ඒකට මට උත්තරයක් දෙන්න බෑ | සිළුමිණ

ඒකට මට උත්තරයක් දෙන්න බෑ

 මගේ සමාගමට නම් ඔය චෝදනාව එල්ල වෙන්නේ නෑ

ට තුළ ඇති වී තිබෙන ආර්ථික අවපාතය නිසා විශාල ලෙස අර්බුදයට ගමන් කළ සේවාවන් අතරින් එකක් වන්නේ ගෑස් සැපයුමයි. මේ ඒ පිළිබඳව ලාෆ් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව්. කේ. හේමචන්ද්‍ර වෑගපිටිය සමඟ කළ සාකච්ඡාවකි.

 

* රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණපා ජනතාව විශාල පීඩනයක ඉන්න වෙලාවක ඔබ ආයතනය ගැස් මිලගණන් තීරණය කරන්නේ කවර පදනමක් මතද?

ජනතාව විතරක් නෙමෙයි මේ අවස්ථාවේ මේ රටේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ ඇතුළු සියලු දෙනාම ඉන්නේ විශාල පීඩනයක. වසර 74 ක් තිස්සේ අපි මේ රට පවතවාගෙන ආවේ සුබසාධන රාජ්‍යයක් විදියට. අපි තීරණ ගත්තේ ඒ මත ඉඳගෙනයි. නිෂ්පාදනය, සේවා නියුත්තිය, අපනයනය, දළ ජාතික නිෂ්පාදනය මේ දේවල් ගැන නොසිතා මැතිවරණ සහ දේශපාලඥයන්ගේ බලය පවත්වා ගැනීම සඳහා මහජනතාව තෘප්තිමත් කිරීම සඳහා ගිය ගමනක අවසාන ප්‍රතිඵලය තමයි අද අපි මේ භූක්ති විඳිමින් ඉන්නේ. මේ දේවල් මධ්‍යස්ථව අවබෝධ කරගෙන ආකල්පමය වශයෙන් අප සියලු දෙනා වෙනස් වුනේ නැත්නම් මේ තත්ත්වයෙන් අපට ගොඩ එන්න බැහැ. අපි ලංකාව තුළ ගෑස් නිෂ්පාදනය කරන්නේ නැහැ. සියයට 99.9 ක්ම ගෑස් ගෙන්වන්නේ පිට රටවලින්. ගෑස් ආනයනය කරනවිට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනවා. ඒ; ලෝක වෙළෙඳ පොළේ අදාළ අවස්ථාවේ පවතින මිලගණන්, නැව් ගාස්තු, රටේ පවතින විනිමය අනුපාතය සහ මෙහෙයුම් ගාස්තු. ඒ අනුව තමයි ලාබ තීරුවක් සහිතව වෙළෙඳ පොළට ගෑස් නිකුත් කරන්නේ. එහෙම නැතිව වෙන පදනමක් නැහැ.

 

*ගෑස් මිල තීරණය කිරීම කිසියම් සංවිධානයක් හෝ ආයතනයක් විසින් මාසිකව පාලනය කරනවාද?

අප ගෑස් මිලදී ගන්නේ ඒ සඳහා ඇති ප්‍රශස්ත සමාගම්වලින්. ඒ නිසා ලෝක වෙළෙඳපළේ මිල තීරණය වීම මත තමයි එහි අඩුවැඩිවීම සිදු වන්නේ. එය දවස ගානේ, වෙනවද සතියකින් වෙනවද, මාස්පතා වෙනවද කියන්න අපට හැකියාවක් නැහැ. එය අප කිසිවකුට පාලනය කළ නොහැකියි. පසුගිය කාලයේ ලෝක වෙළෙඳපළේ මිල ගණන් ඉතාම අස්වාභාවිකව වෙනස් වුණා. ඒකට හේතු ගණනාවක් මුල් වුණා. ඒ කෝවිඩ් 19න් වසංගතයත් සමඟ පැමිණි ලෝක ආර්ථික අර්බුදය. ඊට සමගාමීව නැව්ගාස්තුවල ඇති වූ වෙනස, ලෝකවෙළෙඳ පළේ පැවති බොරතෙල් මිල සහ ප්‍රවාහන ගාස්තු සඳහා යන වියදම, යූක්රේන් යුද්ධය නිසා යුරෝපයේ ඇති වුණ සහ ලෝකය පුරා ඇති වුණු ආර්ථික අවපාතය. මේ සියලු කාරණා නිසා ලෝක වෙළෙඳපළේ ඉතාම අස්වාභාවික ලෙස ගෑස් මිල ගණන් වෙනස් වුණා. මෙම සාධක මත විනා වෙනත් කිසිවකු විසින් මිල පාලනය කරන්නේ නෑ. පිටරටවලින් ගෑස් ගෙන ඒමේදී ඒවා නැව් මඟින් රැගෙන ආ යුතුයි. මේ සඳහා ඍජුවම බලපාන දෙයක් තමයි තෙල් මිල. තෙල් මිලත් මේ වෙද්දි අස්වාභාවික විදියට වැඩිවී තිබෙනවා. ලංකාවට ගෙනාවට පස්සේ විනිමය අනුපාතයට මුහුණ දෙන්න සිදු වෙනවා.

 

* ඔබේ අත්දැකීම අනුව ලංකාවේ ගෑස් අර්බුදය විසඳන්න රජය විසින් ගත යුතු පියවර කුමක්ද?

අපේ ආර්ථිකය විනාශ වෙන්න බලපාපු ප්‍රධාන කාරණය නිදහස් වෙළෙඳ ක්‍රමයක් නොපැවතීම. ඇමරිකාව ජපානය ඇතුළු ලෝකය පුරාම ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්ත සෑම රටකම පැවති මූලධර්මයක් තමයි වෙළෙඳ පොළ ආර්ථිකය. ඒ රටවල වෙළෙඳ පොළ මෙහෙය වීම සඳහා රජය ආර්ථික ප්‍රතිපත්ති සකස් කළාට වෙළෙඳ පොළ පාලනය කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට ගියේ නැහැ. මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. එවිට මිල වැඩි නම් ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම වැඩි නම් මිල වැඩිවෙනවා. මේ තමයි සාමාන්‍ය ආර්ථික න්‍යාය. අපි හැමදාම කළේ කෘතිමව වෙළෛඳ පොළ පාලනය කිරීමට ගියා. උදාහරණයකට හාල්වල සිට සෑම භාණ්ඩයකම මිල පාලනය කිරීමට රජය කටයුතු කළා. පෙර කියූ සාධක මොනතරම් වැඩි වුණත් ජනතාව අමනාප වන නිසා කෘතිමව මිල තියාගෙන හිටියා. පිරිවැයට වඩා අඩු මිලකට වෙළෙඳපළේ විකුණන විට ඒ සමාගම් අලාභ ලැබුවා.

උදාහරණයක් විදියට රුපියල් 100ට ගෑස් එකක් ගෙනත් 50ට විකුණන්න වුණොත් ඒ වෙනස ගෙවන්නේ ගෑස් පාවිච්චි නොකරන කෙනෙක්. අපි ඉන්නේ ඉතාම පටු ආකල්පයක. අපේ මිනිස්සුන්ට ඕනේ අඩුවට කන්න. ගෑස් පෙට්‍රල් පිටි... හැම දෙයක්ම අඩුවට ලබාදිය යුතුයි. අද ලෝකයේ කොහේවත් අඩුවට කිසිම දෙයක් නැහැ. සාමාන්‍යයෙන් සුභසාධන රාජ්‍යයක් මඟින් කරන්නේ රජයේ ආදායම මඟින් ඒ වෙනස සමනය කර ගැනීමයි. ඒ සඳහා බදු ආදායම වැඩි කරගත යුතුයි. නමුත් මේ අය කළේ බදු ආදායම කපා හැරලා රජයේ ආදායමත් අහිමි කරගෙන ව්‍යාපාරවල ආදායමත් අහිමි කිරීමයි. ඒකෙන් රජයත් විනාසයි; රටත් විනාසයි. මංගල සමරවීර මිල සූත්‍රයක් ගෙනාවම හැමෝම හිනා වුණා. නමුත් දැන් ඒ හිනා වුණු අයටම ඒකේ යථාර්ථය දැනිලා තියෙනවා. ඒ නිසා වෙළෙඳපොළ නිදහසේ හැසිරිමට ඉඩ හැරිය යුතුයි. ඉන් මෙම අර්බුදයට ක්‍රමයෙන් විසඳුම් ලැබේවී.

 

*මේ අර්බුදය ඔබේ ව්‍යාපාරයට කළ බලපෑම කවරාකාරද?

මගේ ව්‍යාපාරය ගත්තොත් පසුගිය මාස හය තුළ එක මාසයකට බිලියනයක් පාඩුයි. බැංකු ණය පොලිය සීයයට 26 දක්වා වැඩිවෙලා සමාජ ආරක්ෂණ බදු ඇතුළු සියලු බදු වැඩිවෙලා. මේ සෑම දෙයක්ම භාණ්ඩයේ මිල තීරණය වීමට බලපා තිබෙනවා. නිදහස් වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාත් වෙළෙඳ පොළත් දෙකම ආරක්ෂා කර ගන්න නම් ඉල්ලුම හා සැපයුම න්‍යාය මත වෙළෙඳපළ තීරණය වීමට ඉඩ හැරිය යුතුයි. එවිට එය ඒ තුළින්ම පාලනය වෙනවා. ඊට රජය අතරමැදියකු නොවිය යුතුයි.

 

*වර්තමානයේ ඉහළ මිලක් ගෙවා රජය සතු ගෑස් සමාගමක් ගෑස් මිලට ගැනීම වෙළෙඳ පළ තත්ත්වය අනුව සාධාරණ මිලදී ගැනීමක් ද? නැතිනම් ඉන් මේ රටේ ජනතාවට විශාල පාඩුවක් වෙනවද?

ඒකට මට උත්තරයක් දෙන්න බැහැ. එය ඒ සමාගමෙන් විමසිය යුතු කාරණයක්.

 

* මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔබ කවර විසඳුමක්ද යෝජනා කරන්නේ?.

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා අපේ පැරණි කතාවක් තියෙනවානේ. අන්න ඒ වගේ රාජ්‍ය කළමනාකරණයේ දී සැලසුම් සකස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. 1975 අපේ දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 3.8යි. අපේ දළ දේශීය නිෂ්පාදන වර්ධනය සියයට 3.5යි. එහෙම දිගටම ගියා නම් අද අපේ දළ දේශීය නිෂ්පාදන බිලියන 335 වෙන්න ඕන. එහෙම වුණා නම් ආර්ථික සංවර්ධනය අතින් අද අපි ඉන්න ඕන 133 වන ස්ථානයේ නෙමෙයි; ආසියාවේ දෙවන ස්ථානයේ. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි පළවෙන්ම කළ යුත්තේ; දේශීය ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්මක් හදා ගැනීමයි. අවාසනාවකට අපට එහෙම එකක් නැහැ. නමුත් ප්‍රතිපත්ති තියෙනවා. සැලසුමක් නැතිව ප්‍රතිපත්තිවලින් වැඩක් නැහැ. ඒනිසා ඉදිරි වසර 50ට සරිලන ආකාරයේ ආර්ථික සංවර්ධන උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි. එය කුමන ආණ්ඩුවක් ආවත් වෙනස් නොවන ව්‍යවස්ථාව වගේ එකක් වෙන්න ඕන. එහෙම නැතිව මේ ගැටලුව ප්‍රායෝගිකව විසඳගන්න බැහැ.

 

*ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් මේ ගැටලුව ප්‍රායෝගිකව විසඳිය හැකිද?

ලෝකයේ බංකොළොත් වෙච්ච පළවෙනි රටත් අපේ රට නෙමෙයි. අවසන් රටත් අපේ රට නෙමෙයි. මේ විදියට බංකොළොත් වෙලා ගොඩ ආපු රටවල් බොහොමයක් තියෙනවා. අපිට ඒ රටවල් දිහා බලල එයින් අපේ රටට මේ තත්ත්වයෙන් ගොඩගන්න පුළුවන් උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. මිනිස්සුන්ට මේ අමාරුව නොදැනෙන්න මේ මොහොතේ කිසිවක කළ නොහැකියි. ආණ්ඩුව තවදුරටත් සහනාධාරදීමට නොයා යුතුයි. මේ තත්ත්වය මිනිස්සු තේරුම් ගන්න ඕන. අපේ රට සම්පූර්ණයෙන් කෘෂිකාර්මික රටක් බවට පත් කරන්න අපට යන්නේ වසර පහයි. ඒකට ජාතික කෘෂිකාර්මික සංවර්ධන සැලැස්මක් හදන්න ඕන. අපේ සීනි අවශ්‍යතාවෙන් සියයට 8යි අපි හදන්නේ. ලංකාව සීනි වලින් ස්වයංපෝෂිත කරන්න වසර පහයි යන්නේ. උක් ගහක් වවල මාස හතරෙන් අස්වැන්න එනවා. ආයි පැළ ඉන්දන්න ඕන නැහැ. මූලික වියදම විතරයි යන්නේ. අපි යල මහ කන්න දෙකේ විතරක් වී වවන්නේ ඇයි. බංගලාදේශය කන්න හතරක් වී වවනවා. ඒ නිසා නිවැරදි සැලැස්මක් ඇතිව වැඩ කරන්නයි ඕන. ඒකාලය තුළ ජනතාවට තව දුක් විඳින්න වෙනවා. එහෙම නැතුව මේක කරන්න බැහැ.

 

* ගෑස් මිලට ගැනීමේදී විශාල වශයෙන් දූෂණ, අක්‍රමිකතා හා කොමිස් ගැනීම සිදු කරන බව වරින්වර වාර්තා වෙනවා. එහිදී ගෑස් සමාගම්වලට වගේම ඇතැම් දේශපාලඥයන්ටත් චෝදනා එල්ල වෙනවා?

මගේ සමාගමට නම් ඔය චෝදනාව එල්ල වෙන්නේ නැහැ. මට ඒක ගැන මුකුත් කියන්න බැහැ. නමුත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්, මේ රටේ පගාව හරි අල්ලස් හරි දෙන්නෙ කවුද අපේ ම මිනිස්සු. පොලිස්කාරයට පගාව දෙනවා. ග්‍රාමසේවකට පගාව දෙනාව පාසලට දාගන්න පගාව දෙනවා, පාස්පොර්ට් එක හදාගන්න පගාව දෙනවා. ඊට අමතරව බොහෝ සේවා ලබා ගන්න උඩ ඉඳන් පහළට පගාව දෙනවා. ඊට පස්සේ කියනවා මුන් පගාව ගන්නවා කියලා. ඒත් කවුද මේවා දෙන්නේ මහජනතාව. මේ රටේ මිලියන විසිදෙකහමාරම එකට එකතුවෙලා කිසි වැඩක් කරගන්න මින් ඉදිරියට අපි පගාව දෙන්නෙ නැහැ කියලා එකමතයකට එන්න බැරිද? පුළුවන්. ඉතින් එක එක්කෙනාට ඇඟිල්ල දික නොකර අපි අපිම මේ දෙවල්වලින් වැළකුණොත් අපට මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්.

 

 

Comments