රට පුරා තෙල් පෝලිම් පාර මැද්දේ මාර යුද්දේ | සිළුමිණ

රට පුරා තෙල් පෝලිම් පාර මැද්දේ මාර යුද්දේ

 

විශ්ව­මඩු සහ  පැල­ව­ත්තේදි  හමු­දාව  අහ­ස­ට වෙඩි තියලා

හමුදා  නිල­ධා­රීන්,  මහ­ජ­න­තාව ඇතුළු 30කට තුවාල  28ක් අත්අ­ඩං­ගු­වට

කලහාකාරි  සිදුවීම් 121ක්

න්ධන, ගෑස්, කිරිපිටි පෝලිම්වල දවසේ පැය විසිහතරම මෙරට මහජනතාවට ගත කිරීමට සිදුවී ඇත්තේ මීට මාස කිහිපයක සිටය. ඒ අතරින් ඉන්ධන පෝලිම්වල මහජනතාව එක දිගට දින හතර පහ රැඳී සිටින තත්ත්වයක් පසුගිය සතියේ උදාවූයේ වෙන කවරදාටත් වඩා පසුගිය සතියේ ඉන්ධන අර්බුදය දරාගත නොහැකි තරමට උග්‍රවූ බැවිනි.

 

ඉන්දීය ණය සහන යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබෙන අවසන් ඉන්ධන තොගය රැගත් නෞකාව ජුනි 16 දා මෙරටට පැමිණෙන බවට ප්‍රචාරය වන්නේ ජුනි 12 වැනිදා පමණ සිටය. 'අවසන් නෞකාව' යන්න දිගින් දිගට ම ශ්‍රවණය කරන මෙරට ජනතාවගේ මනසේ මැවෙන්නට ඇත්තේ වෙනම චිත්‍රයකි. එපමණටම එම වදන ජනතාවගේ සිත් සතන් ඇතුළට කා වැදී ඇති බව හොඳින් පෙනී ගියේ ජනතාව අවසන් තෙල් නෞකාවේ අවසන් තෙල් පොද දක්වා බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් අසලට එක්රොක් වීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ජුනි 12 සිට 16 දක්වා වන විට මෙරට සෑම පළාතකම පාහේ ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දුර රථ වාහන පෝලිම් දක්නට ලැබීමයි.

ඉන්දීය ණය සහනාධාරය යටතේ මෙරටට ළඟාවුණු අවසාන තෙල් නැවේ තෙල් බෙදා හැරීම ආරම්භ වෙද්දි රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල රථ වාහන ලක්ෂ ගණනක, එසේම කිලෝමීටර් ගණනාවක් දුර ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර මහජනතාව මේ පෝලිම්වල දින තුන හතර ගත කරමින් වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින් කුසට හරි ආහාරයක්, නින්දක් නොමැතිව රැය පහන් කළේ අනේක දුෂ්කරතා කරදර හිරිහැර දුක්කම්කටොලු මධ්‍යයේය.

මේ අතරවාරයේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට ලැබුණු සීමිත ඉන්ධන තොග බෙදා හැරීමේදී ඇතිවුණේ උණුසුම් තත්ත්වයකි. ඉන්ධන පෝලිම්වල සිදුවූ ගුටිබැට හුවමාරු, රථ වාහනවලට දේපළවලට පහරදීම්, බැණ තර්ජනය, මාර්ග වසාගෙන සිදුකළ උද්ඝෝෂණ, ඉන්ධන පිරවුම්හල්වල සේවකයන්ට සිදුකරන ලද පහරදීම්, බිය වැද්දවීම් රටේ විවිධ ප්‍රදේශවලින් දිගින් දිගටම වාර්තා වෙද්දී මේ ආරවුල්, සංසිඳවීම සඳහා පොලිසිය, යුද, ගුවන්, නාවික හමුදා කැඳවීමට ද සිදු විය. වව්නියා, විශ්වමඩු, අතුරුගිරිය, තිස්සමහාරාම, මතුගම, ගම්පොල, මැදිරිගිරිය, වලස්මුල්ල, එප්පාවල, හැටන්, කොට්ටාව, හිඟුරක්ගොඩ, කුලියාපිටිය, කැකිරාව, මාතලේ, මහනුවර, කුරුණෑගල, මාස්පොත, වැල්ලවාය, රත්නපුර, පිලිමතලාව, බණ්ඩාරගම, සූරියවැව, ගල්කුලම, තලවාකැලේ, කහටගස්දිගිලිය, ආණමඩුව, මහියංගනය, කන්තලේ, පංචිකාවත්ත, මනම්පිටිය, නාත්තන්ඩිය, ගොඩකවෙල, ගලේවෙල, වරකාපොළ, හාලිඇල, වාද්දුව, ගල්ගමුව, මීගහතැන්න ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටි ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත සිදුවීම් වාර්තා විය.

ඉන්ධන පෝලිම්වල සිදුවූ උණුසුම් සිදුවීම් අතරින් පළමුවැන්න වාර්තා වූයේ අතුරුගිරිය ප්‍රදේශයෙනි. ඒ පසුගිය 18 වැනිදාය. අතුරුගිරියේ අදාළ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නිමවීමත් සමඟ එම ස්ථානයේ ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටි සෙසු පිරිස කලහකාරිව හැසිරීමට පටන් ගැනීම නිසා එතැනට පොලිසිය කැඳවිණි. ඒ අවස්ථාවේ කලහකාරි පිරිස පොලිස් නිලධරයන්ට ද පහර දීම නිසා ඇතිවූ ආරවුලේදි පොලිස් නිලධාරින් 6 දෙනක් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුල් කරන ලදී. මේ අතර තවත් කණ්ඩායමක් ද ඉන්ධන පිරවුම්හලට කඩා වැදී එහි සේවකයන්ට පහරදී ඇති බවද හෙළි විය.

මේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු අතුරුගිරිය පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඉන් අනතුරුවය. ඉන් හත්දෙනෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. සැකකරුවන් නවදෙනා අතරින් කාන්තාව සහ තවත් පුද්ගලයකු ද මුදා හැරිණි.

අතුරුගිරියේදි මහජනතාව සහ පොලිසිය අතර ඇතිවූ 'ඉන්ධන හබයේ' උණුසුම මැකී යන්නත් පළමුව එවැනිම සිද්ධියක් ජුනි 18 වැනිදා රාත්‍රියේ වාර්තා වන්නේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිරිප්පු පොලිස් වසමේ විශ්වමඩු සමූපකාර ඉන්ධන පිරවුම්හලෙනි. විශ්වමඩු සමූපකාර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන අවසන් වීම නිසා ඉන්ධන එනතෙක් පාරිභෝගිකයන් පිරිසක් පෝලිමේ සිට ඇති අතර රාත්‍රි 7ට පමණ බාහිර පුද්ගලයෙක් බීමත්ව එහි පැමිණ ජනතාව අපහසුතාවයට පත්වන අන්දමට කෑකෝ ගසද්දි සාමාන්‍ය වැසියන් පිරිසක් අසල හමුදා මුරපොළට ගොස් එහි නිලධාරින්ට මේ ගැන පැමිණිලි කර තිබේ.

මහජනතාවගේ ඉල්ලීමට අනුව හමුදා සෙබළු එහි ගොස් අදාළ බීමත් පුද්ගලයාට එතැනින් ඉවතට යන ලෙස පැවසීමත් සමඟ එහි සිටි තවත් පිරිසක් හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කළහ. මේ සිද්ධිය සැලවීමත් සමඟ එතැනට ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල්වලින් පැමිණි පිරිසක් හමුදා භට කණ්ඩායමට පහරදීමත් සමඟ දෙපිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය. ඒ අතරේ හමුදාව අහසට වෙඩි තබා ඇත්තේ පිරිස පලවා හැරීම සඳහාය. මේ සිද්ධියේදී ලුතිනන්වරු දෙදෙනකු ඇතුළු හමුදාවේ පස්දෙනකු සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලැබූහ.

සැකකරුවන් පැමිණි මෝටර් බයිසිකල් 10ක්, ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට ගැනිණි. මේ අතර මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වාහන පෝලිමේ පසුගිය 19 වැනිදා ඇතිවූ කලහකාරි තත්ත්වය මර්දනය සඳහා ද යුද හමුදා සෙබළුන්ට අහසට වෙඩි තැබීමට සිදුවිය.

එදින උදෑසන සිට අදාළ ඉන්ධන පිරවුම්හලේ සිට පැලවත්ත මංසන්ධිය දක්වා දිගු වාහන පෝලිමක් තිබිණි. සවස 5ට පමණ ඉන්ධන බවුසරය පැමිණීමත් සමඟ කලහකාරි තත්ත්වය උද්ගත විය.

19 උදෑසන සිට ඉන්ධන පිරවුම්හල සහ ඒ අවට මෝටර් බයිසිකල් විශාල සංඛ්‍යාවක් අක්‍රමවත්ව ගාල්කර තිබිණි. එම පිරිස ඉවත්කරද්දි හමුදා සෙබළු සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ප්‍රදේශවාසින් පිරිසක් කෑ කෝ ගසමින් තමන්ට අනිවාර්යෙන්ම ඉන්ධන අවශ්‍ය බව පවසමින් කලහ කරන්නට පටන් ගැනීමත් සමඟ හමුදාව අහසට වෙඩි තබන්නේ තත්ත්වය පාලනය කිරීම සඳහාය. අනතුරුව ප්‍රදේශවාසින් වෙනුවෙන් වෙනම පෝලිමක් සකස් කැරිණි. තිස්සමහාරාම ජූල්පල්ලම ඉන්ධන පිරවුම්හලේ පෝලිම් දෙකක සිටි දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා ඉන්ධන පිරවුම්හලට නුදුරින් පුද්ගලයන් තිදෙනෙකු කිසියම් පිරිසක් කපා කොටා තුවාල කර තිබුණේ 20 වැනිදාය. ඉන්ධන ලබා ගැනීමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මේ සිද්ධියට මුල්විය.

විශ්වමඩු ඉන්ධන හලට හමුදා ආරක්ෂාව

මේ අතර වව්නියාව නගරයේ ඒ 9 මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක නිරත වූයේ 18 වැනිදාය. යාපනය දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ බවුසරයක් ද විරෝධතාකරුවන් විසින් රඳවාගෙන සිටි අතර එතැනට පැමිණි පොලිස් නිලධාරින් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

වව්නියාවේ ආක්ඩිපුලියම්කුලම් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් පස්දෙනෙක් කඩු පහරකට ලක්ව සෙට්ටිකුලම රෝහලට ඇතුළු කරන්නේ ඒ අතරය.

මාරවිල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන තොග ඇතත් ඒවා මහජනතාවට නිකුත් නොකරන බවට චෝදනා කරමින් මහජනතාව අදාළ ඉන්ධන පිරවුම්හල වටා එක් රොක්ව සිටියහ. කොට්ටාව මාකුඹුර බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන සිටිරයිඩ් බස් සේවාවට කොට්ටාව පෞද්ගලික බස් සේවකයන් විරෝධය දක්වමින් සඳහන් කෙළේ එම පර්යන්තයෙන් තමන්ට ද ඩීසල් නිකුත් කරන ලෙසය. ඉන් අනතුරුව පැවැති සාකච්ඡාවේදි කොට්ටාව පෞද්ගලික බස් රථවලට ද අදාළ පර්යන්තයෙන් ඩීසල් ලීටර් 50 බැගින් නිකුත් කිරීමට තීරණය විය.

හලාවත ආරච්චිකට්ටුවේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුට එම ප්‍රදේශයේ හිටපු අමාත්‍යවරයකුගේ සොහොයුරෙකු බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයෙක් පහර දෙන ආකාරය ද සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. පසුව අත්අඩගුවට ගන්නා ලද එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. ඌරුබොක්ක සිපෙට්කෝ පිරවුම්හලේ කළමනාකරු ඉන්ධන පිරවුම්හලේදි ඇතිවූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්වන්නේ ද ඔය අතරය.

අනුරාධපුර නගරයේ ඉන්ධන හලක සඟවා තිබුණු ඉන්ධන ලීටර 7000ක ප්‍රමාණයක් පාරිභෝගිකයන් අතර බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුරාධපුර ශාඛාවේ නිලධාරින්ට හැකි වන්නේ ඔය අතරය. එම ඉන්ධනහලේ ඉන්ධන නොමැති බවට එහි පාලනාධිකාරිය පාරිභෝගිකයන් නොමඟ යවා තිබුණු අතර අදාළ පිරවුම්හලේ ඉන්ධන තොග ඇති බව පාරිභෝගිකයන් විසින් සොයා ගෙන තිබිණ. මේ අතර තලවකැලේ පිරවුම්හලක කළමනාකරුගේ නිවෙසේ තිබී භූමිතෙල් ලීටර 24ක්ද සොයා ගැනිණි. පසුගිය සිකුරාදා වන විට ප්‍රදේශ රැසකින් සිදුවීම් 121 ක් පිළිබඳ පොලිසියට තොරතුරු වාර්තා වී තිබිණි.

මාවනැල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් බලෙන් ඉන්ධන ලබා ගන්නා කල්ලියක් පිළිබඳ වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදින් දෙදෙනෙකු මැර ප්‍රහාරයකට ලක්වන්නේ ද ඔය අතරතුරය. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇප මත මුදා හැරිණි. හෙල්මටයකට ගිනි තබා එය කඳාන ඉන්ධන පිරවුම්හලක් වෙතට විසිකර පලා ගිය පුද්ගලයකු ගැන ද තොරතුරු වාර්තා විය. කැස්බෑවේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි අයකුගේ සිරුර කැස්බෑව වැවේ තිබී හමුවිය.

මේ අතර රාජ්‍ය සේවකයන්ට ලැබුණු සිකුරාදා නිවාඩුව ගෙදර සිට වැඩ කරන දින පහක් දක්වා දීර්ඝ කැරෙන්නේ ද ඉන්ධන හිඟය හේතුවෙනි. කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි ප්‍රධාන පාසැල්වලට නිවාඩුව ලැබෙන්නේ ද මේ හේතුව නිසාමය. දින දහයකට වැඩි කාලයක් පුරා 50%කට අඩුවෙන් ධාවනය වුණු පෞද්ගලික බස්වල සේවකයනට නව පණක් ලැබුණේ 19 වැනිදා සිට ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස්වලට ද ඉන්ධන ලබා දෙන පණිවිඩය නිසාය. පාසල් වෑන්, විදේශිකයන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සහ කාර්යාලීය සේවකයන් ප්‍රවාහනය කරන වාහනවලට ළඟම පිහිටි ලංගම ඩිපෝවෙන් ඩීසල් ලබා ගත හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දෙන්නේ 19 වැනිදා පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඉන්ධන හිඟයෙන් සෞඛ්‍ය සේවාවට ද එල්ල වූයේ සුළු පටු තර්ජනයක් නොවේ. ගිලන් රථ විශාල සංඛ්‍යාවක් ද ඉන්ධන පෝලිම්වල ගාල්කරගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය විය. ඇතැම් වෛද්‍යවරුන්, හෙදියන්ට ද සිදුවූයේ ඉන්ධන පෝලිම්වල බොහෝ වේලා සිට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව සේවයට වාර්තා කිරීමටය. පෝලිමෙන් පිට ඉන්ධන ලබා ගැනීමට නිල ඇඳුමෙන් ගිය හෙදියනට ද පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය විය. මේ ගැන සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ද අනතුරු අඟවමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ 19 වැනිදාය.

තමන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ පැය ගණනාවක් සිටියදි හදිසි සැත්කමක් අවශ්‍ය රෝගියකු ගැන රෝහලෙන් ලැබුණු තොරතුරකට අනුව තමන් තම බිරිය තෙල් පෝලිමට ගෙන්වා ගෙන ඇය එහි තබා රෝහලට ගොස් අදාළ රෝගියාට සැත්කමක් සිදුකර නැවත පෝලිමට පැමිණ බිරිය නිවසට යවා තවත් පැය කීපයක් එහි ගතකළ බව වෛද්‍යවරයකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණු සටහනට බොහෝ ප්‍රතිචාර ලැබී තිබිණි. මේ අතර අපොස සා පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක ගුරු භවතුන්ට සිය රාජකාරියට යාමට අවශ්‍ය මෝටර් බයිසිකල් ඇතුළු වාහනවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම නිසා ඇතැම් ප්‍රදේශවල පිළිතුරු පත්‍ර පරික්ෂාවට බාධා ඇති විය.

මේ සිද්ධියට විරෝධය දක්වමින් පිළිතුරු පත පරීක්ෂක ගුරු භවතුන් අම්බලන්ගොඩ, තංගල්ල ඇතුළු රටේ ප්‍රදේශ ගණනාවකදි උද්ඝෝෂණවල නිරත වූහ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් අයැද සිටියේ මේ ගුරු භවතුන්ට ඉන්ධන ලබා ගැනීමේදි ප්‍රමුඛස්ථානය ලබා දෙන ලෙස වුවත් එය එතරම් සාර්ථක වූයේ නැත.

ඉන්ධන පෝලිම්වලින් ඉන්ධන ලබා ගෙන ඒ වන විට වැඩි මිලට අලෙවි කිරීම ජාවාරමක් කරගත් අතිවිශාල පිරිසක් සිටින බවට තොරතුරු හෙළි වන්නේ මේ අතරේදීය. එලෙස එකතු කරන පෙට්‍රල් බෝතලයක් රු. 600 බැගින් අලෙවි කරන බවද වාර්තා විය.

ඉන්ධන ප්‍රවාහනය කරන ඇතැම් බවුසර මහ මඟ නවත්වා ඉන්ධන බූලිවලට පුරවා වාහනවලින් පැමිණි යම් පුද්ගලයන්ට ලබා දෙන අයුරු ද සඳහන් වීඩියෝ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ අතර එවැනි සිදුවීම් 3ක් ගැන ඛණිජ තෙල් සංස්ථාව විමර්ශන ආරම්භ කර තිබිණි.

ඉන්ධනහල් අසල පවත්වන මහජන විරෝධතාවලදි පොලිස් නිලධාරින්ට පහර දෙන පුද්ගලයන් අවම බලය පාවිච්චි කර අත්අඩංගුවට ගන්නා ලෙස බලධාරින් පොලිසියට උපදෙස් දී තිබීම ද සුවිශේෂිය. මේ අතර පොලිස් නිල ඇඳුමෙන් පැමිණ ඉන්ධන පෝලිම්වලට පිටින් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරින් නිසා ස්ථාන කීපයකම උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල වාහන පාලනයට පාතාල කල්ලි ද සම්බන්ධව සිටි බවද වාර්තා විය.

ඡායාරූප- සුලෝචන ගමගේ, මතුගම සමූහ බන්ධු තඹවිට, උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

 

 

 

 

Comments