රත්න­පුරේ මැණික් ගරන කොස්තා­පල් අම­ර­දාස | සිළුමිණ

රත්න­පුරේ මැණික් ගරන කොස්තා­පල් අම­ර­දාස

අම­ර­දාස රත්න­පුර කර­පිංච ප්‍රදේ­ශයේ මැණික් පත­ල­ය­කට දබ­රය කර­ක­ව­මින්
අම­ර­දාස රත්න­පුර කර­පිංච ප්‍රදේ­ශයේ මැණික් පත­ල­ය­කට දබ­රය කර­ක­ව­මින්

 

පොලිස් නිලධාරියකු ප්‍රසිද්ධියේ රජයට විරුද්ධත්වය පෑමේ සිදුවීමක් පිළිබඳ ඉකුත් අප්‍රේල් මාසයේ 14 වැනිදා කාගේත් කතා බහට ලක්විය. ඔහු ගෝල්ෆේස් අරගලභූමියේ විශාල කතා බහකට ලක්වූ චරිතයක් විය.

 

නිර්පාක්ෂික අරගරලය මැයෙන් පැවති රජයේ ක්‍රියාකලාපයට විරුද්ධව ගොඩ නැඟුණු බලවේගය තුළ මෙවැනි විවිධාකාර චරිත ඉස්මතු විය. එහෙත් ඒ සියල්ලකටම වඩා මෙම සිදුවීම විශේෂ වූයේ එකී පොලිස් නිලධාරියාට අවසානයේ සිදු වූයේ වැඩ තහනමට ලක්ව රැකියාව අහිමි වූ නිසාය.

ඔහු ඇඹිලිපිටිය කුට්ටිගල පොලීසියේ සේවය කරමින් පවනැල්ල පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වීරසිංහ මුදියන්සේලාගේ අමරදාස නැමති පනස් හතර හැවිරිදි පුද්ගලයෙකි. අප ඔහු සොයා ගියේ ඔහු පදිංචිව සිටි කොළඹගෙආර තිඹොල්කැටියේ පිහිටි නිවෙසටයි.

රැකියාව අහිමි වී සිටින අමරදාස සිය දරුවන් සමඟ ජීවන සටන ගෙන යෑම සඳහා විශාල වෙහෙසක් දරන බව අපට දැනගන්නට ලැබිණ. රැකියාව අහිමි වූ ඔහු පොළවේ වාසනාව උරගා බැලීමට රත්නපුර කරපිංච ප්‍රදේශයේ මැණික් පතලයකට ගොස් සිටියේය.

අම­ර­දාස  අර­ග­ල­යට  ගාලුමුවදොරේදී එක්වූ අව­ස්ථාව

අප එහි යන විටත් අමරදාස අඩි හැත්තෑවක් අසූවක් ගැඹුරින් යුත් මැණික් පතලක දබරය කරකවමින් ඉල්ලම් ගොඩට ගනිමින් සිටියේය.

තමාට මුහුණ දෙන්නට සිදුවූ සිද්ධිය ගැන ඔහු අප සමඟ අතීතාවර්ජනක යෙදුණේ කරමින් සිටි කටයුත්තෙන් මඳ විවේකයක් ලබමිනි.

"මම පස්දෙනකුගෙන් යුත් පවුලක බාල දරුවා. මම ඉගෙන ගත්තෙ කොලොන්න සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලේ. මම පොලීසියට බැඳුණේ 1989 ජුනි 15 වැනිදා. ඒ කාලේ පොලීසියේ රස්සාවට යනව කියන්නෙ පවුලේ හැමෝම අවධානමට ලක්වීමක්. ඒකට හේතුව ඒ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි භීෂණකාරී කාලයක් වීමයි.පොලිස් කොස්තාපල් තනතුරට බැඳුණු මම මුලින්ම රාජකාරියට වාර්තා කළේ ගොඩකවෙල පොලීසියට. රත්නපුරේ පොලිස් ස්ථාන කිහිපයක වැඩ කළා. යුද්ධය පැවති කාලේ ඉඳලා ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරී කළා. 1996දී යාපනේ කෝපායි පොලීසිය, 2002දී වවුනියාව සෙට්ටිකුලම පොලීසිය ඉලවාලි පොලීසිය ආදී ප්‍රදේශවල වැඩ කළා. ඒ කාලේ යුද්ධය බොහොම දරුණුවට තිබුණා. ලංකාවට කේරළ ගංජා ගේන ප්‍රධාන තැනක් තමයි කන්කසන්තුරේ. එහිදී කේරළ ගංජා කිලෝ සීයට වැඩි වැටලීම් හතරක් පහක්ම මම කළා”

ඒ අතීතය ඔහු සිහි කළේ සතුටිනි. එහෙත් ඉකුත් අප්‍රේල් 9 වැනිදා සිදුවූ සිදුවීම ඔහුගේ සිතට කෙසේ දැනෙනවා ඇත්දැයි මම ඔහු විමසුවෙමි.

“මම පසුගිය කාලේ පනාමුර පොලීසියේ ඉඳලා කුට්ටිගල ට ගියෙ. එහිදී මාව සිරිපාදේ රාජකාරිවලට සිරිපාගම පොලීසිය ට අනුයුක්තව පවනැල්ල පොලීස් මුරපොළට යැව්වා. ඒ වන විට මම පොලිස් සේවයට එක්වෙලා වසර විසි එකක් වෙලත් ඉන්න නිවෙසක් හදාගෙන තිබුණෙ නෑ. මගේ පුතාලා තුන් දෙනා අවුරුදු 26, 21 සහ 19 පසුවෙන අය. බිරිය රැකියාවක් කරන්නෙ නෑ. මට රැකියාව හැරුණු විට වෙනත් කිසිදු ආදායමක් තිබුණෙත් නැහැ. හරිම අමාරුවෙන් තමයි පවුලේ කටයුතු කර ගත්තෙ. දරුවො කියනවා තාත්තා පොලීසියේ වැඩ කළාට තවම ඉන්න ගෙයක්වත් හදා ගත්තෙ නෑ කියලා. මම කල්පනා කළා ඒ කතාව ඇත්ත නේද කියලා. ඒ නිසාම මීට මාස කීපයකට කලින් ගේ හදන්න පටන් ගත්තා.

2021 සැප්තැම්බර් මාසේ ඒ වෙද්දි සිමෙන්ති මිටියක් රුපියල් නවසිය හතළිහයි. මිලිමීටර් 10 කම්බියක් රුපියල් හාරසිය ගානක්. මේ විදිහට තිබිලා එක පාරටම ගොඩනැඟිලි ද්‍රව්‍යවල මිල අහස උසට නඟින්න පටන් ගත්තා. අන්තිමට සිමෙන්ති කම්බි මිල නිසා මට මගේ නිවෙස පිළිබඳ බලාපොරොත්තුව හීනයක් ම වුණා. මම පොලීසියේ ඉඳලා වැරදි වැඩ කරලා නැහැ. එහෙම කළා නම් මේ තත්ත්වය උදාවෙන එකක් නෑ.”

අමරදාස කීවේ කනගාටුවෙනි. එදා හිතට දැනුණු කලකිරීම, පසුතැවීම ඔහුගේ සිත අරගල භූමිය කරා ගෙනගියා විය හැකිය.

“මම පොලිස් මුරපොළේ ඉඳන් කල්පනා කළා දැන් විකල්පයක් නෑ. මේ රටේ පාලනය නිසා තමයි මේ අමාරුකම් ඔක්කොම සිදු වුණේ. ඒ නිසා මොනව වුණත් කමක් නෑ අරගලයට ගිහින් මගේ හිතේ තියෙන පීඩනය පිට කරන්න ඕන කියලා. ඇත්තටම මට ඉන්න ගෙයක් හදා ගන්න පුළුවන් වුණා නම් මෙහෙම දේකට යොමු නොවෙන්න තිබුණා. මගේ දරුවොත් හරිම අසාවෙන් හිටිය අපේම කියලා නිවෙසක් හදාගන්න. දරුවන්ගේ බලාපොරොත්තුව ඉටු කරගන්න මහන්සි වුණු මට ඒ වැඩේ කරගන්න තිබුණු ප්‍රධාන බාධාව වුණේ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල වැඩි වීමයි. ඒ නිසා තමයි ආණ්ඩුවට විරුද්ධව මගේ හිතේ තිබුණු පීඩනය පිට කළේ. මෙහෙම කරනවා කියලා බිරියවත් දරුවොවත් දැනගෙන හිටියේ නැහැ. දැනගත්ත නම් යන්න එපා කියයි. නමුත් මම මේ වැඩේ කළා කියලා මගේ බිරිය, දරුවන්, නෑදෑයන් හෝ ගමේ කිසිකෙනෙක් මම කළ දේ වැරදියි කිව්වෙ නෑ.මම ඇප ලැබිලා ගෙදර එනකොට වීරයෙක් වගෙයි මාව පිළිගත්තෙ.මල් මාල දාලා, රැස්වීම් තියලා තමයි ගෙදරට එක්ක ආවෙ.”

සිය පොලිස් ජීවිතයේ අත්දැකීම් කිහිපයක් ද ඔහු අප හමුවේ පැවසුවේය.

"1991 ගොඩකවෙල පොලීසියේ ඉද්දි අපේ රටේ ප්‍රසිද්ධ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ කොල්ල කල්ලියක් කතරගම ලුණුගම්වෙහෙර, ඇඹිලිපිටිය, උඩවලව, පල්ලෙබැද්ද ආදී පොලිස් බලප්‍රදේශ පහුකරලා පැන යමින් සිටියදී කොල්ල කල්ලියේ මෝටර් රථයට ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත වෙඩි තිබ්බේ මමයි. ඒ සිද්ධිය වෙච්වි වෙලාවෙ කොල්ල කල්ලියෙ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිලකසිරි රාලහාමි රෝහලට අරන් යද්දි එයාගෙ පණ ගියේ මගේ අත්දෙක උඩ. 1995දී බන්ධනාගාරෙන් පැනපු රැඳවියන් හතර දෙනා අල්ලන්න ගිය වෙලාවේ අතේ පිහියක් විතරක් තියාගෙන එක් රැඳවියෙක් අතටම අල්ලගත්තේ මමයි.”

එසේ දැඩි කැපවීමකින් සහ ආශාවකින් පොලිස් රාජකාරිය කළ ඔහු අරගල භූමියට ගියේ දේශපාලන අරමුණක් නිසා දැයි මම ඔහුගෙන් විමසුවෙමි.

අම­ර­දාස සිය බිරිය තුෂාරි මංගලිකා සහ පුතුන් වන කෝසල තරිදු හංසක ලහිරු සහ පසිඳු ලක්රුවන් සමඟින්

"ඇත්තටම මුලදී මේ අරගලයේ දේශපාලන මුහුණුවරක් තිබුණේ නැහැ. මම අප්‍රේල් 14 වෙනිදා යනකොට ගෝල්ෆේස් පිටියේ විවිධ ස්ථානවල පිරිස හිටියා. මගේ දරුවන්ට නිවෙසක් හදලා දෙන්න බැරි පීඩනය පිට කරගන්න එක විතරයි එදා මට තිබුණු එකම අරමුණ. මම ඒක කළා. ඒ වෙලාවේ රටේම මාව ප්‍රසිද්ධ වුණා. විශාල පිරිසක් මා වටා එක්වුණා. මාව දිරිමත් කළා. මාව අත්අඩංගුවට අරන් වරාය පොලීසියට ගෙනාවා. එදා නීතීඥ මහත්වරු විශාල පිරිසක් මා වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඊට පස්සෙ නඩු වාරවලට දහ අට දෙනෙක් ආවා. ඊළඟ වාරයට තුන්දෙනෙක් හිටියා. අවසානය නඩු වාරයට නීතීඥවරු දෙදෙනෙක් ආවා. සමහර ආයතන මා නිවැරදිකරු වෙනවා කියලා. මාව අත්අඩංගුවට ගත්ත විදිහ ඇතුළු අසාධාරණකම් රැසක් සිදු වෙලා තියෙනවා. නඩුව තියෙන නිසා තව දේවල් ඒ ගැන කියන්න බෑ. මගේ බාගෙට හදපු නිවෙස මම මැරෙන්න ඉස්සෙල්ලා මගේ දරුවන් ට හදල දෙන්න තමයි මම මේ මහන්සි වෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව ඒකයි. මේ සිද්ධියෙන් පස්සෙ මට ඒ. එස්. පී. ලියනගේ මහත්තයා කතා කළා රැකියාවක් දෙන්න. කැන්ඩි ජුවලර්ස් ආයතනය, රේන්කෝ කුඩ නිෂ්පාදන ආයතනය, පල්ලෙකැලේ සියරට ආයුර්වේද ආයතනය මට රැකියාවක් දෙන්න කතා කරපු ආයතන.

එයාලට ගෞරවයක් විදිහටයි මම ඒ ගැන කිව්වේ. නමුත් මම කල්පනා කළා දැනට අත පය හයිය තියෙන නිසාත් රත්නපුරේ කෙනෙක් නිසාත් මැණික් ගලක් ගරා ගන්න පතලකට යනවා කියලා. ඒ අනුව තව ටික කාලයක් පතල් කපලා වාසනාවක් නැති වුණොත් මට කතා කරපු ආයතනයක රස්සාවකට යන්න තමයි හිතන් ඉන්නෙ.

නමුත් මට පොලීසියේ රැකියාව ලැබෙයි කියල ලොකු විශ්වාසයක් කියෙනවා. මම මානව හිමිකම් එකටත් පැමිණිලි කළා. අනෙක මම මහා අපරාධකාරයෙක් හෝ දේශපාලන අරමුණකින් කළ දෙයක් හෝ රජය පෙරළන්න කළ කුමන්ත්‍රණයක් නෙවෙයි. මෙච්චර දෙයක් වෙලත් කිසිම දේශපාලන පක්ෂයක මන්ත්‍රී කෙනෙක් මගෙන් නිකමටවත් ඇහුවෙ නෑ මොකක් ද වුණේ කියලා. මේ වෙනකොට අරගලයේ තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නෑ. මුලින් තිබිච්චි අරමුණු ගිලිහී ගිහින් කියන එක නම් පැහැදිලියි.”

 

Comments