
ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දශක කිහිපයක් දෙස් විදෙස් කීර්තිමත් නමක් දිනා තිබෙන අඬාරදෙනිය එස්ටේට් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී අගය එකතු කළ තේ සහ ඒ ආශ්රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ජිනදාස මහතා සම්මානය ලබා ගත්තේය. 1983දී දලු එකතු කිරීමේ ව්‍යාපාරයෙන් අරඹමින් වර්තමානයේදී දිස්ත්‍රික්ක ගණනාවක තේ කර්මාන්ත ශාලා 11ක්, කුඩා විදුලි බලාගාර සහ සූර්ය විදුලි බල පද්ධති සහිතව මෙරට ආර්ථිකයට ප්රමුඛ දායකත්වයක් සපයන දැවැන්ත සමාගම් ජාලයක් බවට ඔවුන් පත් වී ඇත. අඬාරදෙනිය ස්ටේට් (පෞද්.) සමාගම, සිංහරාජ හිල්ස් ප්ලාන්ටේෂන් (පෞද්.) සමාගම, නිවිතිගල කර්මාන්තශාලා (පෞද්.) සමාගම, අඬාරදෙනිය හෝල්ඩින්ග්ස් (පෞද්.) සමාගම, හිල්ස් ප්ලාන්ටේෂන් (පෞද්.) සමාගම, අඬාරදෙනිය ටී ස්ටේට් සිලෝන් (පෞද්.) සමාගම, අඬාරදෙනිය මිනි හයිඩ්රො පවර් (පෞද්.) සමාගම යන සමාගම් සමූහයකින් ව්‍යාපාර ජාලය සමන්විතය. 1983 සිට කළ ව්‍යාපාර, සමාජ සහ ආගමික මෙහෙවර වෙනුවෙන් ඩබ්ලිව්. ජිනදාස මහතා දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.