තරගාවලි ජයකට සවිය ගෙනා තරුණ ජවය | සිළුමිණ

තරගාවලි ජයකට සවිය ගෙනා තරුණ ජවය

 මෙවර ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලට ලැබෙන මුදල ඩොලර් මිලියන 2.7ක් පමණ වේ.

මෙම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන මුළු මුදලම හදිසි අවශ්‍යතා  වෙනුවෙන් රජයට පරිත්‍යාග  කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය  කටයුතු යොදා තිබේ. එවන් පසුබිමක අවසන් තරගයේදී  ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කැපී පෙනෙන වර්ණය වූ කහ පාටින් සැරසී ක්‍රීඩාංගණයට පැමිණ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හා ඔස්ට්‍රේලියානුවන්ට තම

කෘතවේදීත්වය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීහු කටයුතු කරති.

 

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 3 - 1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීය. එය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. මුල් තරගය පැරදී සෙසු තරග තුනම ජයග්‍රහණය කිරීම ද පහසු කටයුත්තක් නොවේ. වරක් දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල පකිස්තානයේදී මුල් තරග 2 පැරදී සෙසු තරග තුනම දිනා ගත්තේ ද මෙපරිද්දෙනි.

 

දසුන් ශානකට තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් භාර දුන් අවස්ථාවේදී ඔහු එම අභියෝගය ජය ගනිමින් ශූරතාවත් දිනා ගත්තේය. එහෙත් ඉන් පසු වරින් වර එක් දින කණ්ඩායමේ ඉතිරිව සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කොට, වරින් වර තරුණ ක්‍රීඩකයන් තම කණ්ඩායමට එක් වද්දී දසුන්ට එකවර නිවැරදිම කණ්ඩායම තෝරා ගැනීම මඳක් උගහට විය. එනිසා තරගාවලි කිහිපයක් පරාජයට පත්වන්නට සිදුවිය.

ඇතැම් විට විස්සයි විස්සට සුදුසු ක්‍රීඩකයන් එක් දින කණ්ඩායමටත්, එක් දින කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයන් විස්සයි විස්සට යොදා ගනු ලැබීය. ක්‍රම ක්‍රමයෙන් කණ්ඩායමට ක්‍රීඩකයන් අලුතින් එක් වූයේ 'ඒ' කණ්ඩායමේ හෝ නැගී එන කණ්ඩායමේ අත්දැකීම් ලබා ගනිමිනි. කළ යුතුම වූ එම උපක්‍රමය නිවැරදිව සිදු කිරීමට තේරීම් කමිටුවට හැකි වීම නිසා මේ වන විට ටෙස්ට් පිල මෙන්ම එක් දින පිල ද අනාගතයට සරිලන පරිදි සැකසී තිබීම මෙම ඕස්ට්‍රේලියානු එක් දින තරගාවලියෙන් මෙන්ම බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ද ඔප්පු විය.

මෙම පරපුරේ අලුත්ම සාමාජිකයා 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේය. පසුගිය යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මෙහෙය වූ දුනිත් එදා සිට මේ දක්වා ප්‍රමුඛ පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය, අන්තර් පළාත් සුපිරි තරගාවලිය, නැඟී එන කණ්ඩායම හා 'ඒ කණ්ඩායම නියෝජනය කරමින් ලබා ගත් අත්දැකීම් සහිතව මාස කිහිපයකින් ශ්‍රී ලංකා එක් දින වරම් ලබා ගත්තේය. මෙය තේරීම් කමිටුව විසින් මෑත කාලයේ කළ හොඳම ආායා්ජනය විය.

මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරටදී ලැබූ ජය ශ්‍රී ලංකා පිලක් වාර්තා කළේ 1992 න් පසුවය. එනම් අවුරුදු 30 කට පසුව වීම විශේෂත්වයකි. 1992 ඔස්ට්‍රේලියානු පිල තරග 2 - 1 කින් පැරද වූ ශ්‍රී ලංකා පිල මෙහෙය වූයේ අර්ජුන රණතුංගය. එම තරගාවලියේ අරවින්ද ද සිල්වා වැඩිම ලකුණු රැස් කළේය. ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට දිවා / රාත්‍රී තරගයක් පැවැත්වූයේ මෙම තරගාවලියේදීය. ඉන්පසු 2010 / 11 දී ඔස්ට්‍රේලියාවේ පැවැති එක්දින තරගාවලියක් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළේ කුමාර් සංගක්කාරගේ නායකත්වය යටතේය.

මෙවර තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගන්නා විට නායකත්වය දරන්නේ දසුන් ශානකය. ඔහු පසුගිය තරගාවලි ජයග්‍රහණය කරද්දී නායකත්වය දැරූ අර්ජුන රණතුංග හා කුමාර් සංගක්කාර හා සසඳද්දී තවමත් අත්දැකීම් අඩු ක්‍රීඩකයෙකි. ඔහුට සිටින්නේ ද අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන් පිරිසකි. මෙවර තරගාවලිය ජයග්‍රහණය ඒ අනුව ද සුවිශේෂීය.

මෙම සංචාරය සඳහා පැමිණියේ ඔස්ට්‍රේලියාවේ සිටින හොඳම ක්‍රීඩකයන්ය. බංගලාදේශය, පාකිස්තානය වැනි රටවලට යන විට ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයන් නොයවන බවට ද, ඕස්ට්‍රේලියානුවන්ට චෝදනාවක් පවතී. මෙවර ඕස්ට්‍රේලියානු පිල මෙහි එද්දී අවසන් මොහොත වන තෙක් සංචාරය සිදුවේදැයි සැකයක් පැවතින. ඒ අප රට තුළ වූ උද්ඝෝෂණ, දේශපාලන අස්ථාවරත්වය සහ ඩොලර් ප්‍රශ්නය මත සංචාරකයන් පැමිණීම සීමා සහිත වීම යන කරුණු හේතුවෙනි. කවුරුන් කෙසේ කීවත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත දිනයේදී මෙරටට පැමිණියේය. ඒ සමඟ ඔවුන්ගේ හොඳම දෙවන පෙළ කණ්ඩායම ද 'ඒ' තරග සංචාරයක් සඳහා පැමිණීම විශේෂ සිද්ධියක් විය. මෙරට සංචාරයට පැමිණ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අප රටේ ආර්ථික අර්බුදයට සහනයක් ලබාදීම සඳහා ඩොලර් මිලියන 47ක් සොයා දීමේ ව්‍යාපෘතියක් ද ඇරඹූහ.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පැවතියේ ඉතාමත් සුහදශීලී සම්බන්ධතාවකි. ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් වාසය කරන රටවල් වලින් ඕස්ට්‍රේලියාව ප්‍රධාන රටකි. අනූව දශකය මුල් භාගයේ අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට අද තරම් මුදල් නොතිබිණි. ඩේව් වට්මෝර් ප්‍රධාන පුහුණුකරු ලෙස පැමිණෙද්දී ඔහුගේ වැටුප ගෙවා දැමීමට හෝ අපේ පාලක මණ්ඩලයට මුදල් නොතිබුණු අතර ඔහුගේ වැටුප පවා ගෙවන ලද්දේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයයි.

මෙවර ඔස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලට ලැබෙන මුදල ඩොලර් මිලියන 2.7ක් පමණ වේ.

මෙම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන මුළු මුදලම හදිසි අවශ්‍යතා වෙනුවෙන් රජයට පරිත්‍යාග කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා තිබේ. එවන් පසුබිමක අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කැපී පෙනෙන වර්ණය වූ කහ පාටින් සැරසී ක්‍රීඩාංගණයට පැමිණ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හා ඔස්ට්‍රේලියානුවන්ට තම කෘතවේදීත්වය පළ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීහු කටයුතු කරති. මෙය සමාජ ජාල ඔස්සේ ඉතාමත් ඉක්මණින් පැතිර ගොසිනි.

කෙසේ වෙතත් නැවත වරක් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගාවලිය දෙස හැරී බලන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ නවක තරුණ ක්‍රීඩකයන් වන පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ට පෙර කණ්ඩායමට එක්වූ නායක දසුන් ෂානක, දුෂ්මන්ත චමීර, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන් ද මෙම තරගාවලිය තුළදී තම යුතුකම් කොටස මැනවින් ඉටු කිරීම කැපී පෙනේ.

පුහුණුකරු සිල්වර්වුඩ් මෙන්ම සහාය පුහුණුකරු නවීඩ් නවාස් ද ක්‍රීඩකයන් හා එක්ව කටයුතු කරන ආකාරය ද ප්‍රශංසනීයය. ලසිත් මාලිංග වේග පන්දු යවන උපදේශකවරයාය. දෙරට අතර එක් දින තරගාවලියේ අවසන් තරගයේ ප්‍රතිඵලය කෙසේ වෙතත් මේ වන විට තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති බැවින් එම තරගය ඔස්ට්‍රේලියානුවන්ට අපේ කෘතවේදීත්වය පළ කරන තරගයක් බවට පත් කිරීමෙන් අප ලබන ජාත්‍යන්තර අවධානය මෙම දුෂ්කර අවස්ථාවේදී බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.


 

 

 

Comments