ගුවන් සේවිකා වෘත්තියට වැඩි වටිනාකමක් දුන් Dr. උපුලි වර්ණකුල | සිළුමිණ

ගුවන් සේවිකා වෘත්තියට වැඩි වටිනාකමක් දුන් Dr. උපුලි වර්ණකුල

- ආචාර්ය උපාධියක් ලැබූ ලංකාවේ පළමු ගුවන් සේවිකාව
- රබන් 9ක් කරකැවීමටත් ගිනි කෑමටත් හොඳ හැකියාවක් තිබෙනවා
- කාලය කළමනාකරණය කිරීමෙන් සියලු දේ සමබර කරගත හැකියි

වගේ ඔසරි පොටේ එල්ලී ඈ සමඟ පිය නැඟූ කුඩා උපුලි, එදවස මව දරුවන්ට උගන්වන අයුරු බලා සිටියේ ඉතා උනන්දුවෙනි. නිවසට පැමිණි පසුවද මව ප්‍රශ්න පත්‍ර පරික්ෂා කිරීම්, සටහන් ලිවීම් වැනි කටයුතුවල නිරත වී සිටින ආකාරය දුටු උපුලීට ගුරු වෘත්තිය කෙරෙහි ඉමහත් ඇල්මක් ඇති විය. කාලයත් සමඟ යෙෞවනත්වයට පත්වන විට ගුරුවරියක වීම වෙනුවට ඈ සිහින දුටුවේ කථිකාචාර්යවරියක වීමටය. එහෙත් ඉංග්‍රීසි පුවත්පතක පළ වු දැන්වීමකින් ඇගේ සිහිනයේ දිශාව වෙනස් විය.

"මම වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කරලා ගෙදර සිටින කාලේ ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන ගැන සඳහන් කරලා ඉංග්‍රීසි පත්තරේක දැන්වීමක් පළ වෙලා තිබුණා. ඒක දැකපු මගේ අප්පච්චි මට කිව්වා නිකමට ගිහින් බලන්න කියලා. මමත් ගියා. සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් පසුව මාව කනිෂ්ඨ ගුවන් සේවිකාවක් විදිහට තේරුණා. ඊට පස්සේ 2005 වර්ෂයේ සිට මම රැකියාව කරනවා. මම රැකියාවට යන විට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා තිබුණේ නැහැ." යනුවෙන් පැවසූ උපුලි සචිත්‍රා වර්ණකුල ඈ උසස් අධ්‍යාපනයට අවතීර්ණය වූ ආකාරය තවදුරටත් විස්තර කළාය.

ඒ අනුව ඈ ව්‍යාපාර කළමනාකරණය උපාධිය ලබා ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි. ඉන් අනතුරුව Mcom උපාධිය ලබා ගත් උපුලි සචිත්‍රා වර්ණකුල කැලණිය විශ්ව විද්‍යාලයෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය (DBA) ලබා ගත්තාය. අධ්‍යාපනයේ හිණි පෙත්තට පැමිණි ඈ තුළ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ඉතා අවිවේකි රැකියාවක් වන ගුවන්සේවිකා වෘත්තියට ඈ සමු නොදීමයි. රැකියාවත් උසස් අධ්‍යාපනයත් සමබරව කළමනාකරණය කරගත් ආකාරය ඇගෙන් විමසා බැලුවේ එබැවිනි.

"අපිට මාසයේ අන්තිමට ඊළඟ මාසයේ සේවා මුර කාල සටහන දෙනවා. ඒ කාල සටහන අතට ගත්ත ගමන් මම කරන්නේ හිස් තියෙන දවස්වලට මගේ අධ්‍යාපන වැඩකටයුතු යොදා ගැනීම. මම සෑම දෙයක්ම ලියන කෙනෙක්. තාක්ෂණය කොයි තරම් දියුණු වුණත් මම ෆෝන් එකේ කොම්පියුටරයේ සටහන් කරන්නේ නැහැ. තාක්ෂණය අවුල් වුණොත් බලාගන්න බැරි වේවි කියලා මම අතින් ලියලා ෆයිල් කරනවා. මම හිතන්නේ මට ඉරි ගහලා ලියලා ෆයිල් කරන පුරුද්ද ලැබුණේ මගේ අම්මාගෙන් සහ අප්පච්චිගෙන්. මම ඒ විදිහට මගේ කාල සටහන සකස් කරගත්තාම මගේ වැඩ කටයුතුවලට හරිම පහසුයි. කාලය නිසි ආකරයට කළමනාකරණය කිරීමෙන් තමයි මම රැකියාවත් අධ්‍යාපනයත් සමබරව කරගෙන යන්නේ. වැඩේ අමාරුයි. ඒත් මම කොහොමහරි ආචාර්ය උපාධියක් ගන්නවා කියන අධිෂ්ඨානයෙන් දැඩි කැපවීමෙන් වැඩ කළා." යනුවෙන් විස්තර කළේ උපුලි වර්ණකුලය.

ඇයට ආචාර්ය උපාධිය ලබා ගැනීමේ ඉලක්කයට පාර කැපුණේ ඇගේ පියා නිසාය. මන්ද ඇගේ පියා මූල්‍ය විෂය ක්ෂේත්‍රයෙන් ආචාර්ය උපාධියක් ලබා තිබීම ඇයට ඒ කෙරෙහි ආසාවක් හා උනන්දුවක් ඇති කිරීමට හොඳ උත්තේජනයක් වූ බැවිනි. ඇගේ එකම අභිප්‍රාය වූයේ පියාගේ නමට මෙන් ඇගේ නම ඉදිරියට ආචාර්ය යන වචනය එකතු කරගැනීමයි. ඇගේ පියා වන ආනන්ද වර්ණකුල සහ මව වන පුෂ්පා හළුවන යන දෙදෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරින් දෙදෙනෙකි.

"අපේ අම්මාත් අප්පච්චිත් උපාධිධාරින් වුණාට අපිට කැම්පස් යන්න, විභාග පාස් කරන්න කියලා කවදාවත් බල කළේ නැහැ. හැබැයි මල්ලියි මමයි දෙදෙනාම ඉගෙන ගත්තා. මම හිතන්නේ ගෙදර පසුබිමෙන් අපිට ඉගෙනීම සඳහා උනන්දුවක් ආසාවක් ඇති වෙන්න ඇති. මම ඉගෙනීම දිගටම කරගෙන ගියත් මගේ වැඩි කාලයක් ගෙවුණේ පාසලේ නැටුම් කාමරයේ. මම හිතන්නේ නර්තනය මට උපතින්ම ලැබුණු දෙයක්." යනුවෙන් උපුලි වර්ණකුල සඳහන් කළේ නව මාතෘකාවකට පිවිසීමට ඉඩකඩ විවර කරමිනි.

පළමුවැනි ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වාම මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු උපුලි වර්ණකුල, පාසල් නර්තන කණ්ඩායමේ සිටි දක්ෂතම නර්තන ශිල්පිනියකි. වරෙක ඈ පාසල් නර්තන කණ්ඩායමේ නායිකාව වූවාය.

නර්තන තරග රැසකින් ජයග්‍රහණය අත් කරගෙන සිටින ඈ ගැටබෙර වාදනයට සමත්කම් පාන්නියකි. ඊට අමතරව රබන් 9ක් කරකැවීමටත් ගිනි කෑමටත් ඈ දක්ෂතා පෙන්වන්නීය. ප්‍රාරම්භ හා මධ්‍යම යන නර්තන විභාග සමත් වී සිටින ඈ ඉන් ඉහළට නොගියේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දිය යුතු බැවිනි. එහෙත් වාණිජ ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඇයගේ නිවහන වූයේ පාසලේ නැටුම් කාමරයයි. ඇගේ නර්තන හැකියාව ගැන දැනගත් ඈ සේවය කරන ගුවන් සමාගම, ඔවුන්ගේ නර්තන කණ්ඩායමට ඇයව එකතු කර ගනු ලැබීය. එම නර්තන කණ්ඩායමට සම්බන්ධ වූ පසුව ලංකාවේ ගුවන් යානා සංචාරය නොකරන රටවල් වන ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල්වලට පවා සංචාරය කිරීමට ඇයට අවස්ථාව හිමි වූ බව ඈ සිහිපත් කළාය. සියලු රාජකාරි මධ්‍යයේ අදටත් ඈ නර්තනය සඳහා පංතියකට සහභාගි වන්නේ නර්තනය යළි යළිත් සිහිපත් කරගැනීමට බව ඈ සඳහන් කළේ හිනැහෙමිනි.

නර්තන ශිල්පිනියක් සහ ගුවන් සේවිකාවක් වන උපුලි වර්ණකුල සිය කැපවීම හා අධිෂ්ඨානය නිසාම අද වන විට ඇගේ ඉලක්කය සපුරාගෙන ඇත. ඒ, කථිකාචාර්යවරියක ලෙස කටයුතු කිරීමේ සිහිනය දුටු ඈ අද බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරන බැවිනි. රජරට විශ්වවිද්‍යාලයේත් කැලණිය විශ්වවිද්‍යාලයේත් පුද්ගලික සරසවිවලත් දේශන සහ වැඩමුළුවලට සිය දායකත්වය සපයන උපුලි වර්ණකුල ගුවන් පුහුණු පාසලේ ද කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන්නීය. ඊට අමතරව සිවිල් ගුවන් සේවා අධිකාරිය, ජාතික තරුණසේවා සභාව යන ආයතනවල දේශනවලට දායක වී තිබේ. "ගොඩාක් දෙනා හිතන්නේ ගුවන්සේවිකාවක් කියන්නේ ලස්සනට ඇඳලා යන සුන්දර රැකියාවක් කියලා. මේ රස්සාවේ ගොඩාක් අය දකිනවාට වඩා භාරදූර වගකීමක් තිබෙනවා. ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාව තිබෙන්නේ අපේ අතේ. සමහර වෙලාවට වයස්ගත මගීන් රෝගි වෙනවා. ඒ වෙලාවට අපිට ප්‍රථමාධාර දෙන්න සිද්ධ වෙනවා.

තවත් වෙලාවක ගුවන් මගීන් ලොකු මානසික පීඩනයකින් යන්නේ. විශේෂයෙන් විදේශ රැකියාවලට යන අය.

ඒ අය සන්සුන් වෙන ආකාරයට කතාබහ කරලා සත්කාර කිරීම අපේ වගකීමක්. ගුවන් යානයේ බෝම්බයක් තිබුණොත් හැසිරෙන්නේ කොහොමද, ගිනි ගත්තොත් හැසිරෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනෑ. ඒ දේවල් ගුවන් පුහුණු පාසලේ උගන්වනවා. " යනුවෙන් උපුලි වර්ණකුල ඇගේ රැකියාවේ භාරදූර වගකීම පිළිබඳව අංශු මාත්‍රයක් අප හමුවේ තැබුවාය.

2005 වර්ෂයේදී කනිෂ්ඨ ගුවන් සේවිකාවක් ලෙස රැකියාවට එක් වූ උපුලි වර්ණකුල මේ වන විට කැබින් පරීක්ෂක දක්වා උසස්වීම් ලබා තිබේ.

ලංකාවේ ආචාර්ය උපාධියක් ලැබූ එකම සහ ප්‍රථම ගුවන් සේවිකාව ඇයයි. මේ වන විට ලෝකයේ සෑම රටකටම සංචාරය කර ඇති උපුලි වර්ණකුල ඇගේ ප්‍රථම රාජකාරි ගමන ගැන විස්තර කළේ මෙලෙසිනි.

"මගේ අප්පච්චි කාලයක් විදෙස් රැකියාවක යෙදිලා සිටි නිසා අපි විටින් විට පිටරට සවාරි ගිහින් තියෙනවා. ගුවන් යානයක කොයි තරම් සංචාරය කළත් ගුවන් යානාවක රැකියාවක නිරත වීමත් එක්ක දැනෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් හැඟීම් සමුදායක්.

ඒ ගැන වචනයෙන් විස්තර කරන්න බැහැ. මගේ ඔෆිස් එක තියෙන්නේ පොළොවේ ඉඳලා අඩි 35,000ක් උඩින් ඉහළ ආකාසේ කියන හැඟීම අමුතුම හැඟීමක්. මම ගුවන් සේවිකාවක් විදිහට ඉස් ඉස්සෙල්ලාම ගියේ ඉන්දියාවට. අද වන විට මම ලෝකයේ සෑම රටකටම වගේ සංචාරය කර තිබෙනවා. ඒත් මම හාහා පුරා කියලා ඉන්දියාවට ගිය ගමන අදටත් සුවිශේෂියි".

ගුවන් සේවිකාවක් වීමට අදහසක් නොතිබුණත් උපුලි සචිත්‍රා වර්ණකුල එම රැකියාවට ප්‍රිය කරන්නීය. ඈ රැකියාවට ආදරය කරන්නීය. කොපමණ දුෂ්කරතා ගැටලු හා අභියෝග පැමිණියත් කාලය කළමනාකරණය කරගෙන රැකියාවට සමු නොදී ඈ තවදුරටත් සේවයේ නිරත වන්නේ මෙය කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් වන නිසාය.

"ගුවන් සේවිකාවක් විදිහට සේවය කරන කාලයේ මම විවිධාකාර අත්දැකීම් ලබා තිබෙනවා. එක දවසක් අපි ලංකාවට එන ගමනක ගෑනු කෙනෙක් ආවා. කතා කරන්නෙම නැහැ. එයා බයවෙලා ලොකු කම්පනයකින් හිටියේ. කොටින්ම කිව්වොත් එයා යන්නේ කොහාටද ගෙදර තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඇඟ පුරාම තුවාල, තැළුම් සීරිම් පහරවල් තිබුණා. අපිට අවබෝධ වුණු විදිහට ඒ කාන්තාව මැදපෙරදිග රටක සේවයට ගිහින් කරදරවලට මුහුණපාලා එන කෙනෙක්.

ඊට පස්සේ අපි එයාගේ පාස්පෝට් එක අරං ලංකාවට දැනුම් දීලා වැඩ පිළිවෙළක් යෙදුවා. තව දවසක් වයසක අම්මා කෙනෙකුයි අවුරුදු 50 ගණනක විතර දුවෙකුයි මම යන ගුවන්යානයේ ගියා. ඒ අම්මාට එක පාරටම ෆිට් එක හැදුණා. අපි අම්මා ගැන සම්පූර්ණ අවධානය යොමු කරලා ඉන්න විට අම්මාගේ අසනීපය එක්ක දුවටත් හෘද රෝගි තත්ත්වයක් ආවා. ඒ පාර අම්මාටයි දුවටයි දෙන්නාටම ප්‍රථමාධාර දීලා කොහොමහරි බේරා ගත්තා. " යනුවෙන් උපුලි වර්ණකුල සිය වෘත්තීය ජීවිතයේ අත්දැකීම් කීපයක් අප ඉදිරියේ තැබුවාය.

ගුවන් සේවිකාවක ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් රැසක් ඇති උපුලි වර්ණකුල කිසිසේත් උසස් අධ්‍යාපනයට නැවතීමේ තිත තැබීමට සූදානම් නැත. බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවයේ යෙදී සිටින ඇගේ ප්‍රාර්ථනාව උසස් අධ්‍යාපනයෙන් තවතවත් ඉදිරියට පියවර තැබීමයි. ඈ මේ දිනවල පශ්චාද් ආචාර්ය උපාධිය සඳහා තොරතුරු එක්රැස් කරමින් වෙහෙස වෙන්නේ ඇගේ අධ්‍යාපන පිපාසය සංසිඳුවා ගැනීමේ අරමුණෙනි.

Comments