IMF බිල්ලෙක් ද.... | සිළුමිණ

IMF බිල්ලෙක් ද....

වමේ සිට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය, සුමනසිරි ලියනගේ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ආනන්ද ජයවික්‍රම මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, මිල්ටන් රාජරත්න මහතා.

“IMF යන එක අහිතකර දේශපාලකයන්ට විතරයි. රටට එය ඉතාම හිතකර පියවරක්...“ 
- මහාචාර්ය මිල්ටන් රාජරත්න

ට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම බලාපොරොත්තුව IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවට පත් ව තිබේ. එහෙත් IMFණය ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා තවමත් පවතින්නේ මූලික අදියරේ බැවින් කිසිවක් තවම ස්ථිර නැත. මේ අතර, ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇතැයිද, IMF පවසා තිබේ.

මෙවැනි පසුබිමක IMF ණය ලබා ගැනීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද යන කාරණාව පිළිබඳ විද්වතුන් කිහිප දෙනකුගෙන් විමසීම් කළෙමු.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම ඒ පිළිබඳ පැවැසුවේ මෙවැනි අදහසකි.

"IMF කියන්නේ විශේෂයෙන් රටක ගෙවුම් ශේෂ අර්බුදය හට ගන්නා විට ඒ අර්බුදය සමනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ආධාර සපයන ලෝකයම පිළිගත් සංවිධානයක්. විශේෂයෙන් රටක විනිමය අර්බුදයක් නිර්මාණ වුණාම එය සමනය කර ගන්නට මූල්‍යමය ආධාර සහ ආර්ථිකය නැවත සකස් කර ගැනීමට අවශ්‍ය සැලසුම් සහ තාක්ෂණික ආධාර ඔවුන් ලබා දෙනවා.

මගේ මතයට අනුව අප මුහුණ දී තිබෙන මේ දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒමට හැකි සාර්ථකම මඟ IMF පමණයි.

හේතුව IMF කියන්නේ රට තුළ ඇතිව තිබෙන ව්‍යූහාත්මක වෙනස්කම් නිවැරදි කර ගැනීම සඳහා මේ වගේ අවස්ථාවල අවශ්‍ය දිගුකාලීන ණය සහ තාක්ෂණික ආධාර ඒ රටවලට ලබාදෙන නිසා. ඇත්තටම 2020 හෝ 2021 මුල අපි IMF ගියා නම් රට මේ තරම් අර්බුදයකට යන්නේ නෑ.

2016 දී යහපාලන ආණ්ඩුව පටන් ගත් IMF පැකේජ් එකක් තිබුණා. එය 2020 ජූනි වෙනකල් තිබුණා. ඒ පැකේජ් එක ඉවර වුණාම ඒ කියන්නේ 2020 ජූනිවලින් පසු මේ ආණ්ඩුව IMF සමඟ කිසිදු ගනුදෙනුවක් සාකච්ඡාවක් පවත්වා නැහැ. ඔවුන් සමඟ සියලු සබඳතා නතර කර දැමුවා. එය වැරැදි දේශපාලන තීන්දුවක්. විශේෂයෙන් අපි වගේ රටක් නිතර IMF සමඟ සබඳතා තියාගන්න ඕනෙ. හදිසි තත්ත්වයක් ඇති වුණත් ඒ සාකච්ඡා පවත්වා ගෙන යද්දී විසඳුම් ඉක්මනින් ලැබෙනවා. මේ එදා කරන්න තිබුණු දේ දැන් තමයි කරන්නේ.

මට මතකයි වාසුදේව හිටපු අමාත්‍යවරයා කියනවා, IMF කියන්නේ, අපිව මරාගෙන කන්න බලාගෙන ඉන්න රාස්සයෙක් කියලා. ඔය වගේ දේශපාලන අදහස් එක්ක IMF ගනුදෙනු කරන්නේ නැහැ. ඒ නිසා IMF යනකොට රටේ දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙනුත් රජයේ ස්ථාවර ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.

අපේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවත් IMF එක බොහොම සැලකිලිමත්. ඒ කියන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තත්ත්වයට හෝ අඩුම තරමේ අලාභ නොලබන තත්ත්වයට පත් කර ගන්නේ කෙසේද කියන එක පිළිබඳ රජය මීට වඩා සැලසුම් සකස් කළ යුතුයි. ඒකෙන් කියන්නේ නැහැ රාජ්‍ය ආයතන විකුණන්න කියලා. කාර්යක්ෂමතාව අඩු කර නාස්තිය දුෂණය අවම කරන්නයි ඕනේ. විකුණන්න වෙනවා කියන කතාව දේශපාලකයන් විසින් නිර්මාණය කරන වැරැදි අර්ථකථනයක්. අපි IMF ගියොත් රාජ්‍ය ආයතන විකුණන්න වෙනවා කියන්නේ දේශපාලකයන් ගේ වාසියට. ඔවුන් මෙහෙම කිව්වාම රටේ ජනමතයත් IMF එකට විරුද්ධව ගොඩනැඟෙනවා.

දුම්රිය, ගුවන් සේවය වගේ සමහර ආයතන තිබෙනවා කොයිතරම් පාඩු ලැබුවත් පුද්ගලික අංශයට පවරන්න බැරි. රජයටත් සැලසුමක් තියෙන්න ඕනේ මේ ආයතන විකුණන්නේ නැතිව ආයෝජකයන් කැඳවීම හරහා, කොටස් වෙළෙඳපොළ මඟින් ප්‍රාග්ධනය රැස් කර ගැනීම වගේ ක්‍රමවේදවලට යන්න.

අපේ රටේ දේශපාලකයන් IMF එකට නොයන පළමු හේතුව තමයි, ගත්තු ණය වියදම් කිරීම පිළිබඳ පැහැදිලි විගණනයක් පෙන්විය යුතු වීම.

නමුත් චීනයෙන් ණය ගත්තාම ඔවුන් බලන්නේ නැහැ, ඒ ණය ලංකාවේ දේශපාලකයෝ වියදම් කළේ කෙසේද කියලා. හරි ව්‍යාපෘතිවලට යෙදුවා ද, වංචා කළා ද, කට්ටිය බෙදා හදා ගත්තා ද කියලා ඔවුන් හොයන්නේ නැහැ. ඔවුන්ට වැදගත් ඒ ණය නැවත ගෙවීම පමණයි. නොගෙව්වොත් අපේ රටේ වරායක් වගේ දේපළක් ඔවුන් අනිවාර්යෙන් ම පවරා ගන්නවා.

නමුත් IMF එකෙන් ගන්න හැම සතයකට ම ආණ්ඩුව වගකිව යුතුයි. එවිට දේශපාලකයන්ට කොමිස් වංචාවලට යන්න බැහැ. ඒකයි ඔවුන් IMF ණයවලට පස්ස ගහන්නේ.

IMF එක මේ වගේ ගනුදෙනුවලදී රටවල්වල දේපළ ලියා ගන්නේ නෑ. ඔවුන් බලන්නේ තමන්ගේ ණය ආපසු ගෙවීමට හැකි පරිදි මේ රටේ ආර්ථිකය යළි ගොඩ නැඟෙනවා ද කියන එක විතරයි"

මේ පිළිබඳ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සුමනසිරි ලියනගේ පැවසුවේ මෙවැනි අදහසකි.

" ආණ්ඩුව IMF යන්න ගත් මේ තීරණය කාරණා දෙකක් යටතේ සලකා බලන්න පුළුවන්. එක, IMF ණය ප්‍රදානයන් හෙවත් ණය දීමනා පදනම් වෙන්නේ කිසියම් ආර්ථික විද්‍යා මූලධර්ම සමුදායක් මතයි. අපි බලන්න ඕනේ මේ මූලධර්ම නිවැරැදි ද කියන එක.

දෙක, මෙවැනි අසීරු අවස්ථාවල IMF එකෙන් ණය ලබා ගත් රටවල් වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ලබා ගැනීමට සමත් වූයේ ද කියන ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂිත් සොයා බැලීම වැදගත් වනවා.

අපි ඔවුන්ගේ සාමාජික රටක්. ඒ නිසා සාමාජික රටකට ලබා ගත හැකි වාසි සහ අවස්ථා ලබා ගැනීමේ කිසිදු වරදක් නැහැ. මොකද, සාමාජික රටවලට ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වුණාම ඒ ගෙවුම් ශේෂ අර්බුදයේ දී පිහිටවීමට සහ විසඳුමක් ලබා ගැනීමට IMF ණය ප්‍රදානයන් ලබා ගත හැකියි කියලා IMF ප්‍රඥප්තියේ ම තිබෙනවා. මේ වන විට අපි 16 වතාවක් IMF එකෙන් ණය අරන් තිබෙනවා.

මේ මොහොතේ අපේ ආනයනවලදී ඉහළ ම තැන දිය යුත්තේ ඖෂධවලට; දෙක, ඉන්ධන සහ ගෑස්; තුන්වැනියට කර්මාන්ත සහ කෘෂිකාර්මික යෙදවුම්වලට; ඊළඟට ආහාරවලට. පූර්වතා එසේ දැක්වූ විට පෙනී යන දෙයක් තමයි ඖෂධ, පිරිමසා ගත හැකි ඉන්ධන සහ යෙදවුම් නිසි ලෙස කළමනාකරණය කර ගත්තොත් ලොකු විදේශ විනිමය අර්බුදයක් ඇති වන්නට ඉඩ කඩක් නැති බව.

IMF කොන්දේසි හැටියට දමන දේවල් තමයි, අපි මේ ඉටු කරමින් යන්නේ. IMF එකේ ණය ගත් රටවල මේ වගේ අමාරු කාලවල සිද්ධ වුණේ කුමක්ද? ගොඩ ඒම නෙවෙයි IMF Riots කියලා දෙයක් නිර්මාණය වූ එක. ඒ කියන්නේ, IMF ප්‍රතිපත්ති නිසා කැරලිකාර තත්ත්වයක් ඇති වීම. මේ නිසා තමයි අනූ ගණන්වල ආසියාවේ දැවැන්ත අර්බුදයක් ආ වෙලාවේ IMF එක විසින් යෝජනා කළ උත්තර මාලාව සම්පූර්ණයෙන් ම වාගේ මැලේසියාවේ එවකට හිටපු ජනාධිපති මොහොමඩ් මහතීර් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්තියක් අනුව මැලේසියාව ගොඩනැගීම ක්‍රියාත්මක කළේ. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසන්නේ මෙවැන්නකි.

" අපේ විදේශ විනිමය හිඟය උග්‍රයි. මහ බැංකුව සහ ආණ්ඩුව කියනවා අපිට ණය ගන්න බැහැ කියලා. රුපියල ඉතාම වේගයෙන් පිරිහෙනවා. විදේශ විනිමය ඉපැයීම් සහ විදේශ විනිමය සංචිත දුර්වල වෙලා. මේකට මුහුණ දෙන විට අපිට තව තවත් වෙන මාර්ගවලින් ණය ගන්න පුළුවන් කමක් නැහැ. අපි මේ වන විටත් බැඳුම්කර ගෙවීම් පැහැර හැරලා. එහෙම අමාරු අවස්ථාවක පිහිටට ඉන්න මවුපියන් වගේ තමයි, IMF සහ ලෝක බැංකුව කියන්නේ.

අපිට IMF එකෙන් තාක්ෂණික ණයක් ඉල්ලන්න පුළුවන්. මේ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හේත්, ගෑස්, ඉන්ධන මිල දී ගන්නට ණයක් ඉල්ලන්න පුළුවන්. ඊළඟට රටේ සංචිත වැඩි කර ගැනීමට ණයක් ඉල්ලන්න පුළුවන්. එයින් රුපියලේ වැටීම යම් මට්ටමකට ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම වෙනත් ණය පියවීම සඳහාත් ණයක් ඉල්ලුම් කර ගැනීමට ණය ලබා ගැනීමට පුළුවන්. හැබැයි අපි ඉල්ලූ පමණින් ඔවුන් ඒ දේවල් දෙන්නේ නැහැ. අපේ ආර්ථිකය, මූල්‍ය ක්‍රමය, සංවර්ධන වැඩසටහන්, රජයේ වියදම්, රජයේ ආදායම්, පොලී අනුපාතය යන මේ සියලුම දේ සලකා බලා ශ්‍රී ලංකා ආර්ථිකය ගැන යම් තක්සේරුවක් කරනවා.

පොලී අනුපාත, උද්ධමන අනුපාතය, වගේ අපේ සාර්ව ආර්ථික විචල්‍ය සාර්ථක ලෙස කළමනාකරණය කරන ආකාරය ඔවුන් අධ්‍යයනය කරනවා. ඒත් එක්කම ආපසු ණය ගෙවීමට ඇති හැකියාව සලකා බලනවා.

ඔවුන් අපට ණය ලබා දෙන්නේ නිතරම රටවල්වලට දමන කොන්දේසි එක්ක. ඒවා අවාසි විදියටයි අපි දකින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් හැම වෙලාවෙම ඒවා අවාසි නෙවෙයි.

IMF එක නිතරම අපිට කියන්නේ, මුදල් සැපයුම පාලනය කරන්න කියලයි. ඒ කියන්නේ, උද්ධමනය පාලනය කරන්න සහ මුදල් අච්චු ගැසීමෙන් වළකින්න කියන එකයි.

ඒ අතරේම IMF එක අධීක්ෂණය කරනවා, රජයේ ආදායම් කොච්චර ද වියදම් කොච්චරද කියලා. අයවැය පරතරය කොච්චරද කියන එකත් ඔවුන්ගේ අවධානයට ලක් වෙනවා. මෙහි හිතකර පැත්ත තමයි, IMF එකට යෑමෙන් රටක් හැටියට අපිට අපි ගැන විගණනයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. සරලවම කියන්නම්. IMF යන එක අහිතකර දේශපාලකයන්ට විතරයි. රටට එය ඉතාම හිතකර පියවරක්..."

Comments