තෙල් - ගෑස් නැතිව ඇවි­ළෙන මිනිස්සු | සිළුමිණ

තෙල් - ගෑස් නැතිව ඇවි­ළෙන මිනිස්සු

 

දැන් කොතැන ගියත් “පෝලිම“ය. අද වන විට පවතින පෝලිම් සංස්කෘතියේ දිගු පෝලිම් දැකිය හැක්කේ “ගෑස්“ වලට හා “තෙල්“ වලටය. විශේෂයෙන්ම වාහන සඳහා අවශ්‍ය තෙල් ලබා ගැනීමට ඇති දිගු පෝලීම්වල අවසානය සෙවීමට නම් කිලෝමීටරයක් දෙකක් යා යුතුය. තෙල් පෝලිම්වල ජීවිතය ගෙවන්නෝ, ජීවිතය සොයන්නෝ මෙන්ම ජීවිතය විඳවන්නෝ ද, පෝලිමේ කාලය ගෙවා දමන්නට කුමක හෝ නිරත වන්නෝ ද පෝලිම් ගැන විමසිල්ලෙන් යන විට මහමඟදී හමුවේ.

“අපි තෙල් පෝලිමට එකතු වුණේ අඟහරුවාදා හවස ඒ කියන්නේ පෝය දවසේ. මම නම් හිතුවේ එදා රෑ වෙනකොට වත් අපට තෙල් ගහ ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ෂෙඩ් එකට කිලෝමීටරයක් වගේ තියෙද්දි තෙල් ඉවර වුණා. ආයේ හැරිලා කොහෙ යන්න ද? අපි එදා ඉදලා තවමත් පෝලිමේ. අද බ්‍රහස්පතින්දා; දැන් හැන්දෑ වෙලා. තෙල් එනවා කියලා එහෙන් මෙහෙන් තමයි දැන ගන්න ලැබුණේ. ගෙදර ගියේ නැහැ. අපේ පාරේ දුවන තවත් බස් කීහිපයක්ම පෝලිමේ තියෙනවා. අපි හතර පස් දෙනා පාන් රාත්තල් දෙකක් ගෙනැල්ලා හොඳිත් ගෙනැල්ලා වේල පිරිමහ ගන්නවා.

තේ එකක් බොන්න නැහැ. කඩවල් වලින් කන්න බෑ. සමහර කඩ වහලා දාලා. ඒ වගේම අපිට දැන් ආදායමක් නැහැ. අතේ ඉතිරි කරන් ඉන්න මුදල තමයි දැන් වියදම් කරන් කාලා බීලා ඉන්නේ. රෑට මදුරු කොයිල් එකක් පත්තු කරගෙන බස් එ‍ෙක්ම පොඩි ඇලට් එකක් දානවා. තෙල් ගහන්න ඇවිල්ලා පුදුම දුකක් විදින්නේ. අපිට අපි එක්ක යන මඟියෝ ගැන වගකීමක් තියෙනවා. කාලයක් තිස්සේ ඔවුන් යන්නේ අපිත් එක්ක. දැන් ඒ අය අතරමං. අනික අපි ජීවත් වෙන්නේ මේ බස් රස්සාව නිසා.

බස් රස්සාව පටන් අරන් අවුරුදු විස්සක් විතර වෙනවා. ඒ කාලේ ඩීසල් ලීටරය රුපියල් විසි තුනයි. ආදායම රුපියල් 800 ක් 700ක් විතර වෙනවා. රියැදුරෙක් වුණ මට දවසට රුපියල් 3500 ක් ලැබෙනවා. ඒත් හැමදේම ගණන් මේ කාලේ ඒ තුන්දාස් පන්සීය දින දෙකක් ජීවත් වෙන්නවත් මදි. සමහර දවස්වලට අපි මඟියන්ගෙනුත් බැණුුම් අහනවා. බස් රස්සාවෙන් අපිට හොඳ අහන්න නම් වෙන්නෙ නැති තරම්.

රියැදුරු රස්සාවට ඇවිත් ගෙවන මේ අවුරුදු ගානටම මෙහෙම කට්ටක් නම් කෑවේ නැහැ. අදත් ගෙදර යන්න වෙයිද කියලා ෂුවර් නැහැ. බස් එක දාලා යන්නත් බැහැ. ඔහොම තමයි මහමඟ දියවෙන අපේ ජීවිත.

රටේ කිසිම වැඩකට නියමිත පිළිවෙළක් නැති නිසයි අද මහජනතාව නොවිඳිනා දුක් විඳින්නේ.

බණ්ඩාරගම දී හමු වූ චමින්ද නෝනිස් පැවැසුවේ එවන් කතාවකි. උදේ හවස කොළඹ යන එන මෙන්ම දිගු දුර ගමන් සේවාවල යෙදෙන බස් රථ ද තෙල් පෝලිම් වල එක දිගට දැකිය හැකිය.

ඉකුත් බදාදා, මෙන්ම බ්‍රහස්පතින්දා දින දෙකෙහිම තෙල් පෝලිමේ රැඳී උන් ත්‍රී රෝද රියැදුරකු වූ අතුල ලියනගේ ද තෙල් ලැබෙනතුරු හෙම්බත් වූ අයෙකි.

“ මම රැයක් එළිවෙනකන් පෝලිමේ ඉදලා තෙල් ගහ ගත්තේ. සමහරු නම් ළඟම තියෙන ෂෙඩ් එකේ තෙල් නැහැ කිව්වාම එහෙට මෙහෙට ගිහිල්ලා කොහෙන් හරි ගිහ්ලා ගහගෙන එනවා. එත් අපි කොහොමද එහෙම කරන්නේ. එහෙම කරන්න ගියොත් තියෙන තෙල් ටිකත් නැති වෙන එකයි අපට වෙන්නේ. දැන් ඇප් එකක් දාලා තියෙනවා තෙල් තියෙන තැන් ගැන කියන. ඒක නම් මහ බොරුවක්. මිනිස්සු තවත් මුළා කරන එක විතරයි ඒකෙන් වෙන්නේ. මේ පෝලිම් වල වාහනේ දාලා යන්නත් බෑ. සමහර වෙලාවට හොරු ඉන්නවා. වාහනේ තියෙන මොකක් ගලවන් ගියත් ඒ පාඩුවත් විඳගන්න වෙන්නේ අපටමයි. දැන් රටේ කාවත්ම කාගෙන්වත් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිනිස්සු අව්වේ වැස්සේ වේළෙමින් පෝලිම් වල ඉන්දැද්දි පොලිසියෙන් ඇවිල්ලා එයාලගේ යාළුවන්ගේ වාහන වලටත් පෝලිමෙන් පිට තෙල් ගහලා දෙනවා. තව සමහරු රුපියල් පන්දාහක් දෙන්න වාහනේට තෙල් ගස්සවලා දෙන්නම් කියලා කියනවා. එහෙම කොහොමද සල්ලි දෙන්නේ. මගේ ත්‍රීවිල් එකට ලීටර් අටක් අල්ලනවා. මම රුපියල් 3000 ක තෙල් ගහ ගත්තා. රෑ ඉදන් මෙන හිටියට අහල පහල තේ කඩයක්වත් නැහැ. බුලත් විටක් නෑ. මදුරුවෝ තළල අපි දුක් විදිනවා. මේක එන්න එන්න වැඩි වෙයි කියලා හිතෙනවා මිසක් අඩුවෙයි කියලා නම් හිතෙන්නේ නැහැ. අපිට තව දුක් විඳින්න සිදුවෙයි මේ යන විදිහට. කාලයක් මම ඉස්කෝලේ ළමයින්ව ගෙන ගියා. නමුත් දැන් කොහොමද අපි ඒ දරුවන්ගෙන් සල්ලි ගන්නේ තෙල්වල ගානේ හැටියට. දැන් ඉස්සර වගේ හයර් නැහැ. තේරෙන්නේ නැහැ අපි මොනවා කරන්න ද කියලා“

කලකිරීම්, පසු තැවීම් , නොලැබීම් මතින් ම දැන් මිනිසුන් දවස ගෙවන්නේ බොහෝ බාධක මැද්දේය. එය එසේ වුවද කවුරුන් හෝ මුහුණු පොතේ පෝස්ටුවක පළකර තිබූ අර්ථ දැක්වීම ද ‘මරු‘ කියා සිතුණේ එය අදට ගැළපෙන බැවිනි.

රටේ කොහේ ගියත් හරි අපූරු මිනිසුන් අපට හමුවේ. මේ දවස් වල බහුලව තිබෙන තෙල් පෝලිම් වලදි මෙවැන්නෝ ඔබට ද හමු වුවා වන්නට හැකිය. “උනන්දුවා (‍ෙෂඩ් එකේ තෙල් මට්ටම ගැන අවධානයෙන් සිටි. අන් අය දැනුවත් කරන්නා), රොමා (පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි), නිදිකුම්බා (වාහනයට වී නිදියන්නා අනෙක් වාහන් වල අය පැමිණ සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය), බුකියා (තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් කරන්නා), ට්‍රැෆික් පොලිස් (පෝලිම් ඉස්සරහට යවයි. වාහන වල දිග පළල පිළිබඳ මනා අවබෝධයකින් යුත් තැන්ත්තා), දාර්ශනිකයා (තෙල් ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නා),

කඩිප්පුවා (පෝලිමේ කෙළවර සිට් ෂෙඩ් එක දක්වාත්, ෂෙඩ් එකේ සිට පෝලිමේ කෙළවර දක්වාත් නිතරම ඇවිදින්නා. ඔහු එහෙට මෙහෙට යන ගමන් අන් අයව දැනුව කරන්නා) ආදි වශයෙන් විස්තර දක්වා ඇත.

දිගු පෝලිම් වලට වී නිකරුණේ කාලය ගෙවා දමන්නට සිදූවීම ගැන තැවෙන මිනිසුන් අතර දහසක් වැඩ මැද්දේ පිරවුම්හල්ට පැමිණ පැයක් ඇතුළත වරුගනන් පෝලිමේ ඉන්න මිනිසුන් දෙස අනේ අපොයි කියා තෙල් ගසාගෙන යන අයද මේ අතර ඇත.

“ෂෙඩ් එකේ අයිතිකාරයා මගෙ මිත්‍රයෙක්. ඔහු ෂෙඩ් එකේ නැහැ නිතර. ඒ නිසා මිනිස්සු ඔහුව හඳුනන්නේ නැහැ. මම මට තෙල් ඕන වෙලාවට, පිරවුම්හලේ තෙල් තියෙන බව දැන ගත්තාම මම එතැනට යනවා. මම ගිහිල්ලා එතැන වැඩ වෙන විදිහ බලනවා. ගෝලයන්ට කතා කරනවා. හෙමින් සීරුවේ බයික් එකට තෙල් ගහගෙන එනවා. මම දන්නවා මිනිස්සු හිතන්නේ මම ෂෙඩ් එකේ කෙනෙක් කියලා.“

නම ගම කීමට අකමැති වූ තරුණයකු පැවැසුවේ මහා ජයග්‍රහණයක් කළ අයකු සේය. ඇතැමුන් තෙල් පෝලිම් ආදායම් උපයන මාර්ගයක් බවට ද අද වන විට පත්කරගෙන ඇත.

ඒ තවත් කෙනකු වෙනුවෙන් පෝලීමේ සිටීම හෝ තමන් ඉන්න තැන අලුතෙන් එන සල්ලි කාරයකුට පිරිනමා මුදල් ගැනීම වැනි අත යටින් වන ගනුදෙනු ද කරමින් පෝලිමේම දවස ගෙවන්නට ඇතැමෙක් හුරුව සිටිති.

අද හෙට වන විට තෙල් පෝලිම් අවසන් වේයැයි අපට සිතිය නොහැක. අවසානය ද කොතැන විය හැකි ද ? එය ද නිශ්චිතව කියන්නට දන්නා කෙනෙකු නැත. නමුත් තෙල් නැති බව කියන්නට නම් කවුරුත් දනි.

ගැස් හිඟ නිසා භූමීතෙල් ලිපේ උයන්නට හුරු වු අයද දැන් ඉන්නේ තෙල් පෝලිමේය. දැන් භුමි තෙල් ද හිඟය. විදුලිය ඇණ හිටින විට පත්තු කරන්නට කුප්පු ලාම්පු වත් නැත; ඉටි පන්දම් ද නැත. ගම්බද ඇත්තන් දර කෑල්ලක් දෙකක් සොයා ගෙන දර ලිපක් පත්තු කර ගත්තද මහල් නිවාස වල වෙසෙන්නන්ට ද එය බැරිය. දර කෑලි දෙක තුනකින් සහිත දර මිටිය දරමිටියත් රුපියල් පනහකටත් වඩා මිලය.

හිමිදිරියේම ගෑස් සිලින්ඩර ද ගෙන මඟට බහින කොළඹ, රටේ කොයි කොනේ සිටින මිනිස්සුත් දවස ගත කරන්නේ ගිනි අව්වේ වේළෙමිනි. දිගින් දිගටම අව්වට වේළෙමින් පෝලිමේ සිටින මිනිසුන් විඳින දුක අපමණය. දුක, වේදනාව දරාගන්නට ද ඇතැමෙක්ට දැන් ශක්තිය නැති හැඩය.

විඳින්නට සිදුවන අසීරුතා බොහෝය. නමුදු ඒ මතින් අප නැගීසිටිය යුතුව ඇත.

 

Comments