දරුවන්ගේ පෝෂණ අර්බුදේ | Page 2 | සිළුමිණ

දරුවන්ගේ පෝෂණ අර්බුදේ

 

 

• පාසල් යන වයසේ පසු­වන වයස අවු­රුදු 5ත් 17ත් අතර සෑම දරු­වන් දස­දෙ­න­කු­ගෙන් දෙදෙ­න­කුම මන්ද පෝෂ­ණ­යෙන් පෙළෙන බව ලංකා පෝෂණ වෛද්‍ය සංග­මය කියයි

• අවු­රුදු 5ට අඩු ළම­යි­න්ගෙන්  17%ක් මේ වන­වි­ටත්  මන්ද­පෝ­ෂ­ණ­යෙන් පීඩා විඳි­නවා

ටක අනාගතය තීරණය කිරීමෙහිලා ප්‍රධාන සාධකය ලෙස සලකන්නේ එරට ළමා පරපුරය. නමුත් මේ වනවිට මෙරට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආහාර සහ පෝෂණය පිළිබඳ විශාල අවධානමක් මතුව ඇත. මෙරට දරුවන්ගෙන් 17% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වාදී තිබේ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය දරුණු මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සියේ ප්‍රකාශක යෙන්ස් ලෙයාර්කෙ සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි හවුල්කරුවන් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන් මිලියන 1.7කගේ සහ අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූවන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 47ක් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාවේ යුන්සෙෆ් නියෝජිතවරයකු වන ක්‍රිස්ටියන් ස්කූග් ප්‍රකාශ කර ඇත්තේ, මෙරට තත්ත්වය භායනක බවත්, අර්බුදයට පෙර සිටම ශ්‍රී ලංකාවේ සිටින අවුරුදු 5ට අඩු ළමයින්ගේ 17%ක් මේ වනවිටත් මන්දපෝෂණයෙන් පීඩා විඳින බවත් ය. විශේෂයෙන් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 56,000ට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය උත්සහ කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන ආකාරයට රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව ආහාර ගැනීම සීමා කිරීමට පෙලඹීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අනුමාන කරන බවයි. මෙම ජාතික සමීක්ෂණයේදී “අවුරුදු පහට අඩු දරුවන්ගෙන් ලක්ෂ දෙකක ප්‍රමාණයකට හා පාසල් සිසුන්ගෙන් ලක්ෂ 7 ක ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වූ බව” කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

මේ වන විට කැල්සියම් ඌනතාව විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර දරුවන්ගෙන් සියයට 50 ක් පමණ කැල්සියම් ඌණතාවෙන් පෙළෙන අතර, මෙය අලුතින් ඇති වූ තත්ත්වයක් බව ඇය පෙන්වා දෙයි.

එසේම පාසල් යන වයසේ පසුවන වයස අවුරුදු 5ත් 17ත් අතර සෑම දරුවන් දසදෙනකුගෙන් දෙදෙනකුම මන්ද පෝෂණයෙන් පෙලෙන බව ලංකා පෝෂණ වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානය හෙවත් Scaling Up Nutrition People's Forum Sri Lanka (SUN PF) ආයතනය ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය මත ඇති වී තිබෙන පෝෂණමය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, සියලුම දේශපාලන නායකයන් හා පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතන සහ ඒවායේ නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමේදී පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධානයේ සභාපති, පෝෂණවේදී රොෂාන් දෑලබණ්ඩාර පවසා සිටියේ, “ ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, පෞද්ගලික අංශය සහ අනෙකුත් පෝෂණය සඳහා වන වෘත්තීය සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් වැඩ කිරීමේ ඉහළ ධාරිතාවයක් තම ආයතනය සතුව පවතින බැවින්; මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ජනතාවගේ ආහාර රටා යහපත් කිරීම උදෙසා අවශ්‍ය කරන පුහුණු කිරීම්, උපදේශනයන් හෝ වෙනත් ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානමින් සිටින බවයි. රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ වඩාත් පීඩාවට හා අවදානම් තත්ත්වයේ පසුවන ජනතාවගේ පෝෂණය සහ යහපැවැත්ම වෙනුවෙන් සැවොම දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව” හෙතෙම පෙන්වා දෙයි.

දරුවන් අතර වයසට සාපේක්ෂව උස නොමැතිකම සහ කෘෂ බව (උසට නියමිත බර නොමැතිකම) ඉහළ යාම මෙන්ම, නව යොවුන් වියේ පසුවන දරුවන් අතර පවා රක්තහීනතාවය සහ කෘෂ බව ඉහළ යාමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳව අතිශයින් සැලකිලිමත් විය යුතුව තිබේ.

පෝෂ්‍යදායී ආහාර වේලකට අතිශය වැදගත් එළවළු, පලතුරු, මස්, මාළු සහ බිත්තරවල මිල ගණන් සාමාන්‍ය මිනිසුන්ට දැරිය නොහැකි ලෙස වැඩි වීම නිසා, ඒවා නොමැතිව මිනිසුන් ආහාර ගැනීමට නැඹුරු වෙමින් ඇත. ගැබිනි මවුවරුන්, දරුවන් සහ අවදානම් කාණ්ඩවල සිටින ජනතාව කෙරෙහි ඉතා අහිතකර ලෙස මේ තත්ත්වය බලපා ඇත. එමෙන්ම, අවදානම් සහිත ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා උදෑසනට ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන යටතේ එක් දරුවකු සඳහා දැනට වෙන්කර ඇති මුදල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට තරම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මේ නිසා කුසගින්නෙන් පෙළෙන දරුවන්ට තම අධ්‍යයන කටයුතු කෙරෙහි නිසි අවධානය යොමු කිරීමට නොහැකි වන අතර, එමඟින් වඩාත් අයහපත් තත්ත්වයක් උද්ගත වේ. මේ වන විට කුඩා දරුවන්ට ලබාදෙන බහු ක්ෂුද්‍ර පෝෂක අතිරේක සැපයීමේ ගැටලුවක්ද පවතින අතර, අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගර්භිණී කාන්තාවන් සහ අඩු පෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමුන් සඳහා ලබාදෙන ප්‍රධාන පෝෂණ අතිරේක ආහාරය වන ‘ත්‍රිපෝෂ’ ලබාදීමේ ගැටලුවක්ද පවතී.

මේ වන විට ආහාර ද්‍රව්‍යවල උද්ධමනය සියයට 35 සිට සියයට 200ය දක්වා පරාසයක පැමිණ තිබේ.

ඉදිරියේදී මිනිසුන්ට ප්‍රථමයෙන් ම ආහාර හිඟයකට මුහුණදීමට සිදුවිය හැකි අතර, මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් අපේ රට ආහාර සුරක්ෂිතතාවයෙන් මෙන්ම පෝෂණ සුරක්ෂිතතාවයෙන්ද තොර වීමට ඉඩ ඇත. එමගින් අඩු පෝෂණ තත්ත්ව, ක්ෂුද්‍ර පෝෂක ඌණතා සහ මන්දපෝෂණ තත්ත්වයන් ඇතිවීම හරහා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයේ විශාල සංකූලතා ඇතිවිය හැකිය.

මෙම කාරණා සැලකිල්ලට ගෙන රජයත්, පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යාංශ නිලධාරීන් හා අනෙකුත් බලධාරීනුත් වහ වහා අවධානය යොමු කළයුතු කරුණු කිහිපයක් පෝෂණය නංවාලීම සඳහා වූ ජනතා සන්ධාන පෙන්වාදී තිබේ.

ඒ; අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට දැරිය හැකි මිලකට සැපයිය හැකි ලෙස ආර්ථික තත්ත්වය කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම්ලාභී පවුල්වලට අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබාදීම හෝ සහන වෙළෙඳ සැල් මඟින් සහනදායී මිලකට ආහාර ලබා දීම (ආධාර සපයන ජාත්‍යන්තර සංවිධාන සහ මිත්‍ර රටවල්වලින් මෙවැනි වැඩපිළිවෙළක් සඳහා සහයෝගය ලබාගත හැක.), ආහාරවල පෝෂණ ගුණය රැකෙන ලෙස ඒවා පිළියෙළ කිරීම සහ අඩු මුදලකින් වැඩි පෝෂණ ගුණයෙන් යුත් ආහාර මිලදී ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට සහ ඒවා ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කිරීමය.

මේ පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කර සිටියේ “ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන් පිළිබඳව කළ සමීක්ෂණයේදී හෙළි වුණේ දරුවන් තුළ මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි. ඔවුන්ට මෙවැනි තත්ත්වයක් උදා වුණේ ඇයි? කියන කාරණය පිළිබඳව විමසන විට පෙනී ගියේ ඔවුන්ට පෝෂණය සඳහා අවශ්‍ය හරි ආහාර නොලැබී ඇති බවයි. දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම සහ ආර්ථික ප්‍රශ්න මේ සඳහා බලපා ඇති බව නිගමනය කළ හැකි බවයි. පළමු මාස 6ක කාලය තුළ මව්කිරි පමණක් ලබාදීම ප්‍රමාණවත් වුවත් ඉන් ඉදිරියට වසර දෙකක් මව්කිරි ලබාදෙන අතර තුර ආහාර ලබාදීම කළ යුතු බවයි. එහිදී අපේ රටේ පහසුවෙන් ලබා ගත හැකි ආහාර වන බත් සමඟ කොස්, පොලොස්, කොස් ඇට, දෙල්, මඤ්ඤොක්කා, බතල වැනි පිෂ්ටය අඩංගු ආහාර සහ එළවළු ලෙස අළුකෙසෙල්, වට්ටක්කා, බණ්ඩක්කා, මෑ, බෝංචි, පලාවර්ග මීට අමතරව ඇට වර්ග වන මුං, කව්පි වැනි දේ ලබාදිය හැකි බවයි. ඒ වගේම බිත්තර, මාළු (විශේෂයෙන්ම කටු සහිත කුඩා මාළු වර්ග), හාල්මැස්සන් (කරවල) වැනි ආහාර ලබාදීම කළ යුතු බවයි. ඉන් මන්ද පෝෂණය වගේම ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලින් දරුවා ආරක්ෂා කර ගත හැකි බව හෙතෙම පෙන්වා දෙයි. එසේම මෙරට පහසුවෙන් සොයාගත හැකි පලතුරු වන අඹ, ගස්ලබු, වරකා, අන්නාසි, පේර, කෙසෙල්, දිවුල්, බෙලි, ලාවුළු, පැෂන්, දොඩම්, ජම්බු, දම්, රඹුටන්, මැංගුස්, දූරියන්, අලිගැටපේර ආදී දේ දරුවන්ට හඳුන්වා දිය හැකි බවත් මීට අමතරව වසරකින් පසු දරුවන්ට මීකිරි යෝගට් වැනි දෑ පහසුවෙන් ලබාදිය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

 

 

Comments