සහල් හොරුන් අල්ලන්න අගමැතිගෙන් දැලක් | Page 2 | සිළුමිණ

සහල් හොරුන් අල්ලන්න අගමැතිගෙන් දැලක්

දේශපාලනයටත් වඩා පසුගිය සතියේ උණුසුම් වූයේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම්ය. තෙල් හා ගෑස් අර්බුදය හේතුවෙන් දිවයින පුරා මෙම පෝලිම් දැකගත හැකි වූ අතර පෝලිම පිට පැනීමට ඇතැම් අය ක්‍රියා කිරීම නිසා උණුසුම්කාරී තත්ත්වයන්ද ඇති විය. කෙසේ නමුත් දේශපාලන ක්ෂේත්‍රය තුළද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ මේ දිනවල රටේ පවතින තෙල්, ගෑස් හා ආර්ථීක අර්බුද තත්ත්වයන්ය.

 

ඉකුත් සති අන්තයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, ඛනිජතෙල් ඇමතිවරයා සහ සාගල රත්නායක එක්ව ඉන්ධන සැපයුම යථාවත් කිරීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත්තේය. තෙල් සංස්ථාවේ නිලධාරීන් මෙන්ම මහ බැංකුවේ හා රාජ්‍ය බැංකුවල නිලධාරීන් හා සාකච්ඡා කරමින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කටයුතු කළේය. අවසානයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් හා මහා භාණ්ඩාගාරයෙන් යම් මුදලක් සොයා ගැනීමට ද මදිපාඩුවට මහ බැංකුවෙන් රුපියල් ලෙස ලබා ගැනීමටද සාගල රත්නායකට හැකිවිය.

ඒ අනුව සති අන්තය වන විට පෙට්‍රල් හා ඩීසල් නෞකා වෙනුවෙන් මුදල් ගෙවීමට අවශ්‍ය උපදෙස් සාගල රත්නායක විසින් ලබා දුන්නේය. "ලබන සතියට අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් මුදල් ටික නම් ගෙව්වා. දැන් තියෙන්නේ ශ්‍රී ලන්කන් එකට ඕන සල්ලි ටික හොයා ගන්න." සාගල අසල සිටි නිලධාරියකුට කීවේ සිනාසෙමිනි.

"සර් මෙම සතියේ ඉඳලා අපට තෙල් ටික අඛණ්ඩව දෙන්න පුළුවන්. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඉල්ලලා තියෙන ඩොලර් මිලියන 500 ලැබුණාම අඛණ්ඩව අපට මාස 4 ක් යනකම් තෙල් ටික දෙන්න පුළුවන් වේවි." සාගල රත්නායක කීවේ සුසුමක් හෙළමිනි.

එම තොරතුරුත් රැගෙන අග්‍රාමාත්‍යවරයා ඉකුත් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්ධන අර්බුදයේ සැබෑ තත්ත්වය හෙළිදරව් කළේය.

පොහෝය දිනයේ පවා අගමැතිවරයා සිය නිල කාර්යාලය වෙත පැමිණියේ වැඩ කන්දක් හිස මත තබාගෙනයි. ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුව මගින් අගමැති කාර්යාලයේ පොහොය දින බණ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. වැඩ රාජකාරී මධ්‍යයේ බණ ඇසීමට ද අගමැතිවරයා කාලය කළමනාකරණය කරගත්තේ අභියෝග මධ්‍යයේයි.

සහල් ගැටලුව ගැන සාකච්ඡා කිරීම වෙනුවෙන් අගමැතිවරයා සහල් මෝල් හිමියන් මුණ ගැසුණේ බදාදාය. සහල් සඟවා තබමින් මිල ඉහළ දැමීමට කටයුතු කිරීම ගැන චෝදනා සහල් මෝල් හිමියන්ට එල්ල වූ අතර අගමැතිවරයා කීවේ වහාම මේ තත්ත්වය වෙනස් කළ යුතු බවය.

"රට මේ වෙලාවේ දැඩි ආර්ථික අර්බුදයක සිරවෙලා ඉන්නේ. ඒ නිසා සහල් සඟවන බවට එල්ල වෙන චෝදනාව ගැන සහල් මෝල් හිමියන්ම සොයා බලන්න. නැතිනම් ආරක්ෂක අංශ දාලා හරි නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා." අගමැතිවරයා දැඩිව කියා සිටියේය.

සහල් ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් සහල් ආනයනයට අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදී වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු පැවසුවේය. එම නිසා සහයෝගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවට අගමැතිවරයාගේ මතය විය.

 

•ජනාධිපති කනස්සල්ලට පත්වූයේ ඇයි?

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ කාර්යබහුලව සිටියේය. එහිදී ඔහුගේ අවධානය දැඩිව යොමු වූ කාරණා කිහිපයක්ද තිබිණි. විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩස් පසුගිය දිනෙක රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවට පැමිණ මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාරය සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව්ව පසුගිය සතියේ අපේ දේශපාලන කරළිය උණුසුම් කරන කාරණාවක් විය.

ලංකාවේ දේශපාලන කථිකාවත පමණක් නොව, මෙය ඉන්දියාවේ දේශපාලන කතිකාව දක්වාද පැතිර ගොස් තිබීම නිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලකින් පසු වූයේය.

එබඳු ව්‍යාපෘතියක් රජයේ විනිවිද පෙනෙන කාර්ය පරිපාටියකින් පවරා දෙනවා මිස කිසිවකුටත් වාසිදායක පදනමකින් පවරා දෙන්නට තමන් කිසිදු උපදෙසක් දී නොමැති පසුබිමක මෙවන් වගකිවයුතු සංවේදී කාර්යභාරයක් ඉටුකරන රාජ්‍ය නිලධාරියෙක් එබඳු වගකීම් විරහිත ප්‍රකාශයක් කිරීම ගැන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර සිටියේය. ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපතිවරයාගේ එම ස්ථාවරය ලිඛිතවම මාධ්‍ය වෙත දන්වා තිබෙනු පසුගිය සතියේ දැකගත හැකි විය.

ඒ හැරුණු විට ජනාධිපතිවරයාගේ දැඩි අවධානයක් යොමුව තිබුණේ මේ දිනවල රට මුහුණපා තිබෙන අර්බුදය ගැනයි. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් සහ ගෑස් සම්බන්ධයෙන් රටේ තිබෙන ඉහළ ඉල්ලුම සපුරාලීම කෙලෙසවත් රජයට පහසු වූයේ නැත. ඒ හැරුණු විට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් අතරමැදි සහල් වෙළෙඳුන් දවසින් දවස රටේ සහල් මිල ඉහළ දැමීම තවත් බරපතළ ගැටලුවක් විය. ඒ සඳහා දෙපාර්ශ්වයටම සාධාරණ ලෙස පාලන මිලක් ද ඉදිරිපත් කරන්නට රජය කටයුතු කළේ සහල් මිල එක් ස්ථාවරයක පවත්වාගෙන යාම සඳහාය. එහෙත් ඉන් අනතුරුව වෙළෙඳපොළේ සිදුවූයේ ක්ෂණික සහල් හිඟයක් නිර්මාණය වීමයි. පසුගිය සතිය වන විට විවෘත වෙළෙඳපොළේ ලොකු කුඩා සුපිරි හා සාමාන්‍ය අලෙවිසැල්වල රටින් ගෙන්වන ලද සහල් වර්ග හැරුණු විට කිසිදු දේශීය සහලක් දැකගන්නට නොහැකි විය.

 

•මිලියන 7500ක පොල්ලක් ජලයට දැමුවේ කවුද?

 

රට මුහුණ පා තිබෙන මෙම ආර්ථික ගැටලුවට හා කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ නිෂ්පාදන වැඩි කර ආදායම් ඉපයීමට අවශ්‍ය විසඳුම් සොයාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ සාකච්ඡා වට ගණනාවක් ද පැවැත්විණි.

පසුගිය බදාදා උදේ ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරු දිස්ත්‍රික් ලේකම්වරුන් හා පළාත් ලේකම්වරු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේය. එහිදී ඔහු විශේෂ කරුණු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටියේය. රාජ්‍ය සේවාවන්, පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමෙන් විමධ්‍යගත කරමින් පවත්වාගෙන යාම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සංග්‍රාමයක් ලෙස ප්‍රාදේශීය හා පළාත් මට්ටමින් වැඩි දියුණු කිරීම, වගා සංග්‍රාමය පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරමින් ගොවි ජනතාවගේ අස්වනු, පසු අස්වනු හානියකින් තොරව කාර්යක්ෂම ලෙස රට පුරා බෙදා හැරීම ආදී මාතෘකා ගණනාවක්ම මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ. දැනට රටපුරා නිෂ්පාදනය වන ආහාර බෝග ඉන්ධන හිඟය හේතුවෙන් බෙදාහැරීමේදී ඇතිවන දුෂ්කරතා හා වගා හානි මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එදින සවස මේ අයුරින්ම ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත රණතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක ඇතුළු නිලධාරීන් රැසක් මෙම හමුව සඳහා පැමිණ සිටියහ.

ජනතාවට හිඟයකින් තොරව පිරිසිදු පානීය ජලය සැපයීම හා වර්තමානයේ ඒ සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලු හා දුෂ්කරතා මෙහිදී සාකච්ඡාවට බඳුන් වූහ. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2019 සිට මේ වන විට නව ජල සම්බන්ධතා 464 808ක් ජාතික ජල සම්පාදන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති බවයි. 2022 අග වන විට මුළු රටේම පවුල් ඒකක 5 946 352 ක් දක්වා ජල සැපයුම ඉහළ නැංවීම තම ඉලක්කය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉලක්ක කරා ළංවීමට ඇති දුෂ්කරතා ගැන ද මෙහිදී සාකච්ඡා විය. ඉන්ධන ප්‍රශ්න, විදුලිය බිඳ වැටීම්වලට අමතරව ගාස්තු පැහැර හැරීම් තම ආයතනවලට ලොකු බාධාවක් බව නිලධාරීහු කරුණු කීහ. මේ වන විට රාජ්‍ය ආයතන, පාසල්, ව්‍යාපාරික ආයතන, නිවාස ඇතුළු බොහෝ ජල පාරිභෝගිකයන් විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙත ලබාදිය යුතු මුළු හිඟ මුදල රුපියල් මිලියන 7500 කට වැඩි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රුපියල් ලක්ෂයකට අඩු බිල් ගෙවීම් පැහැර හැරීම්, ලක්ෂයත් ලක්ෂ 5 ත් අතර පැහැර හැරීම් හා ඊට වැඩි පැහැර හැරීම් ගැන සවිස්තර වාර්තාවක්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත බාර දුන්නේය.

 

•රමේෂ් පතිරණගෙන් දෝස් මුරයක්

 

බ්‍රහස්පතින්දා උදේ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් ජනාධිපතිවරයා හමුවන්නට පැමිණ සිටියහ. අමාත්‍යාංශ ලේකම් හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක ද ඒ අතර විය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ සංස්ථා සමාගම්වල සභාපතිවරු හා ප්‍රධානීන් ද පැමිණ සිටියහ. එහිදී පැවැතියේද කර්මාන්ත අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමකි.

මේ වනවිට රටට බරපතළ හිඟයක්ව පවතින විදේශ විනිමය උපයා ගැනීමට කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉටුවිය හැකි දායකත්වය ගැන රජයේ වෙනම සාකච්ඡාවක් ඒ වන විට ඇතිව තිබිණි.

ජනාධිපතිවරයාද සාකච්ඡාවට පැමිණි පසු 10:30 ට පමණ කතාබහ ආරම්භ කරමින් මුලින්ම කතා කළේ අමාත්‍ය රමේෂ් පතිරණයි.

"අපේ රටේ ජාතික ආදායමට ලොකු අගයක් කර්මාන්ත ක්ෂේත්‍රය විසින් ලබා දෙනවා. කර්මාන්ත ක්ෂේත්‍රයෙන් වාර්ෂිකව ලැබෙන ආදායම ඩොලර් බිලියන 7 ක් ඉක්මවනවා. හැබැයි ඉතින් ඒකෙන් ඩොලර් බිලියන් 5.4 ක්ම ලැබෙන්නේ ඇඟලුම් නිෂ්පාදනයෙන්. අපේ අධ්‍යයනයන්ට අනුව අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රවලිනුත් මීට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන්. එහෙත් නොයෙකුත් අඩුපාඩු හා දුර්වලතා නිසා අපට ඒ ඉලක්ක සපුරා ගන්න බැරිවෙලා තියෙනවා. මේවා හරියට කළමනාකරණය කළොත් අනාගතයේදී අපිට ඩොලර් ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ..."

"දැනට පවතින විදුලි කප්පාදුවෙන් හා ඉන්ධන අර්බුදයෙන් ඇඟලුම් කර්මාන්තයටත් බරපතළ පාඩු සිදුවෙමින් තියනවා. විදුලි කැපීම අඩු කරගන්න බැරිනම් අඩුම තරමින් නිශ්චිත කාලසටහනකට අනුවවත් කරනවා නම් මේ ආයතනවලට යම් කළමනාකරණයක් කරගන්න පුළුවන්." නිලධාරීන් ඉතා වැදගත් කරුණු රැසක් පෙන්වා දුන්නේය.

"මේ සම්බන්ධයෙන් රටේ එක්ස්පර්ට්ලා ඉන්නවානේ. මේවා දියුණු කරන්න මොනවද කළ යුත්තෙ කියල ඒගොල්ලන්ගෙන් අපි උපදෙස් ගමු. විමල් ඇමතිතුමා ඉන්න කාලේ පත් කරපු උපදේශක කමිටුවක් තියෙනවා. එ්ක හොඳට වැඩ කළා." රමේෂ් කීවේය.

"සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජය උදව් කරනවා නම් ඔවුන්ට හොඳ විදේශ විනිමයක් තියෙන්න පුළුවන්."

"මොනවද ඒගොල්ලන්ට අපෙන් ඕන කරන්නේ..?" ජනාධිපති ඇසීය.

"බැංකුත් එක්ක කතා කරලා ඔවුන්ගේ ණය ගෙවීම්වලට සහන කාලයක් දෙන්න ඕන. ඒ වගේම ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වගන්න. බැංකුවලින් ඒවට ඩොලර් ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ. එයාලා මුල්තැන දෙන්නේ ඉන්ධන, බෙහෙත්, ගෑස් වගේ දේවල්වලට විතරයි. කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දෙන්න ඩොලර් මිලියන 100ක් විතර ලැබෙනවා නම් හොඳයි."නිලධාරීන් පෙන්වා දුන්නේය.

"අමුද්‍රව්‍ය නොමැති වුණොත් මේ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. මේ කර්මාන්ත ව්‍යාපාර කඩා වැටුණොත් අනිත් පැත්තෙන් රටේ විරැකියාව ලොකු ප්‍රශ්නයක් වෙනවා." රමේෂ් කීවේය.

"අපට විදේශ විනිමය ලබාගන්න තිබෙන කර්මාන්ත රැකගන්නවා වගේම අලුතෙන් ආයෝජකයො ගෙන්න ගෙන කර්මාන්ත පටන් ගන්නත් වෙනවා... ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙළ..."

"ආයෝජකයෝ ගෙන්න ගන්නත් ඇවිල්ල ඉන්න අයට වැඩ කරන්නත් තියෙන ලොකුම අපහසුව තමයි අපේ රටේ තියෙන අනවශ්‍ය නීති රීති. කර්මාන්තයක් පටන්ගන්න මේ රටට ආවහම ආයතන විස්සකින් විතර අනුමැතිය ගන්න ඕන. ඒ ආයතනවල නිලධාරීන් නිකරුණේ ආයෝජකයන් රස්තියාදු කරවනවා. කර්මාන්ත අමාත්‍යාංශයට විතරක් තනියෙන් මේක කරන්න බෑ. ඒ තියන නීතිරීති ලිහිල් වෙලා ඒ ආයතනවලින් සහයෝගය ලැබෙනවානම් අපට මීට වඩා කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කරලා ආදායම් ලබන්න පුළුවන්." අමාත්‍යාංශ ලේකම් දයා රත්නායක ලොකු පැහැදිලි කිරීමක් කළේ තම අත්දැකීම්ද විස්තර කරමිනි. "ඔයගොල්ලො කියපු අර එක්ස්පර්ට්ලගෙ කොමිටි එකෙත් සහයෝගය අරගෙන ජාතික ප්‍රතිපත්තියක් හදන්න. කර්මාන්තවලදී අපේ පොලිසි එක හරි වැදගත්." ජනාධිපති උපදෙස් දුන්නේය. "අපේ රටේ දැන් තියෙන සමහර ආයතන තියෙන්නෙ කර්මාන්ත දියුණු කරන්න නෙවෙයි. කර්මාන්ත කඩා බිඳ දමන්න." රමේෂ් එසේ කියන විට ජනාධිපතිවරයා ඇසුවේ ඒ මොනවාද කියාය.

"පිඟන් හදන්නෙ නැති පිඟන් සංස්ථාවක් තියෙනවා. කොච්චර දේවල් ඒකෙන් කරන්න පුළුවන්ද... අපේ රටේ තමයි ලෝකයේ හොඳම මැණික් තියෙන්නෙ. හැබැයි අපේ මැණික් විකුණලා ලෝකේ හොඳම ආදායම් ගන්නෙ හොංකොං, තායිලන්තය වගේ රටවල්. ඒක එහෙම වෙන්නේ අපේ රටේ සමහර නීතිරීති හා නිලධාරීන්ගේ අඩුපාඩු නිසා. අපේ ඇඟලුම් ක්ෂේත්‍රය දවසින් දවස දියුණු වෙන්නත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ආපස්සට යන්නත් හේතුව මොකක්ද? හේතුව අපේ නීති රීති. ඇඟලුම් සම්බන්ධයෙන් අපි බොහොම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ නිසා ආයෝජකයෝ බොහොම කැමැත්තෙන් වැඩ කරනවා.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ගත්තම ඒකේ අනිත් පැත්ත. කවුරුහරි මැණික් පිටරට යවන කෙනෙක් මැණික්වලට තක්සේරුවක් ගන්න ගියාම දහසකුත් බාධා. ඒක නිසා ඒ මිනිස්සු හරි පාරේ යන්නැතුව හොර පාරෙන් තායිලන්තයට ගිහිල්ලා මැණික් විකුණලා දානවා. රටට ආදායමක් එන්නේ නෑ. ඒ මැණික්ම තායිලන්තය හොංකොංවල විශාල ගණන්වලට විකිණෙනවා."

රමේෂ් පතිරණ මෙසේ ආයතනයේ අඩුපාඩු පෙන්වා දෙද්දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාද ඒ පිටිපසින් නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත.

හොංකොං රටේ මැණික් වෙළෙඳාමේ ආදායම ඩොලර් බිලියන ගණනින් රමේෂ් පෙන්වා දෙද්දී ජනාධිපතිවරයාද පුදුමව අසා සිටියේය.

මේ අතරතුර දයා රත්නායක දිගින් දිගටම කීවේ කර්මාන්ත දියුණු කිරීමට එරෙහිව රටේ පවතින බාධක නීතිරීති ගැනය. "අපේ ඩොක්යාඩ් එක ලෝකේ හොඳම බෝට්ටු හදනවා. හැබැයි එතන වැඩ කරන්න ඉඩ මදි. ඊට යාබදව හිස් ඉඩම් කෑල්ලක් තියෙනවා කිසිම ප්‍රයෝජනයක් නොගෙන. ඩොක්යාඩ් එකට අවුරුදු දෙකක් තිස්සේ ඒ ඉඩම ඉල්ලලාත් ලැබුණේ නෑ. පුල්මුඩේ ඛනිජ වැලිවල තියෙන්නෙ ලෝකෙ හොඳම ටයිටේනියම්. අපි විකුණන්නේ මූලික වැලි විතරයි. කිලෝ එකට රුපියල් 25යි. හැබැයි මේවා අගය එකතු කළ වැඩිදියුණු කරලා ගත්තා නම් ඒ වගේ 30 ගුණයකට වඩා වැඩි අගයකට විකුණන්න පුළුවන්. නමුත් අපි ඒව කරන්නේ නෑ. රටේ තියෙන අනවශ්‍ය නීතිරීති නිසා ආයෝජකයන්ට ඉඩ දෙන්නෙ නෑ. මේවා තමයි රටේ ආදායම ඉහළ නංවන්න තියෙන ලේසිම ක්‍රම. හැබැයි අපි තාම ප්‍රයෝජන ගන්නේ නෑ.

"ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට සම්බන්ධ වී ඉතා උනන්දුවෙන් අසා සිටියේ අපේම තියන දුර්වලතා හා අඩුපාඩු ගැනය. කර්මාන්ත ක්ෂේත්‍රයෙන් දැනට ලබන ආදායමට වඩා ඉතා විශාල ආදායමක් අහිමි වී ඇති අන්දම මෙහිදී ජනාධිපතිවරයාට හොඳටම අවබෝධ විය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ඇදී නොගියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක දෙවරක්ම පැමිණ කරන ලද මතක් කිරීමක් නිසාය.

ඔහු මතක් කළේ කොරියානු තානාපතිවරයා සමඟ සාකච්ඡාවට ලබාදී තිබෙන වේලාව පහුවෙමින් පවතින බවය.

අනතුරුව ජනාධිපතිවරයා ඉක්මනින් නික්ම ගියේ කොරියානු තානාපතිවරයා සමඟ යොදාගෙන තිබූ සාකච්ඡාවට ය.

 

•ධම්මිකට මහින්ද දුන් උපදෙස

 

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය දිනයක කොළඹඳී මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණේය. මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සිටින නිවසට පැමිණ ධම්මික පෙරේරා සුහදව ටික වේලාවක් මහින්ද රාජපක්ෂ සමඟ කතාබස් කළේ රටේ වර්තමාන ආර්ථිකය සම්බන්ධයෙනුයි.

කොවිඩ් ලෝක වසංගතයෙන් පසුව මුළු ලෝකයේම ඇතිවූ ආර්ථික අර්බුදය මෙරටට බලපාන ආකාරය ගැන දෙදෙනාගේම අවධානය යොමු විය.

“මේ වෙලාවේ රට ගැන හිතලා තමාගේ අත්දැකීම් තුළින් රටේ ආර්ථිකය ගොඩනැංවීමට යම් ආකාරයකින් දායක වීමට තීරණය කිරීම යහපත් දෙයක්” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“හිටපු අගමැතිතුමනි, හරියට සැලසුම් කළොත් මේ ආර්ථීක අර්බුදය ජයගන්න අපිට පුළුවන්” ධම්මික පෙරේරා පැවසීය. දේශපාලනයට ඒමට ධම්මික පෙරේරාට යම් දෙගිඩියාවක් තිබුණද එම දෙගිඩියාව ‍ඔහුගේ සිතෙන් තුරන්වීමට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සමඟ පැවති කතාබහ ප්‍රබලව බලපෑවේය.

අභියෝගවලට මුහුණදී ජය ලබාගන්නේ කෙසේද කියන කාරණය මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා අත්දැකීම් සිහිපත් කරමින් ධම්මික පෙරේරාට පැවසීය.

මෙරට ප්‍රබල සමාගම් 331 කට සම්බන්ධව ප්‍රකට ව්‍යාපාරක ධම්මික පෙරේරා එම සමාගම්වල සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූයේ මේ මස 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දිවුරුම් දීම සඳහායි.

 

•ප්‍රසන්නගේ දෑස්වල කඳුළු

 

පසුගිය මැයි 09 වෙනිදා ප්‍රචණ්ඩකාරීහු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොල නිවස, කාර්යාලය හා රැස්වීම් ශාලාව ගිනි තබා විනාශ කළහ.

ඒ එහි ගාල් කර තිබූ රජයේ වාහන දෙකක්ද සමඟය. ඇමති ප්‍රසන්න ඉකුත් සෙනසුරාදා උඩුගම්පොළ සිය නිවසට ගියේ බිරිය හා දරුවන්ද සමඟය. ඒ ප්‍රචණ්ඩකාරීන් විනාශ කර දමා තිබූ නිවස දැක බලා ගැනීමටය. ප්‍රසන්න පැමිණි ආරංචියට ඔහුගේ ආධාරකරුවන් කිහිපදෙනෙක්ද එහි පැමිණ සිටියහ.

තමන්ට තාත්තාගෙන් උරුම වූ ඉඩමක හදාගත් සිය නිවස, කාර්යාලය සහ රැස්වීම් ශාලා විනාශ කර ඇති ආකාරය දුටු ප්‍රසන්නට වාවාගත නොහැකි වූයේය. ඔහු වැළපෙන්නට වූයේය. "මේක 88 –89 දී තරුණයන් සිය ගාණකගේ ජීවිත බේරපු භූමිය. ළමයින්ට නොමිලේ උගන්නපු තැන. එහෙම කරපු අපිටනේ මෙහෙම කරන්නේ." ප්‍රසන්න තමන් ළඟ සිටි අයකුට කීවේය.

උඩුගම්පළ නිවසේ පැය කිහිපයක් සිටි ප්‍රසන්න ඉන් අනතුරුව කලහකාරීන් මිනුවන්ගොඩ ආසනයේ විනාශ කර තිබූ සිය ආධාරකරුවන්ගේ නිවෙස් වෙතටද ගියේය. මිනුවන්ගොඩ ආසනයේ නිවාස 13ක් මෙලෙස කලහකාරීන් විනාශ කර දමා තිබිණි.

 

•කිරිඇල්ලට පොහොට්ටුවේ ප්‍රසාදය

 

පසුගිය මැයි 09 වැනිදා විරෝධතාකරුවන් විසින් ඉතා කුරිරු ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදී මෙම ඝාතන සිද්ධිය පිළිබඳව නඩු විභාගය පැවැත්වීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කීරීමටත් ඊට අමතරව අතු‍කෝරලගේ පවුලේ ඥාතීන්ට පාර්ලිමේන්තුව මඟින් වන්දි මුදලක් ලබාදීම, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කළ යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රසාදයට ලක්වී තිබේ. විරුද්ධ පක්ෂයෙන් වුණත් අතුකෝරල මන්ත්‍රීවරයා වෙනුවෙන් සාධාරණ යෝජනාවක් කිරීමට කිරිඇල්ල මන්ත්‍රීවරයා කටයුතු කිරීම ගැන ඔහුට ස්තූතිවන්ත විය යුතු බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශ කළේය.

 

•පාර්ලිමේන්තුවට දහම් පාසලෙන් පාඩමක්

 

පසුගිය 16 වැනිදා සවස 2.30 ට පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 හිදී විශේෂ ධර්ම දේශනාවක් සංවිධානය කර තිබිණි. ධර්ම දේශකයාණන් වහන්සේ පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමියන්ය. මෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ බෞද්ධ සංගමය විසිනි. එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ශාන්ත වීරරත්නයි. කථානායක මහින්දයාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් කුසානි රෝහණධීර ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය. ධර්ම දේශනාවෙන් අනතුරුව කථානායක, නියෝජ්‍ය කථානායක ඇතුළු පිරිස සමඟ සුහද කතාබහක නිරත වුණු පියදස්සී හිමියන් පෙන්වා දුන්නේ දහම් පාසල නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කරනවානම් රට ඉතා පහසුවෙන් යහපත් මාර්ගයට ගත හැකි බවයි.

ගුණ ගරුක සමාජයක් බිහි කරන ගමන් රට ආර්ථික වශයෙන් ගොඩනැංවීමටත් තරුණ ශ්‍රමයෙන් ව්‍යවසායකින් බිහි කිරීමටත් දහම් පාසල හරහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි බව දියතලාවේ පියදස්සී හිමියෝ පෙන්වා දුන්හ.

 

Comments