මැච් එකේ අන්තිම පන්දුවත් යවනතුරු පැතුම්ගේ නිවහනේ නොනිවෙන බුදු පහන | සිළුමිණ

මැච් එකේ අන්තිම පන්දුවත් යවනතුරු පැතුම්ගේ නිවහනේ නොනිවෙන බුදු පහන

- මංගල එක්දින ශතකයෙන් ආර්. ප්‍රේමදාස තණතිල්ල වර්ණවත් වේ
- තාත්තා මුලින්ම ක්‍රිකට් පුරුදු කරද්දි වයස අවුරුදු 2යි
- 13න් පහළ කණ්ඩායමට සෙල්ලම් කරද්දි වයස අවුරුදු 10යි
- තාත්තගෙයි පුතාගෙයි ලොකුම සිහිනය ගමේ පන්සල වැඩි දියුණු කිරීමයි

ලොවම අර්බුද රැසක ගිලෙමින් ඇති පසුබිමක අඩුවැඩි වශයෙන් එහි ප්‍රතිඵල විඳිමින් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් මතට සිසිල් පිනි වැස්සක් පතිත කරවන්නට ඉකුත් සතියේදී ශ්‍රී ලාංකේය ක්‍රිකට් කණ්ඩායමට හැකිවිය. ඉකුත් ජුනි 19 වැනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි තරගයේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් පරාජයට පත්කළ අතර, එහිදී යොවුන් ක්‍රීඩක පැතුම් නිස්සංක, පන්දු 147කදී ලකුණු 137ක් ලබා ගනිමින් සිය මංගල එක්දින ශතකය වාර්තා කළේය. 

එය ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගයකදී ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර , 2003 වසරේ සිඩ්නි හිඳී සනත් ජයසූරිය විසින් රැස්කළ ලකුණු 122 වාර්තාව ද ඒ සමඟ බිඳ වැටිණ. ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත්කළ පැතුම් ගේ එකී ශතකය ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාස පොතට තවත් වාර්තා කිහිපයක්ම එක් කිරීමට ද සමත් විය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හඹාගොස් ජය ලබාගත් තරගයක තනි ක්‍රීඩකයකු විසින් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස 1996 ලෝක කුසලාන අවසන් තරගයේදී අරවින්ද ද සිල්වා විසින් තබන ලද වාර්තාව ද පැතුම් නිස්සංක විසින් බිඳ හෙලීය. කුමාර සංගක්කාර සහ අරවින්ද ද සිල්වා යන ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් පසු ඕස්ට්‍රේලියාවට එරෙහි හඹායෑමකදී ශතකයක් වාර්තා කළ තුන්වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ ද පැතුම් නිස්සංක ය.

පැතුම් නිස්සංක... ශ්‍රී ලංකා ක්‍රිකට් අඹරට පෑයූ අලුත්ම තරුව ලෙස හඳුන්වනවාට වඩා ධෛර්යයෙන් සහ ආත්ම විශ්වාසයෙන් පිරිපුන් නොසැලෙන තරුණයකු ලෙස හැඳින්වීම ඔහුට කරන ගෞරවයකැයි සිතමි. අවුරුදු 24ක දිවි සැරිය තුළ ලබාගත් ජයග්‍රහණ දෙස ආපසු හැරී බලද්දී සිතෙන්නේ එලෙසිනි.

“සිහින සැබෑ කර ගැනීමට අවැසි නම් සිහින දකින්න...” ලොවම පිළිගත් විද්‍යාඥයකු, ගත්කතුවරයකු මෙන්ම ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා වූ ආචාර්ය අබ්දුල් කලාම් එකී ප්‍රකාශය හුදු වදන්වලට සීමා නොකර සිය ජීවිතයෙන් එය යථාවත් කළ අපූරු මිනිසෙකි. පැතුම් නිස්සංක ද එවැනි තරුණයෙකි. එකම සිහිනයක් ජීවිතයම කරගෙන එය සැබෑ කරගැනීම වෙනුවෙන්ම කැපවූවෙකි. මේ ඔහුගේ කතාවයි.

පැතුම් නිස්සංක උපත ලැබුවේ 1998 මැයි 18 වැනිදාය. ඒ, සුනිල් - නිලන්ති කැදැල්ලේ බාල පුතු ලෙසටය. පැතුම්ට එක් වැඩිමහල් සොහොයුරියකි. කළුතර පදිංචිව සිටි පැතුම් බහතෝරන දා සිට උදේ හවා ඇස ගැටෙන්නේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන්වහන්සේගෙන් පැවත එන දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක වන කළුතර බෝධීන්වහන්සේය. ඒ පූජනීය පින් බිම පැතුම්ට පමණක් නොව ඔහුගේ පියා, මව සහ සොහොයුරියගේ ජීවිතවලට ද මහා ආශිර්වාදයක්ම විය. ඒ පින් බිමට එන වාරයක් පාසා සුනිල්ගේ සිතේ රැඳුණු අධිෂ්ථානයක් විය.

සුනිල් සිල්වා ද පාසල් වියේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහිම සිත් බැඳුණු අයෙකු වුවත් දෛවය ඔහුව ඒ සිහිනය සැබෑ කරගැනීමට අවකාශ සැලසුවේ නැත. ක්‍රීඩාංගණ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන ඔහු පසුව ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවකු බවට පත්වන්නේ දක්ෂතාවත් කැපවීමත් නිසාවෙනි. පැතුම්ගේ උපතට කලකට පෙර සුනිල්ගේ සිතේ ඉපිද මියගිය සිහිනයකට යළිත් පියාපත් දුන්නා සේය.

“පුතා ඉපදුණාම මම ගොඩක් සතුටු වුණා. ක්‍රිකට් ගැන තිබුණු හීන සැබෑ කරගන්න මට බැරිවුණත් මගේ හිතේ ලොකු අධිෂ්ඨානයක් ඇති වුණා කවදහරි ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරවන තැනට මම මගේ පුතාව ගේනවා කියලා. ඒ හීනය සැබෑවෙන ලකුණු පුතා ටිකින් ටික පෙන්නුම් කළා. පුංචිම කාලේ ඉඳලම එයත් කැමතිවුනේ බැට් එකටයි බෝලෙටයි. වෙන කිසිම සෙල්ලම් බඩුවකට ආස වුණේ නැහැ. ඒක හරියට ලේවලින් ආව බැඳීමක් වගේ. ඉස්සෙල්ලාම මම පුතාට බැට් එකක් අල්ලන්න පුරුදු කරද්දි එයාට වයස අවුරුදු දෙකයි. ළදරු පාසල් යන වයස වෙද්දි පුතා හොඳට සෙල්ලම් කරනවා. කොයිවෙලේත් පුතාගේ අතේ තිබුණේ බෝලෙයි බැට් එකයි. පුතාගේ දක්ෂකම් මුලින්ම හඳුන ගත්තේ ඒ කාලේ කළුතර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු සළුවඩන සර්. සර් තමයි පුතා කළුතර විද්‍යාලයට ඇතුළත් කරන්න මුල් වුණෙත්” 

කලකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්ණවත් කළ දුලිප් ලියනගේ, ජයන්ත සිල්වා, තිලකරත්න ඩිල්ෂාන්, මිලින්ද සිරිවර්ධන සහ මාලිංග බණ්ඩාර වැනි සුවිශේෂී ක්‍රීඩකයන් බිහිකළ කළුතර විද්‍යාලයේ සෙවණ පැතුම්ට ද හිමිවන්නේ එලෙසිනි. එම විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ සුනිල් සළුවඩන එදා ඔහු දුටු පැතුම් පිළිබඳ මතකය අලුත් කළේ මෙලෙසිනි.

“පැතුම්ගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයා අපි කවුරුවත් නෙවෙයි ඔහුගේ තාත්තා බව කිව යුතුමයි. පුංචි පැතුම්ට ඔහුගේ පියා ක්‍රිකට් පුරුදු කරපු හැටි මම ඒ කාලේදිම දැක්කා. ඒ නිසයි ඔහුව කළුතර විද්‍යාලයටම ඇතුළත් කරන්න කියලා මම සුනිල්ට කිව්වෙ. සාමාන්‍ය ළමයින්ට වඩා අසාමාන්‍ය දක්ෂතාවක් ඒ පොඩි වයසෙදිම මම පැතුම්ගෙන් දැක්කා. වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රිකට් සෙල්ලම් කරද්දි පැතුම්ට වයස අවුරුදු 10යි. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා වගේ කුඩා වියේ ඉඳලම මම පැතුම්ගේ අනාගතය දැක්කා. ඒකට ලොකුම හේතුව දක්ෂකම වගේම පැතුම් තුළ තිබෙන ගතිගුණ කියලයි මම හිතන්නේ. පුංචි කාලේ ඉඳලම එයාගේ හිතේ තිබ්බේ මේ අරමුණම විතරයි. මොකක්හරි පීඩනයක් ආවත් ඒ කිසිම දෙයක් ගැන කලබල නොවී නිහඩව ඉන්න දරුවෙක්. අනිත් ළමයින්ටත් ආදර්ශයක් පෙන්වපු දරුවෙක්. ඔහුගේ ජයග්‍රහණ ගැන මම ගොඩක් සතුටු වෙනවා.”

ඒ වන විටත් පැතුම්ගේ දස්කම් ක්‍රිකට් ආයතනයට ද සැලවී තිබිණ. කොළඹ ඉසිපතන විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන ප්‍රදීප් නිශාන්තට පැතුම් ගැන දැනගන්නට ලැබෙන්නේ ද ඒ අයුරිනි. 

“ක්‍රිකට් ආයතනයේ අජිත් වීරසිංහ, ගොඩ්ෆ්‍රි දාබරේ, රන්ජන් පරණවිතාන, චමිල ගමගේ යන අයගෙන් තමයි මම පැතුම් ගැන දැනගත්තේ. 2014දි මම පැතුම් හමුවෙන්න ගිහින් ඔහුට ඉසිපතන විද්‍යාලයට ඇතුළු වෙන්න යෝජනා කළා. ඉසිපතන විද්‍යාලයට ඇතුළත් වෙන්න ඇප්ලිකේෂන් එක අරගෙන ගියේ දැන් මාතර දිස්ත්‍රික් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන ඒ කාලේ මගේ සහාය පුහුණුකරු විදිහට කටයුතු කළ ජයතු නිලවීර. එදාත් පැතුම්ට මැච් එකක්. ඒ වගේම වැස්ස දවසක් නිසා ඇප්ලිකේෂන් එක පුරවන්නේ කළුතර බෝධිය ඇතුළට ගිහින්. ඉසිපතන විද්‍යාලයේ අවුරුදු 17න් පහළ යටතේ ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පැතුම් සහභාගි වූ පළමු තරගයේදීම ඔහු ලකුණු 100ක් ගැහුවා. තරගයේ දෙවැනි වටයේදි ඉසිපතන කණ්ඩායම තරග කළේ කළුතර විද්‍යාලයට එරෙහිවයි. ඒ තරගයේදි පැතුම් එයා ක්‍රිකට් පුරුදු වුණු, ක්‍රීඩා කරපු ඒ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදීම කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 100ක් ගැහුවා. ඒක විශේෂ සිදුවීමක්. මට මතකයි එදා තරගය බලන්න ආව ප්‍රේක්ෂකයෝ වැඩි දෙනෙක් සපෝට් කළේ පැතුම්ට. ඒත් පැතුම් අදටත් ඉසිපතන විද්‍යාලයට වගේම කළුතර විද්‍යාලයටත් ආදරෙයි.“

පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක්, ලකුණු 205 ලබාගනිමින් ඉසිපතනයේ වැඩිම ලකුණු ලාභියා වීමට ද පැතුම් වාසනාවන්ත විය. පියවරෙන් පියවර පැතුම් ඉදිරියට ආ හැටි, ලකුණු අතරට ආ හැටි, ක්‍රිකට් සමාජවලට සම්බන්ධ වී දස්කම් පාමින් ආ ගමනත් ඉන්පසු ජාතික කණ්ඩායමට එක්වීමට ලැබුණු අවස්ථාව ගැනත් ප්‍රදීප් නිශාන්ත සිහි කළේ සතුටිනි. 

“ඔහු ගොඩක්ම කැමති පින් දහම් කරන්න. පන්සල්වලට, දුප්පත් මිනිස්සුන්ට තමන්ට හැකි පමණින් උදවු උපකාර කිරීම තමයි පැතුම්ගේ කැමැත්ත. ඔහු නිහඬව එවැනි දේවල්වල නියැළෙනවා. පැතුම් එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරගවලින් හොඳ ක්‍රීඩකයෙක්ගේ මට්ටමට එයි කියලා මට විශ්වාසයක් තියෙනවා. නමුත් පුහුණුකරුවෙක් විදිහට මම හිතන්නෙ පැතුම් T20වලට වඩා එක්දින සහ ටෙස්ට් තරගවලට ක්‍රීඩා කළා නම් හොඳයි කියලයි.”

දකුණතින් පිත්ත හසුරුවන, හුරුබුහුටි පෙනුමකින් යුතු ක්‍රීඩකයකු වන පැතුම් නිස්සංක එදා සිය මංගල එක්දින ශතකය වාර්තා කළ අවස්ථාවේදී ඒ ජයග්‍රහණය විඳ ගත්තේ ද බොහෝ නිහතමානීවය. නිහඬව නිශ්චලව අහස දෙසට හැරවූ දෑස්වලින් යුතුව දෙවියන්ටත් විශ්වයටත් කෘතගුණ පෑවාක් බඳු ඒ අවස්ථාව බොහෝ ක්‍රීඩාලෝලින්ගේ හදවතට සංවේදී වී තිබිණ. තරගය නිමවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පැතුම් දුන් කෙටි පිළිතුරුවල වූයේ ද ඔහුගේ නිහතමානී බවයි. තරගය හොඳින් අවසන් කිරීමේ අධිෂ්ඨානය ඇතිව ආත්ම විශ්වාසයෙන් ක්‍රීඩා කළ බවත් කණ්ඩායම නිවැරදි තීරණ ගත් නිසා ජයග්‍රහණය පහසු වූ බවත් කීවේය.

පැතුම් නම් චරිතය පිටුපස ඇති දැවැන්ත සෙවණැල්ල ඔහුගේ මවුපියන්ය. ඒ අතරින් ඔහුගේ ක්‍රිකට් දිවියේ දැවැන්ත ශක්තිය වන්නේ පියා සුනිල් සිල්වාය. පුතුගේ අද දවස වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ පියකු ලෙස අද ඔහුට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. පුතුන් රජුන් කරන්නට වෙහෙසෙන තාත්තලා සිටින සමාජයක සුනිල්ට ඇවැසි වූයේ පුතු රටට වැඩදායී, රටේ නම ජාත්‍යන්තරයට ගෙන යන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු කරන්නටය. මේ වන විට පැතුම් ඒ සිහිනයට හරි අපූරුවට වර්ණ පොවමින් සිටී. 

“පුතා මගේ හීනය සැබෑ කිරීම ගැන මට ගොඩක් සතුටුයි. හැමවෙලාවෙම මම එයා පස්සෙන් ඉන්නවා. අඩුපාඩු පෙන්නලා දෙනවා. සමහර වෙලාවට සැරවැරත් කරනවා. මේක බාධක, අභියෝග රාශියක් අතරින් ආව ගමනක්. මම හැමදාම පුතාට කිව්වේ කොයිතරම් දක්ෂතා තිබුණත් වාසනාව, අවස්ථාව එන්නත් ඕනේ කියලයි. ඒ නිසා ඉවසීමෙන් අඩුපාඩු හදාගෙන සෙල්ලම් කරමු කියලයි. ඒ වගේම පුතාට ධර්මය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ආකෘති සේරම ගෙදර සූදානම් කරලා තියෙනවා. පුතා ඒවාට වඳිනවා. කොහේ ගියත් බුද්ධ රූපයක් අරගෙන යනවා. මම විශ්වාස කරනවා පුතාට ඒ පිහිට තියෙනවා කියලා. මොන ප්‍රශ්න ආවත් වැටෙන්නෙ නැතුව ඉන්න ආගම දහමින් ලැබෙන ආශිර්වාදය ගොඩක් බලවත් බව පුතා වගේම අපිත් විශ්වාස කරනවා”

ජීවිතයේ දුක සැප සම සිතින් විඳින්නට පැතුම්ට ආභාසය ලැබී ඇත්තේ පවුලේ පරිසරයෙනි. ඒ නිසාම එදාට වඩා අද ඔවුන්ගේ ජීවිත සුවදායකය. සැපවත්ය.

“මොන දේ තිබුණත් මුල අමතක කරනවා නම් අපිට වරදිනවා. ඒ නිසා මම පුතාට මුල අමතක කරන්න දෙන්නෙ නැහැ. ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි. රට වෙනුවෙන් යමක් කරන්නත් ඕනේ. ඒක පුතා අවබෝධ කරගෙනයි ඉන්නෙ. 2018 දකුණු අප්‍රිකා ටුවර් එක ගිහින් ආවට පස්සේ ගමේ පන්සලේ චෛත්‍යය හැදුවා. හැමදාම ටුවර් එකක් ගිහින් ආවම පිනට දහමට, පන්සලට මුදලක් පූජා කරනවා. කොරෝනා කාලේ ගෙවල් පනහකට විතර බඩු මලු බෙදලා දුන්නා. මගේ ලොකු ආශාවක් තියෙනවා අපේ ගමේ පන්සල වැඩි දියුණු කරලා හදන්න. පුතා ඉන්නෙත් ඒ අදහසේම තමයි.”

දනට පිනට දහමට ළෙන්ගතු පැතුම්ගේ ලෝකය බොහෝ සරල වූවකි. ඔහු තවමත් අම්මාට කියා බත් කවාගන්නා, අම්මා සමඟ හුරතල් වෙන, අක්කාගේ දරුවන් සමඟ කෙළිසෙල්ලමෙන් සිටින, චාම් විලාසිතාවලට ප්‍රිය, සරල තරුණයෙකි. සිය පුතුගේ දස්කම් ගැන ලෝකයක් සතුටු වෙද්දී ඔහු බිහිකළ ඒ මවට මොනතරම් සතුටක් දැනෙනවා ඇත්ද? මේ, ඇගේ මවුවත් හදවතේ දෝර ගලන සතුටයි. 

“පුතාගේ ජයග්‍රහණ ගැන හරිම සතුටුයි. තාත්තා නම් පුතා සෙල්ලම් කරන හැම තරගයක්ම වගේ බලන්න යනවා. මහන්සි වෙලා මම අසනීප වෙයි කියලා බයට පුතා නම් කැමති නැහැ මම එනවට. මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ පුතාගේ තාත්තා. ඒ වගේම පුතත් විඳපු දුක්වල ප්‍රතිඵල තමයි මේ එයාට ලැබෙන්නෙ. බුදුන්ට පහන තියලා මම හැමදාම ඉල්ලන්නෙ මගෙ පුතාට යහපතක් වෙන්න කියලයි. පුතාටත් ඒ විශ්වාසය තියෙනවා. ගෙදරින් පිටත් වෙන්න කලින් මගේ අතින් බුදුන් වඳින්න මල්, පහන් ලෑස්ති කරලා දෙන්නෝනි. එයා මැච් එකකට ගිහින් පිට ඉන්නවා නම් මට කතාකරලා කියනවා බුදු පහන තියලා ගණ දෙවියන්ට හඳුන්කූරු පත්තු කරන්න, ගෙවල් ළඟ කෝවිලට ගිහින් මල් තියලා වඳින්න කියලා. මම ඒවා ඒ විදිහටම කරනවා. එයා මැච් එකකට ගිහින් සෙල්ලම් කරලා ඉවර වෙනකම්ම මම ගෙදර බුදු පහන නිවෙන්නෙ නැතුව පත්තු කරනවා. මම එහෙම කරන බව දන්න නිසා පුතාගේ හිතට ලොකු හයියක්. නුවර දළදා මාළිගාව වඳින්න යන්න පුතා හරිම කැමතියි. අපිව එක්කගෙන වගේම එයා තනියෙන් ගිහින් වැඳපුදාගෙන එන වෙලාවලුත් තියෙනවා.”

මවුපියන්ගේ පැතුම් සැබෑ කළ පැතුම් ගැන දැන් ක්‍රීඩා ලෝලීන් ද පැතුම් දල්වා බලාගෙන සිටිති. ඒ හෙට දවසේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට ආලෝකයක් වනු ඇතැයි අපේක්ෂාවෙනි. නැඟෙන තරු බැස යෑම සනාතන දහම වුවත් පැතුම්ගේ තරු දවස් බොහෝ දිගු වේවා යැයි පතමු.

Comments