කවුරුවත් තාම ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පර්යේෂණයක් කරලා නැහැ | සිළුමිණ

කවුරුවත් තාම ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පර්යේෂණයක් කරලා නැහැ

මම අදටත් ඉගෙනීම නතර කරලා නැහැ. මම දැන් කැලණිය විශ්ව විද්‍යාලයේ PHD එක කරනවා.

 

විකල්ප තෝරා ගනිද්දී වඩාත් හොඳම විකල්පය තෝරා ගන්නේ නැතුව වෙන විකල්ප තෝරා ගත් තැන් තියෙනවා විවිධ වූ ක්ෂේත්‍රයෙන් සිය ගමන් මඟ සකසා ගත් දර්ශන මල්දෙණිය වඩාත් අපිට සමීප වන්නේ ක්‍රීඩා නිවේදක මාධ්‍යවේදියකු ලෙසින්. ඔහුගේ මේ ගමන් මඟ තුළ මතු පරපුරට ගත හැකි දේ බොහෝ නිසාම දර්ශන සමඟ රසඳුන කළ සොඳුරු කතාබහයි මේ.

 

 

දර්ශන මාධ්‍යවේදියකු වෙන්න මඟ සකසා ගන්නේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳන් ආස කළේ නිවේදන ක්ෂේත්‍රයට. මගේ ගම මිනුවන්ගොඩ නිල්පනාගොඩ. මම පුංචිම කාලේ අපේ ගෙදර රූපවාහිනියක් තිබ්බේ නැහැ. ඒ කාලේ විදුලිය තිබ්බෙත් නැහැ. ගමේ එකම එක ගෙදරක තිබ්බා ටීවී එකක්. ඒ අය කරන්නේ බිත්තියේ පොඩි කවුළුවක් ළඟ ටීවී එක තියනවා. ගමේම ඉන්න පොඩි ළමයි ටික වත්තේ බිම ඉඳගෙන තමයි මේ ටීවී එක බලන්නේ. ඒ කාලේ පැය 24ම විකාශය වෙන්නේ නැහැනේ. විකාශය නැති වෙලාවට වැටෙන සුදු තිත් ටික දිහා පැය ගානක් බලන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ රූපවාහිනී කුරුල්ලා පේන්න ගන්න කොට කෑගහලා අප්පුඩි ගහනවා. වැඩසටහන් පටන් ගන්නකොට කළුවර වැටිලා. එතකොට අම්මා ඇවිත් ගෙදර එක්කගෙන යනවා. කාලයක් යද්දී අපේ ගෙදරටත් කළු සුදු රූපවාහිනියක් ගේනවා. ඒ කාලේ පටන් මම මේ මාධ්‍යයට හරි ආසයි. මම මාරිස්ටෙලා පාසලට යන කාලේ හොස්ටල් හිටියා. ඒ කාලේ අපි යාඥාව කියවන්න ඕනේ. මම කියවනවා හොඳයි කියලා පල්ලියේ සතියේ පූජාවට සම්බන්ධ කර ගත්තා. ඒකත් කියනවා හොඳයි කියලා ඉරිදා පූජාවටත් ගත්තා. පාසලේ නිවේදන කියවන්නත් මාව තෝරා ගත්තා. නමුත් එක දවසක්වත් ඒක කියවන්න ලැබුණේ නැහැ.

මොකද ඒ කාලේ හිටිය සර් කෙනෙක් තමයි හැමදාම ඒ නිවේදන කියෙව්වේ. ඔය කාලේ කමල් දේශප්‍රිය පත්තරේකට කියලා තිබ්බා එයා අහුවෙන අහුවෙන හැම කොළයක්ම කියවනවා කියලා. මමත් ඉතින් පත්තර කොළ මේස උඩ තියාගෙන නිව්ස් කියවනවා කියලා හිතාගෙන කියවනවා.

මාධ්‍ය තුළ ඔබ ක්‍රීඩාව පැත්තට නැඹුරු වෙන්නේ කොහොමද?

මම පාසල් තුනකට ගියා. මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහ විද්‍යාලයට, මිගමුව මාරිස්ටෙලා සහ කඳාන ද මැසිනඩ්. පාසලේ දී ක්‍රිකට් සෙල්ලම් කළා. මොකද මට හීනයක් තිබ්බා කවදා හරි වෙන ජොබ් එකක් කරන ගමන් නිවේදකයෙක් වෙන්න. කමල් දේශප්‍රිය දිහා බලාගෙන තමයි මම මගේ ගමන හදා ගත්තේ. මම මේ මෑතක තමයි කමල් අයියට මේ ගැන කිව්වේ. ඊට පස්සේ මම උසස්පෙළින් පස්සේ ජපුර විශ්වවිද්‍යාලයට එනවා. එහි තියෙනවා නළ මුදු සුවඳ කියලා තරගයක්. මම එකේ නිවේදන අංශයේ අවසන් වටය දක්වා ආවා. කවදා හරි නිවේදකයෙක් වෙනවාමයි කියලා හිතාගෙන ඉන්නවා. පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයකට අයඳුම් කළත් ජොබ් එකක් සෙට් වුණේ නැහැ. ඔය අතරේ ගංගානාත් සර් රූපවාහිනියේ සභාපති වෙලා ආව කාලේ අලුතින් නිව්ස් කියන්න අය ගන්නවා කියලා යාළුවෙක් කිව්වා ඔයා යන්න කියලා. එදා ඒකට යද්දී එතන සෙනග පිරිලා. 45000ක් හිටියා ඉන්ටර්විව් ඇවිත්. මම එක සැරයක් කිව්වම මට ආයේ කියන්න කිව්වා ඒක රෙකොර්ඩ් කරනවා කියලා. ඊට පස්සේ දෙවන ඉන්ටර්විව් එකෙන් පස්සේ තෙවන එක තිබ්බේ තෝරාගත් පිරිසකට තියන වර්ක් ෂොප් එකක්. ඒකට තේරුණත් නිව්ස් රෝස්ටර් කරද්දී මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහොම ඉන්නකොට ITN / ලක්හඬ එකේ පටන් ගත්තා ක්‍රීඩා අංශයක්.

ඒකට ඒ අය දැන්වීමක් දැම්මා ක්‍රීඩා කරලා තියෙන අයට තමයි වැඩි අවස්ථාවක් දෙන්නේ කියලා. ඒකට මම සිලෙක්ට් වුණා. නමුත් මගේ හීනෙ තිබ්බේ රූපවාහිනියෙ. මම දැක්ක හීන තුනයි තිබ්බේ, එක නිව්ස් එක රීඩ් කරන එක. දෙක මැච් එකට කලින් සාකච්ජාව කරන එක. තුන SLBC එකේ මැච් කමෙන්ට්‍රි කරන එක. ඒ නිසා 2003 රූපවාහිනියේ නිව්ස් කියන්න අය ගනිද්දී මමත් ආයේ දැම්මා. එතකොට මාව තේරුණා දවල් නිව්ස් එකට. ඊට පස්සේ ස්පෝර්ට්ස් නිව්ස් ප්‍රසන්ටර් සහ ප්‍රොඩියුසර් විදියට වැඩ කරන්න එන්න කිව්වා. එතකොට දවසට රුපියල් 300යි ගෙව්වේ. උදේ කැම්පස් ගිහින් හවසට රූපවාහිනියට එනවා. ඊට පස්සේ රාත්‍රී 8 නිව්ස් එක, ක්‍රීඩා වැඩසටහන්, ආදරණීය යෞවනය, ආයුබෝවන් දේශපාලන වැඩසටහන් කළා. දැන් සිව්දෙස කරනවා. මම දැකපු හීන තුන සම්පූර්ණයි. දැන් මාධ්‍යය ජීවිතේට අවුරුදු 20ක්.

මේ වෙද්දී ඔබේ භූමිකා මොනවද?

ජපුර විශ්වවිද්‍යාලයේ ස්පෝර්ට්ස් මාර්කටින් කියන විෂය සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ඉන්ෂුවරන්ස් උපාධියට ඉන්ෂුවරන්ස් ඉන්ඩ්‍රස්ට්‍රි කියන විෂය බාහිර කථිකාචාර්යවරයෙක් විදියට උගන්වනවා. මම මෙතෙක් කරපු රිසර්ච් ආටිකල් 7ක් සම්පුර්ණ කරලා තියෙනවා. රාගම ක්‍රිකට් ක්ලබ් එකේ සෙක්‍රටි වෙලා හිටියා පිට පිටම අවුරුදු තුනක්. ඊට අමතරව ශ්‍රී ලාංකේය වෘත්තීය නිවේදන සංසදයේ සභාපති විදියට වගේම කැලණිය විශ්ව විද්‍යාලයේ MBA ඇලුමිනා එකෙත් ප්‍රසිඩන්ඩ් විදියට ඉන්නවා.

මම අදටත් ඉගෙනීම නතර කරලා නැහැ. මම දැන් කැලණිය විශ්ව විද්‍යාලයේ PHD එක කරනවා. එකේ මගේ රිසර්ච් එක වෙන්නේ "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පර්ෆොමන්ස් වලට බලපාන සාධක මොනවද?" ඒක මේ දවස්වල කරගෙන යනවා. මේ වෙද්දී කවුරුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන රිසර්ච් එකක් කරලා නැහැ. ඒ වගේම පාසල් කාලේ පටන් ගත්ත ක්‍රිකට් ක්‍රීඩාව තුළ අදටත් මම ඉන්නවා. මේ සැරෙත් මර්කන් ටයිල් එක සෙල්ලම් කළා.

ජිවිතේ ගැන අද මොකද හිතෙන්නේ

සමහර තැන්වලදී කළ යුතු දේවල් කළේ නැහැ කියලා හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ මහ ලොකු සැලසුම් සකස් කරනවට වඩා ඒ මොහොත ඵලදායි දෙයකට යෙදුවා නම් වඩා සාර්ථකයිනේ. ඒ නිසා මට හිතෙනවා මම වඩාත් ඵලදායි දේ තුළින් බැහැර වෙලා කියලා. විකල්ප තෝරා ගනිද්දී වඩාත් හොඳම විකල්පය තෝරා ගන්නේ නැතුව වෙන විකල්ප තෝරා ගත් තැන් තියෙනවා. වෙලාව මම උපරිම පාවිච්චි කරපු නැති තැන් තියෙනවා. ඒ නිසා හොඳම විකල්පය තෝරා ගත්තා නම්, කම්මැළි නොවී කාලය පාවිච්චි කරා නම් මීට වඩා තැනකට යන්න තිබ්බා.

 

Comments