අර­ගල බිමේ සන්නි­වේ­ද­කයෝ | සිළුමිණ

අර­ගල බිමේ සන්නි­වේ­ද­කයෝ

රාය නගරයට ආසන්නව මහ සයුරට මුහුණලා ජනාධිපති ලේකම් කාර්යාලයට සහ සුපිරි හෝටල් සංකීර්ණයට යාබඳව පිහිටි මෙම භූමියට නීත්‍යානුකූල හිමිකරුවකු නැත. ඔප්පු තිරප්පු ද නැත. දෙමාපිය උරුමයක් ද නොවේ. තෑගි ඔප්පුවකින් තියා හිමිකම් ලියවිල්ලක්වත් නැත. එහි පදිංචිව සිටින්නේ ජාති, ආගම්, කුල පක්ෂ භේදයකින් තොරව දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිසකි. රටේ තත්ත්වයට අනුව රටේ නායකයාට එරෙහිව නැඟී සිටිමින් නිදහස්, නිර්පාක්ෂික අරගලයක යෙදෙන පිරිසකි. දැනට දෙමසකුත් දින 9ක් පමණ ගෙවී ගියද “Gota Go Home” සංකල්පය පෙරටු කොට ගෙන තම අරමුණම සාක්ෂාත් කර ගැනීමේ අදහසින් තවමත් බලා සිටින පිරිසකි.

 

අප්‍රේල් 9 වැනිදා සීමිත පිරිසක් සමඟින් කුඩා කූඩාරම් කිහිපයක් ඉදිවුණු මෙම අරගල භූමිය දින ගණනාවක් තුළ අතුරු සිදුරු නැති තරමට ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් පිරී ඉතිරී යන්නට විය. එකිනෙකාගේ අවශ්‍යතා පරිදි සියලු පහසුකම් ද එහිම සැකසෙන්නට විය. බාල, මහලු, තරුණ පිරිස් පමණක් නොව පවුල් පිටින් පැමිණ මෙහි පදිංචි වී සිටින්නට තරම් අරගල බිම ජනප්‍රිය විය.

මෙලෙස දින, සති, මාස ගණන් ගෙවී යද්දී අරගල බිමේ එතරම්ම ජනාකීර්ණ ස්වභාවයක ලකුණු නම් දක්නට නොලැබිණි. මෙබිමේ නිහඬ බව බිඳලමින් නොනවත්වා ගීතානුසාරයෙන් කියන සටන් පාඨ හඬ ජනපති ලේකම් කාර්යාලය අබියස පීඨිකාවෙන් ඇසුණ ද ඒ අසලින් යන එන්නන්ගේ අවධානය එක්වරම යොමුවුණේ ඒ ස්වරයට අනුගත වෙමින් එකම ඉරියවුවෙන් නර්තනයේ යෙදෙන ශ්‍රව්‍යදෘශ්‍ය ආබාධිත පිරිස දෙසටය. අප ගැන කිසිදු තැකීමක් නොකළ ඔවුන් ඔවුන්ගේ ලෝකයේ ය.

අරගල බිම තුළට ඇවිද ගිය අපට කිසියම් හිස් බවක් ද දැනෙන්නට වූයේ ඇතැම් කුටි තුළ කිසි‍වෙකුත් නැතිව හිස් බවක් ඉසුලූ නිසා වන්නට ඇත. ආබාධිත රණවිරු කුටියේ කිහිප දෙනෙක් සිටිනු දක්නට ලැබිණි.

ඒ අතරතුර ඇතැම් කුටි තුළ කිහිප දෙනා බැගින් එක්වී කතා බහේ නියැළෙමින් සිටිනු ද දැකගත හැකි විය. මේ අතර මෙතෙක් අප නෙත ගැටී නොතිබුණු විශේෂ කුටියක් වෙත පිවිසීමට හැකිවූයේ සිතෙහි ඇති වූ යම්කිසි කුහුලක් ද සමඟිනි. අරගල FM කියා කුටිය ඉදිරියේ ලියා තිබිණි. නොයෙක් FM නාළිකා ගැන අසා තිබුණ ද අරගල FM යන්න නම් මෙතෙක් අප සවන් වැකී නොතිබුණු බව නම් සත්‍යයකි. දැඩි කුතුහලය නිසාම අපි එම කුටිය තුළ සිටි සාමාජිකයකුගෙන් ඒ ගැන විමසීමක් කළෙමු. සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත යැයි පැවසූ එම කණ්ඩායමේ අප හා අදහස් බෙදා හදා ගත් තරුණයා නමින් මනෝද්‍ය ප්‍රභාත් ජයරත්නයි.

“අරගල FM එක පටන් අරගෙන දැනට සති දෙකකට කිට්ටුයි. මුල් දවස් හතර පහ Test One එකක් ගියේ. දැන්නම් Facebook Live එකක් හරහා විකාශනය වෙනවා. piquancy එකක් අරගෙන ලංකාව පුරාම විකාශනය කරන්න තමයි බලාපොරොත්තුව. ඒත් රජයෙන් තාම ඒකට අවසර නැහැ.

විශේෂයෙන් ම මේ අරගල FM එක පටන් ගත්තේ මේ භූමියේ වෙන දේවල්වල සත්‍ය තත්ත්වය එළියට දෙන්න. මොකද මාධ්‍යවලින්වත් නියම තොරතුරු එළියට යන්නේ නැහැ.

පහුගිය දවස්වල මහවැස්සට මේ කුටි ඔක්කොම තෙමුණා. අපි මේ සටහන් පාඨ කොළ ටික ආරක්ෂා කර ගත්තේ ඒවා මැදින් තියලා දෙපැත්තේ ඉඳන් තෙමි තෙමී. සමහර දවස්වලට කන්නත් නැහැ. මඤ්ඤොක්කා ටිකක් කාල හිටපු දවස් තිබුණා. අන්න ඒ වගේ මෙතන ඉන්න අය ලොකු කැපකිරීමක් කරනවා. නමුත් මේකෙ සැබෑ තත්ත්වය එළියට යන්නේ නැහැ. මේ දේවල් එළියට දෙන්න ඕන නිසා තමයි අප මේ අරගල FM පටන් ගත්තේ"

මෙහි විකාශන තත්ත්වය ගැන විමසූ විට මනෝද්‍ය තවදුරටත් කියා සිටියේ මෙසේය.

"දැනට දවසකට පැය හය හතක් වගේ කාලයක් වැඩසටහන් කරනවා. විදේශ රටවල්වල ඉන්න බොහෝ පිරිසක් අප හා එකතු වෙලා ඉන්නවා. මේක live එකක් විදියට විකාශනය වෙන නිසා සාකච්ඡා කරල එවේලේම අදහස්, යෝජනා ප්‍රකාශ කරන්නත් පුළුවන්.

ඉදිරියේ දී වට්ස්ඇප් අංකයකුත් හඳුන්වලා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ හරහා ඕනෑම කෙනකුට අරගලයට සම්බන්ධ වෙන්න පුළුවන්. අරගලයේ මාධ්‍ය විදියට තමයි අරගල FM ක්‍රියාත්මක වෙන්නේ. අරගල FM එක තවත් දියුණු කරන්න දෙතුන් දෙනෙක්ම කතා කරලා තියෙනවා. දැනට sound proofවල පොඩි ගැටලු වගයක් තියෙනවා. ඒවත් හදාගෙන දියුණු කරලා වෘත්තීය මට්ටමට ගේන්න තමයි බලාපොරොත්තුව. නුදුරේදීම ඒක ඉෂ්ට වේවි. මේකෙ අැතුළෙ මහජන අදහස් එළියට දෙන්න තමයි අපට ඕන.

කොමිටි එකක් හරහා තමයි අපේ මේ හැම වැඩ කටයුත්තක්ම සිද්ද වෙන්නේ. ඒකෙ සාකච්ඡා, සම්මන්ත්‍රණවලට අපිත් සහභාගී වෙනවා. අරගලයේ ඊළඟ දිශානතිය ගැනයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැනයි තමයි සාකච්ඡා වෙන්නේ."

අරගල FM එකට කාගේ හෝ බලපෑමක් නැද්ද? යනුවෙන් මා ඇසූ ප්‍රශ්නයට ඔහු මෙසේ පැවසීය.

"නැහැ. තාම නම් කාගෙන්වත් එහෙම බලපෑමක් නැහැ. මං හිතන්නේ එහෙම බලපෑමක් ඇතිවෙන එකකුත් නැහැ. මොකද මේක අරගලයෙන්ම බිහිවෙච්ච එකක්නෙ."

අරගල FM TV නාළිකාවකුත් ඉදිරියේ දී හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු කියා සිටියේ.

මේ දිනවල ඇද හැලෙන මහ වැස්සෙන් වගේම දවාලට පායන දැඩි අවු රශ්මියෙන් අරගල FM භාණ්ඩ ටික ආරක්ෂා කරගන්නත් ඔවුන් දක්වන්නේ දැඩි වෙහෙසකි.

නුදුරේදීම ලක්වැසි, ලෝවැසි සැමගේ සවනට අරගල භූමියේ සැබෑ තතු අරගල FM තුළින් ගෙන ඒමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව.

 

Comments