ජනතාව විඳින දුක බලනකොට ඩොලර් 17 මහ ලොකු වෙනසක් නොවෙයි | සිළුමිණ

ජනතාව විඳින දුක බලනකොට ඩොලර් 17 මහ ලොකු වෙනසක් නොවෙයි

එක සිලින්ඩරයකට මිල වැඩිවෙන්නේ 77. 50යි

ප දැන් ජීවත් වෙමින් ඇත්තේ ගෑස් නැති රටකය. ගෘහස්ත ගෑස් ටැංකියක් පෝලිමක සිට හෝ ලබා ගැනීමේ අවස්ථාව මේ වනවිට නැත. නාගරික ජනතාව සිටින්නේ ඛේදවාචකයක් බඳු අර්බුදයකය. මේ අර්බුදය විසඳන්නේ කවදා ද? ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්ගෙන් අපි මේ ගැන විමසුවෙමු. මුදිත පීරිස් යනු ලිට්‍රෝ සමාගමේ ස්වර්ණමය අවදියේ ආයතනය මෙහෙය වූ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ය.සභාපතිවරයා ලෙස ඔහුට මේ අර්බුදය විසඳිය හැකි දැයි අප නැඟු ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මේ ආකාරය.

 

* මේ වනවිට ගෑස් ටැංකි කොපමණ ප්‍රමාණයක හිඟයක් රට තුළ තිබෙනවා ද?

දැනට ඇති දත්ත ප්‍රකාරව ගෑස් ටැංකි ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයකට රට තුළ ඉල්ලුමක් තිබෙනවා.

* ලිට්‍රෝ ආයතනය බාර ගත් දවසේ ඔබ කියනවා ඔබට දැන් පෙනෙන්නෙ හිස් මුහුද විතරක් බව. ගෑස් සමාගමේ වත්මන් සභාපතිවරයාට හිස් මුහුදක් දෙස බලා සිටින්න වුණේ ඇයි ?

මා මේ කතාව කිව්වෙ කාර්යාලයට ආ මුල්ම දවසෙ. මේ සම්බන්ධව අවධානයෙන් ඉන්න පිරිසට වගේම පෝලිම්වල දුක් විඳින ජනතාවට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න. මේ වගකීම බාරගත් දින සිට මා දිනපතාම වෙහෙසෙන්නේ මේ ගැස් අර්බුදය මගහරවා ගනිමින් විසඳුමක් ගෙනෙන ක්‍රමවේද සොයන්න. අතීතයේ කවුරු කළත් නොකළත් මේ වනවිට ඒ වගකීම අරන් තිබෙන්නේ මම යි.

ගතවූ සතිය තුළ නිශ්චිත කාල රාමුවක දී ගෑස් නැව් ලයිස්තුගත කරගන්න අපට හැකි වුණා. ජූලි 7 -12 අතර කාලය තුළ අවම වශයෙන් ගෑස් නැව් දෙකක්වත් කෙළවර පිටිය අංගණයට ගෙන්වා ගන්න පුළුවන් වේවි. එයින් පසු දිගටම ගෑස් නැව් එන විදිහට අවශ්‍ය වැඩ කටයුතු ක්‍රියාත්මක කර අවසන්. දැන් අපි ඉන්නේ අර්බුදය විසඳන ප්‍රායෝගික ක්‍රියාවලියක.

* ලාබ ලබන ආයතනයක් ලෙස පැවති ලිට්‍රෝ මේ තරම් පාඩු ලැබුවේ ඇයි ?

ඇත්තටම ආයතනයේ ලාබ ලබපු කියන කොටසට මටත් අදාළත්වයක් තිබෙනවා. වර්ෂ 2015 සිට 2020 දක්වා අවුරුදු 05 තුළ ලාබ ලබපු ලිට්‍රෝ ආයතනයට නායකත්වය දුන්නෙ මම. මම යනකොට ආයතනයට රුපියල් බිලියන 20ක මුලක් ඉතිරි කර ස්ථාවර තැම්පතුවල යොදවලා තමයි ගියෙ.

යළි මා මෙතැනට එනවිට ඒ ඉතිරුම් සියල්ල වියදම් වෙලා විතරක් නොවෙයි ආයතනය ණයත් වෙලා. ඊට හේතු කාරණා ගොඩක් බලපා තිබෙනවා. කොවිඩ් වසංගතයත්, ලෝක වෙළෙඳපළේ ගෑස් මිල උච්චාවචනයත් ඊට හේතු වෙන්න ඇති. ඒ වගේම මේ ආයතනයට පත් වුණු සමහර නායකයින් නිසි තැන්වල දී නිසි තීන්දු නොගැනීමත් මේ තත්ත්ව උදා වීමට බලපෑ සාධක ලෙසයි මගේ අදහස.

*ලිට්‍රෝ සමාගමේ සභාපතිවරු සහ අධ්‍යක්ෂවරු මිලියන ගණන් වැටුප් ලබන බව සමාජ මාධ්‍යවල සංසරණය වූ පුවතේ සත්‍යතාව ගැන පැහැදිලි කළ හැකි ද?

මේවා කිසිඳු පදනමක් නැති අසත්‍ය කාරණා. ඔය කියන මිල ගණන්වලට වඩා ඉතාම අඩු සාධාරණ වැටුපක් ගන්න, ඒ වැටුපට වඩා වැඩි සේවයක් කරන නිලධාරීන් පිරිසක් තමයි ලිට්‍රෝ ගෑස් සමාගම සතුව ඉන්නේ. නමුත් අන්තිමට හිටපු සභාපතිවරයා නොවෙයි, ඊට කලින් හිටිය සභාපතිවරු ගත් පඩි නඩි ඉතාම විශාල වග නම් මේ තිබෙන ලියකියවිලි වලින් පේනවා. ඔවුන් රුපියල් ලක්ෂ තිහකට හෝ ඊට වඩා වැඩි ප්‍රතිලාභ අරන් තිබෙනවා. නමුත් මේවා සම්බන්ධව විභාග කරන්න වගකිවයුතු ආයතන තිබෙනවා.

මා මේ සම්බන්ධවත් කිව යුතුයි. මා මේ වගකීම බාර ගන්නේ වැටුපක් හෝ දීමනාවක් මේ ආයතනයෙන් බලාපොරොත්තු වෙන්නෙ නැතිව. එය මේ මොහොතේ රට වෙනුවෙන් බාර ගෙන කරන්නේ මා කළ යුතු සේවයක් ලෙසයි.

*ගෑස් අර්බුදය අතරෙ ගෑස් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඩොලර් තිහකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදි කතා වුණා. මේ සම්බන්ධව ඔබගේ පැහැදිලි කිරීම කුමක්ද?

මෙට්‍රික් ටොන් එකකට ඩොලර් තිහක් වැඩිපුර ගෙවනවා කියන කතාව සම්පූර්ණ අසත්‍යයක්. ලිට්‍රෝ ගෑස් සමාගම එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ සිද්ධිය මා ඔබට මුල සිටම පැහැදිලි කරන්නම්. මට ලැබුණු දත්තවල සත්‍යතාව තහවුරු කර ගත් නිසා.

ලිට්‍රෝ ගෑස් විදිහට අපි මාස දොළහකට මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දාහක දිගුකාලීන සැපයුමක් සඳහා ටෙන්ඩර් එකක් දමා තිබුණා. එහිදි ‘සියැන් ගෑස්‘, ‘ඕමාන් ගෑස්‘, ‘ඩී.බී එනජි‘ යන සමාගම් තුන මේ ඇණවුම සඳහා ඉදිරිපත් වී තිබුණා. මෙතැනදි අඩුම ලන්සුව ආවේ ‘සියැන් ගෑස්‘ සමාගමෙන්. ඒ මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 96ක්. ‘ඕමාන් ගෑස්‘ ඩොලර් 129ක්,. ‘ඩීබී එනජි‘ ඩොලර් 144ක්.

සැපයුම්වල යම් යම් ප්‍රමාද වීම් තිබුණට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබුණේ මිල අඩු සියෑන් ගෑස් සමාගමෙන් මිලදී ගැනීම් පිළිබඳ සොයා බලන්න. නමුත් ගැටලුව වුණේ සියෑන් ගෑස් සමාගම දීර්ඝකාලීන ණයවර ලිපියක අවශ්‍යතාව අවධාරණය කර තිබුණා.

දැන් අපි සියලු දෙනා දන්නවා ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට කිසිම බැංකුවක් එවැනි දීර්ඝ කාලීන ණයවර ලිපි නිකුත් කරන්නෙ නෑ. දිගින් දිගටම ඔවුන්ගේ ස්ථාවරය එක්ක අප අපේ පැත්තෙන් සාකච්ඡා කරමින් සිටිද්දී රට තුළ ගෑස් අර්බුදය වැඩි වුණා. දැන් මෙය ලිට්‍රෝ සමාගම විදිහට අපෙන් ඔබ්බට ගොස් ගත යුතු කැබිනට් මට්ටමේ තීරණයක්.

ඒ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය තීන්දු කළා දීර්ඝකාලීන ණයවර ලිපියක් ගන්න බැරි නිසා ඒ ගනුදෙනුව සම්බන්ධව සාකච්ඡා කර උද්ගත වී තිබෙන ගෑස් ප්‍රශ්නය කඩිනමින් විසඳීමට කෙටිකාලීන විසඳුම්වලට යන්න.

එම විසඳුමේ කෙටි කාලීන පියවරක් විදිහට සති දෙකක ගෑස් සැපයුමක් සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 15000ක ගෑස් ප්‍රමාණයක් මිල දී ගන්න ටෙන්ඩර් පටිපාටියේ දී ගෑස් ටොන් එකක් සඳහා අඩුම මිල ඉදිරිපත් කළ සැපයුම් කරුවන් දෙදෙනාගෙන්ම ලිට්‍රෝ සමාගම ලන්සු කැඳෙව්වා.

“මේ මිල ගණන් කැඳවීමේ දී දීර්ඝකාලීනව ඩොලර් 96ක් සඳහා මිල ඉදිරිපත් කළ ‘සියැන් ගෑස්‘ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 112ක මිලක් ඉදිරිපත් කළේ. නමුත් ඔවුන් කියනවා මේ වෙලාවේ දී අපට අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 15000 දෙන්න බෑ. දෙන්න පුළුවන් මෙට්‍රික් ටොන් 6600යි කියලා.“

“නමුත් මේ ගෑස් ප්‍රමාණය දෙන්න පුළුවන් ඕමාන් ගෑස් දන්වා තිබුණත් ඔවුන්ගේ මිල දීර්ඝ කාලීන සැපයුමට ඉදිරිපත් කළ මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 129යි. “

ඒ වගේම ඕමාන් ගෑස් සමාගම දන්වා සිටියේ මාස හතරකට ගෑස් එකවර ලබා දිය හැකි නමුත් මේ මෙහෙයුම සඳහා ඔවුන්ට දරන්න වන ප්‍රසම්පාදන වියදම් සලකා බලන විට ඔවුන්ගෙන් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් අප මිලදී ගත යුතු බවයි.

මේ යෝජනා දෙකම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම කැබිනට් මණ්ඩලය තීරණය කරන්නේ අඩුමිලට ගෑස් මෙට්‍රික් ටොන් හය දහස් හයසීයක් අරන් ප්‍රශ්නය විසඳෙන්නෙ නැති නිසා ඩොලර් 17ක මිල වැඩිවීමක් වුණත් මාස හතරකට අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් සැපයීමට යෝජනා කළ ඕමාන් ගෑස් සමාගමට එම ටෙන්ඩරය ලබා දීමටයි.

ඩොලර් 129 සහ ඩොලර් 112 අතර ඩොලර් 17ක වෙනසක් තිබෙනවා. ගෑස් ටොන් එකක් සඳහා වැඩිවන ඩොලර් 17 එක සිලින්ඩරයකට එකතු කළාම එහි මිල වෙනස රුපියල් 77.50යි. පෝලිම්වල ජනතාව විඳින දුක බැලුවාම එයින් වන සමාජ ආර්ථික ව්‍යසනය බැලුවාම ඒ මිලට වඩා බොහොම වැඩියි. විශාල ඇගයීමකින් පස්සේ තමයි කැබිනට් අනුමැතිය ලැබුණු එම තීරණය ලිට්‍රෝ සමාගම විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

* ලිට්‍රෝ සමාගමෙත් ඉදිරියේ දී මිල වැඩිකිරීමක් සිදු වෙනවා ද ?

කිසිසේත්ම විශාල මිල වැඩි කිරීමක් පිළිබඳ අපේ බලාපොරොත්තුවක් නෑ. නමුත් තව රුපියල් දෙසීයක් හෝ දෙසීය පනහක් වගේ මුදලකින් නම් ගෑස් මිල වැඩි කරන්න වේවි. සංසදනාත්මකව ඉතාම අඩු මිලකට මේ මොහොතෙත් අපි ගෑස් අලෙවි කරන්නෙ.

*මේ මෙහොත වනවිටත් මිනිස්සු ගෑස් පෝලිම්වල. ලිට්‍රෝ ආයතනය මූල්‍ය අර්බුදයක. රටේ ඩොලර් සංචිත නෑ. මේ තත්ත්වය තුළ මේ සංකීර්ණ ගැටලුව විසඳීමට ඔබේ ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක් ද?

ඒ සඳහා නිශ්චිත වැඩපිළවෙළ මේ වනවිට ක්‍රියාත්මකයි. ගෑස් හිඟයට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමට ගෑස් නැව් යළි රටට ගෙන ඒමේ වැඩපිළිවෙළ සාර්ථකව කරමින් යනවා. තවත් සැලසුමක් ලෝක බැංකුව හරහා ඉදිරිපත් වී තිබෙනවා. ඒ ලෝක බැංකුවෙන් ණය සහනයක් ලබා ගන්න. ලිට්‍රෝ ගෑස් ආයතනය විදිහට අපේ කණ්ඩායමක් ඩොලර් මිලියන 70ක් ගන්න ලෝක බැංකුව සමඟ සාකච්ඡා කළා. එහි ගෞරවය හිමි විය යුත්තේ අපේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ඇතුළු ප්‍රසම්පාදන කමිටුවෙ අනෙක් සාමාජිකයින්ට. ඒ ඩොලර් ප්‍රමාණය ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මුදල් දීලා ගෑස් ගෙන්වන ක්‍රියාවලිය ශක්තිමත් කර රටට වැඩි ධාරිතාවකින් ගෑස් ගෙන ඒමට යෙදවීමට පුළුවන්.

මිල සූත්‍රය හඳුන්වාදීමත් අග්‍රාමාත්‍ය කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය හරහා මේ වනවිට කරගෙන යනවා. හෙට අනිද්දා කැබිනට් අනුමැතිය ලැබී අපට එම මිල සූත්‍රය ලබා දෙයි. එතනදි වෙන්නෙ ලෝක වෙළෙඳපළේ මිල උච්චාවචනයට සාපේක්ෂව ගෑස් මිල අඩු වැඩි වීමයි. මිල සූත්‍රය හරහා ආයතනය ස්ථාවර කරගැනීම, වෙළඳපළේ මිල අඩුවනවිට ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දීම.

මේක අපේ ප්ලෑන් එක විතරක් නෙමෙයි. මේ අපි දැනටමත් කරගෙන යන ප්‍රායෝගික වැඩපිළිවෙළ. බොහෝ විට ජූලි මැද වනවිට මේ අර්බුදය විසඳී පෙර පුරුදු ලෙස නිවෙස ළඟ ඇති ගෑස් අලෙවිසලෙන් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ අවස්ථාව ලැබෙන බව ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ රටේ තිබෙන අර්බුද රැස අතරින් මුලින්ම විසඳෙන අර්බුදය ගෑස් අර්බුදය බවට පත් වේවි.

* ආර්ථික විශේෂඥයෝ පවසනවා වී.එල්. ජී.සී නැවක් මඟින් ගෑස් ගෙනාවොත් රටට විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් බව. රජයට මේවැනි පියවරකට යන්න බැරි ඇයි ?

වී.එල්.ජී.සී නැවක් ගෙන්වන්න විකල්ප තැනකට යන්න වෙනවා. අපි ගෑස් මෙහෙයුම් කරන කෙරවළපිටියට ඒ නැව ගෙන්වන්න බෑ. එතන ගැඹුර අඩුයි. මගේ දැනුමෙ හැටියට ටොන් 5000ට අඩු නැව් පමණයි කෙරවළපිටියට ගෙන්වන්නෙ.

මා විශ්වාස කරනවා ඉදිරි කාලයේ දී වීඑල්ජීසී නැවක් ගෙන්වලා කුඩා නැව්වලින් කෙළවර පිටියට ගෑස් ප්‍රවාහනය කළ හැකි නම් මිල ගණන් තව දුරටත් සංසන්දනාත්මකව අඩු කරගන්න පුළුවන් වේවි කියා. නමුත් ඒ සම්බන්ධව අපට තවමත් යෝජනාවක් ඇවිත් නැහැ.

 

Comments