නම­ගිය පාස­ල්ව­ලට හොර පාරෙන් සිසුන් දැමූ හැටි | සිළුමිණ

නම­ගිය පාස­ල්ව­ලට හොර පාරෙන් සිසුන් දැමූ හැටි

නප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දිනපතා ලැබෙන්නේ විශාල ඉල්ලීම් ප්‍රමාණයකි. එහිදී පාසල්වල පවත්නා පුරප්පාඩු සහ චක්‍රලේඛ උපදෙස් සැලකිල්ලට ගනිමින්, පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදුවිය යුතු වුවද පසුගිය කාලයේ එය එසේ සිදුවූයේ නැත. මේ වන විට චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පසුගිය කාලයේ සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇත.

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම කවදත් ගැටලුකාරී, මතබේදාත්මක කරුණකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිට පතා බහුතරයක් පැමිණෙන්නේ සිසුන් ඇතුළත් කිරීමටය. ඉතිරිය ගුරු මාරුවීම්ය. මේ කරුණු දෙක හැරුණු විට වෙනත් හේතුන් සඳහා පැමිණෙන්නෝ සුළුතරයකි.

එහෙත් ඒ ඉල්ලීම් වලට කන්දීමට නිසි ප්‍රත්පත්තියක් තිබුණද, ඒවා සහමුලින්ම උල්ලංඝනය කරමින් වැඩිම ඉල්ලුමක් ඇති ජාතික පාසල් කිහිපයකට අයථා ලෙස සිසුන් ඇතුළත් කිරීමට හිටපු අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට මේ චෝදනා එල්ල වී ඇත. පසුගිය කාලයේ අධ්‍යාපන ලේකම් වූ කපිල සි. පෙරේරාගේ අත්සනින් මේ ලිපි නිකුත් කිරීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න පළාත්වල ජනප්‍රිය ජාතික පාසල් 35 ක විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර නැවත දැනුම්දෙන තුරු ඒවාට සිසුන් ඇතුළත් කිරීම නැවැත්වීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් නියෝග කර ඇත.

නිල නොවන වාර්තා අන්දමට කොළඹ- රාජකීය විදුහල, විශාකා විදුහල, දේවි බාලිකා විදුහල, ආනන්ද විදුහල, නාලන්ද විදුහල, ඩි එස් සේනානායක විදුහල, ඉසිපතන විදුහල, මහානාම විදුහල, තර්ස්ටන් විදුහල , මහනුවර - මහමායා විදුහල, කිංස්වුඩ් විදුහල, ධර්මරාජ විදුහල, උසස් බාලිකා විදුහල, ගාල්ල - රිච්මන්ඩ් විදුහල, මහින්ද විදුහල, සංඝමිත්තා විදුහල, සවුත්ලන්ඩ් විදුහල, මාතර- රාහුල විදුහල, ශාන්ත තෝමස් විදුහල, රත්නපුර- ෆර්ගසින් විදුහල, සුමන බාලිකා විදුහල, සීවලි විදුහල, බදුල්ල- බදුල්ල මහ විදුහල, බණ්ඩාරවෙළ මධ්‍ය මහා විදුහල, කුරුණෑගල- මලියදේව පිරිමි විදුහල, මලියදේව බාලිකා විදුහල, කුලියාපිටිය - කුලියාපිටිය මධ්‍ය මහා විදුහල, අනුරාධපුරය- අනුරාධපුර මධ්‍ය මහා විදුහල, ස්වර්ණපාලි විදුහල, පොලොන්නරුව- රාජකීය විදුහල, වීරකැටිය මධ්‍ය මහා විදුහල, ගම්පහ-රත්නාවිලි බාලිකා විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, වේයන්ගොඩ බන්ඩාරනායක විදුහල, කළුතර - කළුතර මහ විදුහල, කළුතර බාලිකා විදුහල, සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ඒ අතර වන බව වාර්තා වෙයි.

SCFR32/2011 හා SCFR35/2015යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පංතියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව 35 ක් තීරණය වූයේ 2015 දී ය. ඒ 2007 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු අංක 289/2007 සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුව ප්‍රකාරවය.

නඩු තීන්දුවට අනුව එම ප්‍රමාණය එකවර අඩු කිරීමක් නොකර 2016 සිට 2021 වසර දක්වා පියවර 5 ක් යටතේ වර්ෂයකට එක් සිසුවකු බැගින් අඩු කිරීමට තීරණය කළේ එවකට සිටි අධ්‍යාපන ඇමැතිවරයකු වූ අකිල විරාජ් කාරියවසම්ය. කෙසේ වෙතත් අධ්‍යාපන ඇමැති ජී.එල් පීරිස් වකවානුවේ කපිල සී. පෙරේරා හිටපු ලේකම්වරයා විසින් ජාතික පාසල් ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් යැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මේ තීන්දුව වෙනසකට ලක්කරමින් මේ 35 සීමාව කැබිනට් අනුමැතිය හරහා 40 දක්වා වෙනසකට ලක් කළේය. මේ හේතුවෙන් ලංකා ගුරු සංගමය විසින් අභියාචනාධිකරණයට අභියාචනයක් ද ගොනු කර තිබුණි. කෙසේ වෙතත් මේ වන විට පළමු ශ්‍රේණියේ සිට 5 දක්වා සිසුන් 40 ක උපරිමයකටත්, 6 සිට සිසුන් 45 උපරිමයක සීමාවටත් යටත්ව පංති පවත්වා ගෙන යායුතු විය.

වමේ සිට, සමස්ත ලංකා එක්සත් ගුරු සංග­මයේ සභා­පති යල්­වෙල පඤ්ඤා­සේ­කර හිමි, අධ්‍යා­පන ඇමැති සුසිල් ප්‍රේම­ජ­යන්ත, වත්මන් අධ්‍යා­පන ලේකම් නිහාල් රණ­සිංහ, හිටපු අධ්‍යා­පන ලේකම් මහා­චාර්ය කපිල සි. පෙරේරා, ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලිය­න­ග­මගේ, කොළඹ ආනන්ද විදු­හලේ විදු­හ­ල්පති ලාල් දිසා­නා­යක, කුරු­ණෑ­ගල මලි­ය­දේව පිරිමි විදු­හලේ විදු­හ­ල්පති රංජිත් ජය­සු­න්දර, මහ­නු­වර ධර්ම­රාජ විදු­හලේ විදු­හ­ල්පති කමල් ආරි­ය­සිංහ, ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං

එහෙත් පසුගිය කාලයේ මේ බලධාරීහු සිසුන් ඒ ජාතික පාසල්වලට අයථා ක්‍රමවලින් ඇතුළත් කර ඇත්තේ කිසිදු වග විභාගයකින් තොරවය.

පාසල් ප්‍රධානීන්ට කිසිවක් කර කියාගත නොහැකි පරිදි අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් පන්තියේ උපරීම සීමාව ඉක්මවා යමින් ලියුම් නිකුත් වී ඇති බව වාර්තා වෙයි.

මහනුවර ධර්මරාජ විදුහලට පසුගිය වසර තුළ එවැනි චක්‍ර ‍ෙල්ඛ උල්ලංඝනය කරමින් සිසුන් ඇතුළත් කිරීම් 125 ක් සිදු වී ඇත.

“මෙවර අපේ පාසලේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ 178. නමුත් මේ වන විට ශිෂ්‍යත්ව ලකුණු 100 ට අඩු කිසිදු පදනමකින් තොර දරුවන් පවා ඇතුළත් කරන්නට සිදුවුණා. ගිය වසර තුළ එවැනි ඇතුළත් කිරිම් 125 ක් සිදුවුණා. මේ නිසා අපේ පාසලේ ශිෂ්‍යත්ව කෝටාව අඩුවුණා. පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරන්නේ දීර්ඝ සම්මුඛ පරික්ෂණයකිනුයි. නමුත් දෙවැනි පන්තියේ සිට මේවාගේ අයථා ඇතුළත් කිරිම් සිදු වෙනවා නම් එසේ මහන්සි වීමෙන් කිසිදු ඵලක් නැහැ. රේඛීය අමාත්‍යාංශයේ විශාල වැටුපක් ගනිමින් අධ්‍යාපන ලේකම් සිටින්නේ සිසුන් ඇතුළත් කිරීම වැනි ඉතා සුළු රාජකාරියක් වෙනුවෙන්ද? සිසුන් ඇතුළත් කිරීමේ රාජකාරිය විදුහල්පතිවරයකු සතු රාජකාරි වලින් කොටසක් පමණයි. පාසලේ පුරප්පාඩු, බඳවා ගැනීම් සිදුකළ යුතු ආකාරය දන්නේ විදුහල්පතිවරුන්. මේ සියලු ලිපි ආවේ අධ්‍යාපන ලේකම්ගේ අත්සනින්. සියල්ලම සිදුවී ඇත්තේ ජාලයක් හරහා. අයථා ගනුදෙනු පවා සිදුවී ඇති බව වාර්තා වෙනවා....“ ඒ මහනුවර ධර්මරාජ විදුහලේ විදුහල්පති කමල් ආරියසිංහය. ඔහු පවසන්නේ සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු විදුහල්පතිවරුන් හරහා සිදුවී, ඒය අධික්ෂණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුකිරිම යෝග්‍ය බවයි.

“ අපේ පන්ති කිහිපයක සිසුන් 60 සීමාව දක්වා ඉන්නවා. අනිකුත් පංතිවල 50 සීමාව දක්වා ඉන්නවා. විදුහල්පතිවරයකු වශයෙන් මෙසේ සිසුන් ඇතුළත් කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එසේ සිසුන් අවිධිමත් ආකාරයෙන් ඇතුළත් කිරීම වැරදියි. නමුත් මේ වනතෙක් පාසලට සියලු සිසුන් එකවර පැමිණියේ නැති නිසා ප්‍රායෝගිකව ගැටලු මතුවුණේ නැහැ. නමුත් ඉදිරියේදි රට සාමාන්‍ය තත්ත්වයට පත්වීම හරහා පන්ති කාමරයේ ගැටලුවට මුහුණ දීමට සිදුවෙනවා. .“ ඒ පාසල් 35 අතරට එක්වූ කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ලාල් දිසානායකය.

කොළඹ පමණක් වැඩිම ඉල්ලුමක් ඇති පාසල්වල මේ වන විට පන්තියක සිටිය යුතු උපරීම සිසුන් සංඛ්‍යාව අහස උසට නැඟ ඇත්තේය.

“ මෙම පාසල ජනප්‍රිය ජාතික පාසලක් නිසා සිසුන් ඇතුළත් කිරීමට විශාල ඉල්ලුමක් පවතිනවා. නමුත් අපි පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව කිසිසේත් 50 සීමාව ඉක්මවා යන්නේ නැහැ. පසුගිය කාලයේ එවැනි ආකාරයේ සිසුන් ඇතුළත් කිරීමට මේ පාසලටත් විශාල වශයෙන් ඉල්ලීම් ගණනාවක් ලැබුණා. නමුත් මම ඒ ඉල්ලීම්වලට සිසුන් ගැනීමට හැකි සෑම අවස්ථාවකදීම කාරුණිකව පහදා දී ප්‍රතික්ෂේප කළා. .....“ ඒ කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ විදුහල්පති රංජිත් ජයසුන්දරය.

හිටපු අධ්‍යාපන ලේකම්වරයා තනතුරින් ඉවත් වුවද, පසුගිය දිනවලට බලපැවැත්වෙන පරිදි දින වකවානු වෙනස් කරමින් අවසන් මොහොතේද සිසුන් ඇතුළත් කළ බවට චෝදනා එල්ල වී ඇත.

“ පසුගිය මාසේ ඇමැතිවරු ඉල්ලා අස්වීමට ආසන්න මොහොතේත් පරණ දින යොදා සිසුන් ඇතුළත් කරලා. දිගින් දිගටම එය සිදුවෙලා. ආසන්න කාලයේත් කොළඹ රාජකීය විදුහලට සිසුන් 5 ක් ඇතුළත් කරලා. ඒ වගේම හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තමන්ගේ ගෙවල් ගිනි තැබූ නිසා අනුයුක්ත පදනමින් කොළඹ විශාකා විදුහලට දරුවෝ ඇතුළත් කරලා. ඒ පසුගියදා නිකුත් කළ ඉන්ධන අර්බුදය හේතුවෙන් ළඟම පාසලට සිසුන් අනුයුක්ත කිරීමේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින්.....“ ඒ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ය.

“ පසුගිය කාලයේ සිසුන් ඇතුළත් කිරීම ක්‍රම කිහිපයකට සිදු කර තියෙනවා. කූට ලේඛණ ඉදිරිපත් කර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම, අතරමැදි පන්තිවල 40 සීමාව ඉක්මවා වහාම ඇතුළත් කර ගන්නා ලෙස ලිපි නිකුත් කිරීම් මෙන්ම උසස් පෙළ පන්ති සඳහා නිශ්චිත ක්‍රියාමාර්ගයෙන් බැහැරව ඇතුළත් කිරීම් සිදු කරලා...“ ඒ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන්ය.

10,155 ක් වන රජයේ පාසල්වලින් 373 ක් ජාතික පාසල්ය. 9,782 ක් පළාත් පාසල්ය.

“ පසුගිය කාලයේ අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් ඉවක් බවක් නැතිව සිසුන් ඇතුළත් කිරීම නිසා ආනන්දයේ පමණක් 9 ශ්‍රේණියේ එක් පංතියක සිසුන් 62 ක් ඉන්නවා. අනිකුත් ඒවායේ තත්ත්වයත් මේ ආකාරයමයි. මේ ඇතුළත් කිරීම් කිසිදු ආකාරයක පදනමක් නැහැ. අවිධිමත් ආකාරයෙන් මෙසේ සිසුන් ඇතුළත් කිරීම් 2000 කට අධික සංඛ්‍යාවක් සිදු කර තියෙනවා. මේ වන විට මේ සම්බන්ධයෙන් විශේෂ විගණන පරික්ෂණයක් සිදු කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා උපදෙස් දී තියෙනවා. විමර්ශන සිදුවෙන නිසා පාසල් 35 කට සිසුන් ඇතුළත් කිරීම් නවතා තියෙනවා. කොළඹ රාජකීය, විශාකා, ආනන්ද, නාලන්ද, දේවි,මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, මහාමායා විදුහල් මෙන්ම ගාල්ල සවුත්ලන්ඩ්, රිච්මන්ඩ්, මහින්ද විදුහල්, කුරුණෑගල මලියදේව මෙන්ම බණ්ඩාරනායක, රත්නපුර මෙන්ම මාතර ඇතුළු ප්‍රදේශවල ජනප්‍රිය පාසල් කිහිපයක් මීට ඇතුළත්.

මේ පාසල්වලට ඉවත් බවත් නැතුව සිසුන් ඇතුළත් කිරිමෙන් සාධාරණ ඉල්ලීම්වලටත් කිසිදු පුරප්පාඩුවක් නැහැ.“ ඒ ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේය.

හිටපු අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සි. පෙරේරාගේ කාලයේ සිදුවූයේ යැයි පවසන මේ අයථා ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් මේ වන විට විගණන දෙපාර්තමේන්තුව හරහා විධිමත් විමර්ශන ආරම්භ වී ඇති අතර, මේ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔහු සම්බන්ධ කර ගත්තද ඊට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

“මම දැන් එතැන නැහැ. ඔය කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවන නිසා මම කිසිවක් ඒ ගැන කියන්න නැහැ.....“ ඒ හිටපු අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා සිළුමිණට පැවැසූ දේය.

කෙසේ වෙතත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් මේ වන විට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් දැඩි තින්දු තීරණ රැසක් ගෙන ඇත. ඉදිරියේදී ජාතික පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පළාත් හා සම්බන්ධ වී සිදු කිරීමටත්, එහිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල ජාතික පාසල් එ්කකයක් නිර්මාණය කර අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙක් ඊට සම්බන්ධ කිරීමටත්ය. එසේම අධ්‍යාපන ලේකම්වරයා පැවැසූයේ සිදුවුණි යැයි පවසන මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර ඉන් අනතුරුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දෙන බවයි.

වත්මන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ සිළුමිණට සඳහන් කළේ මේ වන විට විගණනකාධිපති දෙපාර්තමේන්තුව හරහා පුළුල් පරික්ෂණයක් සිදුවන බවත්, ඉදිරියේදි පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමට අන්තර් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා විදුහල්පතිවරුන් සම්බන්ධ කර ගනිමින් ක්‍රමවේදයක් සකසන බවත්ය.

 

Comments