වයස් බේදයකින් තොරව මට ආදරය කරන පිරිසක් ඉන්නවා | සිළුමිණ

වයස් බේදයකින් තොරව මට ආදරය කරන පිරිසක් ඉන්නවා

දිල්හානි වීරසිංහ කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරුපිනියක්. දිල්හානි පසුගිය කාලයේ අහස් මාළිගා, හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලිනාට්‍ය හරහා සේම ජාතික රූපවාහිනියේ විකාශය වුණු සකලගුරු ටෙලිනාට්‍යයේ පුෂ්පා ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඒ එක්කම ඇය සමාජ මාධ්‍යය තුළින් වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ සුන්දර මනාලියක් ලෙසින්.

මොකද වෙන්නේ මේ දවස් වල

මේ දවස් වල "ගිනිගත් සීතල" කියලා අලුත් නාට්‍යයක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ සුරංජන මහමුදලිආරච්චිගේ. එහි මගේ චරිතයේ නම අමන්දි. ඊට අමතරව සුපුරුදු විදියට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සහ වෘත්තීය ජිවිතේ වැඩකටයුතු කරගෙන ඉන්නවා.

රංගනයට වඩා ප්‍රිය කරන්නේ නිරූපණ ක්ෂේත්‍රයටද?

මම මේ ක්ෂේත්‍රයට ආවේ 2014 වර්ෂයේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට සහභාගී වීමෙන් පස්සේ. රංගනයෙන් මම කලාවට එන්නේ. නිරූපණ ක්ෂේත්‍රයට වඩා කැමති රංගනයට. ඒ නිසා නිරූපණ ශිල්පිනියක් විදියට ඉදිරියට යනවට වඩා මම කැමති රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යන්න. නිරූපණ ක්ෂේත්‍රයේ මනාලියන් විදියට හැඩ වෙන්න තමයි මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ.

මේ වෙද්දී කී වතාවක් මනාලියක් විදියට හැඩ වුණාද?

හයසිය වතාවකට වැඩියෙන් විවිධ වූ නිරූපණ අවස්ථාවලදී මනාලියන් විදියට හැඩ ගැන්විලා තියෙනවා. ඒ උඩරට පහතරට සහ හින්දු මනාලියන් විදියට. ඒක වෙනස්ම අත්දැකීමක්.

දිල්හානි අනුරාධපුරේ කෙනෙක් නිසා ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද මේ තරම් මනාලියන් විදියට හැඩ ගැන්වීම ගැන

නැහැ. සමහර අයට නම් විවිධ මති මතාන්තර තියෙන්න පුළුවන් කිහිප සැරයක් තැල්ල දැමීම ගැන. නමුත් මගේ අම්මයි තාත්තායි එච්චරම සම්ප්‍රදායික විදියට හිතන්නේ නැහැ. ඒ නිසා මම මනාලියන්ට අඳින එක ගැන ගෙදරින් මුකුත් කියන්නේ නැහැ. මගේ කැමැත්තටත් ඉඩ දීලා තියෙනවා.

ඇත්තටම තැල්ල දාන්නේ කවදද?

ඒකට නම් තව ටික කාලයක් තියෙනවා.

දිල්හානිගේ ආදර කතාවට දැන් අවුරුදු කීයක් ද?

දැන් වෙද්දී අවුරුදු හත සම්පුර්ණයි. මේ යන්නේ ආදර කතාවේ අටවෙනි අවුරුද්ද?

ආදර කතාවට බාධක ආවේ නැද්ද?

බාධක කම්කටොලු තිබ්බා. ගෙවල්වලිනුත් ප්‍රශ්න ආවා. නැත්තේ නැහැ. ඒ ජීවිතේට හැම බාධාවක්වම එන්නේ ජයග්‍රහණයට කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා එන බාධක බිඳගෙන ආදරේ ආරක්ෂා කරගෙන යනවා. මම මගේ ප්‍රතිරූපයට හානියක් නොවන මට ගැළපෙන දෙවල් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට ප්‍රශ්න අඩුයි.

ඔහුගෙන් දිල්හානිගේ ගමනට ලැබෙන සහයෝගය කොහොමද?

ඉතාම හොඳ ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම තෝරා බේරාගෙන හොඳ දේවල් පමණයි කරන්නේ. ඒ නිසා මට නීති දාන්නේ නැහැ.

මේ කාලයේ තිරයෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

මම ක්ෂේත්‍රයට ආව කාලයේම සම්බන්ධ වුණා ලබැදියේ කියලා ටෙලි නාට්‍යයක්. ඒක මේ දවස් වල නැවත විකාශනය වනවා සියත නාළිකාවේ රාත්‍රී 7.30ට. එහි සම්පත් තෙන්නකෝන් තමයි මගේ තාත්තාට රඟපෑවේ. ඔහු අද ජීවතුන් අතර නැහැ. දැන් නැවත ඒ නිර්මාණය බලද්දී ඔහුව මතක් වෙනවා. ඔහු ඉතාම දක්ෂ නිහතමානී කලාකරුවෙක්. මමත් බොහොම ආසාවෙන් අතීත මතක එක්ක ඒ නාට්‍යය බලනවා. ඒ එක්කම මම රංගනයෙන් දායක වූ සකලගුරු නාට්‍යය දවල් 2.00-3.00 දක්වා කාලය තුළ ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා.

සකල ගුරු කියන්නේ දිල්හානිගේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් වුණු නිර්මාණයක් නේද?

අනිවාර්යෙන්ම. මගේ රංගන ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් තමයි සකලගුරු හි පුෂ්පා කියන්නේ. මම ටෙලි නාට්‍යය කිහිපයක රඟපාලා තිබ්බත් මාව ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය සකල ගුරු හි පුෂ්පා. අදටත් මඟ තොටේදිත් මාස්ක් එක දාගෙන හිටියත් මිනිස්සු අඳුන ගන්නවා. එක දවසක් මම පානදුර හොස්පිටල් එකට ගියා රජයේ රැකියාවට අවශ්‍ය වෛද්‍ය සහතිකය ලබා ගන්න. එතැනදී මගේ පස්සෙන් කෙනෙක් ඇවිත් ඇහුවා ඔයා සකල ගුරු එකේ පුෂ්පා කියලා මේ ළමයා කියනවා, ඇත්තටම ඔයා ද ඒ පුෂ්පා කියලා ඇහුවා. මම කිව්වා ඔව් මම තමයි කියලා. එතකොට ඒ ළමයා සතුටින් හිනා වෙලා කිව්වා දැක්කනේ මම අඳුන ගත්තා කියලා. ඒ වගේ වයස් බේදයකින් තොරව මට ආදරය කරන පිරිසක් ඉන්නවා.

මේ වෙද්දී සිනමාවේ ලැබුණු අවස්ථා ගැන මතක් කළොත්

කල්‍යාණ චන්ද්‍රසේකරයන්ගේ "රජා මමයි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ඊට පස්සේ වින්දන සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ "රූකඩ පැංචි", බෙනට් රත්නායක මහතාගේ "කවුරුවත් දන්නේ නෑ" චිත්‍රපටය තිරගත වුණා. ඒවායේ ලොකු චරිතයක් නොවුණත් මට විශාල අත්දැකීම් ප්‍රමාණයක් එකතු වුණු නිර්මාණයක්. තව එක නිර්මාණයක් තියෙනවා ඉදිරියේදී තිරගත වෙන්න.

කලාවේ මොන වගේ බලාපොරොත්තු එක්ක ද මේ ගමන යන්නේ

මම කැමතියි කලාව තුළ එකිනෙකට වෙනස් වූ චරිත කරමින් කලාව තුළ නමක් තියන්න.

වෘත්තීය ජිවිතේ නිසා කලාව කරගෙන යන්න කාලය තියෙනවද?

මම ඉගෙන ගෙන උපාධිය ලැබුව නිසා මගේ දෙමාපියන් තුළ මතයක් තියෙනවා රජයේ රැකියාවක් කළ යුතුයි කියලා.ඒ නිසා මගේ අම්මගේ තාත්තාගේ හිත රිද්දන්න බැහැ. ඒ නිසා මට ලැබුණු ජොබ් එක බාර ගත්තා. එතැනිනුත් මට මගේ ආයතන ප්‍රධානින් ලොකු සහයෝගයක් ලබා දෙන නිසා රැකියාව නිසා කලාවටවත්, කලාව නිසා රැකියාවටවත් බාධාවක් ඇති නොකර ගනිමින් මම මගේ ගමන යනවා.

 

Comments