ලිංගිකව එකතු වීමකදී ඔබටත් දැඩි වේදනා ගෙන දෙනවාද ; එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන් | සිළුමිණ

ලිංගිකව එකතු වීමකදී ඔබටත් දැඩි වේදනා ගෙන දෙනවාද ; එහෙනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්

පෙර ලිංගික සබඳතාවකදී ඇති වූ වැරැද්දක්, එසේත් නැතිනම් මිථ්‍යා මත, පෙර අවස්ථාවක ලිංගික සංසර්ගයේදී ඇති වූ වේදනාකාරී අප්‍රසන්න අත්දැකීමක්, අතවරයකට ලක් වී තිබීම,  වෛද්‍ය පරීක්ෂණයකදී  ඇති වූ අසීරු වේදනා ආදිය මෙම බිය  ඇතිවීමට බලපායි

ලිංගික සංසර්ගයේදී  මෙවැනි වේදනාවක් ඔබට ඇත්නම් සුදුසු වෛද්‍යවරුන් ලවා පරික්ෂා කරගෙන එයට සුදුසු ප්‍රතිකාර ගන්න

 

කාන්තාව සැමවිටම තම වේදනාවන් සඟවා ගෙන සිටීමට උත්සාහ දරයි. ඇතැම් විට ලජ්ජාව හා බිය නිසා තම වේදනාවන් සමාජය ඉදිරියේ හෙළි කිරීමට පසුබට වෙයි. ඒ අතුරින් ලිංගික සෞඛ්‍ය ගැටලු සැඟවීම විශේෂයි. මෙය ලාංකික සමාජයේ කාන්තාවන් අතර පවත්නා වැරදි ආකල්ප නිසාවෙන් ඇති වූ තත්ත්වයකි.

 

සිළුමිණ රසඳුන අප නිරන්තරයෙන් කාන්තා ඔබ නොකියන ඔබේ ගැටලු ගැන ඔබව දැනුම්වත් කරයි. මෙවර අපගේ සාකච්ඡාව Vaginismus හෙවත් ලිංගික සංසර්ගයේ ඇති වන වේදනා තත්ත්වයක් ගැනයි. මේ සඳහා ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමඟ කළ සාකච්ඡාව මෙසේය.

කාන්තාවන්ගේ ලිංගික සංසර්ගයේදී ඇති වන වේදනා හා ඊට බලපාන හේතු විශාල පරාසයක් දක්වා විහිදෙයි. මෙම Vaginismus රෝග තත්ත්වය ඇති කාන්තාවන්ට ලිංගික සංසර්ගය වේදනාකාරී අත්දැකීමක් වනු ඇත. ඇතැම් විට තම පවුල් ජීවිතයෙහි ආරවුල් ඇති වීමටද මෙය හේතුවක් වෙයි. ලිංගික සංසර්ගය ආරම්භයේ සිට සුළු වේදනාවක් ඇති වන අතර ඇතැමුන්ට දරුණු ලෙස දීර්ඝ කාලයක් එම වේදනා ගෙන දෙයි.

එවැනි කාන්තාවන් සම්පූර්ණයෙන් ලිංගික ක්‍රියාවලින් බැහැරව සිටීමට ද උත්සාහ දරයි. මෙය බොහෝ කාන්තාවන් අතර ප්‍රචලිත රෝගී තත්ත්වයක්. එහෙත් එය රෝගයක් ද යන්න කාන්තාවන් තුළ අවබෝධයක් දැනුම්වත්බාවයක් නැත. Vaginismus රෝග තත්ත්වය හටගනු ලබන්නේ සාමාන්‍යයෙන් කාන්තාවක් ලිංගික සංසර්ගයට බියක් ඇති වූ විටය. එම බිය ඇති වීමට විවිධ හේතු බලපායි. එම කාන්තාවන් තුළ මීට පෙර ලිංගික සබඳතාවකදී ඇති වූ වැරැද්දක්, එසේත් නැතිනම් මිථ්‍යා මත, පෙර අවස්ථාවක ලිංගික සංසර්ගයේදී ඇති වූ වේදනාකාරී අප්‍රසන්න ඇත්දැකීමක්, අතවරයකට ලක් වී තිබීම, වෛද්‍ය පරීක්ෂණයකදී ඇති වූ අසීරු වේදනා ආදිය මෙම බිය ඇතිවීමට බලපායි.

එනම් ලිංගික සංසර්ගයේදී ඇති වන වේදනාවක් හෝ කිසියම් තත්ත්වයක් නිසා යෝනි මාර්ගය ආශ්‍රිත තිබෙන මාංශ පේශී ඉතා තදින් වැසී යයි. නැතිනම් යෝනිය අවට මාංශපේශී මඟින් ලිංගික එකතු වීමට ප්‍රතිරෝධයක් ඇති කරයි. එවැනි අවස්ථාවක ලිංගික සංසර්ගයට උත්සාහ දැරුවද එහිදී දැඩි වේදනාවක් ඇතිවේ. මෙම Vaginismus තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ නම් වේදනාවයි. එම වේදනා හට ගන්නේ මානසිකව ඇති වන්නා වූ බිය සමඟ යෝනි මාර්ගය වැසී යාමෙනි.

ලිංගික සංසර්ගයකට හෝ යෝනි පරීක්ෂණයකට සූදානම් වන විට මාංශපේශී තදින් සංකෝචනය වන නිසා යෝනි මාර්ගය වැසෙයි. එබැවින් සංසර්ගය වේදනාකාරී හෝ සම්පූර්ණයෙන් සංසර්ගයේ යෙදීමට නොහැකි වේ. එම නිසා කාන්තාවන් තම යෝනි මාර්ගය කුඩා යැයි සිතීමට පෙලඹෙයි. මෙය වැරදි මතයක්. Vaginismus සහිත කාන්තාවන්ගේ යෝනි මාර්ගය කිසි විටෙක කුඩා නැත.

Vaginismus රෝග තත්ත්වය වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන් සුව කළ හැකිය. එහිදී ලිංගික සංසර්ගයට බිය ඇති කාන්තාවකට එයට බිය නොවන්නට කියූ පමණින් එය සිදු නොවෙයි. එම නිසා බිය නැති කිරීමට ක්‍රමානුකූලව මානසික ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරයි. ප්‍රතිකාර තුළින් සිදු කරනුයේ යෝනිය විශාල කිරීම නොවෙයි.

පළමුව හේතු වී ඇති කරුණු සොයා මානසික සුවයක් රෝගියාට ලබා දිය යුතුය. ශ්‍රෝණි කුහරයේ පහළ මාංශපේශී සංකෝචන හා ඉහිල් කිරීමේ ව්‍යායාම් මඟින් පුරුදු කිරීමෙන් ක්‍රම ක්‍රමයෙන් මාංශපේශී ඉහිල්ව තබා ගැනීමට හුරු කරයි.

එයට විවිධ වෛද්‍ය ක්‍රම උපදෙස් හා උපකරණද උපයෝගී කර ගනී. මෙම අභ්‍යාසවලින් යෝනි මාර්ගයේ ප්‍රමාණය හා මාංශපේශී ක්‍රියාකාරිත්වය හොඳින් සිදු කරයි. මෙලෙස වෛද්‍ය උපදෙස් අනුව 90/ ක් පමණ කාන්තාවන්ට Vaginismus තත්ත්වයෙන් මුළුමනින්ම මිදීමට හැකි වේ.

මීට අමතරව බර අඩු කිරීම, ව්‍යායාම් කිරීම, මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමේ ක්‍රියාකාරකම්වල නිරත වීමද Vaginismus තත්ත්වයෙන් යම් සහනයක් ලබා ගැනීමට උපකාරී වේ.

කලාතුරකින් යෝනි මාර්ගය කුඩා කාන්තාවන්ද මුණ ගැසෙයි. ඔවුනට යෝනි මාර්ගය විශාල කිරීමට සුළු ශෛල කර්මයක් සිදු කිරීමට අවශ්‍ය වේ.

තවද යෝනි මාර්ගයේ ආසාදන, එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය, ගර්භාෂයේ හෝ ඩිම්බකෝෂවල අසාමාන්‍යතා, දිලීර ආසාදන වැනි තත්ත්වයන් නිසාද ලිංගික සංසර්ගයේදී වේදනා ඇතිවීමට හැකිය.

විශේෂයෙන් ලිංගික සංසර්ගයේදී මෙවැනි වේදනාවක් ඔබට ඇත්නම් සුදුසු වෛද්‍යවරුන් ලවා පරික්ෂා කරගෙන එයට සුදුසු ප්‍රතිකාර ගන්න. එමඟින් ඇති විය හැකි අවදානම් තත්ත්ව මඟ හරවා ගැනීමට හැකි වේ.

 

Comments