කල­වානේ නිව්මෝ­නියා පැතිරේ | Page 2 | සිළුමිණ

කල­වානේ නිව්මෝ­නියා පැතිරේ

ලවාන ප්‍රදේශයේ ගම්මාන රැසකින් නිව්මෝනියා රෝගී තත්ත්වයක් උද්ගත වී ඇතැයි සෞඛ්‍යය අංශ පසුගිය දා හෙළිදරව්වක් සිදු කළේය. මෙම මාරාන්තික වසංගතය නිසා පසුගිය 22 දා වන විට මිය ගිය සංඛ්‍යාව පහළොවකි. මේ අතරින් එකොළොස් දෙනකු ම මියගොස් ඇත්තේ කලවාන ප්‍රදේශයේ ය. දිනකට අසාධ්‍ය මට්ටමේ රෝගීන් දහදෙනකු කලවාන මූලික රෝහලට පැමිණෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ,උණ,මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාව ආදී රෝග ලක්ෂණ කීපයක් පෙන්නුම් කරන අතර කුඩා දරුවන් මෙන් ම වයස අවුරුදු හැටෙන් වැඩි පුද්ගලයින් මෙම තත්ත්වය ට මුහුණ දී ඇති බව දැන ගන්නට ලැබුණි. පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය නිසා රෝගය පැතිරීම පහසු වී ඇති බවද සෞඛ්‍යය අංශ පෙන්වා දෙයි.

කලවාන මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය චාන්දන මුරගේ ඒ පිළිබඳ මෙසේ පැවසීය.

‘දැනට කලවාන ප්‍රදේශයේ නිව්මෝනියා වසංගත තත්ත්වයක් මත රෝගීන් රෝහලට ඇතුළත් වෙමින් සිටිනවා. දෛනික ව රෝහල්ගත වන පිරිස දහයකට වැඩියි. මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබන පිරිස හතළිහක් පමණ වෙනවා. මේ අයගේ රෝග ලක්ෂණ වෙන්නේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණයි. මෙම රෝගී තත්ත්වය ට වැඩිපුර ම මුහුණ දී තිබෙන්නෙ අවුරුදු හැටට වැඩි අය. ඒ අතරින් කාන්තාවන් බහුල ව සිටිනවා. ඒ වගේම රෝගීන් රෝහලට එන්නෙත් රෝගය උත්සන්න වුණාමයි. මේනිසා ප්‍රතිකාර ලබා දීමේ දී ගැටලු මතු වෙනවා.

කලවාන රෝහලේ ම තියෙන්නෙ ඇඳන් අසූ හතරයි. දැනට ඒවායෙන් ඇඳන් පනහකට වඩා මෙම නිව්මෝනියා රෝගී ප්‍රතිකාර සඳහා යොදාගෙන තිබෙනවා. පිරිමි සඳහා ඇඳන් විසි හතරක් හා කාන්තාවන් සඳහා ඇඳන් දාහතරක් පමණයි තියෙන්නෙ. නමුත් ඊයෙ රාත්‍රී පිරිමි වාට්ටුවේ රෝගීන් තිස් දෙකක් සිටිනවා. කොරිඩෝවෙත් මේ වන විට රෝගීන් දාන්න වෙලා. මේ වන නිව්මෝනියා ව සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් පරිදි ලැබී තිබෙනවා. ඊට අමතරව ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. නමුත් දැනට කලවාන රෝහලේ පමණක් රෝගීන් පහළොස්⁣ දෙනෙකු මියගොස් තිබෙනවා.

කලවාන මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර ලොකු ගමගේ පවසන්නේ මෙවැන්නකි.

මේ වන විට කලවාන මූලික රෝහලේ පමණක් නිව්මෝනියා රෝගී තත්ත්වය ට පත් වුණ රෝගීන් එකසිය දහයක් අප පරීක්ෂා කර තිබෙනවා.රෝහල්ගතව දැනට ප්‍රතිකාර ලබන පිරිස හතළිස් පහක්. මියගිය සංඛ්‍යාව එකොළහක් වෙනවා. දැනට හඳුනා ගෙන ඇති ආකාරයට මෙම රෝගී තත්ත්වය බෝවීම සිදුවෙන්නෙ ඉන්ෆ්ලුවෙන්සා A H3 N2 කියන වයිරසය මඟින්. පසුගිය දිනවල පැවති වර්ෂාව, ගංවතුර හා ආර්ද්‍රතාව නිසා රෝගය පැතිරීම වැඩි වී ඇති බවයි අපි හිතන්නෙ. දැන් අලුත් ම තත්ත්වය තමයි මුලින් වයෝවෘද්ධ අයට සහ ඉතා ම කුඩා දරුවන් ට වැලඳුණු මෙම රෝගය අද වන විට තරුණ වියේ පසු වෙන අය දක්වා වර්ධනය වී තිබෙන එක. මියගිය පිරිස සලකා බැලුවාම ඒ අය සියයට අනූ පහක් ම අවුරුදු හැට, හැටපහට වැඩි අය. නමුත් වයිරසයේ පැතිරීම වේගවත් බව පෙනී යනවා. ඉන් ආරක්ෂා වීමට අපි කවුරුත් වගබලා ගත යුතුයි.

අපි ජනතාවට කියන්නෙ උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හා පපුවේ හිරිවීමක් තිබෙනවා නම් ප්‍රමාද නොවී රජයේ වෛද්‍යවරයෙකු හමුවී වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගරගේ අදහස මෙසේය.

මේ වන විට කලවාන ප්‍රදේශය ආශ්‍රිතව පැතිර යන රෝගී තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා වයිරසයක් මගින් බෝවෙන රෝගී තත්ත්වයක් බවට මේ වන විට කොළඹ වෛද්‍ය පරීක්ෂණාගාරය මගින් තහවුරු කර තිබෙන්නෙ.

අපි දැනට නිවිතිගල කිරිඇල්ල, රත්නපුර ආදී රෝහල් ආශ්‍රිතව මෙවැනි රෝගීන් වාර්තාවී ඇත්දැයි විමසමින් සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා A සහ B ඛාණ්ඩ දෙකට අයත් වයිරස් මගින් බෝවන රෝගය වැඩිවශයෙන් ම ඉන්ෆ්ලුවෙන්සා A ප්‍රබේදය මගින් බෝවන බවයි වාර්තා වෙන්නෙ.

විශේෂයෙන් ම බෝවීමේ ප්‍රබලතාව ඉහළ මට්ටමකට පැමිණෙමින් තිබෙනවා. කතා කිරීම, කෙළ බිඳිති සෙම් පටල හරහා සුළඟ මගින් බෝවී ම සිදුවිය හැකියි. මේ නිසා මේ දරුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීමට නිතරම දෑත් සේදීම, මාස්ක් පාවිච්චි කිරීම, මහජන ඒකරාශිවීම්වලට නොයාම ආදී දේවල් භාවිත කළ යුතුයි.ඒ වගේ ම ප්‍රතිශක්තිකරණය හීන වීමත් මෙම රෝගයේ අවධානම වැඩිවීමට හේතුවෙනවා.

දැනට මෙම රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. නමුත් ඉන්ධන අර්බුදය නිසා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමට දැඩි බාධාවක් පවතිනවා. ඒ විතරක් නොවෙයි මේ වන විට එරත්න රෝහල වෛද්‍යවරුන් ට පැමිණීමට නොහැකි නිසා වසා දමා තිබෙනවා. වෛද්‍යවරු දෙදෙ⁣නෙකු සිටින තැන ඉන්නෙ එක වෛද්‍යවරයයි. නමුත් බෝවීම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. මෙම වයිරසය වැලඳුණු අයකුට විවේකය ඉතා වටිනවා. ජලය පානය කිරීම, පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම කළ යුතුයි.

පාසල් දරුවන් මගින් වයිරසය පැතිරීම වැඩි විය හැකියි. නමුත් ඔවුන්ට එතරම් අවදානම් තත්ත්වයක් නෑ. නමුත් ඒ අයගේ නිවසේ සිටින වයස්ගත හා නිදන්ගත රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන් වෙන් කර තැබීමට වග බලා ගත යුතුයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්ෆ්ලුවෙන්සා A වයිරසය මර්දනය කරන්නට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් කඩිනමින් සම්පාදනය කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසීය.

කලවාන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා A වයිරසය මර්දනය කිරීම සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර, රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර යන අය සමඟ එක්ව අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් කඩිනමින් සම්පාදනය කිරීමට හැකි වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග මර්දන ඒකකය ද දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

විශේෂයෙන් ම මෙම වයිරසය ගර්භණී මව්වරුන්, දරුවන් හා වැඩිහිටියන් ට වැලඳෙන බව අනාවරණය වී තිබෙනවා. එසේ රෝගය වැලඳුණු පුද්ගලයන් ට මාරාන්තික අවධානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පවසා ඇති බැවින් නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. කලවාන ප්‍රදේශය ට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන කිහිපයකින් මෙම රෝගීන් වාර්තා වී ඇති බවය.

මාරාන්තික කොවිඩ් 19 වසංගත රෝගය මර්ධනය කිරීමට එක් වූ අයුරින්ම සබරගමු පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය අංශ ඇතුළු දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වී මෙම ඉන්ෆ්ලුවෙන්සා A රෝගය මර්ධනය කිරීමට එක්ව ක්‍රියාත්මක වී තිබෙනවා. මෙම වසංගත රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් මේ වන විටත් සබරගමු පළාත් සභාව මඟින් ලබා දී තිබෙනවා.

කොවිඩ් 19 වසංගත තත්වය මර්ධනය කිරීම සදහා සහාය වූ අයුරින්ම මෙම ඉන්ෆ්ලුවෙන්සා ඵ් වසංගත රෝගය පැතිර යාම වැළැක්වීම සදහා වෛද්‍ය උපදෙස් පරිදි කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

Comments