පව­තින ගැටලු ගැන ප්‍රශ්න 5ක් | සිළුමිණ

පව­තින ගැටලු ගැන ප්‍රශ්න 5ක්

1 වෙළෙපොළේ මිල පාලනයකින් තොරව සහල් අලෙවි කිරීමේ ප්‍රශ්නයට වඩා අද තියෙන්නේ බරපතළ සහල් මාෆියාවක් ධන කුවේර සමාගම් කිහිපයක් ඒකාධිකාරය පවත්වාගෙන යනවා. තිරසාර විසඳුමක් ආණ්ඩුවට දෙන්න පුළුවන් කියලා අපි හිතන්නේ නෑ. සහනදායි මිලකට සාමාන්‍ය පාරිභෝගික ජනතාවට ලැබෙන්නයි අනෙක් පැත්තෙන් ගොවි ජනතාවට වී වලට හා ශ්‍රමයට ගැළපෙන මුදලක් නිර්මාණය කරගන්න නම් මූලික පදනමේම වෙනසක් කරගන්න අවශ්‍යයි. මේ සහල් ඒකාධිකාරයෙන් රටේ සහල් නිෂ්පාදනය මුදාගෙන ජනතාව ඒකරාශී වන ගොවිජන කවුන්සලයකට මෙය පැවරිය යුතුයි. එසේවුවහොත් වී මිල දී ගැනීම සම්බන්ධ තීරණ ගැනීමට ඔවුන් සහභාගී වෙනවා.ගොවි ජනතාව සහභාගී වෙනවා. සාමාන්‍ය ජනතාවට සහල් සහනදායි මිලකට ලබාදෙන්න හැකියාව ලැබෙනවා වගේම අනෙක් පැත්තෙන් ගොවි ජනතාවට හොඳ මිලකුත් හම්බවෙනවා. ජනතාව ට සහනදායි මිලකට සහල් ලබාගන්නත් පුළුවන්. සුළු මුදලක් ගෙවලා මේ අය වී මිලදී ගන්නේ සහල් මාෆියාවක් මේ තියෙන්නේ. ඒගොල්ලෝ හාල් හිඟයක් නිර්මාණය කරලා මිල වැඩි කරනවා. මේ යාන්ත්‍රණය බිඳින්න නම් අවශ්‍යයි. සහල් මිල පාලනය සඳහා පාරිභෝගික ජනතාව සම්බන්ධ වෙන ව්‍යුහයන් ඇති කළ යුතුයි. සමහර හාල් මෝල් හිමියන්ට දවසකට ලක්ෂ සියයයි ආදායම.

 

2 ඉන්ධන ප්‍රශ්නයත් නිර්මාණය කරපු ප්‍රශ්නයක්. පවත්නා පාලනය ඊට කලින් පැවති පාලන අධිකාරීන් මේ සියල්ල විසින් තමයි මේ තරම් ණය අර්බුදයකට ඇදලා දාලා තියෙන්නේ. රටේ ජාතික නිෂ්පාදනය, ජාතික අපනයන අාදායමට වඩා ආනයන අාදායම වැඩිවෙලා. අපි ඩොලර් ප්‍රශ්නයකට මුහුණදීලා තියෙන්නේ. ආණ්ඩු අනුගමනය කරපු විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ තියෙන පරිභෝජන උන්මාදයකට සමාජය ඇදවැටිලා තියෙන්නේ. මේ රටේ දේශපාලනය හසුරවපු දේශපාලන අධිකාරීය ජාතිවාදය පාවිච්ච් කරලා සමාජයේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න පරිභෝජන උන්මාදයකට සමාජය ඇදල දැම්මා. අනවශ්‍ය තරමේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් පවා උන්මාදයක් ඇතිවුණා. මේ ආණ්ඩුවලට මෙය විසඳන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉන්ධන අවශ්‍යතාව සීමා කරගන්න නම්; පොදු ප්‍රවාහනය ශක්තිමත් කළ යුතුයි. දුම්රිය ධාවනය වැඩිකරන්න අවශ්‍යයි; බස් රථ ධාවනය වැඩි කරන්න ඕන. පුද්ගලික බස් රථ ධාවනය වැඩි කරන්න ආණ්ඩුවෙන් බස් හිමියන්ගෙන් අයකර ගන්නා බදුවලින් පුද්ගලික බස් රථ ධාවනය සඳහා යම්කිසි සහනාධාරයක් ලබා දෙන්න අවශ්‍යයි. මේ මඟින් පුද්ගලික ප්‍රවාහනය මීට වඩා කිහිප ගුණයකින් ශක්තිමත් කරන්න පුළුවන්. මේ පුද්ගලික ප්‍රවාහන අවශ්‍යතාවය අඩුකරන්න පුළුවන්. පාසල් දරුවන්ට සහනදායි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්න අවශ්‍යයි වගේම අනෙකුත් රජයේ සේවකයන්ට සහනධාර ලබාදෙන්න පුළුවන්. එවැනි ක්‍රමවේදයක් හරහා මේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න සහ ඒ ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඉන්ධන බෙදාහැරීමත් පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව ලබාදීමට රජය මැදිහත් වෙන්න ඕන.

 

3අපි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආර්ථිකයට විසඳුමක් කියන ස්ථාවරයේ අපි නෑ. ඒ නිසා ඒකට හේතු ගොඩක් තියෙනවා. ලංකාවේ ඉතිහාසය, අත්දැකීම් ගත්තත් ග්‍රීසිය ආර්ජන්ටිනාව ගත්තත් අපි දන්නවා IMF එක රටේ ජනතාවගේ සාමාන්‍ය පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සීමා කරමින් ලාභය පදනම් කරගත්ත ව්‍යාපාර දිරිගන්වමින් යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව. ඒ නිසා IMF එක විසඳුමක් හැටියට අපි පිළිගන්නේ නෑ.

අද වනවිට මේ සමාජය තුළ මතුවෙලා තියෙන අර්බුදය නිර්මාණය කළ එක කණ්ඩායමකට හෝ පාලනයකට IMF එක ඇරෙන්න විසඳුමක් නැහැ. ඔවුන් විසින් විසදුමක්‌ නැහැ කියන විශ්වාසයකට සමාජය අද ඇඳලා දාලා තියෙනවා. පසුගිය දවස්වල IMF එක ඉදිරිපත් කරපු යෝජනා මාලාවේ කරුණු 39 ක්‌ තිබුණා. ඒ අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය,ප්‍රවාහනය ඇතුළු අනෙකුත් සමාජයේ සේවාවන් පවත්වාගෙන යන්නේ කොහොමද යන ගැටලුව එනවා. විශේෂයෙන් කෘෂිකර්මාන්තය වැනි කරුණු හරහා අපිට පේනවා; අපි මේ ආපු ගමනේම තවත් ඛේදජනක අවසානයකට යෑමක් තියෙන්නේ. මේ හදිසියේ ඩොලර් ටිකක් ලබා ගැනීම කියන කාරණය පමණයි මේ අයට තියෙන්නේ. රටේ ආර්ථිකය බරපතළ ගැඹුරු අර්බුදයකට යාමක් අපිට පේනවා. IMF එක විසඳුමක් නොවෙයි කියලා අපි කියන්නේ ඒ නිසයි.

ඕනෑම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයක් සමඟ ගනුදෙනු කරන කොට ඒ රටේ විශේෂයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය පුද්ගලීකරණය නොකිරීම, පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, දරිද්‍රත්වයෙන් පෙළෙන සුබසාධනය වර්ධනය කිරීම, ධන කුවෙරයන්ගෙන් බදු අයකරන බදු ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් කණපිට හරවන ප්‍රතිපත්තිය වැනි පදනම් මත ඉදගෙනයි ඕනැම මුල්‍ය ආයතනයන් සමඟ සාකච්ඡා කළ යුත්තේ. IMF කොන්දේසි මත සම්පුර්ණයෙන් රටේ ආර්ථිකය මේ ආපු ගමන් මාර්ගයම තවත් දිඟුවක් දෙසට ගම්න් කරනවා නම් රටේ ආර්ථික අවපාතයෙන් කිසිදාක ගොඩඒමට විදිහක් නැහැ

 

4 පසුගිය කොරෝනා වසර දෙකක කාලය තිස්සෙම රටේ පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය අනෙකුත් පාඨමාලා හදාරන දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ අර්බුදයකට ගියා. මේ ආණ්ඩුවට ඒකට පැහැදිලි විසඳුමක් තිබුණේ නැහැ. ඒක විසින් අධ්‍යාපනය අසාර්ථක වුණා පමණක් නෙවෙයි වෙනත් සංස්කෘතික හා සමාජීය ගැටලු විශාල ප්‍රමාණයකට සමාජය ඇදල දැම්මා. වසර ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාල වහලා තියෙන්නේ දේශපාලන අවශ්‍යතාවක් පදනම් කරගෙනයි. ඔවුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ නැහැ. ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විද්වතුන් සියලුදෙනාම පවා පිළිඅරන් තියනවා. වහාම විශ්වවිද්‍යාල විවෘත කරන්න අවශ්‍යයි. වහාම දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා ප්‍රමුඛතාවයන් අධ්‍යාපනට ලබා දෙන්න අවශ්‍යයි. දරුවන්ට පාසල් ඒමට ප්‍රමුඛතාවය ලබා දෙන්න. ළඟම පාසල හොඳම පාසල කරන්න පුළුවන් තත්වයක් හදාගන්න පුළුවන් නම් හොඳයි. ඒක මේ ආණ්ඩුවලට කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අධ්‍යාපනය මොනම ආකාරයකටවත් පුද්ගලීකරණය නොකර ජනතාවගේ දරුවන්ගේ අයිතියක් බවට පත් කරන්න අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම දරුවකුගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාදෙන්න අවශ්‍යයි.

 

5අපේ පක්ෂයේ මතය ඉතාම පැහැදිලියි. අපේ යෝජනාව ජනතාවාදී ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. 21 වෙනි සංශෝධනය විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති සාකච්ඡාව සම්බන්ධයෙන් ගත් විට එය ප්‍රජාතන්ත්‍ර විරෝධී තනි පුද්ගලයෙකුට ඒකාධිපති බලයක් දීම සහ අනෙකුත් සියලුම සමාජීය ප්‍රශ්නවලට බරපතළ හේතුකාරකයක් වෙනවා. විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පදනම් කරගෙන 21 ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කරපු ජනතාවාදී ව්‍යවස්ථාවකට යා යුතුයි. මේ රටේ ජාතික ප්‍රශ්නය ජාතිවාදය, ජාතික පීඩනය සහ සුළුතරය වන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති තහවුරු කර මේ ජාතික ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසඳුම් අවශ්‍යයි. සම්පූර්ණයෙන් ධන කුවේරයන්ගේ මුදල්වලට ඡන්ද මංකොල්ලයේ යෙදෙන ක්‍රමය වෙනස් කළයුතුයි. ජනමත විචාරණයක් යම්කිසි ජනමතයක් වෙනස් වූ තත්වයකදී රාජ්‍ය පාලනය සිටීම වැනි තැන් සංශෝධනය විය යුතුයි. මෙවැනි තත්වයක් තුළ ජනතාවට තියෙන අයිතිය කුමක්ද කියලා ව්‍යවස්ථා ගතවිය යුතුයි. ජනතාවට එවැනි තත්ත්වයක් තුළ ජනමත විචාරණයක් කැඳවන්න පුළුවන් බලයක් මේ ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි. ජනමත විචාරණයෙන් සම්මත වූ ව්‍යවස්ථාව තමයි ඉස්සරහට රටේ නීතිය බවට පත්කරන්න ඕන. දේශපාලන බලයෙන් නොවෙයි තීන්දු තීරණ ගත යුත්තේ ඒ සඳහා නීත්‍යනුකූල ජනතාවාදී ව්‍යවස්ථාවක්‌ සකස් කළ යුතුයි.

 

 

1 වෙළෙඳපොළේ අවශ්‍ය ප්‍රමාණයට සහල් තොග නොතිබීම නිසා සහ පසුගිය කන්නයේ අස්වැන්න අඩුවීම හේතුකොටගෙන මිල පාලනය සඳහා ප්‍රයෝගිකව ගත හැකි ක්‍රියාමාර්ග අවමයි කියලා තමයි පේන්නේ. විශේෂයෙන්ම විවෘත ආර්ථිකයකට විවෘත වූ රටක මිල පාලනය කිරීම ප්‍රයෝගිකව අපහසු කාර්යයක්. ඒ අතරම රටේ පවතින අනෙකුත් භාණ්ඩ සහ සේවා විශේෂයෙන්ම ඉන්ධනවල මිල ඉහළ යෑමත් එක්ක පවතින උද්ධමනය හරහා ප්‍රමාණවත් පියවරක් අරන් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. නමුත් ඉතාමත් අසීරු කාර්යක් බවට පත්වූ දෙයක් බව අපි පිළිගන්න ඕනෙ.

 

2 අධ්‍යාපන, සෞඛ්‍ය ගැටලු සියල්ලම නිරාකරණය කරගන්න ලැබෙන්නේ අපිට විදේශ විනිමය සම්පත් සොයා ගත්තට පස්සේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශයෙන් අපිට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. එසේ නම් අපිට සුළු සහ මාධ්‍ය ප්‍රමාණයේ අපනයන කර්මාන්තකරුවන් දිරිගැන්වීම හරහා අපනයන වැඩි කිරීමෙන් විදේශ විනිමය උපයගන්න හැකියාව ලැබෙන්නේ. ඒ සඳහා අද ඇත්තටම බාධා වෙලා තියෙනවා. ඉන්ධන හිඟය නිසා ඔවුන්ගේ කර්මාන්ත පවත්වාගෙන යාමට ප්‍රයෝගික අපහසුතා මතුවෙලා තියනවා. රජයක් විදිහට ඉතාමත් උත්ස­ාහයෙන් කටයුතු කරනවා. මේ සතිය වනවිට පෙට්‍රල්, ඩීසල් සහ දැවිතෙල් කියන තුන් වර්ගය ලබාගන්න කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා සති කිහිපයක් යනකොට මේක යථාතත්වයට පත් කරගන්න. ඒ වගේම අවාසනාවකට වගේ රටේ සමාජයේ පවතින කැලඹීම නිසා අපිට විදේශ විනිමය උපයා ගන්න තිබුණු ප්‍රධාන මාර්ගයක් මේ වෙනකොට ඇහිරිලා තියෙනවා. මේ අවුරුද්දේ මුලදී දවසකට පන්දහසක් විතර සංචාරකයන් ආව එක දැන් හයසියයකට අටසියයකට දක්වා අඩුවෙලා තියෙනවා. ඒ නිසා එක පැත්තකින් සමාජ ක්‍රියාකාරීන් ඔවුන්ගේ උද්ඝෝෂණ පවත්වාගෙන යෑමෙන් දේශපාලන අරමුණු ඉලක්ක කරගන්න යෑම සිද්ධ වෙන අතරතුර ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර අතට පත්වෙමින් තිබෙනවා.

ඊලග කාරණය පසුගිය කාලයේදී මහ බැංකුවේ වැරදි තීරණ නිසා අපිට නීති විරෝධී (උන්ඩියල් ) ක්‍රමය යටතේ විදේශ විනිමය ගනුදෙනු සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට තවමත් විදේශ විනිමය රටට ගලා ඒම යථා තත්ත්වයට පත් කරගන්න බැරිවෙලා තියනවා. ඒවා නිවැරදි කරගැනීම සඳහා මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් යම් පියවර මේ වනවිට අරගෙන තියෙනවා.

 

3 අපි නිදහසින් පස්සේ 16 වතාවක් IMF එකට ගිහින් උපකාර අරගෙන තියෙනවා. නමුත් අපිට ඒ 16 වතාවක් සහය අරගෙනත් අපේ ආර්ථිකය ස්ථාවර කරගන්න බැරිවුණ බව ඔප්පුවෙලා තියෙන්නේ. ඉන්දියාව ගත්තත් 1991 අවුරුද්දේ විශාල ආර්ථික අවපාතයක් පැමිණි වෙලාවේ IMF එකේ සහය ගත්තට පස්සේ ඔවුන් ඉන් ඔබ්බට සහය පතන්නේ නැතුව තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගත්තා. අපි හඳුනාගන්න ඕනේ අපිට කොතනද වැරදුණේ කියලා. අපි නොයෙකුත් ජාත්‍යන්තර ආයතනවලින් ගත්ත ආධාර උපකාර මත වැඩි වශයෙන් පුළුල් කර තියෙන්නේ සේවා ආර්ථිකයයි. 60% දක්වා එය පුළුල් කර තියෙන්නේ. එයින් කර්මාන්ත ආර්ථිකය 32% ක්‌ දක්වා අඩුවෙලා තියෙනවා. කෘෂි ආර්ථිකය 8% දක්වා අඩුවෙලා තියෙනවා. ඕනෑම රටක සේවා ආර්ථිකය ප්‍රසාරණය වී තියෙන අවස්ථාවක ආර්ථිකයේ ඇති යම්කිසි සුළු කැලඹීමකදී පවා ජනතාවට ඉතා දැඩි ලෙස බලපෑම් කරනවා. අපි කෙටිකාලීන වශයෙන් ප්‍රමුඛතාව ලබාදීලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ හා ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරනවා වගේම කෘෂිකර්ම­ාන්තයත් කර්මාන්ත අංශයත් පුළුල් කරන්න අවශ්‍යයි. ඒ හරහා පමණයි අපිට අපේ අපනයන වැඩිකර ගන්න හැකියාව ලැබෙන්නේ. මේ වැනි හැලහැප්පීම් ඇතිවෙන වෙලාවල් වලදි ජන ජීවිතය අඩාළ නොවන ආකාරයට ආර්ථිකය පවත්වාගෙන යන්න ඒ තුළින් හැකියාව ලැබෙනවා.

 

4 දශක තුනක කාලයක් තිස්සෙ අයාලේ ගිය අවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. මේ ප්‍රශ්නෙට ආවමත් අද පාසල් පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙන්නේ ඒ නිසා. ලෝකේ හැම දියුණු රටකම පයින් ඇවිදගෙන යන දුරක තියෙන පාසලකට දරුවෝ යන්නේ. අපේ වැරදි මානසික ආකල්පයක් තියෙන්නේ. දෙමව්පියෝ පොරකාලා දරුවෝ යවන්නේ හැතැප්ම තිහ හතළිහ දුර ජනප්‍රිය පාසල්වලට. එක පැත්තකින් දරුවන් හෙම්බත් වෙලා අධ්‍යාපනය සෑහෙන්න ප්‍රමාණයකගේ අඩපණ වෙනවා. නමුත් දැන් ජපානය, පින්ලන්තය වගේ රටක ගත්තොත් ඕනෑම ළමයෙක් යන්නට ඕනේ තමන්ගේ නිවසේ ඉදලා පයින් ඇවිද ගෙන යා හැකි දුරක තිබෙන පාසලට.

දැන් අද කොළඹ නගරයට හැම ඉස්කොලේම පරීක්ෂණ පවත්වල පාසලට තියෙන උපරිම දුර ප්‍රමාණය බලලා කිලෝමීටරයක් දෙකක් වැඩිම වුනොත් දෙකක් තියෙන ළමයි තමයි පාසලට ඇතුළත් කරන්නේ. නමුත් අද කොළඹ නගරයට වාහන 7000 ට වැඩිය උදේට ඇතුළු වෙනවා ළමයින් ප්‍රවාහනය කරන්න. මේ රථවාහන ප්‍රශ්න, මාර්ග අවහිරතා, ඉන්ධන ප්‍රශ්න දේවල්වලට දායක වෙලා තියෙන්නේ. ඒක නිසා අපේ අධ්‍යාපන ක්‍රමය පූර්ණ ප්‍රතිසංස්කරණයකට යන්න ඕනේ. ආණ්ඩුවක් විදිහට වගකීමක් තියෙනවා ඒ ක්‍රමය සාර්ථක කරගන්න නම් සෑම පාසලකටම සමාන පහසුකම් ලබා දෙන්න. ගුරුවරු ගත්තත් අද ඒගොල්ලන්ගෙත් බරපතළ මානසික ආකල්පයක් තියෙන්නේ. අද ජනප්‍රිය පාසල්වලට මාරුවීම් ලබාගන්න ගුරුවරු පවා පොරකන තත්ත්වයක් තියෙනවා. ගෙවල් ළඟ පාසලේ උගන්වන ගුරුවරයෙක් නම් පෙට්‍රල් ඩීසල් නැහැ කියලා පාසලේ අධ්‍යාපනය නතර කරන්න අපිට හේතුවක් වෙන්නේ නැහැ . ඒ නිසා අද දරුවන්ට මහජන මුදල් වියදම් කරලා ඉගැන්නුවට ඒ දරුවෝ විශ්වවිද්‍යාලයේ උපාධියක් අරගෙන සමාජයට එනකොට සමාජය ඔවුන්ව පිළිගන්න ඔවුන්ව බාරගන්න කවුරුවත් නැහැ. සමාජයේ අද අවශ්‍යතාවට රැකියා වෙළෙඳපොළේ උගන්වන ක්‍රමවේදයක් පාඨමාලා ක්‍රමයක් තවමත් හරියට අපේ විශ්වවිද්‍යාලවල හඳුන්වල දීලා නැහැ.

 

5විසිවෙනි සංශෝධනයට විරුද්ධව ප්‍රබල වශයෙන් කටයුතු කරපු කෙනෙක් මම. මට මුල සිටම තිබුණු අධිෂ්ඨානය ලොකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට යනකම්වත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආකෘතියට මේ ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕන කියන කාරණාව. ඒ තත්ත්වයට රට ගෙනෙනකම් අපි දන්නවා මේ ආර්ථිකය තුළ වන ප්‍රශ්නය කවදාකවත් විසඳන්න බැහැ කියලා. ඒ අනුව මමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලලා කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරයෙක් ව සිටියත් මම ඉන්පසුව අවුරුද්දයි මාස දෙකක කාලයක් ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේ 20 වෙනි සංශෝධනය හරහා නිර්මාණය කරපු අර්බුදයට දායකත්වයක් ලබාදෙන්න මම අකමැති වූ නිසා. ජනාධිපති අගමැති සියලුදෙනා සිදුවූ වරද තේරුම් ගත් නිසා වෙන්නට ඕනෙ ඒ වූ වරද නිවැරදි කරගැනීමේ වගකීම මට බාරදීලා තියෙන්නේ. 21 වන සංශෝධනයේ සඳහා ද්විත්ව පුරවැසිභාවය යනාදී කරුණු කිහිපයක් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතා කුඩා කොටසක් මේකට වැඩි කැමැත්තක් දැක්වුවේ නැතත් මේ වෙනකොට මහජන මතය පිළිබඳව ඔවුන්ට තිබෙන අවබෝධයත් සමඟ අපිට විශ්වාසයක් තියෙනවා ඒ කිසිවකු මීට එරෙහිව කටයුතු නොකරයි කියලා.

 

 

1 ජනතාවට අද ඇති වෙලා තියෙන තත්ත්වය ගැන සැලකීමේදී මිලපාලනය කියන දේ ගැන අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයයි. එයට හේතුව සහල් සැපැයිමේ ප්‍රශ්නයක් තියෙනවා. හාල් විතරක් නොවෙයි සියලු ක්ෂේත්‍රවලට මේක බලපානවා. හාල් ගත්විට සැපයීමේ ප්‍රශ්නයක් තියෙන්නේ අස්වැන්න අඩුවෙලා නිසා. එහිදී සැපැයීම අඩුවෙලා තියෙනවා. එතකොට මිල ඉහළ යනවා. ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. ආහාර ආරක්ෂාව ගැන ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඕන රටක ආරක්ෂිත වැඩපිළිවෙළක් තියෙනවා. මේ ආණ්ඩුව එයට ඉඩදීලා නැහැ. ආහාර ආරක්ෂිත වැඩපිළිවෙළක ප්‍රධාන කරුණ විය යුත්තේ අත්‍යවශ්‍ය ආහාර සැපයිම පිළිබඳ සැලකිලිමත් වීමයි. ඒ අනුව සැලැසුම් සකස් කළ යුතුයි. විශේෂයෙන් කිසිම විද්‍යාත්මක පදනමක් නැතිව රසායනික පොහොර නතර කිරීමේදී අස්වැන්න කඩා වැටීමක් වුණා. පසුගිය යල මහ කන්නවලට මෙය බලපෑවා. ලබන මහ කන්නයටත් මේ තත්ත්වය බලපාන්න පුළුවන්. හාල්වල අස්වැන්න සියයට පනහකින් අඩුවෙලා තියෙනවා. මිල පාලනයට කලින් අවශ්‍ය හාල් තියෙනවද කියලා බලන්න අවශ්‍යයි. දැන් හාල් පිටරටින් ගෙනල්ලා මිල පාලනය කරන්න හදනවා. හරි ප්‍රතිපත්තියක් කළමනාකාරීත්වයක් ඇතිව වැඩ කරන්න අවශ්‍යයි. මේ ආණ්ඩුවට කිසි සැලසුමක් නැහැ.

 

2 ඩොලර් නැහැ කියන්නේ විශාල ගැටලුවක්. හැම ක්ෂේත්‍රයකටම එය බලපානවා. ඩොලර් නැති නිසා ඉන්ධන ආනයනය කරන්නත් විදිහක් නැහැ. ඒ නිසා මේවා ඍජුවම සියලු ක්ෂේත්‍රවලට බලපානවා. අධ්‍යෘපනය සෞඛ්‍ය කර්මාන්ත සියලු ක්ෂේත්‍රවලට මෙය බලපානවා. විශේෂයෙන් ගුරුවරු කියන්නේ අනෙක් රාජ්‍ය සේවකයෝ වගේ නොවෙයි. අධ්‍යපනය පොතට පතට සිමාවූවක් නොවෙයි. ඒවගේම ඔන්ලයින්වලට විතරක් සීමා වූ දේවල් නොවෙයි. සමහර අය හිතනවා යන්න එන්න බැරි නම් ඔන්ලයින් කමක් නැහැ කියලා; මේ නාස්ති වෙන්නේ දරුවන්ගේ අනාගතය. අන්තර්ජාලය ප්‍රයෝජනවත් නමුත් ඒවාට සීමා තියනවා. කණ්ඩායමක් ඉන්න කොට ප්‍රායෝගිකව කරන අධ්‍යෘපනයයි සාර්ථක වෙන්නේ. අධ්‍යාපනය කියන්නේ පුළුල් මාතෘකාවක්. ඉන්ධන නැහැ කියලා දරුවන්ට කරන විනාශය අතිමහත් කියලා අනාගතයේදී තේරුම් යයි. අනෙක් කාරණාව සෞඛ්‍ය ය. අපි අසනීප වුණොත් බෙහෙත් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන් පෝලිම්වල ඒවාට සැලසුම් නැහැ. ඉන්ධන නිසා මිනිසුන්ගේ ජිවිත නාස්ති වෙලා යන්නෙ. රටේ අනාගතයම මේ ඉන්ධන පහසුකම් නැති නිසා විනාශ වෙලා යන තත්ත්වයකට පත්වෙලා. හදිසියක රෝහලකට යන්න බැහැ; රෝහලේ යන්ත්‍ර සූත්‍ර දුවවන්න ඉන්ධන බලපානවා. මේ ඉන්ධන අඩුපාඩුව නිසා ආර්ථිකය සහ මානව සම්පතට වන විනාශ වෙන්නේ.

 

3 මේ IMF එකට ගියා කියලා ඔක්කෝම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ IMF වලත් මුල් අදියරේ පමණයි තාම ඉන්නේ. විනිවිද භාවයක් තිබිය යුතුයි. වසර තුනක කාලයක් තුළදී යම් මුදලක් ලැබෙනවා; ඒ මුදල නොවෙයි වැදගත්කම මේ IMF සමඟ ගිවිසුමක් තියෙනවා; කිව්ව ගමන්ම එය ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලට ධනාත්මකයි. රට තුළ මුල්‍ය විනයක් තියෙනවා කියලා අනික් රටවල්වලට සහතිකයක් වගේ වෙනවා. මුල්‍ය විනයක් ඇති කරන්න යම් කිසි ප්‍රතිසංස්කරණවලට එකඟ විය යුතු වෙනවා. සාකච්ඡාවලින් අනතුරුව ආදායම් වැඩි කරන්න, වියදම අඩු කරන්න අය වැය පරතරය අඩු කරලා කටයුතු කරනවා. අපේ රටේ මුල්‍ය විනය නැති නිසා දුෂණය ඇතිවෙලා තියෙනවා. එවැනි සංශෝධන කළවිට වෙළෙඳපොළ තුළ රට තුළ ඉන්න සහ විදෙස් ආයෝජකයන් අතර විශ්වාසයක් ඇතිවෙනවා. මේ IMF සාකච්ඡාවලදි මේවැනි දේවල්ද සාකච්ඡා විය යුතුයි. මේ අය සමඟ මුලිකව ගිවිසුම්වලට එළැඹීම පළමු අදියරේ හුඟාක් තියෙනවා කරන්න.

 

4 දීර්ඝකාලීනව බැලුවහොත් ගුණාත්මක ආකල්පයන් මත අධ්‍යෘපනයක් ලබාදීම සිදුවිය යුතුයි. දරුවන්ගේ අධ්‍යපනය කියන්නේ රටේ අනාගතය. පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. අධ්‍යාපනය පොතට පතට සිමාවූවක් සහ ඔන්ලයින් වලට විතරක් සීමා වූ දේවල් නොවෙයි. සමහර අය හිතනවා යන්න එන්න බැරි නම් ඔන්ලයින් වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. මේ නාස්ති වෙන්නේ දරුවන්ගේ අනාගතය. අන්තර්ජාලය ප්‍රයෝජනවත්. ඒවාට සීමා තියනවා. කණ්ඩායමක් එක්ක ප්‍රායෝගිකව කරන අධ්‍යපනයයි සාර්ථක වෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ හිඟතාවයන් හුඟාක් තියෙනවා. ඒවා අපි අවම කරගන්න අවශ්‍යයි.

අපේ අධ්‍යෘපනයේ විශාලම සැපයුම්කරුවා රජයයි. මේ අධ්‍යාපනය අපි විවෘත කරන්න අවශ්‍යයි. රජය හෝ පුද්ගලික අංශය වුවත් මැදහත්කරුවන් විය යුතුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ රාජ්‍ය නොවන ලාබ නොලබන අධ්‍යාපන ආයතන වෙනත් රටවල තියෙනවා; ලෝකයේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාල ඒ රටවල රාජ්‍යයට අයිති නැති වුණත් පුද්ගලික කොටස් කරුවන්ට ලාබ බෙදන්නෙත් නැහැ. අධ්‍යාපනය දීමේදී හොඳම ගුරුවරු මහාචාර්යවරුන් යටතේයි එම ආයතනය පවත්වා ගෙන යන්නේ. ඒ අය දරුවන්ගෙන් අය කිරීමෙන් ලාබයක් ඉතුරු වුවහොත් එය යොදවන්නේ ආයතනයේ දියුණුවට පමණයි. ඒ නිසා අපි අපේ අධ්‍යාපනයට නැවත කියැවීමක් කළ යුතුයි; අනෙක් රටවල හුඟක් ඉදිරියටම ගිහිල්ලා තියෙන්නේ. අපේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවයේ අඩුපාඩුව කෙසේද සකස් කරගත යුතු වන්නේ කියලා අපි සිතිය යුතුයි.

 

5 ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කැබිනට් මණ්ඩලය මොකක්ද මේ කරලා තියෙන්නේ විහිළුව. ඒ අය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරන සංශෝධනයක්. මේ අය කලින් කිව්වේ 19 සංශෝධනය ගේනවා කියලා. මේ අය අද මොනවද කරලා තියෙන්නේ. මේ අවුරුදු 5 ම බලයේ ඉන්නයි මේ දේවල් කරන්නේ. ජනතාව ඉල්ලන්නේ මේ දේවල් නොවෙයි. මෙය බලය තහවුරු වන ව්‍යවස්ථා සංශෝධනයක්. මම හිතන්නේ නැහැ 21 වැනි සං‍ශෝධනය සාර්ථක වෙයි කියලා.

 

 

Comments