කැපවීම සහ අධිෂ්ඨානය ඇත්නම් ජය නියතයි | සිළුමිණ

කැපවීම සහ අධිෂ්ඨානය ඇත්නම් ජය නියතයි

 

ජිව් මලලසේකර නම කියූ පමණින් හඳුනන්නේ කරුණු කිහිපයක් නිසා ය. පළමු වැන්න ඔහු ගේ ජානමය අයිතිය සටහන් වූ මලලසේකර පරම්පරාව ය. කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු හා ප්‍රාමාණික බුද්ධිමතකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර රජිව් ගේ සීයා ය. ගුණපාල මලලසේකරගේ බාල පුතු විජය මලලසේකරගේ දෙවැනි පුතු වන්නේ රජිව් ය. කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායකත්වය ද, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සාමාජිකත්වය ද දැරූ රජිව් මේ වනවිට Brandix Apparel Solutions ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි. මේ ඔහු සමඟ වෘත්තිය ජීවිතය හා දිවිසැරිය පිළිබඳ ව කළ සාකච්ඡාවක සංක්ෂිප්ත සටහනයි


මොකද්ද ඔබේ සම්පූර්ණ නම

රජිව් ප්‍රියාන් මලලසේකර. හැබැයි හැමෝම මාව දන්නෙ රජිව් මලලසේකර විදියට.

ඔබ උපන්නේ කොහේද

කොළඹ තමයි මම උපදින්නේ

උපන් දිනය කවදාද?

ජූලි 24 වැනිදා

පියාගේ නම කුමක්ද?

විජය මලලසේකර

ඔබේ මවගේ නම?

නිර්මලී මලලසේකර

සහෝදරයන් ගේ නම්?

ප්‍රශාන්, අශාන් හා සන්ජීව්

ඔබ විවාහ වෙන්නේ?

මම විවාහ වුණේ දැනට අවුරුදු 12කට කලින් ජනවාරි 21වැනිදාවක. මගේ බිරිය රොෂිකා මලලසේකර. අපට දියණියක් ඉන්නවා. ඈ අන්යෙලා මලලසේකර

කොහොමද ඔබේ උසස් අධ්‍යාපනය?

කැනඩාවේ යෝක් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිය හා ඇමෙරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයෙන් 2000 වසරේදී ව්‍යාපාර කළමනාකරණ උපාධිය මම ලබාගත්තා.

ඔබ වෘත්තිය ජීවිතය පටන් ගන්නේ කොහොමද?

මම මගේ ගමන පටන් ගත්තෙ අඩු වයසකින්. උපාධිධාරී කළමනාකරණ පුහුණුවන්නෙක් ලෙසයි මම මුලින් ම බ්‍රැන්ඩික්ස් සමාගමට බැඳුණෙ. උපාධිධාරී පුහුණුවන්නෙක් ලෙස බඳවා ගත් පළමුවැන්නා මම. බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා(ර්) ආයතනයට තමයි මුලින්ම ඇතුළත් වුණේ.

විදේශගත වෙලා උපාධියක් අරන් ආව ඔබට මැළිකමක් දැනුණෙ නැද්ද පුහුණු වන්නෙක් ලෙස බැඳෙන්න?

ඇත්තට ම එහෙම නැහැ. ගොඩක් අය කැමැති සහ උනන්දු වුණේ ටයි එකක් දාගෙන කරන රැකියාවකට තමයි. ඒත් මම හිතුවෙ මුලින් පටන් ගන්න ඕන කියලයි.

ඒ කාලෙ බ්‍රැන්ඩික්ස් මෙච්චර ප්‍රසිද්ධ සමාගමක් නොවෙයි

ඔව්, ඇත්තෙන් ම. ඒ වෙනකොට මේ ආයතනය බ්‍රැන්ඩික්ස් නමින් හඳුන්වන්න අරගෙනත් නැහැ. ඇඟලුම් ක්ෂේත්‍රය වුණත් මේ තරම්ම සුවිශේෂී වටිනාකමක් හා ඉල්ලුමක් පවතින තැනක තිබුණෙ නෑ.

ඔබ බ්‍රැන්ඩික්ස් ආයතනය ම තෝරා ගන්නට හේතුව මොකක්ද?

මට ඒ කාලෙම දැනුණු දෙයක් තමයි බ්‍රැන්ඩික්ස් ප්‍රධානී අෂ්රොෆ් ඕමාර් මහත්මයා වටිනා දර්ශනයක් හා දැක්මක් තිබුණු අයෙක් කියන දේ. ඔහුට තිබුණේ තමන්ගෙ ව්‍යාපාරය පමණක් දියුණු කරන ආත්මාර්ථකාමයට බර වුණු දර්ශනයක් නොවෙයි. තමන්ගෙ ව්‍යාපාරය වගේ ම රටත් දියුණු කරවන දර්ශනයක්. ඒ දර්ශනයට තිබුණු ඇල්ම මම මේ ආයතනය තෝරා ගන්න බලපෑවා.

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ආවරණය කරනවා. මෙයින් ඔබ මුලින් ම තෝරා ගන්නේ මොන පැත්ත ද?

මම කම්ෆර්ට්වෙයා(ර්) එක්ක එකතු වෙලා අපට අලුත් විෂයයක් වුණු කාන්තාවන්ට සමීප ඇඟලුම් ක්ෂේත්‍රය පැත්තට තමයි යොමු වුණේ. ඒ කාලේ ඒ ක්ෂේත්‍රයේ අංක එකේ චරිතයක් වුණු ඩේව් රණසිංහයන් සමඟයි මම කටයුතු කළේ.

දැන් ඔබ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොපමණ කලක් සේවය කරනවද?

දැන් අවුරුදු 20ක්. මම වසසින් අඩු වුණත් මගේ අත්දැකීම්වලින් මම බ්‍රැන්ඩික්ස් සමාගමේ සෑහෙන වයස කෙනෙක්.

තමන්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා ඔබට මතක් වෙන්නෙ මොනවද?

ඇත්තට ම මට හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක් තියෙනවා. මගේ පියාණන් මගේ ජීවිතයට ගොඩක් බලපෑ කෙනෙක්. ඔහුගේ චර්යාව මගේ ජීවිතය හැඩගස්වන්න ගොඩක් බලපෑවා. ඒවගේම ක්‍රීඩාව නිසා ලැබුණු නායකත්ව ලක්ෂණත් මගේ ජීවිතය වෙනස් කළා. කණ්ඩායම් හැඟීම නිසා හැමෝම කට්ටියක් විදියට එකට ඉදිරියට යන්නෙ කොහොමද කියන පාඩම මට එයින් ලැබුණා. ඒ වගේම බ්‍රැන්ඩික්ස් සමාගමට මම එකතු වීම කියන එකත් මගේ හැරවුම් ලක්ෂ්‍යයක්. මට අවුරුදු 33 දී ඒ කියන්නෙ මගේ වෘත්තිය ජීවිතේ අවුරුදු 10කදි මම විවිධ තනතුරු දැරුවා. උපාධිධාරී පුහුණුකරුවකුගේ ඉඳන් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දක්වා මම ඒ වසර 10 ඇතුළත පත් වුණා.

ඒ වගේම බ්‍රැන්ඩික්ස් ප්‍රධානී අෂ්රොෆ් ඕමාර් මහත්මාගේ වටිනා දර්ශනය හා දැක්මත් මට හැරවුම් ලක්ෂ්‍යයක්. මේ වැනි හැරවුම් ලක්ෂ්‍ය කිහිපයක් මගේ ජීවිතේ තියෙනවා.

ඔබ පාසල් අවදියේ සිට ම ක්‍රීඩා කළ අයෙක්. ක්‍රීඩාව කොහොමද ඔබේ ජීවිතයට කළ බලපෑම

මට පාසල් කාලෙදි අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ලංකාවේත්, විදෙස් රටවලත් ශ්‍රී ලංකා ජූනියර් ස්කොෂ් ක්‍රීඩකයකු හැටියටත්, ස්කොෂ් ඉහළ පෙළේ නියෝජිතයකු හැටියත් සහභාගී වෙලා තියෙනවා. රාජකීය විදුහලේ රගර් කණ්ඩායමේ නායකයකු ලෙස පත්වීමත් සමඟ ලබාගත් අත්දැකීම් මට ජීවිතයේ විශාල වශයෙන් වැදගත් වුණා.

ක්‍රීඩාවෙන් ලද අත්දැකීම් ඔබ ඔබේ වෘත්තියේදී එහි සාපල්‍යතාව වෙනුවෙන් යොදා ගත්තේ කොහොමද?

මම හිතන්නෙ උගත්කමෙන් හෝ උපාධියෙන් සියල්ල සම්පූර්ණ වෙන්නෙ නැහැ. සමහරු බොහෝ උගත්. නමුත් ප්‍රායෝගික තලයේදී සමහරවිට අසමත්. කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේදී ඒ අයට ඒ සාමූහික ක්‍රියා පිළිවෙත අභියෝගයක්. මම ක්‍රීඩා කරද්දී මෙන්ම ඒ කණ්ඩායම්වලට නායකත්වය දීමේදීත් ලබා ගත් අත්දැකීම් මගේ උපාධිය තරම් ම මට වටිනවා.

දිනුම වගේ ම පැරදුමත් ඔබට ආගන්තුක නැතිව ඇති

ඔව්, මම ඒ සියල්ල ලැබුවේ ක්‍රීඩාව නිසා. රාජකීය විද්‍යාලයටත් විවිධ පළාත්වලින්, විවිධ සමාජ පසුබිම් සහිත ළමයි එනවා. එවැනි අයත් එක්ක එකතු වෙලා තමයි අපි කණ්ඩායම් ක්‍රීඩාවක යෙදුණේ. එදා මගේ නායකත්වය යටතේ 20න් පහළ රග්බි ශූරතාවලිය එක තරගයක් හෝ පරදින්නේ නැතිව දිනාගන්න අපට අවස්ථාව ලැබුණා. එහෙම වුණේ මගේ තනි දක්ෂතාවෙන් නොවෙයි. අපි සියලු දෙනාගේ කණ්ඩායම් හැඟීම හා ජයග්‍රාහී ආකල්ප නිසයි. ක්‍රීඩාවේදී ජය පැරදුම කියන එක අපි ගන්නේ සම සිතින්. හැබැයි අපි පැරදුම අත්දැකීමක් කර ගන්නවා.

වෘත්තීය ජීවිතයේදී ඔබට හමු වෙන්නෙ වෙනස් ම පිරිසක්. අරමුණු වෙනස්. හැබැයි ඔබ මේ අය එක අරමුණකට ගේනවා. කොහොමද ඒක කළේ.

එකිනෙකට වෙනස් ස්වභාව හා පසුබිම් සහිත අය රැකියාවෙදි එකම අරමුණකට එක වගේ යොදවන්න හා රඳවා ගන්න මට හැකි වුණේ එදා ක්‍රීඩකයකු ලෙස මා ලැබූ අත්දැකීම් නිසායි.

අරමුණට එක එල්ලේ ගමන් කිරීමේ හැකියාව ඔබට ලැබෙන්නේ කොහොමද?

ඒක පොතකින් හරි, හැදෑරීමකින් හරි ගන්න පුළුවන් දෙයක් නම් නොවෙයි. වැඩ කිරීමෙන් හා අධිෂ්ඨානයෙන් තමයි තමන්ගේ අරමුණ සාධනය වෙන්නේ. වැඩ කරද්දි නිර්භීතකම වගේම තමන්ට තමන් ගැන වන විශ්වාසයත් වැදගත්. ඒ විශ්වාසයත් එක්ක නිර්භීතකමත් එකතු වුණා ම තමයි අරමුණ සාධනය කර ගන්න පුළුවන් වෙන්නෙ.

ඔබට තියෙනවා ජානමය ලැබීමක්. ඔබේ සීයා ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයකු හා ප්‍රාමාණික විද්වතකු වන ගුණපාල මලලසේකර. ඔබේ පියා විජය මලලසේකරත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවුණු විශේෂ පුද්ගලයෙක්. ඔබේ අරමුණු සාධනයට මේ ලැබීම් කොයි විදියට ද බලපෑම් කළේ

මම හිතන්නේ ජානමය ලැබීම කියන එක අපට බලපාන්නෙ 1% ක් වගේ ප්‍රමාණයක්. අපි මහන්සි වෙන්න ඕන. සත­ාභ්‍යාසය ඉතා වැදගත්. 99%ක් දේවල් ලැබෙන්නේ මහන්සියෙන් වැඩ කිරීමෙන්. මේ සංයුතියේ යම් ආකාරයකින් පොඩි වෙනස්වීම් වෙන්න පුළුවන්. නමුත් 99%ක් ජානමය හැකියාවෙන් දස්කම් පෙන්වන අය නැහැ. එය තමයි සත්‍යය. මගේ සීයා හා පියාණන් මම සිහිපත් කරන්නේ ගෞරවයෙන්. ඒ අය තමයි මගේ ජීවිතයේ වීරයන් වෙන්නේ.

තමන්ගෙ යටතේ ඉන්න සේවකයන් ගැන ඔබේ දැක්ම මොන වගේද?

අපි උදේට ඇහැරුණාම කල්පනා කරන්න ඕන මට මේ වගේ ජීවිතයක්, මේ වගේ හැකියාවක්, මේ වගේ අවස්ථාවක් ලැබුණේ මොකක් නිසා ද කියලා. ඒ ලැබුණු දෙයින් මේ ලෝකය වෙනුවෙන්, අනිත් කෙනා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලා අපි හිතන්න ඕන. යමක් බලාපොරොත්තුවෙන් අපි දේවල් නොකළත් මේ සියල්ලෙන් මම ලබාගත් දේ බොහොමයි. ඒ නිසා මගේ සාමාජිකයන් වැඩ කරන හැටි දකිද්දි මට හරි ප්‍රබෝධයක් දැනෙනවා. මමත් ඔවුන්ගේ කොටස්කරුවෙක් නේද කියලා හිතෙනවා.

අපි සම්මාන දිනාගන්නේ මේ අයගේ කැපවීම නිසා නේද කියලා මම හිතනවා. ඒ නිසා ඒ පිරිසත් සතුටු කරගෙන මේ ගමන යෑමයි වැදගත්.

ආපහු හැරිලා බලද්දි ඔබට මොනවගේ හැඟීමක් ද දැනෙන්නෙ

අවුරුදු 22ක් 23ක් වගේ වයසෙදි මම මේ ආයතනයට ඇවිල්ලා පළමුවෙන්ම වැඩ කළේ නිෂ්පාදන අංශයේ. ඊට පසුව වැඩ අධ්‍යයන අංශයේ සේවය කළා. මැෂින් ලේඅවුට් හැදුවා. තත්ත්ව පාලනය කළා. ලැබුණු හැම වගකීමක් ම මම හරියට ඉෂ්ට කළා. මගේ ව්‍යවසායකත්ව හැකියාවට හැබෑම පන්නරයක් වුණේ ඒ කැපවීම. අපි යමක් ඉගෙන ගන්නෙ කාගෙන්ද කියන එක නොවෙයි; අපි කාගෙන් හෝ යමක් හරියට ඉගෙන ගැනීමයි වැදගත්. ඒකට නිහතමානී වෙන්න ඕන. ඉගෙන ගන්න පිපාසයක් තියෙන්න ඕන.

මේ සියල්ල කළමනාකරණය කරගන්න ඔබ අනුගමනය කරන ක්‍රමවේදය කවරාකාරද?

වැදගත් ම දේ මනා සිහිය පවත්වා ගැනීමයි. එහිදී දරා ගැනීම හා ඉවසීම ඉතා වැදගත්. එය ප්‍රගුණ කළ යුතුයි. තමන්ගේ තනතුර හෝ තමන්ට ලැබී ඇති ඕනෑ ම දෙයක් එහි ස්වභාවය කුමක් වුවත් නිවැරදි ව ඉටු කිරීම වැදගත්. ඒ සඳහා කැපවීම වැදගත්. එවිට කිසිකෙනකුට වරදින්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට නිසි වෙලාවට නිසි ඇගයීම ලැබෙනවා.

ඔබ සාමාන්‍යයෙන් පොත් කියවනවද? මොන ප්‍රභේදයේ පොත්වලට ද කැමැති

මම කියවන්න කැමැති කෙනෙක්. මම වඩාත් කැමැතියි රාම් චරන් ලේඛකයාගේ පොත් කියවන්න.

ඊට අමතරව ගොඩක් වෙලාවට කළමනාකරණය විෂයට අදාළ පොත් තමයි මම කියවන්නේ. ඒ වගේ ම මානව චර්යා ගොඩනැඟීම්වලට අදාළ පොත් කියවන්නත් මම කැමැතියි. අන්තිමට කියෙව්වේ Yuval Noah Harari ලියූ Sapiens කෘතිය.

වැඩියෙන් ම සංචාරය කරන්න කැමැති

මගේ දුව අන්යෙලා කැමතියි ස්වභාවික පරිසරයට. ඒනිසා අපි ගොඩක් දුරට යාල, විල්පත්තු වගේ පැතිවල තමයි සංචාරය කරන්නේ

මොන ප්‍රවර්ගයේ චිත්‍රපට ද වැඩියෙන් නරඹන්නේ

මම හරිම කැමැතියි චරිත කතා ඇතුළත් චිත්‍රපට බලන්න. ළඟදි බැලුවා ජෝර්දාන් රාජ්‍ය පවුල ගැන කතාවක්.

වැඩියෙන් අහන්න කැමැති මොන වගේ ගීත ද?

මම ආසයි සිංහල, ඉංග්‍රීසි දෙබසින් ම සින්දු අහන්න. ලස්සන සින්දු ඕන එකකට කැමැතියි

නිදහස් වෙලාවට ඔබ මොකද කරන්නෙ

මම හරි කැමැතියි මගේ දුව අන්යෙලා එක්ක කාලය ගත කරන්න. නිදහස් වුණු ගමන් කරන්නේ ඇය එක්ක බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම.

සාමාන්‍යයෙන් ඔබ භාවිත කරන්නේ බ්‍රෑන්ඩඩ් දේවල් ද?

ඔව්. ඒත් ඒක එක පාර කළ දෙයක් නොවෙයි. අවශ්‍යතාව අනුව, ස්ථානය අනුව තමයි එය වැඩිපුර ම තීරණය වෙන්නෙ. මගේ වෘත්තිය අනුව මට විවිධ රටවල නියෝජිතයන් මුණ ගැසීමට සිදු වෙනවා. ඒ අවස්ථානූකූල ව මම ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි සූදානම් වෙනවා.

 

Comments