තාවේ ඇති මතයට වෙනස් මතයක් අධිකරණයේ කියා සිටින බවත් නිවැරැදි ආකාරයේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් හෝ සකස් කර නොමැති බවත් චූදිතගේ කෙටි ඉතිහාසය හෝ චූදිතගෙන් ලබාගත්තක් නොවන බවත් එය පොලිසියෙන් අසා ලියන ලද්දක් බවයි. එමඟින් චූදිත විත්ති කූඩුවේ සිට පවසා සිටින කරුණු එමඟින් තහවුරු වන බවයි.

තවද විත්තිය විසින් එම වෛද්‍යවරයාගේ සාක්ෂිය බිඳ හෙළීම සඳහා කැඳවන ලද අධිකරණ වෛද්‍ය රුහුල් හග්ගේ සාක්ෂිය මතින් අධිකරණ වෛද්‍ය වාර්තාවක් සකස් කළ යුතු ආකාරය සහ ඇසිට්වලින් සහ ගින්දරින් ඇතිවන තුවාල සම්බන්ධයෙන් පැහැදිලි මතයක් ප්‍රකාශකර ඇති බවත්ය.

මෙකී ද්විත්ව ඝාතනය සහ රංජිත් නන්දසේනට අයත් 57-4947 දරන වෑන් රථයට ගිනි තබා අනර්ථය කිරීම ඇතුළු චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ප්‍රථමයෙන් රත්නපුර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන ලද්දේ 2006 පෙබරවාරි 01 වැනිදායි.

අනතුරුව නීතිපතිවරයාගේ ඉල්ලීම මත නඩු විභාගය රත්නපුර මහාධිකරණයෙන් කොළඹ මහාධිකරණයට මාරුකොට විභාග කිරීම ඇරැඹිණි. එහිදී නීතිපතිවරයා විසින් හසිත සමන්ත හෙවත් සර්පයාට අමතරව දෙවැනි විත්තිකරු ලෙස ඔහුගේ සේවකයකු වන සුජීව ප්‍රසාද් කොඩිතුවක්කු සහ තෙවන විත්තිකරු ලෙස රංජිත්ගේ සහෝදරයා වන ගීතාන් සුජීව නමැත්තන්ට එරෙහිවද චෝදනා නඟා තිබිණි.

එහෙත් නඩු විභාගය දීර්ඝ කාලයක් පැවැතෙද්දී තෙවන විත්තිකාර රංජිත්ගේ සහෝදරයා සුජීව ගීතාන් මරණයට පත් වූයේය. දෙවන විත්තිකාර සුජීව ප්‍රසාද් පැමිණිල්ලේ නඩුව අවසන් වූ පසු ඔහුගේ විත්ති වාචික කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කෙරිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු ඉකුත් සඳුදා දින නිදොස් කොට නිදහස් කෙරුණු හසිත සමන්ත මුහන්දිරම් කුඩා කල සිටම සර්පයන් කෙරෙහි කිසිදු බිය සංකාවක් නොමැතිව අතපත ගෑම නිසාවෙන් ‘සර්පයා‘ ලෙස ප්‍රචලිත වූයේය. හසිත ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙකි.

58 හැවිරිදි රංජිත් නන්දසේන මෙරට පැවැති පළමු පළාත් සභා මැතිවරණයෙන් සබරගමුව පළාත් සභාවට එජාපයෙන් තේරී පත්වීමෙන් පසු එම පළාත් සභාවේ පළමු සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්ව පළාතට විශාල සේවයක් කළ අයෙකි. ඔහු විවාහ වී සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක වූ රූපාවතී ද සිල්වා සමඟිනි. දේශපාලනයට පිවිසීමටත් පෙර සිටම පරම්පරාවෙන් උරුම වූ ව්‍යාපාරයන්හි නිරතව සිටි රංජිත් නන්දසේන ව්‍යාපාරිකයෙක් ලෙස ප්‍රකටව සිටියේය.

1999 සැප්තැම්බර් 03 වැනිදායි.

එදින නිවිතිගල, දොඩම්පාවත්තේ පදිංචිව සිටි රංජිත් නන්දසේන රියැදුරු තුෂාර ගුණසිංහ සමඟ ගොස් තිබුණේ ඔහුට අයත් වත්තකටයි. අනතුරුව වැද්දාගල පිහිටි තේ කර්මාන්ත ශාලාවකට ගොස් රුපියල් දසදහසක චෙක්පතක්ද රැගෙන රංජිත් නන්දසේන පස්වරු හයට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණේය. දෙදෙනා පැමිණි වෑන් රථය එදින සවස 6.30ට පමණ වැද්දාගල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් නතර කර ඇති බවත් එහිදී ගැටුමක් සහ වෙඩි තැබීමක් සිදුවීමෙන් පසු රංජිත් නන්දසේන සහ රියැදුරු සමඟ වෑන් රථය පැහැරගෙන ගිය බවට එදින සවස් යාමයේ කලවාන පොලිසියට නිර්නාමික දුරකථන ඇමැතුම් කිහිපයක්ම ලැබී තිබිණි.

එහෙත් එම දුරකථන ඇමැතුම් පිළිබඳ එදා රාජකාරියෙහි නිරතව සිටි කලවාන පොලිසියේ නිලධාරිහු එතරම් සැලකිල්ලක් දක්වා නැත.

ඒ වන විට රංජිත් නන්දසේන අනතුරකට මුහුණපා සිටින බව ඔහුගේ නිවිතිගල නිවෙසටද දුරකථන ඇමැතුම් මඟින් දැනගන්නට ලැබිණි. ඒ අතර කලවාන, නිකගොඩ විහාරස්ථානයකින් දුරකථන ඇමැතුමක් ලැබී තිබුණේ ඒ අසල නන්නාඳුනන වෑන් රථයක් නතර කර තිබෙන බවත් ඒ තුළ කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු මරා දමා ඇති බවට අනුමාන කරන බව සඳහන් කරමිනි. ඒ වන විට රාත්‍රී 9ට පමණ විය. එම ඇමැතුමට ක්‍රියාත්මක වෙමින් කලවාන - අයගම මාර්ගයේ නිකගොඩ ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින්ට නිකගොඩ, හතේ කණුව අසල පාළු පෙදෙසක නවතා තිබූ වෑන් රථය හමුවිණි.

එය පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට රථයේ ඉදිරිපස අසුනේ මළසිරුරු දෙකක් දක්නට ලැබිණි. එහෙත් එම සිරුරු කාගේද යන්න එක්වරම හඳුනා ගැනීමට නොහැකි වූයේ රථයේ ආසන ආවරණ කඩා සිරුරු මතට දමා වෑන් රථය සමඟම සිරුරු දෙක ගිනි තැබීමට ගත් උත්සාහය නිසාවෙනි. කෙසේ හෝ මළසිරුරු එතරම් පිලිස්සී නොතිබුණේ රථයේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක වීමෙන් ගින්න නිවී ගොස් තිබූ හෙයිනි.

පසුදා එනම් 1999 සැප්තැම්බර් 04 වැනිදා පෙරවරු 10ට පමණ එම ස්ථානයට පැමිණි එවකට රත්නපුර මහේස්ත්‍රාත් විමල් නම්බුවසම් ස්ථානීය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වෑන් රථයෙන් ඉවතට ගත් සිරුරු දෙක රංජිත් නන්දසේනගේ සොහොයුරකු වන එස්. කේ. සෙල්වින් විසින්ද පෞද්ගලික ආරක්ෂක තුෂාරගේ සිරුර ඔහුගේ පියා වන ගුණසිංහ විසින් හඳුනා ගැනිණි.

අනතුරුව රත්නපුර මහ රෝහලේදී එහි අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. දයානන්ද විසින් දෙදෙනාගේ මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් රංජිත් නන්දසේනගේ හිසෙහි සහ පපුවේ වෙඩි පහරවල් දෙකක් තිබෙන බවත් තුෂාරගේ හිසෙහි මාරාන්තික වෙඩි පහරක් තිබෙන බවත් දෙදෙනාගේම හිසට වැදී ඇති මරාන්තික වෙඩි පහරවලින් මියගොස් ඇති බවද දෙදෙනාගේ ශරීරයේ හම පිලිස්සී තිබුණද එය මියගිය පසු සිදුවූ පිලිස්සීමක් බවත් නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් විය.

ඒ අනුව මෙකී ද්විත්ව ඝාතනය කිසියම් පිරිසක් විසින් සිදුකරන ලද ඝාතනයක් බවට තහවුරු විණි. ඝාතනයන් පිළිබඳව එවකට රත්නපුර පොලිස් අධිකාරි ජයන්ත ගම්මන්පිලගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ජී. එල්. කුලරත්නගේ ඍජු අධීක්ෂණයෙන් කලවාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක දනන්සූරිය වීරසිංහගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කළුපහන ඇතුළු පිරිස වැඩිදුර විමර්ශන ආරම්භ කළේ ඝාතකයන් සොයා පුළුල් විමර්ශනයක් සිදු කරමිනි.

ඒ අතරේ දෙදෙනාගේ ඝාතන පිළිබඳව රත්නපුර මහේස්ත්‍රාත් විමල් නම්බුවසම් ඉදිරියේ පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී දෙදෙනා ඝාතනය වී සිටි වෑන් රථය නිකගොඩ ප්‍රදේශයේ දමා ගොස් සිටියදී රාත්‍රී 9.45ට පමණ දුටු අයකු වන රූපස් සිල්වා නමැත්තා ප්‍රකාශ කර සිටියේ,

“මම අවුරුදු 9ක පමණ කාලයක සිට නිකගොඩයි පදිංචිව සිටින්නෙ. තුන්වැනිදා රාත්‍රී 9.45ට පමණ කඩමණ්ඩියේ පිහිටි හිතවතකුගේ නිවෙසේ සිට මගේ නිවෙසට යාමට මාර්ගයේ පාගමනින් එමින් සිටියේ. ප්‍රධාන මාර්ගයෙන් මගේ නිවෙසට හැරෙන තැන පාරේ වාහනයක් නවත්වලා තියෙනවා ඈතදීම දුටුවා.

ඒ ස්ථානයේ වාහනයක් නවත්වා තිබීම අස්වාභාවිකයි. හොර කල්ලියක් වාහනේ ආවදැයි සැක හිතුණා. වාහනය තුළ හොඳින් බැලීමට අවශ්‍ය නිසා මං වාහනය වම් පැත්තට ගියා. වාහනයේ වීදුරු වසා තිබුණේ. අතේ තිබූ විදුලි පන්දම් එළියෙන් වාහනය තුළ බැලුවා. හිසකුත් කකුල් දෙකකට වැඩියෙන් කකුල් පෙනුණා. ඒ අවස්ථාවේ වාහනය තුළ යන්ත්‍රයක් ක්‍රියා කරමින් තිබුණා.

වාහනය තුළ සිටි අය හුස්ම ගැනීමක් නොපෙනුණ නිසා මැරිලා කියලා මට බයක් ඇතිවුණා. මෙය මොන ක්‍රමයකින් හෝ පොලිසියට දැනුම් දීමට ක්‍රමයක් සොයමින් මා එම ස්ථානයෙන් පිටත්ව ගියා. කිට්ටුව ටෙලිෆෝන් එකක් තියෙන මීපාගම ඥානෝදය වැඩිහිටි නිවාසයට ගොස් එහි අධිපති හිමියන් වන කලවානේ ධම්මානන්ද හිමියන්ට පවසා දුටු සිද්ධිය කලවාන පොලිසියට දැනුම් දුන්නා...“

එදින මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේ අබිරහස් අන්දමින් සිදුකරන ලද මරණ දෙකක් බවත් පියවි ඇසට පෙනෙන දේවලට වඩා නොපෙනෙන දේවල් තිබෙන හෙයින් වහා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

මෙකී ද්විත්ව ඝාතනය සිදුවී දින හතරක් ගෙවුණු දා එනම් සැප්තැම්බර් 07 වැනිදා මෙරට තුළ තවත් ආන්දෝලනාත්මක ඝාතනයක් සිදුවෙමින් සටන පුවත්පතේ කර්තෘ රෝහණ කුමාරගේ ඝාතනය වාර්තා විණි. ඒ අතරේ අට වැනිදා රාත්‍රියේ ද්විත්ව ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි ඔස්සේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඉකුත් සඳුදා දින නිදොස් කොට නිදහස් කෙරුණු නුගේගොඩ පදිංචිව සිටි එවකට 23 හැවිරිදි වියේ පසුවූ හසිත සමන්ත හෙවත් සර්පයා සහ නිවිතිගල පදිංචිකරුවකු වූ එවකට 22 හැවිරිදි සුජිත් ප්‍රසාද් යන දෙදෙනායි. සැකපිට දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිසිය පැත්තෙන් ඇසෙන්නට ලැබුණේ රංජිත් නන්දසේන සතුව තිබූ නවීන ගිනිඅවියක් ලබා ගැනීමේ අටියෙන් මෙකී ඝාතනය සිදුකර ඇති බවටයි.

 

ද්විත්ව ඝාතනයේ එදා මතකය අවදි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ධර්මප්‍රිය ලියනආරච්චි

හසිත සමන්ත මුහන්දිරම් ඉකුත් සඳුදා දින නිදොස්කොට නිදහස් කෙරුණු ද්විත්ව ඝාතනය පිළිබඳ එදා පුළුල් මාධ්‍ය වාර්තාකරණයක යෙදුණේ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනආරච්චියි.

1999 සැප්තැම්බර් 03 වැනිදා රාත්‍රියේ සිදුවූ ද්විත්ව ඝාතනය සැලවූ සැණින් එම ස්ථානයටම යමින් පොලිස් විමර්ශන පිළිබඳවත් ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණයක නිරත වූ ධර්මප්‍රිය ලියනආරච්චි එදා මතකය පිළිබඳව සිළුමිණට තැබූ සටහනකි මේ.

හිටපු පළාත් සභා අමාත්‍යවරයකු වූ රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනයකොට පුළුස්සා දැමු බවට චෝදනා එල්ල වූ හසිත මුහන්දිරම් නොහොත් සර්පයාද රංජිත් නන්දසේන නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයෙන්ම දේශපාලනයට පිවිසියෙකි.

මේ වන විටත් හසිත මුහන්දිරම් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් නායකයාය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අවස්ථා කීපයකදීම සබරගමුව පළාත් සභාවට තේරී පත්විණි. සුසන්ත පුංචිනිලමේලා මහින්ද රත්නතිලකලා රත්නපුර එජාප නායකත්වයෙන් සමුගනිද්දි එම අඩුව පුරවන්නට එජාප නායකත්වයට හසිතව තෝරාගත්තේ විවිධ පැතිකඩ හරහා ඔහුට තිබූ හැකියාවන්ට අලඟු තබන්නටවත් සෙස්සන්ට නොහැකි වූ නිසාය. ඊට හේතු කීපයකි.

හසිත කලවානේ දේශපාලනය කළත් ඔහුගේ මුල් අවදිය ගෙවුණේ කොළඹය. ඔහු උපන්නේ කොළඹය. ජීවත් වූයේ කොළඹ තුන කොල්ලුපිටිය බගතලේ පාරේය. ඉගෙන ගත්තේ රාජකීය විදුහලේය.

හසිතගේ පියා අසූව දසකයේ රත්නපුරෙන් මතුවූ මැණික් රැල්ලත් සමඟ කොළඹට පැමිණි ගමේ මැණික් මුදලාලි කෙනෙකි. නමින් තපස්සර මුදියන්සේලාගේ නැත්නම් ටී. එම්. පොඩිමහත්මයා නම් වූවත් ඔහු කා අතරත් ප්‍රචලිත වූයේ ‘අයිසේ‘ පොඩිමහත්මයා ලෙසය. ඔහුද තරමක දඩබ්බර ගති පැවැති අයෙකි. ඇළහැර මැණික් වෙළෙඳාමෙන් අතමිට සරුකරගත් අයිසේ පොඩි මහත්මයා විවාහ වූයේද ඇළහැර රූමත් කතක් සමඟිනි. ඇය හසිතගේ මවය.

එහෙත් හසිත කුඩා කල්හි සිටම හැදුණේ මවගේ සෙවණේ නොව තාත්තාගේ සෙවණේය. සිය පියාණන් ඔහුට අතදිගහැර වියහියදම් කළේය. හසිත හැදී වැඩුණේ කොළඹ ඉහළ පැළැන්තියේ දූ පුතුන්ට දෙවැනි නොවෙමිනි.

පසු කලෙක ඔවුන් ජීවත් වූ බගතලේ පාරේ නිවෙස රත්නපුරේම තවත් ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුට දී ඔවුන් නුගේගොඩ, ජම්බුගස්මුල්ලෙ වාසයට ගියේය.

ඒ වන විට උස්මහත්ව සිටි හසිත තාත්තාගේ ව්‍යාපාර සිදුවූ ‘ගීතාන්‘ ව්‍යාපාරය හරහා කලවානේ ව්‍යාපාර කටයුතුවලට අත ගැසුවේය. ඒ අනූව දසකයේ අගභාගයයි. ඒ වන විට කලවාන ආසනයට බැල්ම හෙළු දේශපාලකයෝද හසිත වෙත ඇස ගසාගෙන සිටියේ ඔහුගේ දඟකාරකම් සහ ඇතැම් දඩබ්බරකම් ගැනද කුතුහලයෙනි. ඒ වෙද්දී හසිත වටා පිරිසක් එක්වෙද්දී තවත් පිරිස් ඔහු සමඟ කැත්තට පොල්ල මෙන් විසුවේය. හසිතගේ ඇතැම් හැසිරීම් නිසා පොලිස් පොතෙහිද නිතර පිටු පිරවිණි.

ඒ අතරේ 1999 සැප්තැම්බර් 03 වැනිදා රාත්‍රියේ කලවාන නිකගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් තුළ තිබී පිලිස්සුම් තුවාල සහිත මළසිරුරු දෙකක් හමු විණි. ඒ, එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා ඇමැතිවරයකු වූ රංජිත් නන්දසේන සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක දීපාල් තුෂාරගේ බවට හඳුනා ගත්තේය.

දකුණේ මුල් ගම් වූ 58 හැවිරිදි සුදුවැලි කන්දගේ රංජිත් නන්දසේන මැණික් කර්මාන්තයේ නියැළුණු පාරම්පරික ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඊට අමතරව ඔහු ඒ වන විට ව්‍යාපාරිකයන් අතර ජනප්‍රිය වෙමින් තිබූ පෞද්ගලික තේ කර්මාන්ත ශාලා ව්‍යාපාරයටද අත ගසා තිබිණි. තවද රටබීම ව්‍යාපාරයන්ටද අවතීර්ණ වී සිටියේය.

ඝාතනය වූ දින සවස් යාමයේ රංජිත් නන්දසේන වැද්දාගල පිහිටි සිය පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීමට ගියේය. ඔහු තමා ඒ වන විට එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ පැල්මඬුල්ල ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගි වීමට තේ කම්හලින් පිටත් වූයේ සවස් යාමයේයි.

එහෙත් රංජිත් නන්දසේන සහ පෞද්ගලික ආරක්ෂක තුෂාර දීපාල් තේ කම්හලින් පිටත් වී තිබුණේ තමනගේ අවමඟුල් නිවේදනය අතින්ගෙන බව සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

මෙකී ඝාතනයන්ට අත්අඩංගුවට පත් හසිත මුහන්දිරම් මේ වන විට නිදොස් කොට නිදහස්කර අවසන්ය. එසේම ඔහුට එරෙහිව එල්ල වූ තවත් ඝාතන සිදුවීම් දෙකකින්ද ඔහු නිදහස් වූයේ එක් ඝාතන සිදුවීමක් සඳහා නියම වූ මරණ දඬුවමකටද අභියෝග කරමිනි.

 

 

Comments