මැනිං මාර්කට් එකේදී පැට­ලුණු කෙසෙ­ල්වත්තේ පාතා­ලය හෙල්ලූ බලු කපුටු දානයේ වෛරය | සිළුමිණ

මැනිං මාර්කට් එකේදී පැට­ලුණු කෙසෙ­ල්වත්තේ පාතා­ලය හෙල්ලූ බලු කපුටු දානයේ වෛරය

සිදුවීමට අදාළ සීසීටීවී දර්ශන
සිදුවීමට අදාළ සීසීටීවී දර්ශන

 

පාතාල අපරාධකරුවන් පසුගිය කාලය පුරාම එකිනෙකා මරා ගත්තේ සිය ආධිපත්‍ය වෙනුවෙනි. සෑම අපරාධකරුවකුගේම සිහිනය වූයේ පාතාලයේ ගෝඩ් ෆාදර්වරයකු වනු දැකීමය. පාතාල අපරාධකරුවන් එකිනෙකා මරාගන්නේ ඒ වෙනුවෙනි.

 

සොත්ති උපාලිගේ සිට නාවල නිහාල්, කළු අජිත්, ධම්මික අමරසිංහ, කිඹුලා ඇළ ගුණා, ප්‍රින්ස් කොළම්, කරාටේ ධම්මික, ෆාජි, අයුබ් ඛාන්, රණාලේ සමයං, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කා, මාකදුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, කොස්ගොඩ තාරක මේ සෑම අපරාධකරුවෙකුගේම සිහිනය වූයේ ඉන්දියාවේ ඊබ්‍රාහිම් ඩාවුඩ් වැන්නකු ලෙස සිය අණසක රටපුරාම පතුරුවාගෙන සිටීමය. අද ඒ හැමෝම ඇත්තේ අකාලයේම මරුතුරුලට ගොසිනි. ඒ බොහෝ දෙනෙක් ජීවත්ව ඉන්න කෙටි කාලය තුළ ගෝඩ් ෆාදර් චරිතයට පණ දුන්නේය. එය හොඳටම කළේ මාකදුරේ මධුෂ්ය. ඔහුගෙන් පසු ඒ තැනට එන්නට දත නියවන මාකිලන්ගමුවේ සංජීව දැන් සිටින්නේ කලඑළි බැසය. හැබැයි මේ සියලු දෙනාටම ඉහළින් ඉන්නා ගෝඩ් ෆාදර් කුඩු ලාල්ය. එදත් අදත් ඔහුට අභියෝග කරන්න තරම් බලසම්පන්න පාතාලයෙක් අදටත් බිහිවී නැති තරම්ය.

සමන්ත ප්‍රදීප් කුමාර නොහොත් අඹ ශානා

ඉකුත් මැයි 30 වෙනිදා පිටකොටුවේ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළේදී තරුණයින් තිදෙනකුට වෙඩි තබමින් ආරම්භයක් සනිටුහන් කෙරුණේ පාතාලයේ අලුත්ම නැගිටීමකි. හැබැයි ඒ බල ව්‍යාප්තිය වෙනුවෙන් පාතාල කල්ලි අතර සිදු වන මරා ගැනිල්ලක් නොවන බව නම් පැහැදිලිය. ඒ සියලු මෙහෙයුම් සිදුවන්නේ ඩුබායි සිටය. නැතිනම් ඉන්දියාවේ සිටය. එසේත් නැතිනම් එංගලන්තයේ සිටය.

ඒ මේ වන විට මෙරට පාතාලයේ නමගිය අපරාධකරුවන් රැසක්ම සිටින්නේ රටින් පිට නිසාය. බැවින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියල්ලක්ම සිදුවන්නේ එකී රටවල්වල සිටය. අද ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මත්කුඩු ජාවාරමයි. පකිස්තානයේ ජාවාරම්කරුවන් සමඟ එක්ව ඔවුන් මෙරටට මත්කුඩු බෝට්ටුවලින් ගෙන එන්නේ කිලෝ සිය ගණන් වලිනි. එසේ රැගෙන එන මත්කුඩු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට හා නාවික හමුදාවට හසුවන්නේද තොග පිටින්මය. ඒතුළින් ජාවාරම්කරුවන්ට සිදුවන පාඩුව සුළුපටු නැත. පාතාලයේ අලුත්ම නැගිටීම සිදුව ඇත්තේ ඒ නිසාය. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ පොලීසියට ඔත්තු දෙන්නන් මරා දැමීමය. දකුණු ඉන්දියානු චිත්‍රපටයක දර්ශන පෙළක් සේ මේ සිදුවන්නේ එම ඝාතන රැල්ලය. ඒ සඳහා ඔවුන් මේ වන විට යොදාගෙන ඇතැයි කියන්නේ කුලී ඝාතකයන්ය. එම කටයුත්ත බාරගෙන සිටින්නේ අනාගත ගෝඩ් ෆාදර් වීමේ සිහිනයෙන් පෙළන මාකිලංගමුවේ සංජීවයි.

ලංකාවේ ලොකුම මුදල් කොල්ලය ඉදිරියේ නම ලියැවී ඇත්තේද සංජීවගේය. එසේම ඔහු එල්.ටී.ටී.ඊයේ හිටපු වෙඩික්කරුවන් සමඟින්ද සම්බන්ධකම් පවත්වන්නෙක් බව පොලිස් පොත්වල ලියැවී ඇත්තේය. එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන් රැසක්ද ඔහු සමඟ සිටිති. එම පිරිස් සමඟ එක්ව ඔහු සිදුකරන්නට හැදූ ප්‍රභු ඝාතන තැතත් 2019 වසරේදී ව්‍යාර්ථ කරනුයේ රාජ්‍ය බුද්ධි සේවය විසිනි.

මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක්ද වන මාකිලන්ගමුවේ සංජීව දැන් සිටින්නේ ඩුබායිවලය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණිය දඬුවම් ලැබ සිටින දෙමටගොඩ චමින්දව අධිකරණයට රැගෙන යමින් තිබුණු බන්ධනාගාර බස් රථයකට 2015 දී දෙමටගොඩ ඉන්ගම්හංදියේදී වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හසුවූ සංජීව කාලයක් තිස්සේම සිටියේ බන්ධනාගාරයේය. හැබැයි හිරේ හිටියත් ඔහුගේ ජංගම දුරකතනය නම් පැය 24 පුරාම වැඩ කළේය.

අධිකරණයෙන් ඇප ලැබුණත් එළියට යන්නට සංජීවට සිතක් නොවීය. වසර දෙකකට වැඩි කාලයක් ඇප නොතබා ඔහු බන්ධනාගාරයේම රැදී සිටියේ ය. ඒ එළියට වඩා බන්ධනාගාරය ඇතුළේ හොඳ ආරක්ෂාවක් ඔහුට ලැබී තිබුණු බැවිණි. මෑතකදී ඔහු ඇප තබා බන්ධනාගාරයෙන් එළියට එන්නේද රටින් පලායන්නට සියල්ල සූදානම් කරගෙනය. ඒ මාකදුරේ මධුෂ්ට සහ කොස්ගොඩ තාරකට වූ දේම තමාට සිදු නොවීමට වගබලා ගනිමිනි.

මාකිලන්ගමුවේ සංජීව දැන් වැඩ පෙන්වන්නේ ඩුබායි සිටය. පෑලියගොඩ මැනිං වෙ‍ෙළඳපොළේ පත්තු වූ වෙඩිල්ලේ ද නම ලියැවී ඇත්තේ සංජීවගේය. එම වෙඩිල්ලට ගොදුරු වන්නේ අඹ ශානාය. පාතාලයේ අලුත්ම ඝාතන රැල්ල මතුවී සති තුනක් තුළ ඝාතනය වන 08 වෙනියා ඔහුය.

සමන්ත ප්‍රදීප් කුමාර නොහොත් අඹ ශානා ගැන කෙසෙල්වත්තේ නොදන්නා අයෙක් නැති තරම්ය. ඒ අඹ ශානාගේ රාජධානිය කෙසෙල්වත්ත වූ බැවිනි. ඔහු ජීවත් වූයේ කෙසෙල්වත්තේ තට්ටු නිවාසයක. පාතාලයේ ගැටුම් නිසා ඔහුට කෙසෙල්වත්ත අතහැර යන්නට පවා සිදුවිය. ඒ යන්නේ කොටහේනටය. ඒ ගියත් ඔහුගේ ජීවිතයට නිදහසක් නොවීය. කුලී ඝාතකයෝ ඔහුව සොයා ආවෝය. 2018 වසරේ මාර්තු 18 වෙනිදා ශානාට තැබූ වෙඩිල්ලට බිලිවන්නේ ඔහුගේ ඥාති සහෝදරයාය.

අඹ ශානාට තර්ජන එල්ලවූයේ කෙසෙල්වත්තේ දිනුකගෙනි. ඔහු කොළඹ හොල්ලාගෙන සිටි පාතාලයේ කුප්‍රකට කල්ලි නායකයෙකි. කොළඹ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ඉහළම පුරුකකි. සිය පියාගේ අඩිපාරේ යමින් පාතාලයේ අතපොත් තැබූ දිනුකගේ නම ඉදිරියේ ලියැවෙන පළමු මිනිස් බිල්ල වන්නේ කිත්සිරි රාජපක්ෂ ඝාතනයයි. එය සිදුවන්නේ 2011 වසරේ ජනවාරි 15 වෙනිදාය.

සිය සමීපතයෙක් වූ මෝල් අසංක නැමැති පාතාල කල්ලි සාමාජිකයා මඟින් රණාලේ සමයංට ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් දෙමින් කිත්සිරි රාජපක්ෂව එදා මරා දමන්නේ සිය පියාගේ ඝාතනයට පළිගන්නටය.

දිනුකගේ පියාද කොළඹ හොල්ලාගෙන සිටි කුප්‍රකට චරිතයකි. නමින් ඔහු නීල්ය. ඔහුට කීවේ කෙසෙල්වත්තේ නීල් යැයි කියාය. ප්‍රේමදාස ආණ්ඩුව සමයේදී කරළියට ආ කළු චරිත අතර නීල් රැදී සිටියේ ඉහළිනි. පිටකොටුවේ පලතුරු තට්ටුවල කප්පම් ආදායම මුළුමනින්ම එදා පත්වූයේ නීල්ගේ අතටය. නීල්ට කප්පම් නොගෙවන කිසිදු බස් රථයකට එදා ගුණසිංහපුර බස් නැවතුම් පොළ පැත්ත පළාතේ එන්නට ඉඩක් නොවීය. ඒ සියල්ලක්ම සිදුවූයේ දේශපාලන ආශිර්වාදය ද ඇතිවය.

වෙඩි තැබීම සිදුවූයේ මෙම පලතුරු වෙළඳසැල ඉදිරිපිටය

නීල්ට දේශපාලන හයියක් ලැබෙන්නේ එකල කෙසෙල්වත්ත පැත්ත හොල්ලාගෙන සිටි භික්ෂූන් වහන්සේ නමක් හරහාය. අදටත් එම භික්ෂූව පෙරළිකාර චරිතයකි. එකල නිතර කියැවුණු නාමයක් වූ ආරියපාලද එම භික්ෂුවගේ හයි හත්තියෙන් කොළඹ මැනිං වෙ‍ෙළඳපොළ හොල්ලාගෙන සිටියේය. නීල් මෙන් ආරියපාල මැනිං වෙ‍ෙළඳපොළේ වෙ‍ෙළඳුන්ගෙන් කප්පම් ගන්නට ගියේ නැත. ඔහු වෙ‍ෙළඳුන්ගේ ආරක්ෂකයෙකුගේ චරිතයට පණ දුන්නේය. අඹ ශාන්ද එවැන්නෙකි. දිනුක සමඟ ඔහු සටන් කළේ වෙ‍ෙළඳුන්ගෙන් කප්පම් ගැනීම්වලට එරෙහිවය.

එදා කෙසෙල්වත්ත කේන්ද්‍රකර ගනිමින් පිටකොටුවේ බලය රැදී තිබුණේ සිංහලයන් අතය. ඒ සියල්ලක්ම උඩුයටිකුරුවන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමඟ ඇතිවන දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ ආරියපාල සහ නීල් දේශපාලන කඳවුරු දෙකකට බෙදී ගියාමෙනි. එහි වාසිය ගත්තේ මාළිගාවත්ත කේන්ද්‍ර කරගනිමින් හිස ඔසවමින් සිටි මුස්ලිම් පාතාලයයි. සිය බලය කෙසෙල්වත්ත දක්වා ව්‍යාප්ත කරන්නට මාන බලමින් සිටි මුස්ලිම් පාතාලය වැඩ අල්ලන්නේ මාදම්පිටිය සුසාන භුමියට නීල්ව උපක්‍රමශීලීව රැගෙන ගොස් එහිදී මරා දමමිනි. අනතුරුව ඔහුගේ සිරුර රැගෙන විත් කෙසෙල්වත්ත පැත්තේ කුණු බක්කියකට දමන්නේ එහි සැකය ආරියපාල දෙසට යොමු කරමිනි. ඒ නිසාම ආරියපාලට සිදුවන්නේ නීල්ගේ ගෝලබාලයන් අතින් මරු වැලඳ ගන්නටය.

කිත්සිරි රාජපක්ෂ ඒ වන විට සිටියේ ආරියපාලගේ පැත්තේය. ඒ නිසාම නීල්ගේ ගොල බාලයින්ගෙන් කිත්සිරිගේ ජීවිතයට එක දිගට තර්ජන ගලා එන්නට ගත්තේය. එනපොට හොඳ නැති බව වටහාගත් කිත්සිරි ජීවිතය රැක ගනිමින් පනින්නේ ඉතාලියටය.

මේ කිසිවක් නොදත් නීල්ගේ වැඩිමහල් දරුවා වූ රාජපක්ෂ ආරච්චිලාගේ දිනුක මධුෂාන් අපොස සාමාන්‍ය පෙළටවත් මුහුණ නොදී පාසල් ගමනට සමුදෙමින් මුස්ලිම් පාතාලයේ අත කොලුවක් බවට පත්වන්නේ සිය පියාගේ ඝාතකයින්ගෙන් පළිගැනීමේ කැකෑරෙන අපේක්ෂාව ඉටුකර ගැනීම වෙනුවෙනි. කෙටි කලක් තුළ ඔහු කොළඹ හොල්ලන පාතාලයේ චරිතයක් බවට පත්වන්නේ කෙසෙල්වත්තේ දිනුක නමින් බෞතිස්ම ලබමිනි.

අඹ ශානා නියෝජනය කළේද දිනුකගේ කණ්ඩායමය. දෙදෙනා හොඳ මිතුරෝය. අඹ ශානාගේ හැම දේකටම හිටියේ දිනුකය. අතේ පිච්චිය නොමැතිව සිටි අඹ ශානාගේ අතමිට සරුවෙන්නට වූයේද දිනුකගේ ඇසුරත් සමඟිනි.

එම මිතුදම වැඩි කාලයක් එකසේ රැඳුණේ නැත. කිත්සිරි රාජපක්ෂගේ ඝාතනයත් සමඟ එය දෙදරා ගියේය. එම ඝාතනයත් සමඟ පාතාලයේ ප්‍රබලයෙක් ලෙස දිනුක කල එළි බසින විට ඔහුගේ මාමා මැනිං වෙ‍ෙළඳ පොළේ වෙ‍ෙළඳුන්ගෙන් කප්පම් ගන්නට පටන් ගත්තේය. කප්පම් නොදුන් අහිංසක වෙ‍ෙළඳුන්ගේ කඩ කාමර බලහත්කරයෙන් අත්පත්කර ගත්තේය. ඊට එරෙහිව නැඟී සිටීමට හයියක් තිබුණේ අඹ ශානාට පමණි. දිනුක සහ අඹ ශානා අතර ගැටුමේ ආරම්භය සනිටුහන් වන්නේ එසේය.

දිනුක ඒ වන විට සිටින්නේ ඩුබායිවලය. දිනුක වෙනුවෙන් වැඩට බැස සිටියේ රජා මාමාය. ඔහුගේ හොදම ගෝලයා ධනුකය. ඔවුන් එක්ව අඹ ශානාගේ නම ඉදිරියේ මරණ වරෙන්තුව ලියුවේය. අඹ ශානාද සිය ජීවිතය ඔවුන්ට නිකරුණේ පූජා කිරීමට සූදානමින් සිටියේ නැත. තමාගේ ජීවිතය ඩැහැ ගන්නට මාන බලමින් සිටි කිහිප දෙනෙකුටම ප්‍රතිප්‍රහාර එල්ල කළේය. වත්තල හුණුපිටියේදී පත්තුවන වෙඩිල්ලකින් රජා මාමාගේ දිවි ගැලවෙන්නේ නිමේෂයකිනි. හෘදයාබාදයකින් දිනුක ඩුබායිහීදී ඉකුත් වසරේ මාර්තුවේදී මිය යන්නේ දෙපාර්ශ­්වය අතර ගැටුම උච්චත්වයට පත්ව තිබියදීය. දිනුකගේ මරණය අඹ ශානාට සිය ජීවිත කාලයටම අසන්නට ලැබුණු මිහිරිම තොරතුර බවට පත්විය. එයින් උද්දාමයට පත්වන අඹ ශානා එය සමරන්නේ කිරිබත් උයා රතිඤ්ඤා දල්වාය. එයින් සෑහීමකට පත්නොවී දිනුක වෙනුවෙන් ඔහු බලුකපුටු දානයක් ද දුන්නේය.

දිනුකගේ මරණික් පසු ඒ හිඩස පුරවන්නට ඉදිරිපත් වන්නේ ධනුකය. ඒ රජා මාමාගේ ආශිර්වාදය ඇතිවය. ධනුකද ජීවත්වූයේ කෙසෙල්වත්තේය. පිටකොටුවේ මැනිං වෙ‍ෙළඳ පොළේ එකල ඔහු නිතර දැකිය හැකි මුහුණකි. දිනුකගේ හයියෙන් මැනිං වෙ‍ෙළඳ පොළේ පොඩි පොඩි වෙ‍ෙළඳාම්වල නිරතව සිටියෙකි. පසුකාලයේ දිනුකගේ මත්කුඩු ඡාවාරම මෙහෙයැවූ ප්‍රධාන පුරුක වූයේ ද ධනුකය. ඔහුට මාකිලන්ගමුවේ සංජීව සමඟද ඉතා කිට්ටු සම්බන්ධකම් පැවතුනි. ගම්පහ පැත්තේ ප්‍රබල චරිතයක් වන ඔස්මන් නැමැත්තා ඝාතනයට මාකිලන්ගමුවේ සංජීව වරක් යොදවන ලද කුළි ඝාතකයින් පිරිසක් පොලීසියට හසුවීමෙන් පසු කෙරුණු විමර්ශනවලදීද ධනුකගේ නම කියැවී තිබුණේය.

දිනුකගේ පාතාලයේ කිරුල ධනුකගේ හිසමත පැලැන්දෙන විට ඔහු සිටින්නේ ඉන්දියාවේය. බෝට්ටුවක නැගී ඉකුත් වසරේ ඔහු ඉන්දියාවට පැනගන්නේ පොලිස් අත්අඩංගුවේ සිටි මාකදුරේ මධුෂ්ට අත්වූ ඉරණම දැකීමෙන් ඇති වූ මරණ බියෙනි. දිනුකගේ මළ සිරුර මෙරටට රැගෙන ඒමට විශාල මුදලක් වැයකර ප්‍රභූවරයකුගේ මරණයට නොදෙවෙනි ලෙස අවසන් කටයුතු කිරීමට මුල් වන්නේද ධනුකය. ඔහු ඉන්දියාවේ සිට සිය ගෝලබාලයින් මෙහෙයවන්නට වූයේ අතපය දිගහැර වියදම් කරමිනි.

අවසන් කටයුතු සිදුවූ දා ධනුක ඉන්දියාවේ සිට වීඩියෝ ඇමතුමකින් පවුලේ සාමාජිකයන් හා සම්බන්ධ විය. දිනුකගේ මරණය සමරා බලුකපුටු දානයක් දුන් අඹ ශානාට වැඩිකල් ජීවත්වන්නට ඉඩ නොතියන බව වේදනාවෙන් කැකෑරෙමින් කීවේය. අවුරුද්දේ ධානමය පින්කම සිදුකරන්නේ අඹ ශානාගේ මරණය සමරමින් බව ඔහු සපථ කළේය.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ වැටී තිබුණු ටී56 උණ්ඩයක්

සිය ජීවිතය ඩැහැ ගැනීමට ධනුකගේ ගෝලබාලයින් ඉව අල්ලන බව වටහාගත් අඹ ශානාද එතැන් සිය ජීවිතාරක්ෂාව ගැන වෙනදාට වඩා කල්පනාකරී වන්නට වග බලා ගත්තේය. පලතුරු වෙ‍ෙළඳාම ගැන සොයා බැලීමට මැනිං වෙ‍ෙළඳ පොළට ආවේ ගියේද කිසිවෙකුටත් තමාව ඉලක්ක කරන්නට බැරිවන්නට වෙලාවක් කලාවක් නොමැතිවය. බොහෝ වෙලාවට ඔහුව මැනිං වෙ‍ෙළඳ පොළට රැගෙන එන්නේ බිරිය විසිනි. ඇය මෝටර් රථය පදවාගෙන එන විට ඔහු සිටින්නේ පිටුපස ආසනයේ සැඟවීගෙන මෙනි.

එදා ජුනි 21 වෙනිදා ඔහු මැනිං වෙ‍ෙළඳ පොළට එන්නේ පලතුරු වෙ‍ෙළඳුන්ගේ ගැටලු ගැන සාකච්ඡාකිරීමේ රැස්වීමකට සහභාගිවීමටය. එම රැස්වීමට එන්නට ඔහුට හිතක් නොවූවත් පළතුරු සංගමයේ සභාපති ලෙස ඔහුට එය මඟ හැරීමට ඉඩක් නොවීය. ඒ වන විටත් ඔහුගේ ජීවිතය ඩැහැ ගැනීමට පිරිසක් සිටියේ කුරුමානම් අල්ලමිනි.

ඒ කිසිවක් නොදත් අඹ ශානා රැස්වීම අවසානයේ මැනිං වෙ‍ෙළඳ පොලින් පිටත්වන්නට සූදානම් වන්නේ උදෑසන නිවසින් රැගෙන පාන් පෙත්ත දහවල් ආහාරය ලෙස කටට දමාගෙනය. මෝටර් රථයට ඔහුට ගොඩවෙන්නට කිසිදු ඉඩක් නොවීය. වේගයෙන් පැමිණි සුදු පැහැති මෝටර් රථයක් නතර විය. ඒ තුළින් බැස ගත්තේ ටී 56 අවියක් අමෝරාගත් මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකි. ඔහු ඉවත් බවක් නොමැතිව වෙඩි වර්ෂාවක්ම අඹ ශානා දෙසය එල්ල කළේය. එම වෙඩි ප්‍රහාර හමුවේ අඹ ශානා කැපූ කඳන් මෙන් මැරී වැටුණේය.

අඹ ශානාගේ ඉරණම එසේ විසඳෙන්නේ දිනුකගේ අවුරුද්දේ දානමය පිංකමින් තුන් මසක් ගෙවුණු තැනය. පොලිස් විමර්ශකයෝ පැහැදිලිවම මේ වන විට හෙළිකර ගෙන ඇත්තේ මෙම වෙඩි තැබීම පිටුපස ධනුක සහ මාකිලන්ගමුවේ සංජීව සිටින බවය. මේ වන විටත් වෙඩික්කරුවා මෙන්ම මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූවන්ට පොලිස් විමර්ශකයෝ ඉව අල්ලමින් සිටිති.

ඊට වඩාත් පහසුවක් වී ඇත්තේ කඩවත පැත්තේ ඇවිදින මංතීරුවක් ආසන්නයේ දමාගොස් තිබී හමුවූ වෙඩික්කරුවා පැමිණි මෝටර් රථයයි. එම රථයේ ලියාපදිංචි හිමිකරු ඉන්නේ අමෙරිකාවේය. එම රථය ඔහු දන්නා කියන අයෙකුට රුපියල් 70,000කට කුළියට දුන්නේය. තුවාන් නැමැති ඒ පුද්ගලයා නාරාහේන්පිට පැත්තේ ජීවත්වන තවත් අයෙකුට එම මෝටර් රථය වැඩි ගානකට කුලියට දුන්නේය. ඔහු කමල් ඩීන්ය. දැන් කමල්ඩීන් සිටින්නේ අතුරුදන්වය.

විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව වෙඩික්කරුව රැගෙන පැමිණි මෝටර් රථය පදවා ඇත්තේ මැනිං වෙ‍ෙළඳ පොළට නිතර දකින්නට ඇති මුහුණකි. එසේ නොවන්නට මැනිං වෙ‍ෙළඳ පොළේ ඉහල මහලට මෝටර් රථය පදවාගෙන පැමිණ වෙඩි තබා සැහැල්ලුවෙන් පිටව යාමට කිසිදු ඉඩක් ලැබෙන්නේ නැත. වෙඩික්කරු නන්වාගෙන මෝටර් රථය එන්නේද ලොකු වටයක් ගොසිනි. ඒ බව හෙළිවන්නේ මෝටර් රථයේ සවිකර තිබුණු ජී.පී.එස්. උපකරණයෙනි. එම ජී.පී.එස්. දත්ත පද්ධතියේ සටහන්ව ඇති සිතියමට අනුව විමර්ශන කණ්ඩායම් වල විශේෂ අවධානයක් යොමුවන්නේ එදා පැයකට වැඩි කාලයක් මෝටර් රථය නතරකර තිබුණු ස්ථානයක් ගැනය.

ප්‍රහාරයට එන්නේ එතැන සිට බවද බැලූ බැල්මට විමර්ශකයන්ට පෙනී ගියේය. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කිරීමේදී විමර්ශකයන්ට පෙනී යන්නේ එතැන ඇත්තේ මැනිං වෙ‍ෙළඳ පොළේ ආරක්ෂක කළමනාකරුගේ නිවස බවය. ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින කපිතාන්වරයෙකි. දැන් එම කපිතාන්වරයා සිටින්නේ විමර්ශකයන්ගේ භාරයේය. ඊට අමතරව තවත් කිහිප දෙනෙක්ම මේ වනවිටත් විමර්ශකයන්ට කොටුවී හමාරය. ඒ අඹ ශානා මරා දැමීමට පහසුකම් සැපයීමේ චෝදනාවන්ට ලක්වය.

විමර්ශකයන් විශ්වාස කරනුයේ වැඩිකල් නොගොස් වෙඩික්කරුවද කොටුවනු ඇති බවය. එවිට මෙම ඝාතනයේ තවත් බොහෝ සැඟවුණු තොරතුරු හෙළිවනු ඇත.

ඊට පෙර එම වෙඩික්කරුවා ඇතුළු මහ මොළකරුවන් කිහිප දෙනා රටින් පැන්නොත් හෝ වෙනත් උප්පරවැට්ටියක් යොදා අධිකරණයකට භාරවීමක් සිදුවුවහොත් අඹ ශානාගේ ඝාතනය හා බැදුණු රහස් රැසක් සැඟවී යනු ඇත.

 

ඡායාරූප - රාගම සමූහ කුසුම් හැන්නදි

 

Comments