ෂෙඩ් ළඟ ගෝරි දැම්මොත් වැඩ වරදී | සිළුමිණ

ෂෙඩ් ළඟ ගෝරි දැම්මොත් වැඩ වරදී

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව කලහකාරීව හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණය කර තිබේ.
 
ඒ අනුව මේ වන විට වරකාපොළ, මීගහවත්ත, නිකවැරටිය යන පොලිස් ස්ථාන මඟින් පෙරේදා (22) රාත්‍රි කාලයේදී පමණක් පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර යුද හමුදා ලුතිනන්වරයෙක් ද සිටියි.
 
ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව කලහකාරීව හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාවට යොදවා සිටින පොලිසියේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවා සිය රාජකාරි නිසි ලෙස ඉටු කරලීමට නොහැකි වන ලෙසට කලහකාරීන්ගේ හැසිරීම් මේ වන විට දරුණු වෙමින් පවතින නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් දිනමිණට පැවසීය.
 
ඒ අනුව මීගහතැන්න පොලිසිය විසින් පැලවත්තේ පිහිටි ඉන්ධන පිරවුම් හලේ කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයන් තිදෙනෙක් පෙරේදා (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
දිගු පෝලිමක් තිබියදී පුද්ගලයන් දෙදෙනෙක් පෝලිමෙන් පිටින් පැමිණ පොම්පකරුට තර්ජනය කර බලහත්කාරයෙන් ඉන්ධන ගැනීමට ගිය දෙදෙනෙක් සහ මාර්ගය අවහිර කරමින් කෑකෝ ගසමින් ජනතාව කුපිත කරවීමට උත්සාහ දරූවෙක් එසේ අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය සඳහන් කළේය. එම සැකකරුවන් අවුරුදු 37, 38 සහ 40 වයස්වල පසුවන්නන්ය. ඔවුන් පහළ හෙවෙස්ස සහ පැලවත්තේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය. ඉකුත් 19 දා ද මේ ඉන්ධන පිරවුම් හලේ කලහකාරී තත්ත්වයක් ඇති විය. කලහකාරීන් පාලනය කිරීමටත් ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවටත් හමුදාව එම අවස්ථාවේදි අහසට වෙඩි තැබීමක් පවා කළේය.
 
මෝටර් රථයකට ඉන්ධන පුරවාගෙන බූලියකට ද එම මෝටර් රථයේ හිමිකරු ඉන්ධන පුරවා ගැනීමට යෑමේදී ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් සිය විරෝධය දැක්වීමත් සමඟ ඔහු සිය ගෝලබාලයන් මෙහෙයවමින් කලහාකාරි තත්ත්වය නිර්මාණය කළ බව පොලිසිය සඳහන් කරයි. එහිදී එම පුද්ගලයා හමුදාවේ සාමාජිකයකුගේ ගිනි අවියක් පවා උදුරා ගැනීමට තැත් කර තිබිණි.
 
ඒ වන විට ජනතාව කලහකාරි වී සිටි බැවින් ආරක්ෂක පියවරක් ලෙස අදාළ පුද්ගලයාව මුදා හැරීමට පොලිසිය පියවර ගත්තේය. මේ වන විට ඔහු ගමෙන් ද පලා ගොස් සැඟවී සිටින බවත් ඔහුගේ ගෝලයකු පෙරේදා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
 
එම කලහකාරි සිදු වීම සම්බන්ධයෙන් තවත් පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි. ඔවුන්ව ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
 
මේ අතර නිකවැරටිය, මාගල්ලේගම ඉන්ධන පිරවුම්හල අසල ද කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයෙක් නිකවැරටිය පොලිසිය පෙරේදා (22) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 45ක් වයසැති පුද්ගලයෙකි.
 
වරකාපොළ දුම්මලදෙණියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ආරක්ෂක රාජකාරියේ නිතරව සිටි පොලිස් නිලධාරියෙක් සහ හමුදාවේ ලුතිනන්වරයෙක් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් ඇති වුණු ගැටුමකින් පොලිස් නිලධාරියා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇත.
 
ඒ සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයාව අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය සඳහන් කළේය.

Comments