ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදෙන්න උපරිම සහාය | සිළුමිණ

ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදෙන්න උපරිම සහාය

උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට සමීප මිතුරකු ලෙස ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා ඊයේ (23) පැවසීය.ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
 
ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබෙන අතර, ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූහ.අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරන බවත් ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බවත් ජනාධිපතිවරයා දූත පිරිසට කියා සිටියේය.
 
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණි. දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.
 
ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී. අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Comments