මම කැමති ෆැන්ටසි සින්දුවලට | සිළුමිණ

මම කැමති ෆැන්ටසි සින්දුවලට

අප දකින, අපට පෙනෙන, අප අහන හැම දේකම පැති ගණනාවක් තියෙනවා. ඒ වගේ, ගීතයකත් ඒක විඳින්න පැති ගණනාවක් තියෙන්න

පුළුවන්. එක එක්කෙනාගෙ දැනුම් හා වින්දන පරාස අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.

මං කැමති සින්දුවක වුණත් අපූර්වත්වය මතු වෙනවට. සරලව කිව්වොත් ඒකෙ 'wow' ෆැක්ටර් එක තියෙනවට. නැත්නම් පරිකල්පනමය ෆැන්ටසිය හරහා අපේ ඇත්ත ජීවිත ස්පර්ශ කරනවට..

අන්න එහෙම ගීත තුනක් ගැන තමයි මං මේ කියන්නෙ. මුලින්ම මං තෝර ගත්තෙ වික්ටර් රත්නායකගෙ 'සදට අහස ආදරේදෝ' කියන ගීතය..

තව එකක් කියන්න ඕන. සින්දුවකට මං මුලින්ම ළං වෙන්නෙ ඒකෙ වචන හරහා නෙමෙයි. ඒකෙ සංගීතය හරහා.! මං හිතන්නෙ සංගීතය, ගීතයක ආත්මය කියල. ඒ සංගීතය මට දැනෙනව නම් තමයි මං ඒකෙ වචන හොයාගෙන යන්නෙ..

මේකත් එහෙමයි. වික්ටර්ගෙ සංගීතය මං මේ ගීතයට ළං කරනවා. ඊට පස්සෙ තමයි මං ඒකෙ වචන හොයාගෙන යන්නෙ..

"සදට අහස ආදරේ දෝ

හ්ම්.. හ්ම්..

මලට බඹරු ආදරේ දෝ

හ්ම්.. හ්ම්..

මෙතන ඉන්නව අලුත් ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක්. මේ අලුත් ප්‍රේමවන්තයට ඕන තමන්ගෙ අලුත් ප්‍රේමවන්තියගෙන් තමන්ට ආදරේද කියල දැන ගන්න. අලුත් ප්‍රේමයකදි දෙන්නගෙන් ආඩම්බර වෙන්නෙ ප්‍රේමවන්තිය. මොකද, පිරිමියා තමයි ගොඩක් වෙලාවට ගැහැනිය පසුපස ගිහින් තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්නෙ. ඒ කාලෙදි ගැහැනිය හරි ආඩම්බරයි. හරි ගණන්.! හැබැයි, ගැහැනිය ආදරය ප්‍රකාශ කළාට පස්සෙ, නැත්නම් ආදරය පරණ වෙනකොට, ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ආඩම්බර වෙන්නෙ පිරිමියා.! පස්සෙන් යන්නෙ ගැහැනිය..

මේ ගීතයෙ තියෙන ප්‍රේමය තාම අලුත්. පිරිමියා ආදරේ ඉල්ලගෙන පස්සෙන් යනවා. ගැහැනිය එයාට කැමතියි තමයි. ඒත් ඒක කෙළින් කියන්න අකමැතියි. තමන්ට ආදරෙයි කියල කෙළින් කියන්නෙ නැති නිසා පිරිමියා එක එක උපමා අරගෙන එනවා.

පිරිමියා අහනව, සදට අහස ආදරේද? ගැහැනිය පිළිතුරු දෙනව, හ්ම්.. හ්ම් ( ඔව්. ඔව්) කියල.. මේ හැම උපමාවක්ම ඔව් කියල අනුමත කරල අන්තිමට, ඔයා මට ආදරේද කියල ඇහුවම ඇය කියන්නෙ මොකක්ද? නෑ..කියලා! අන්න ගණන් ඉස්සීම. නැත්නම් ගැහැනු මනස ඒ වෙලාවෙ වැඩ කරන්නෙ ඒ විදිහට. මෙහෙම උපමා ගණනාවක් ඉදිරිපත් කරල අන්තිමට ප්‍රේමවන්තයා කපටි උපක්‍රමයක් යොදනවා.

"එහෙනම් මා මුමුණන ගී පද

පෙරළා යළි කියනව දෝ"

තමන් පද පෙරළා කියන වචන නිවැරදි කරන ලෙස ඔහු යෝජනා කරනවා.

"මඳ සහනයි"

පෙම්වතිය ඒ පද නිවැරදි කරනවා..

 

"සද පහනයි..

පද මවනයි..

මඳ පවනයි..

වසර සසන තුරු..

සසර වසන තුරු..

අම මාදරෙයි..

මම ආදරෙයි.."

අන්තිමට තමන්ටත් නොදැනීම, 'මං ආදරෙයි' කියල පෙම්වතිය පෙම්වතාට කියනවා. පෙම්වතාගෙ මේ කූට උපක්‍රමය කෙතරම් සුන්දරද බලන්න. අලුතෙන් පිරිමියෙක් වෙත බැඳෙන ගැහැනියකගේ චිත්ත අභ්‍යන්තරය, මේ ගීතය ලියූ ප්‍රේමකීරිති ද අල්විස් හරිම සියුම් විදියට පරිකල්පනය කරනවා. නැත්නම් තමන් මොන තරම් පිස්සු මිනිහෙක්ද කියල ප්‍රේමකීර්ති නැවත වරක් මේ ගීතයෙන් ඔප්පු කරනවා. එදා මෙදාතුර මේ ලෝකය වෙනස් කරල තියෙන්නෙ පිස්සු මිනිස්සු. ප්‍රේමකීර්ති කියන්නෙ ඒ වගේ අසාමාන්‍ය පිස්සු මිනිහෙක්..

ඊළඟට මං තෝර ගත්ත ගීතය ලියල තියෙන්නෙ අශෝක හඳගම. ඒක ඔහුගෙ 'සින්තටික් සිහින' ටෙලිනාට්‍යයෙ තිබුණට මං කැමතියි එතනින් එළියට අරන් කතා කරන්න. හැබැයි, මේ ගීතයත් මගේ හිතට මුලින්ම ළං වෙන්නෙ නවරත්න ගමගේ ගෙ සංගීතය නිසා..

"ඉර හදට වඩා

අපි ඈත බව දන්නවා..

මේ ලෝකෙ කිසිම දෙදෙනෙක් සමාන නෑ. හැම කෙනෙක්ම අනෙකාට වඩා වෙනස්. සැබෑ සත්‍ය මේක වුණාට, අපි ආදරයෙදි පිළිගන්නෙ ඒක එහෙම නෙමෙයි කියලා. මේ පෙම්වතා ඒ සත්‍ය දන්නවා. ඒක තමයි ඔහු කියන්නෙ ඉර හදටත් වඩා, අපි දෙන්න ඈත බව දන්නවා කියලා. බලන්න.! ඉර හදටත් වඩා මේ දෙන්න ඈතයි. ඒත් අහම්බෙන් මේ දෙන්න මුණ ගැහිලා. හරි.! දැන් මොකද කරන්නෙ?

"දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

ආදරය කරනු මිස.."

ඔව්.! දැන් තියෙන්නෙ 'ආදරය' කරන්න. ඇත්තටම හඳගම මේ ප්‍රශ්න කරන්නෙ ආදරය කියන්නෙ මොකද්ද කියල.. ඇත්තටම ආදරය කියල දෙයක් තියෙනවද? සත්‍ය වශයෙන්ම එතන ඇත්තේ විරුද්ධ ලිංගික ආකර්ෂණයක් පමණද? එසේ නම් ආදරය කියන්නේ අපි අපේ හිත්වලින් හදාගත් ලස්සන වචනයක් පමණද?

පුංචි පුංචි වචන කීපයක් හරහා එවැනි දාර්ශනික ලෝකයකට අපේ පරිකල්පන කවුළුව විවෘත කිරීම තමයි, රචකයා මේ කරන්නෙ. ඊළඟට ඔහු මෙහෙම කියනවා.

 

"මහා පතරංගෙටත් වඩා

දිග කතාවක

කොම්බුවක් තරම් නැති

අපේ ලව් සින්දුවේ

අන්තරා පේළියක සමන්ති

මා ඔබව ඉම්බා.."

මහා පතරංගයක් තරම් දිග අපේ ජීවිත කතාව තුළ මේ සමන්තී නම් ගැහැනිය කොම්බුවක් තරම් පුංචියි. ඒත් ඒ මුණගැහීමෙදි ඔහු ඇයව සිප ගන්නවා. ඒක 'ඉම්බා' කියන අමු වචනයෙන්ම හඳගම ලියන්නෙ, ආදරය කියන්නෙ ලිංගික ආකර්ෂණයක් පමණක්ද කියන අර මං කලින් මතු කළ ප්‍රශ්නය නැවත මතු කරමින්..

මේ ගීතයේ ඊළඟට තියෙනව, "කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මා ඔබට තුරුලු වී උන්නා" කියලා. රචකයා මේ කියන්නෙ කාලය කියන මායාමය සංකල්පය ගැන. විද්‍යාත්මකව ගත්තොත් කාලය කියන්නෙ බොරුවක්. පැය, තත්පර, කල්පය කියන්නෙ අපි හදාගත්ත සංකල්ප. රචකයා මෙතනදි කරන්නෙ මේ මායාමය සංකල්ප දෙක එකිනෙක ගටා පුපුරවා හැරීම. එතනින් මතු වෙන්නෙ පරිකල්පනීය ආලෝක පුලිගුවක්..

ඊළඟට මං තෝර ගත්තෙ, මනුරංග විජේසේකර රචනා කළ, ළහිරු පෙරේරා ගායනා කරන ගීතයක්.

"කැස්සට කොස් ඇට උණට කුරුම්බා..

වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා..

වේග රිද්ම බයිලා සින්දුවක් කියපු ගමන් අපි මානසිකව පුරුදු වෙලා තියෙන්නෙ, හරිම අවතක්සේරුගතව ඒක ගැන හිතන්න. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මං නං හිතන්නෙ, අපි රටක් විදිහට මේ මොහොතේ පත්වෙලා ඉන්න අවාසනාවන්ත තත්ත්වයට හේතුව, මේ සින්දුව ඇතුළෙ හරිම පරිකල්පනීය විදියට සටහන් වෙලා තියෙනව කියල.

"ශේක්ස්පියර් ගැන ලෝකෙට කියලා..

මිස්ටර් බීන්ලගෙ නාට්‍ය බලලා..

හවසට ඇවිදින් නෝනට බණිනු එපා..

ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා..

අල්ලේ ඉරි මත ලෝකය තියලා..

සෙනසුරු අපලෙට ජීවිත ලියනු එපා.."

අපි ශේක්ස්පියර් ගැන කතා කර කර මිස්ටර් බීන් නාට්‍ය බලන මිනිස්සු.. පස්සෙ ගෙදර ඇවිත් නෝනට බණින මිනිස්සු.. නැත්නම් ලෝක විනාශය ගැන තාර්කිකව කතා කර කර, සෙනසුරු ග්‍රහ මාරුව විශ්වාස කරන මිනිස්සු.. එහෙම මිනිස්සුන්ගෙ වැරදි තීරණ නිසා තමයි අපිට අද පෝලිම්වල මැරෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. ගෑස් නැතිව කන්ඩ සිද්ධවෙලා තියෙන්නෙ. අහස උසට වැඩිවෙන බඩු මිල දිහා බල බල, හුල්ලන්ඩ වෙලා තියෙන්නෙ..

අඩුම තරමෙ, මනුරංග විජේසේකර අතිශය සරලව සහ අතිශය පරිකල්පනීය ලෙස කියන මේ අදහස තේරුම්ගත හැකි නම්, අපිට මේ රට වෙනස් කරන්ඩ පුළුවන්..

Comments