මාලිගාවත්ත මහල් නිවැසියෝ අද විඳිනා දුකක් | සිළුමිණ

මාලිගාවත්ත මහල් නිවැසියෝ අද විඳිනා දුකක්

මාලිගාවත්ත මහල් නිවා­ස­වල පසු­පස බිත්තියේ ගස් වැවී ඇති අයුරු

ශ්‍රී ලංකාවේ නිවෙස් නොමැති පවුල් සංඛ්‍යාව ලක්ෂ 12ක් පමණ වන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් එය පවුල් 60000 කි. කොළඹ නගරයේ අක්කර 900 ට අධික භූමියක පැතිර පවතින 1500 පමණ අඩු පහසුකම් සහිත ජනාවාසවල දැනට 3,50,000 පමණ වාසය කරන අතර එය කොළඹ නගරයේ මුළු ජනගහනයෙන් සියයට 50 ඉක්මවයි. දැනට කොළඹ නගරයේ මහල් නිවාසවල ලක්ෂ 1 1/2 පමණ ජීවත් වෙති. කොළොම්තොට මේ වන විට මහල් නිවාස යෝජනා ක්‍රම 200ට ආසන්න ඉදිකර ඇති අතර, ඒ අතරින් අක්කර 43 භූමි භාගයක් පුරා පැතිරුණු මාලිගාවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය කොළොම්පුර පැරණිම මහල් නිවෙස්වලින් එකකි.

1960 දශකයේදී මාලිගාවත්ත නොදියුණු ප්‍රදේශයක්ව පැවති අතර, 1965 මහ මැතිවරණයෙන් නිර්මිත හවුල් පළාත් පාලන නිවාස ඇමති වූයේ එම්. තිරුචෙල්වම්ය. උප ඇමති වූයේ රණසිංහ ප්‍රේමදාස ය. මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකම පැවැති මඩවගුරු හා තණකොළ කොටු පලාකොටු ආදිය සංවර්ධනය නොවෙමින් තිබූ යුගයක මෙම දෙපළගේ කැපවීමෙන් ඊට නවෝදයක් උදාවිය. මාලිගාවත්ත නව පුරයක් ඇරඹීම නිසා ප්‍රේමදාස, මැද කොළඹ පුරයක් ඇතුළේ පුරයක් ඉදිකරන බව දේශපාලන විරුද්ධවාදීහු පැවසුහ.

මැද කොළඹ මාලිගාවත්ත නව නගරය ගොඩනඟන ස්ථානයේ "යටකළ මහ වගුරු බිමකි. එහි නැඟ එන නව නුවරකි." යනුවෙන් රණසිංහ ප්‍රේමදාසගේ උපදෙසින් එම ස්ථානයේ කාර්යාලය ඉදිරිපිට සිමෙන්තිවලින් ඉදිකළ කණුවක සටහන් කොට තිබුණි. 1977 වන විට පැවැති මහ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනගේ රජයේ නිවාස පළාත් පාලන ඇමතිවරයා ලෙස පත් වූ රණසිංහ ප්‍රේමදාස මාලිගාවත්ත නව නගරයේ ඉතිරිව තිබූ සියලු වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගැනීම නිසා සර්ව ආගමික මධ්‍යස්ථාන වෙළෙඳපොළක් හා නවරෝහලක් (මැද කොළඹ මහ රෝහල) ඉදිවිය. මාළිගාවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ 1995දී නිමවූයේ අදියර කීපයක් යටතේ ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පසුවය. "සභාධිපත්‍ය දේපළ" නමින් හඳුන්වන මහල් නිවාස යටතේ මාළිගාවත්ත මහල් නිවාස යන්හි සභාධිපත්‍ය දේපළ 81 ඇති අතර නිවාස වර්ග 16කි. ගොඩනැඟිලි 87 ක් තුළ නිවාස ඒකක 1,552ක් ඉදිව ඇත.

ප්‍රදීපා ශාලාවක්, ක්‍රීඩා පිට්ටනියක්, වෙළෙඳ සංකීර්ණයක් ඇතුළු පොදු පහසුකම්වලින් මෙම නිවාස ව්‍යාපෘතිය සමන්විත වන අතර, ජල කුලුනක් සහිත ජල පොම්පාගාරයක් හා අපත ජල පොම්පාගාර කීපයක් ද පදිංචි ජනතාවට සේවා සැපයේ. වසර 30ක් පමණ පැරණි මෙම නිවාස ව්‍යාපෘතිය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා එහි පොදු පහසුකම් සියල්ල මෙන්ම එහි බාහිර ස්වරූපය ද දුර්වල වී ඇත. මැද කොළඹ පිහිටි පළමු නිවාස සංකීර්ණය වන මාලිගාවත්ත A, B, C, D සහ E යන නිවාස සංකීර්ණ රැසකින් සමන්විතය. මෙහි ජනගහනය 15,000කට ආසන්න වන අතර ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 6,500කි. රජයේ රැකියාවල නිරත වන්නේ සුළුතරයක් පමණි. අනිකුත් බොහෝ පිරිස්, පෞද්ගලික අංශයේ හා ස්වයංරැකියාවල නිරත වෙති. පාසල් අධ්‍යාපනය කාර්මික හා උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසුහු ද වෙති.

මාලිගාවන්ත, මහල් නිවාස සංකීර්ණයේ බොහෝ ගොඩනැඟිලිවල වහල දිරාපත් වී ඇති අතර, වඩිම්බු ලෑලි ද දිරාගොස්ය. වැහිපීලි බට ගැලවී ගස් වැවී ඇත. ගොඩනැඟිලිවල බිත්ති දුර්වර්ණව ගොස් ඇති අතර මළ නාළිකා පද්ධතිය ද බොහෝ කාලයක් ප්‍රතිසංස්කරණය වී නොමැත. මාලිගාවත්ත මහල් නිවාසවල පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු වූයේ 2011 වසරේදීය.

මුළු ලොවම වෙළාගත් කොරෝනා වසංගතය සේම, ලංකාවට බලපෑ ඇඳිරි නීතිය, ජල, විදුලි කප්පාදුව හමුවේ වඩාත්ම පීඩාවට පත් වූයේ අගනුවර මහල් නිවාස, පැල්පත්, වතු ආශ්‍රිත අඩු පහසුකම් පරිසරවල දිවි ගෙවන ජනතාවය. ඒ අතරිනුත් මහල් නිවෙස්වල ජීවත්වන දහස් සංඛ්‍යාත ජනතාව විඳි දුක නම් අපමණය. පවතින ජීවන වියදම් ඉහළයෑම, අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු සියල්ලක්ම වැඩිවීම හමුවේ දවසින් දවස මහල් නිවාස හිමියන් විඳින දුක වැඩිවනවා මිස අඩුවක් නම් නොමැත. මහල් නිවෙස් වාසීන්ගේ දුක සොයා යන ගමනේ මුලින්ම මා තෝරාගත්තේ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයයි.

කලෙක මහත් උජාරුවෙන් බැබළුණු ප්‍රදීපා ශාලාව පාළුවට ගොස්ය. එළිමහන් ක්‍රීඩාංගණ වල් බිහිව ඇති අතර, නිවෙස්වලට පිවිසෙන මාර්ග පද්ධති තැනින් තැන කැඩී ගොස්ය. වැසි ජලය බසින කානු පද්ධති පවා නිසි ලෙස නඩත්තු කර නොමැත. වතුර බැසයන කානු මත පවා අනවසර ඉදිකිරීම් රැසක් ඉදිකර ඇත. පස් මහල් නව මහල් පැරණි ගොඩනැඟිලිවල පිටුපස වතුර බට පසාරු කරමින් කාක බෝ, හා තවත් මීවන ශාඛ හා දියසෙවල පැතිරී ඇත. ඇතැම් ස්ථාන පිරිසිදුව නඩත්තු කරමින් පවතින අතර, සමහර ස්ථාන නිසි පාලනයක් නොමැති බව පෙනේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙහි කසළ ඉවත් කිරීම සිදුකරන්නේ කොළඹ මහනගර සභාව මඟිනි. මෙම නිවාස සංකීර්ණයේ ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් ඇති කළමනාකරන ස්වාධිපත්‍ය අධිකාරියේ ප්‍රධාන ලේකම්, මාලිගාවත්ත සම්පත් සුරැකීමේ සංවිධානයේ ලේකම්, සිවිල් ආරක්ෂක කමිටු සභාපති හා මාලිගාවත්ත උපදේශක සභාවේ සභාපති ඒ.ඒ. සෝමපාල (80) කරුණු රැසක් සිළුමිණ ට අනාවරණය කළේය.

"පීටර් කෙනමන් මහතා 1972 දී නිවාස ඇමති වශයෙන් මෙහි නිවාස සංකීර්ණ කීපයක් ඉදිකළා. නිවාස හිමියන්ට ඔප්පු ලබාදීමේ කටයුතුවලට මුල් වුණේ රණසිංහ ප්‍රේමදාස මහතා. අපි ඒ වෙද්දිත් අවුරුදු 20ක් විතර පදිංචිවෙලා හිටියේ. රුපියල් දෙලක්ෂ විසි පන්දහසක තක්සේරු මුදල ගෙවා ඔප්පුව ලබා ගැනීමට හැකි වුණා. ඒ කාළේ මාසික කුලිය රු. 115යි. උඩට යන්න යන්න කුලිය අඩුයි. දැන් මේ නිවසක ව්‍යාපාරික වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙනවා. වර්ග අඩි 450 - 500 ප්‍රමාණයක් තියෙන්නේ.

මෙම නිවාසවල වගකීම පිළිබඳ 1970දී පාර්ලිමේන්තුවට ගෙනාව 2003 අංක 39 දරන බද්ධ නිවාස අයිතිවාසිකම් සංශෝධන පනන මඟින් ස්වාධිපත්‍ය අධිකාරිය යටතේ මහල් නිවාසවල කළමණාකාර සමිති පිහිටුවා ඔප්පු ලබා දුන්නා. ඔප්පු ලබාගත් නිවැසියන්ට නිවාස විකිණීමේ අයිතිය පවා හිමිවෙනවා. ඔප්පු නොමැති අය නිවාස සංවර්ධන අධිකාරියේ කුලී නිවැසියන් ලෙස සිටිනවා.”

මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමයේ පොදු පහසුකම් පිළිබඳ ද මම ඔහුගෙන් විමසුවෙමි.

"ඒ කාලේ මරණාධාර සමිති, සුභ සාධක සංගම් තිබුණා. ප්‍රදීපා ශාලාවේ තමයි සමිති සමාගම්, අවමඟුල් උත්සව පැවැත්වූණේ. මෑතකදී අධිකාරිය මඟින් ප්‍රදීපා ප්‍රජාශාලාව මඟුල් ශාලාවක් කළා. කොරෝනා කාලේදී මාලිගාවත්ත පොලිසියට තාවකාලිකව ලබාදුන්නා නවාතැනක් ලෙස. දැන් පොලිසිය එතනින් ඉවත්වුණත් තාමත් අපගේ පොදු කටයුතුවලට ප්‍රදීපා ශාලාව ලබාදී නොමැති වීම ලොකු අඩුපාඩුවක්.

මේක අවුරුදු 50 වඩා පැරණි විශාල නිවාස සංකීර්ණයක් වුණත් පුස්තකාලයක්, ප්‍රජා ශාලාවක්, කියවීම් ශාලාවක් නෑ. පාසල් සිසුන්ට, තරුණයන්ට, වෘත්තීය දැනුමක් ලබාදෙන්න පියවර අරන් නැහැ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඉඩකඩ වාහන පාක් කරන්න බදු දීලා. පොදු දේපළක් එක් අයෙකුට දීම අසාධාරණයි. ළමා උයන් කීපයක් තිබුණත් හරි නඩත්තුවක් නැතිකමින් කැළේ වැහිලා. පියදාස සිරිසේන පිට්ටනිය නගර සභාවට අයත් එකක්. මීට කලකට පෙර හැදු වන කොටුව සහිත උද්‍යානය අද මඩ ගොහොරුවක්. රියැදුරු පුහුණු කරන තැනක් වෙලා. අපි පොලිසිය සමඟ සම්බන්ධ වී සියයට සීයක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් අඩු කරලා තියනවා."

පොදු සමිති සේම සෑම බ්ලොක් එකකටම කළමනාකරණ සමිතිය බැගින් සමිති 85 පිහිටුවාගෙන නමුත් ඒවා ද නිසිලෙස ක්‍රියාත්මක නොවන බව පැවසූ මාලිගාවත්ත සම්පත් සුරැකීමේ සංවිධානයේ සභාපති එම්. ආර්. සුරසේන වැඩිදුරටත් මෙසේ ද කීවේය.

"මාලිගාවත්තේ අනවසර ඉදිකිරීම් වැඩිවෙලා තියෙන නිසා කානු පද්ධති අවහිර වෙලා. වතුර බහින්නේ නැතුව පිටාර ගලනවා අක්කර 50 වපසරියක් පැතිරුණු ප්‍රදේශයක ජලය බැසයන්න නිසි කානු පද්ධතියක්, ඇල මාර්ග නැහැ. ඒවා පිරිසුදු කරන ක්‍රමවේදයක් නැහැ. නගර සභාවයි අධිකාරියයි කඹ ඇදිල්ලක් තියෙන්නේ. තට්ටු 9,8,7 බ්ලොක්වලට තරප්පුව පමණයි තියෙන්නේ. උඩම තට්ටුවකට මෘත දේහයක් ගෙනියද්දි මිනිය වෙනමත් පෙට්ටිය වෙනමත් ගෙනයා යුතුයි."

එම සමිතියේ භාණ්ඩාගාරික කේ.කේ. උපුල් ප්‍රියංකර පැවසුවේ, පසුගිය ඇඳිරි නීති සමයේ අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීමේදීත් විදුලි හා ගෑස් අර්බුධය හමුවේත් මහල් නිවෙස්වාසීන් පුදුම තරම් අසරණ වූ බවයි.

"මධ්‍යම පන්තික අය තමයි බොහොමයක් ඉන්නේ. පසුගිය දිනවල ගෑස් පෝලිම්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල ඉන්න වුණා මදිවට ගෙදරට එද්දි ලයිට් කපලා උඩ මහල්වල අයට ෆෑන් නැතුව ඉන්න අමාරුයි. ඒ සමහර ගෙවල්වල ලෙඩ්ඩු සිටිනවා කුඩා දරුවෝ ඉන්නවා. ගමක නම් එළියට වෙලා හරි ඉන්න හැකියි. මිනිස්සු දවස ගෙවාගන්නේ බොහොම අමාරුවෙන්" මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ නිවැසියන් කීප දෙනෙකුගෙන්ද අදහස් විමසුවෙමි.

මහල් 8කින් යුත් එන් බ්ලොක් හි පදිංචි හිටපු ලංගම ලිපිකාරිනියක වන ආරියවතී ජයලත් (74) මෙසේ කීවාය.

"මෙහෙ පදිංචියට ආවේ 1979දි, උඩු මහලක් නිසා හුඟාක් අපහසුතාවයන්ට ලක් වෙනවා. ගේ පිටිපස්සේ නුග ගස්, බෝ ගස් වැවිලා බිත්ති පුපුරලා පවුලේ කට්ටිය ඉද්දි ඉඩත් මදි. ඒ මදිවට ලාම්පුතෙල්, ගෑස් නැහැ. විදුලි උදුනේ උයලා මාසෙකට රු. 7,000ක විදුලි බිලක් ආවා. බිස්කට් පැකට් එකක් ගන්න බැරි තරමට ප්‍රශ්න. ඉස්සර මේ තරම් හොරකම් තිබුණෙත් නෑ. නගර සභාවේ කුණු ලොරිය ආවත් මිනිස්සු උඩ ඉඳලා බිමට කුණු විසි කරනවා, රෑට 8 තට්ටුවේ ඉඳලා පහළට කුණු අරන් යන්න වෙන්නේ පඩි පෙළේ. ඉස්සර කවුළුවක් තිබුණා පහළට දාන්න, දැන් ඒවාත් වහලා."

සෑම දෙයක්ම ආණ්ඩුවෙන් ලබා දෙන තුරු බලා නොසිට නිවාස අලුත්වැඩියා කිරීම් සහ පිරිසිදු කිරීම් ඔවුන් විසින්ම සිදු කරගත්තද කොළඹ මහ රෝහලේ අපිරිසුදු ජලය ගලා එන නිසා මදුරු ගහනය ද වැඩි වී ඇති බව පැවසුවාය. බී බ්ලොක් හි පදිංචි රණසිංහ කෝරලගේ (67) කොළඹ නගර සභාවේ කර්මාන්ත පරිපාලක ලෙස කටයුතු කළ, මෙම නිවාස ක්‍රමයේ වසර 40ක පදිංචිකරුවෙකි.

" වකුගඩු රෝහල, මාලිගාවත්ත රෝහල ඇතුළු පහසුකම් තියනවා. ළමා ක්‍රීඩාංගණ ඇතුළු ක්‍රීඩාංගණ 6 ක් පමණ තිබුණත් ඉස්සර තරම් නඩත්තුවක් නෑ. ඔප්පු තියෙන හා නැති ගෙවල් තියනවා. මාලිගාවත්තේ නිවාසවල රජයේ සේවකයින්, ව්‍යාපාරිකයින්, පුද්ගලික වෙළෙඳුන්, කලාකරුවන් හිටියා. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ලතා වල්පොල, ධර්මසිරි ගමගේ, බර්ටි ගුණතිලක, එඩ්වඩ් ජයකොඩි, ක්‍රිෂ්ටි ලෙනාඩ් මුලින් පදිංචි වෙලා හිටියේ මෙහියි. බෞද්ධ, ඉස්ලාම්,කතෝලික, සර්වාගමිකයන් වෙනුවෙන් ආගමික මධ්‍යස්ථාන සියල්ලක්ම තියෙනවා. මේ මහල් නිවාසවල තනි නිදන කාමරයේ ගෙවල්, නිදන කාමර දෙකේ ගෙවල් තියනවා. කොළඹ අනිත් මහල් නිවාසවලට වඩා මාලිගාවත්තේ අක්කර ගානක් තියන නිසා විදුලිය කපන වෙලාවට පහළ මහල්වල අය නම් එළියට ගිහින් හරි ඉන්නවා. උඩ තට්ටුවල ඉන්න අය විදින දුකනම් කියලා වැඩක් නෑ. පොඩි දරුවෝ කෑගහනවා දාඩිය දාලා රෑටත් හරිම කරදරේ. දැන් දැන් ප්‍රශ්න එන්න එන්නම වැඩියි. සමහරු ගෙවල් විකුණලා ඈත පළාත්වලට යනවා.

ඩී මහලේ පදිංචි උදේනි තුෂාරා (47) පැවසුවේ මෙවැන්නකි.

"අපි අවුරුදු 38ක් මෙහි පදිංචියි. ඒත් ඉස්සර තිබුණු නිදහස දැන් නෑ. මහල් නිවාසවල ජීවත්වන ළමුන්ට, සෙල්ලම් කරන්න තියෙන්නෙ කුඩා ඉඩක් පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සහයෝගිතාවය නම් තියෙනවා. ඒත් ගෑස් හිඟයත් එක්ක දර ලිප් නැති නිසා අපහසුතා රාශියක් විඳිනවා. තට්ටු නිවාසවල උඩ තට්ටුවල ඇඳුමක්වත් වේළාගන්න විදිහක් නෑ. ළඟ ළඟම ගෙවල් නිසා පෞද්ගලිකත්වයට හානිවෙනවා, වැස්ස දවස්වලට පහළ අපායක්. සමහර බ්ලොක්වල දියසෙවල බැඳිලා, ගස් වැවිලා, බිත්ති පුපුරලා, මොනා කරන්නද කරුමයක මහත.”

පහළ නිවාසවල ඇතැමුන් කුඩා සිල්ලර, තේ කඩ, පොත් කඩ, කෑම කඩ පවත්වාගෙන යති. එහි C ගොඩනැඟිල්ලේ සිල්ලර කඩයක් පවත්වාගෙන යන මොහොමඩ් රොෂාන් (55) මෙසේ කීය.

මම 1975 සිට ඉන්නේ 1980 ගණන්වල මෙහේ හරි පිරිසිදුවට තිබුණා. 1992 පසු අගාධයකට පත්වුණා. නිසි අයුරින් ජලය ගලා යාමක් නැති නිසා ඩෙංගු උයනක් වෙලා. ඒ කාලේ පොදු පහසුකම් මණ්ඩලයක් තිබුණා. කඩවල් කඩන හොරුත් ඉන්නවා. ලයිට්, වතුර බිල් ගෙවාගන්නවත් සල්ලි නෑ.“

මේ, ජේ බ්ලොක් හි පදිංචි අසු දෙහැවිරිදි ගෘහණියක වන සෙලින්ඩා පෙරේරා ගේ හඬයි.

" අපි පහළම මහලක ඉන්න නිසා වහිද්දි වතුර ගෙට එනවා. කානු උතුරලා පිටුපස ගස් වැවිලා ගේ ඇතුළට මුල් ඇවිත් මංගල උත්සවයක්, අවමඟුලක් කරන්න අපේ ගෙවල්වල ඉඩ නෑ. නිදන කාමර දෙකයි කුස්සියයි සාලයයි. කුඩා වැසිකිළියයි තියෙන්නේ. උඩ ගෙවල්වලට පඩි පෙළේ ගෘහභාණ්ඩ මුකුත් ගෙනියන්න බෑ. වතුර ලබාගන්න විශාල පොදු ටැංකියක් තියනවා. මහල් අටේම අය මුදල් දීලා තමයි පිරිසිදු කරන්න වෙන්නෙත්. "

මේ සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ බලධාරීන්ගෙන් විමසූ අතර, නාගරිකව ජීවත්වන අඩු පහසුකම් සහිත ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් සකසන බව පැවසුහ. එහෙත් ස්වාධිපත්‍ය අධිකාරියේ ලේකම් ඒ.ඒ. සෝමපාල පැවසුවේ, මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ අඩුපාඩු පිළිබඳව කොතෙක් ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති නමුත් බලධාරීන් නෑසු කන්ව මුනිවත රකිමින් සිටින බවයි.


Comments