අලි කොටි වග වල­සුන් මැද මහ කැලේ ගහක් උඩ දින දෙකක් | Page 2 | සිළුමිණ

අලි කොටි වග වල­සුන් මැද මහ කැලේ ගහක් උඩ දින දෙකක්

 

“කැලේ ටික දුරක් යනවිට හිටි හැටියේම කැලෑව ඇතුළෙන් ආව තඩි වලහෙක් මගේ මූණටම හමුවුනා.මට මොනවා වුනාද මම ම දන්නේ නෑ. මම කැලෑව පැත්තට දුවන්න පටන් ගත්තා. හැම තැනම පාරවල්. හැම පැත්තටම දිව්වා. ආපහු හැරිලා බලන කොට වලහා තාමත් මගේ පස්සෙන් එනවා. මම පුළුවන් තරම් හයියෙන් දිව්වා.

 

ගල් මුල්වල කකුල වැදිලා දෙතුන් පාරක්ම වැටුනා. ඒත් පුළුවන් තරම් හිතට අරගෙන දිව්වා. ආපහු බැලුවේ නෑ. උගුර කට වේළිලා බටයක් වගේ .මහන්සි වැඩි නිසා හොඳට වටපිට සෝදිසි කරලා ගහක මුලක් උඩ වාඩිවුනා. පොඩි සද්දයක් ඇහුනත් මාව පිච්චෙනවා වගේ දැනෙනවා. “

රිස්වාන් මෙහෙම කිව්වේ හරක් පට්ටියක් බලා ගන්නා සිය මාමාට හා මස්සිනාට තේ වතුර අරගෙන යද්දී හමුවූ වලස්තඩියා නිසා දවස් දෙකක් කැලයේ අතරමං වී හිටිය කථාවේ සුලමුල අප හා දිගහරිමිනි.

වමේ සිට, තිස්ස­පුර යුද හමුදා කඳ­වුරේ අණ­දෙන නිල­ධාරි ලුතිතන් කර්ණල් කමල් රාජ­ගු­රු, කන්තලේ කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධි­කාරි අශෝක මහින්ද වීර­ක්කොඩි, සහ­කාර පොලිස් අධි­කාරි අකිල කරු­ණා­ර­ත්න සහ තඹ­ල­ග­මුව පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කෞශල්‍ය නාක­න්දල.

ඉකුත් 16 වෙනිදා තඹලගමුව මොල්ලිපතාන 10 කොලනියේ 22 හැවිරිදි රිස්වාන් පරෙවිපන්ජන් වැව් පිටියට ගියේ හරක් පට්ටිය අරන් වැව් රක්ෂිතයට ගියේ සිය මාමාට හා මස්සිනාට තේ වතුර රැගෙන ය. “වේලාව පෙරවරු 11 ට විතර ඇති. නිවසේ ඉඳලා කිලෝ මීටර් 3 ක් විතර ඈතින් තියෙන මේ හරක් පට්ටිය තම මාමා ගේ හිතවතෙකුට අයත් එකක් . මී ගවයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඒකෙ ඉන්නවා. ඔවුන් බලා ගන්නා හරක් කොටුවට කිලෝ මීටර් බාගයක් පමණ දුර තියෙද් දී කැලය මැදින් වලහෙක් මා දෙසට වේගයෙන් එනවා දැක්කා. මම පණ එපා කියලා දුවන්න ගත්තා. ආපහු බලන කොට වලහා තාමත් මගේ පස්සේ එනවා දැක්කා. මම ආයෙත් දුවලා දුවලා වලහා නොඑන බව තහවුර කර ගෙන ගහක මුලක් උඩ වාඩිවුනා . ගෙදරට කෝල් එකක් ගන්න සෑහෙන්න මහන්සි වුනා. ඒත් කැලේ ඇතුළට සිග්නල් නෑ. හැම තැනම අවිදලා බැලුවා. හරිපාරට කිසිම හෝඩුවාවක් නෑ. කැලේ අතරමංවුන බව මට දැනුනා. මම දෙයියන්ට කිව්වා . දැන් ටික ටික රෑ වෙන්න ගත්තා .කොහොම හරි පරිස්සමින් රෑ එළිකර ගන්න ඕන නිසා මම ලොකු ගහකට නැගලා උඩම අත්තක සරම පටලවාගෙන පොඩි හුස්මක් ගත්තා. හොඳටම රෑවෙලා බව මට දැනුනා . හැම පැත්තෙන්ම සත්තු කෑ ගහනවා. ගහ ළඟටම ආව අලි රංචුවක්. මම දෙයියෝ මතක් කරගත්තා. නින්දත් නොනින්දත් අතර රැය පහන්වුනා. හොඳටම එළිය වැටෙනකම් මම ගහෙන් බැස්සේ නෑ.

“මට පුදුම තිබහක් දැනුනා . ඈතින් වතුර කඩිත්තක් තියෙනවා දැකලා මම එතනට ගියා. මම ටිකක් වෙලා එතන ඉඳගෙන ඉඳලා ආයෙත් පාර හොයන ගමන පටන් ගත්තා. මට ඕන වුනේ කොහොම හරි ගෙදරට කෝල් එකක් ගන්න . ගස් කීපයකටම නැගලා බැලුවා සිග්නල් නෑ. තැන්නක් වගේ තැනක ලොකු ගහක් තියෙනවා දැකලා මම ඒකට නැගලා බැලුවාම එක කණුවක් වැටුනා. මම ඉක්මනටම තාත්තාට කතා කරලා සිද්ධිය කිව්වා. එතකොට වෙලාව හතරට විතර ඇති.

ඒ වෙලාවේ මගේ නෑදෑයෝ දිගින් දිගටම කථා කරන්න ගත්තා. මම ඉන්න තැන ගැන සලකුණු ගැන අහනවා.කෝල් වැඩි වෙලා ෆෝන් එකේ බටරි බැස්සා . කොහොම වුනත් දැන් මට තේරුණා අද රෑත් කැලේ ඉන්න වෙනබව. මම හොඳට වතුර බීලා ගහක් උඩට නැගලා අත්තක හාන්සිවුනා.

පළමු දා රෑ වගේ මේ රැයත් හරිම භයංකාරයි. අලි එනවා අතුකඩනවා. වලස්සු කෑගහනවා. “

රිස්වාන් ගෙන් කෝල් එක ලැබෙන විටත් මුළු ගමම මී වදයක් කැඩුවා වගේ ඇවිස්සී තිබුණේ එදිනට දින එක හමාරක් ගතවී තිබීමෙණි. ඔහුගේ ඇමතුම ලැබීමෙන් පසු පියා මේ බව තඹලගමුව පොලිසියට දැනුම් දී ඇති අතර එම මොහොතේම පොලිස් නිලධාරින් ගම්වාසීන් හා හමුදා නිළධාරින් එක්ව රිස්වාන් කියූ සලකුණු ඔස්සේ පිටත්ව ගියද නිසියාකාර තොරතුරක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් ඔවුන් ආපසු පැමිණියේ තවත් පිරිස වැඩිකරගෙන යුධ හමුදාවද එක්ව පසුදින උදෑසන සිට කාලය පීරීමට සිතාගෙන ය.

මේ වනවිට කන්තලේ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක මහින්ද වීරක්කොඩි ගේ නියෝග මත තඹලගමුව සහකාර පොලිස් අධිකාරි අකිල කරුණාරත්නගේ අධීක්ෂණයෙන් තඹලගමුව පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෞශල්‍ය නාකන්දල හා පොලිස් නිලධාරි 20 ක පමණ කණ්ඩායමක් ද තිස්සපුර යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි කමල් රාජගුරුගේ මෙහෙයවීමෙන් හමුදා නිලධාරින් 30 ක් පමණ ද ගම්වාසීන් විශාල පිරිසක්ද සමඟින් කණ්ඩායම් 6 කට බෙදී කැලෑව පීරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණි.

හරියටම 18 වෙනි දින උදෑසන 7 ට පමණ පිරිස් ගමන් අරඹනු ලැබූයේ මුස්ලිම් ආගම් චාරිත්‍ර වාරිත්‍ර ද අනුගමනය කරමිනි. ඊච්චලම්පත්තු වැව සමීපයට පැමිණි පිරිස එතැන් පටන් කණ්ඩායම් වශයෙන් වෙන්වී කැලෑවට වැදුනේ තම ගමන කෙසේ හෝ සාර්ථක කර ගැනීමටය.

පැය කිහිපයක ගමනින් පසුව එකි නෙකා දුරකතන ඔස්සේ ඉතාම අපහසුවෙන් සම්බන්ධතා ගෙඩනගා ගනිමින් තොතුරු හුවමාරු කර ගත්තද රිස්වාන් පිළිබඳව තොරතුරක් ලැබුණේ නැත. දහවල් කෑමද ගෙන සියලු පිරිස් නැවත වනයට වැදුනේ මොනවා වුනත් කළුවර වැටීමට පෙර වනයෙන් පිටතට පැමිණිය යුතු බවට ලැබී තිබූ නියෝග නිසාවෙනි.

කිලෝ මීටර් 11 ක් පමණ ඈතටම ගිය කණ්ඩායමට රිස්වාන් හමුවිය.

“ අපි මොනම ආගම් ජාති භේදයක් වත් නැතිව එකා මෙන් මේ මෙහෙයුම කළා . ඇත්තටම හරි සතුටුයි. අපේ රටේ හමුදාව පොලිසිය ගැන අපිට හරිම ආඩම්බරයි. ඕනැම කරදරයකදී මේ අය බලන්නේ ඒ අය කරදරයෙන් මුදවා ගැනීම මිස පුද්ගලයා ගේ වර්ගය නොවෙන බව මීට පෙරත් අවස්ථා කීපයකදීම අපි දැක්කා.

හිතේ තිබුණටත් වැඩිය ගෞරවයක් මේ සිදුවීමත් එක්ක අපේ හිත් වල ඇතිවුනා” යි රිස්වාන් ගේ නෑදෑ පිරිස කියා සිටියේ හද පිරි සතුටින් ය.

 

 සුමිත්‍රා කුමාරිහාමි, කන්තලේ සමූහ

 

Comments