පෙණහැල්ලේ හිරවූ මූනිස්සම මුඛයෙන් එළියට ගත් විස්මිත සැත්කම | Page 2 | සිළුමිණ

පෙණහැල්ලේ හිරවූ මූනිස්සම මුඛයෙන් එළියට ගත් විස්මිත සැත්කම

 

ටහිර ප්‍රතිකාර ක්‍රමයක් වන භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. අපේ රටේ මෙකි ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ජනතාවට එතරම් අවබෝධයක් නැත. විශේෂයෙන් රෝගියකුගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව යම් දෙයක් හිරවීම නිසා නැතිනම් වෙනත් රෝගි තත්ත්වයක් නිසා හුස්ම ගැනිමට බාධාවක් ඇතිවුවහොත් ඒ බාධාව ඉවත් කිරීම සඳහා හෘදය හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය යෙදා ගනු ලබන්නේය.

 

අප මේ කියන්නට යන්නේ ද වෙඩි වැදීමෙන් දෙදරු පියකුගේ උරස්කුහරය පසාරු කරගෙන ගොස් වම්පෙණහැල්ලේ හිරවි තිබු මුනිස්සමක් භෞත චිකිත්සක ප්‍රථිකාර මගින් මුඛයෙන් පිටතට ගත් විස්මිත ක්‍රියාවක් පිළිබඳවය.

දිනය ඉකුත් 05 වැනිදාය. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ දෙදරු පියකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත්කොට තිබුණි. තංගල්ල මොරකැටිය ප්‍රදේශයේ දී වූ වෙඩි තැබීමකින් මෙකි දෙදරු පියා බරපතළ තුවාල ලබා තිබූ අතර තංගල්ල රෝහලින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකොට එවා තිබුණි. ඒවනවිටත් මෙකී රෝගියා ජිවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය. කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දි මේ රෝගියා එක්ස්රේ පරික්ෂාවට ලක්කරනු ලැබීය. වෙඩි වැදීමෙන් මොහුගේ උරස් කුහරය පසාරු කරගෙන ගොස් තිබූ මුනිස්සමක් දකුණු පස පෙණහැල්ලේ අනුස්වාස නාළිකාවල හිරවී තිබුණි. පසුව මෙකී රෝගියා හෘදය හා උරස්කුහර ශල්‍ය ඒකකය වෙත මාරු කරනු ලැබීය.

හෘදය හා උරස් කුහර ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර විසින් මෙම රෝගියා පරික්ෂා කරනු ලැබුවාය. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි මෙම රෝගියා ජිවිත අවධානමක සිටියේය. රෝගියාගේ සිරුරේ අභ්‍යන්තරයේ වූ රුධිර වහනය නතර කිරීම සඳහා ශල්‍ය කර්මයක් කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය තීන්දු කළාය. ඒ අනුව ශල්‍යකර්මය සිදු කිරීම ආරම්භ කෙරිණි. රෝගියාගේ අවධානම් තත්ත්වයෙන් පසුවූ බැවින් අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා එක්මෝ යන්ත්‍රයද සුදානම් කොට තිබුණි. නිර්වින්දන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගිහාන් පියසිරි රෝගියා නිර්වින්දනය කිරිමට කටයුතු කළේය. මුනිස්සම පිටතට ගැනිමට පෙර වෙඩි උණ්ඩය පසාරු කරගෙන ගොස් තිබූ මාර්ගයේ රුධිරය වහනය වීම නතර කොට එම මාර්ගය පිළිසකර කිරීම ශල්‍යකර්මයේ ප්‍රධාන අරමුණ විය. රෝගියාගේ ජිවිතය බේරා ගැනීම සඳහා මෙකී ශල්‍යකර්මය අනිවාර්යෙන්ම කළ යුතු විය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රොලුෂා හරිස්චන්ද්‍ර ඇතුළු වෛද්‍ය කණ්ඩායම ශල්‍යකර්මය ඉතා සාර්ථකව සිදුකරනු ලැබීය. ශල්‍යකර්මයෙන් පසු රෝගියා ජිවිත අවධානමෙන් මිදී සිටියේය. ‘අපිට අවශ්‍ය වෙලා තිබුණේ වෙඩි වැදීම නිසා මුනිස්සම ගිහින් තිබූ මාර්ගය පිළිසකර කිරිම, ඊට පසු තමයි මුනිස්සම ගැනීමට සැලසුම් කළේ. රෝගියාගේ දකුණු උරස්කුහරය විවෘත කරලා රුධිරය අයින් කළා. මුනිස්සම ගමන්කොට තිබූ මාර්ගය පිරිසිදු කළා. ට්‍රැක් එකට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වම් පෙණහැල්ලේ අනුස්වාස නාළිකාවල අග්‍රයේ. තමයි මුනිස්සම හිරවෙලා තිබුණේ. මුනිස්සම ගැනීම සඳහා බ්‍රොන්කොඩ්කොපි උපකරණය යොදාගෙන බටයක් දමලා ගැනීමට උත්සාහ කළා. නමුත් මුනිස්සම අනු ශ්වාසනාළිකාවල පහළටම ගොස් තිබූ නිසා මුනිස්සම ගැනිම අපහසු වුණා යැයි වෛද්‍ය නප්ලි හුසෙන් කීවේය. කෙසේ වුවද දකුණු පස පෙණහැල්ලෙ අනුස්වාස නාළිකාවල හිරවී තිබූ මුනිස්සම සැත්කමින් පසු වම්පස පෙණහැල්ලේ පහළටම ගොස් හිරවී තිබුණි. විවෘත ශල්‍යකර්මයක් කොට මෙකී මුනිස්සම පිටතට ගැනීමට හැකි වුවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය ගැන විශ්වාසය තැබුවාය. භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මෙම මුනිස්සම පිටතට ගන්න පුළුවන්දැයි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය භෞත චිකිත්සක අසංක මද්දුමගෙන් ඇසුවේය. ඔහුගේ පිළිතර වූයේ අපි උත්සාහ කරලා බලමු කියාය. ශල්‍යකර්මයෙන් පසු රෝගියාට ලබා දි ඇති කෘතිම ස්වසන උපකරණය ඉවත්කර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය කළ යුතු බව භෞත චිකිත්සක අසංක පැවසුවේය. ඒ අනුව රෝගියගේ වම් පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම පිටතට ගැනීමේ කාර්ය භෞත චිකිත්සක අංසක මද්දුමආරච්චි වෙත පැවරිණි. ශල්‍යකර්මයෙන් පසු රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට කටයුතු කළේය.

මෙම පුද්ගලයාට වෙඩිවැදිම නිසා උරස්කුහරය පසාරු කරගෙන ශ්වාශ නාළ අග්‍රයට ගිහින් තමයි මුනිස්සම නතර වී තිබුණේ. අපිට හුස්ම ගැනීමට තියෙන එකම ඉන්ද්‍රිය තමයි ශ්වාස නාළය. රෝගියාට හුස්ම ගැනිම ප්‍රශ්නයක්; ඒ විතරක් නෙවෙයි සිහිසුන් කරන එකත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මුනිස්සම ගැලවුවහොත් ඇඹයක් ගැලවුවා වගේ වෙනවා. ඔක්සිජන් ටික එළියට යනවා. අපිට තියෙන්නේ එක ශ්වාසනාළයයි. එම ශ්වාසනාළය තමයි බෙදිලා පෙණහලු දෙකට යන්නේ. මුනිස්සම ස්වාසනාළය අග ගිහින් හිරවෙලා තිබූ නිසා මුනිස්සම ඉවත් කිරිමේ දී හිලක් ඇති වෙනවා. එම හිල ඇරියහම ඔක්සිජන් ටික එළියට යන්නේ. එම ගැටලුවට අපිට මුහුණදීමට සිදු වුනා. දෙවැනි ගැටලුව තමයි හිරවෙලා තිබූ මුනිස්සම පිටතට ගන්න එක. මෙම රෝගියා ශල්‍යකර්මයකට ලක්කිරීමට තීරණය කළා. අපිට අවශ්‍ය වෙලා තිබුණේ වෙඩි වැදීම නිසා මුනිස්සම ගිහින් තිබු මාර්ගය පිළිසකර කිරිම. ශල්‍ය කර්මයෙන් පසු රෝගියාගේ ජිවිත අවධානම පහව ගොස් තිබුණා. අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා එක්මෝයන්ත්‍රයත් තියාගෙන තමයි ශල්‍යකර්මය සිදු කළේ. ශල්‍යකර්මය කරන අතරතුරේ මුනිස්සම තවත් පහළට ගොස් තිබුණා. වම් පෙනහැල්ලේ තැන්පත් වී තිබූ මුනිස්සම බටයක් දමලා ගන්න බැලුවා එත් බැරි වුණා. මුනිස්සම තිබුණා නම් පෙණහැල්ලේ එම කොටස අවහිර වෙනවා. ඊට පසු තමයි භෞත චිකිත්සක ප්‍රතිකාරය මගින් මුනිස්සම පිටතට ගැනිමට තීරණය කළේ යැයි හෘදය හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර පැවසුවාය.

රෝගියා හදිසි ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමෙන් පසු කෘතිම ශ්වසන උපකරණය ගලවා ඔහුට සාමාන්‍ය පරිදි හුස්ම ගැනිමට අවස්ථාව ලබා දුන්නේය. හෘදය හා උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියගේ වම් පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම ඉවත් කිරීමේ කටයුතු භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි ආරම්භ කළේය. ඔහු මෙම කාර්ය සිදුකරනු ලැබුවේ අවධානමක් සිය දෙවුර මත රඳවා ගෙනය. මුනිස්සම ස්වාසනාළය හරහා පිටතට ගැනීමේ දි යළි පෙණහැල්ල මතට හෝ උදරය වෙත පතිතවීමට ඉඩ තිබුණි. ඒවිතරක් නොව පිටතට ගැනීමේ දි මුනිස්සම හිරවුවහොත් රෝගියගේ ජිවිතයට පවා අනතුරක් වීමට ඉඩ තිබුණි. කෙසේවුවද එම අභියෝගය බාරගත් භෞත චිකිත්සක අසංක මද්දුමආරච්චි රෝගියාගේ වම් පෙණහැල්ලේ හිරවි තිබූ මුනිස්සම හෘදය හා උරස්කුහර භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාගේ මුඛයෙන් පිටතට ගනු ලැබිය.

මේ පිළිබද භෞත චිකිත්සක අසංක මුද්දුමආරච්චි ඒ කාර්යය පිළිබඳ මෙසේ පැවසීය.

පෙණහැල්ල මගින් සිදු කරන්නේ හුස්ම ගැනීම පහසු කිරිමයි. මෙම රෝගියාගේ වම්පෙනහැල්ලේ හිරවී තිබූ මුනිස්සම ඉවත් කිරිමට හෘදය උරස් භෞත චිකිත්සාව තමයි අපි කළේ. සරල සිද්ධාන්ත කිහිපයක් භාවිත කරලා රෝගියගේ වම් පෙනහැල්ලේ හිරවෙලා තිබූ මුනිස්සම ශ්වාසනාලය දිගේ ඉහළට අරගෙන මුඛයෙන් පිටතට ගැනීමට තමයි සැලසුම් කළේ. රෝගියාගේ උදරකුහරයේ තිබු පිඩනය වැඩිකරලා වෙනස්කරලා පෙනහලුවලට පිඩනය වැඩි කළා. මුනිස්සම ඉහළට ගත්තා. රෝගියාව කහිනවාත් සමඟ රෝගියාගේ ගෙල ඉදිරිපසට නැවීමෙන් ඉහළට ආපු මුනිස්සම නැවත ස්වාසනාලයට යන එක නතර කළා. එම සිද්ධාන්තය උපයෝගි කරගෙන තමයි මුනිස්සම රෝගියගේ මුඛයෙන් පිටතට ගත්තේ මුනිස්සමේ දිග සෙන්ටිමිටර් 02ක් විතර ඇති. මෙම ක්‍රමය සාර්ථක නොවුණා නම් රෝගියා ඇදේ හාන්සි කරවලා හිස පහළට දමලා මුනිස්සම ඉවතට ගන්න ක්‍රමයක්ද තියෙනවා. නමුත් එම ක්‍රමය කිරිමට අවශ්‍ය වුණේ නැහැ. රෝගියාගේ වේදනවා අඩුකිරීම සඳහා නිර්වින්දන වෛද්‍ය ගිහාන් පියසිරි විසින් වේදනා නාශක දිලා තිබුණා. රෝගියාට වෙදනාව දැනුණා නම් මුනිස්සම ගන්න ඉතා අපහසු වෙනවා. ඕනෑම පුද්ගලයෙකුට ඕනැම අවස්ථාවකදි ශ්වාසනාලයේ හිරවිම් වෙන්න පුළුවන්. එම අවස්ථාවේ දි අපිට කරන්න පුළුවන් මොකක්ද කියන එක ඉතා වැදගත් එම අවස්ථාවකදි කහින්න කියලා පිටට තල්ලු කරලා පිඩනය වැඩිකරලා එළියට ගන්න පුළුවන්.

ඇත්තටම ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ නැහැ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මේ වගේ දෙයක් කරන්න කියලා. නමුත් ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය මට එම අවස්ථාව ලබා දුන්නා. වෛද්‍යතුමියට ඒ ගැන විශේෂයෙන් ස්තුති කළ යුතුයි. විවෘත සැත්කමක් කරලා මුනිස්සම ඉවත්කිරිට කටයුතු කළා නම් රුපියල් ලක්ෂ 60ක 80ක විතර වියදමක් දැරීමට රජයට සිදු වෙනවා යැයිද අසංක මද්දුමආරච්චි සඳහන් කළේය.

 

Comments