පියාට ජීවි­තය අහිමි කළ දිය­ණි­යගේ ජංගම පෙම් හුට­පටේ | සිළුමිණ

පියාට ජීවි­තය අහිමි කළ දිය­ණි­යගේ ජංගම පෙම් හුට­පටේ

ජංගම දුරකතන බොහෝ ජීවිත පාලනයට ගෙන වැඩි කලක් නැත. ජීවිතයේ සියලු දෑ ඔවුන් බාර දෙන්නේ ජංගම දුරකතන තිරයට ය. සියල්ල තීරණය කරන ඉටු දෙවියා යැයි සිතන ජංගම දුරකතනය නිසා සිදුවූ අලකලංචි ද බොහෝ ය.

 

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගණේමුල්ල වැළිපිල්ලෑව ප්‍රදේශයේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලකින් එක් පුද්ගලයකු කිණිසි පහරකින් මිය ගොස් ඇතැයි රාගම පොලීසියේ එදින වැඩ බැලූ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට දුරකථන ඇමතුමක් ලැබෙන විට අටව­ැනිදා රාත්‍රී නමය පසුව තිබීණි.

වහාම ක්‍රියාත්මක වූ ඔහු සිය නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට යවමින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තම දියණියගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ එවීම නවතන ලෙස දියණියගේ පෙම්වතාට තර්ජනය කිරීමට කඩුපොලු රැගෙන යොවුන් වියේ පසුවූ තම පුතුන් දෙදෙනාද කැටුව පෙම්වතාගේ නි‌ෙවසට ගිය 55ස් හැවිරිදි සිවුදරු පියෙක් දියණියට කෙටි පණිවිඩ එවූ බව කියන සැකකාර තරුණයා විසින් එල්ල කළ කිණිසි පහරකින් මෙලෙස මරණයට පත්ව සිටියේය.

පියපුතු දෙදෙනා විසින් එල්ල කළ කඩු පොලු පහරවලින් බරපතළ තුවාල ලබා සැඟවී සිටි සැකකාර තරුණයා සැඟව සිටි තැනින් පැමිණ 55ස් හැවිරිදි පුද්ගලයාට කිණිසි පහර කීපයක් එල්ල කර පලා ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීම පොලීසිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සැකකරු රෝහලේදීම අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුකළ රාගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ මෙවැන්නකි.

‘මියගිය පුද්ගලයා ගේ දුවගේ ජංගම දුරකතනයට සැකකාර තරුණයා එව්වා කියන කෙටි පණිවිඩයක ආරවුලක් තමයි අවසානයේ මිනිස් ඝාතනයකින් කෙළවර වුණේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 55ක සිවුදරු පියෙක්. අපි සිද්ධිය වූ ස්ථානයට යනවිට සැකකරු පලා ගිහින්. ඒත් ඔහු කඩු පොලු පහරවලින් බරපතළ තුවාල වෙලා හිටිය නිසා අපේ ප්‍රධාන රාජකාරිය වුණේ තුවාල කරු රෝහලට රැගෙන යෑම. සැකකරු ළඟපාත ඇති කියන විශ්වාසය අපිට තිබුණා. ඒ නිසා අපි අසල්වැසි නිවාස සෝදිසි කරා.

පැය දෙකක පමණ සෝදිසි මෙහෙයුමකින් පස්සෙ ලේ වැගිරෙන තුවාල එක්ක අසල්වැසි නි‌ෙවසක හැංගිලා ඉදපු සැකකරු පොලිස් අත්අඩංගුවට ගත්තා.

සැකකරුගේ පිටට කඩුපහරවල් කීපයක් එල්ල වෙලා තිබුණා. ලේ වැගිරෙමින් හිටියේ. පොලිසිය සැකකරු පොලිස් ආරක්ෂාව මැද රාගම රෝහලට අරන් යනකොට මියගිය පුද්ගලයාගේ ඥාති හිතවතුන් පනහකට අධික පිරිසක් රාගම රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටත කල්ලි ගැහිලා හිටියා සැකකරුට පහර දෙන්න.

ඊට පස්සෙ අපිට හිතන්න වුණේ රෝහල තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම හා සැකකරු නිරුපද්‍රිතව එම ස්ථානයෙන් වෙනත් රෝහලකට රැගෙන යෑම.

රෝහල ඉදිරිපිට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා සහ කැලණිය කොට්ඨාස භාර ෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාට මම ක්ෂණිකවම දැනුම් දීමක් කරලා සහාය කණ්ඩායමක් එවන්න කිව්වා. ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සහ පිරිස පාලනය කිරීමට වත්තල මහබාගේ කඩවත, කඳාන යන පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරීන් පිරිසක් රාගම රෝහල් භූමියට ආවාට පස්සෙ කලහකාරී පිරිස විසිර ගියා. සිදුවෙන්න ගිය තවත් අපරාධ කීපයක් වැළකුණා‘

පොලිස් අත් අඩංගුවට ගත් තුවාල ලබා සිටි සැකකාර තරුණයා කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව මත දින දෙකක් ප්‍රථිකාර ලබාදීමෙන් පසුව පොලීසිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මහේස්ත්‍රාත් නියෝග මත මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව මත ප්‍රතිකාර ලබනවා.මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුට එරෙහිව නඩු පවරන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා පැවසීය. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස් පති මහින්ද දිසානායක කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් යන අයගේ උපදෙස් මත රාගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා ගේ ඝෘජු මැදිහත්වීම මත උප පොලිස් පරීක්ෂක වරුන් වන යූ ඩී අබේරත්න, භවන්ත රාජකරුණා පොලිස් කොස්තාපල් වරුන් වන 78998 පෙරේරා 79574 සදුන් 33250 හෙට්ටිආරච්චි යන නිලධාරීන් සහ අවට පොලිස් ස්ථාන හතරක නිලධාරීන් ගේ සහායද මෙම මිනිස් ඝාතනය හා ආරවුල සමතයකට පත් කිරීම සඳහා ලැබී ඇත.

 

Comments