‘හුස්ම’ රැක ගන්න අරගලයක් | සිළුමිණ

‘හුස්ම’ රැක ගන්න අරගලයක්

- මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ ඇති ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කළ යුතුයි
- මේ වන විට රසායනාගාර පරීක්ෂණ 40%ක් පමණ බිඳ වැටිලා
- ඖෂධ මිල ඉහළ යෑමට ඖෂධ මාෆියාව බලපානවා
- ඩොලරයේ ඉහළ යෑමට අනුව ඖෂධ මිල ඉහළ යනවා නම් ඖෂධ නියාමන අධිකාරියක් අවශ්‍ය නැහැ

සුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් සිදු කළ විශේෂ ප්‍රකාශය තුළ හෘදය රෝගින්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවත් අත්‍යවශ්‍ය ඖෂධ 14කින් ඖෂධ 2ක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නැති බවත් සඳහන් විය. වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති ඖෂධ දෙකෙන් එකක් හෘද රෝගවලට භාවිත කරන ඖෂධයකි. එහෙත් ඊට විකල්ප ඖෂධ ඇත. අනෙක් ඖෂධය වන්නේ ප්‍රතිජලභීතිකා ඖෂධයයි. මෙම ඖෂධය සඳහා විකල්ප ඖෂධ නැත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙරටට ආනයනය කළ ඖෂධවලට මාස 4කින් ගෙවීම් කර නැත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අසාදු ලේඛනගත කිරීමට විදේශීය ඖෂධ සමාගම් කටයුතු කර තිබෙන්නේ එබැවිනි. රෝගින්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 4කින් ගෙවීම් කර නැත. ඔවුන්ට ගෙවීමට ඇති හිඟ මුදල රු. බිලියන 34කි. අප්‍රේල් මාසයෙන් පසු මෙරටට කිසිදු ඖෂධ හෝ උපකරණයක ඇණවුමක් ලැබී නැත. ඖෂධ ආනයනය සඳහා ණයවර ලිපි සෞඛ්‍ය අමාත්‍යාංශය විවෘත කර ඇතත් ඩොලර් හිඟය සහ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් කිසිවක් ආනයනය කිරීමට හැකි වී නැත.

මේ අතරවාරයේදී ඖෂධ මිල දී ගැනීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 66ක් වෙන් කර තිබියදී ඖෂධ ආනයනය නොකිරීම සම්බන්ධයෙන් අගමැති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවා තිබේ. මේ වන විට රෝගින්ට අවශ්‍ය ඖෂධ 646කින් ඖෂධ 188ක් වෛද්‍ය සැපයුම් අංශයේ නැත. පිට ආයතනවල 50ක් නැත. අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486කින් 21ක් වෛද්‍ය සැපයුම් අංශයේ නැත. එම ඖෂධ 49ක හිඟය රෝහල් තුළ ද පවති. ශල්‍ය උපකරණ 7854ක් ඇතත් ඉන් නිතර භාවිත කෙරෙන්නේ 2048කි. එහෙත් එයින් 1155ක් නැත. අනුපූරක උපකරණ 3416ක් පැවතියද ඉන් 1405ක් නැත. රසායානාගාර ද්‍රව්‍ය 3900කින් සාමාන්‍ය උපකරණ 800ක් තිබිය යුතු වුවත් ඉන් 250ක් නැත.

ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක සැත්කම් සීමා වී තිබේ. මේ සියල්ෙලන්ම බැට කන්නේ අපේ රටේ ජනතාව ය. ඖෂධ නැතිව ජීවිත අවදානම දරාගෙන සිටින අපේ රටේ රෝගින්ට මිල දී ගත හැකි ඖෂධ පවා අද මිලදී ගැනීමේ හැකියාව හීන වී තිබෙන්නේ ඖෂධ මිල අහස උසට නැඟ ඇති නිසාය. මෙය ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනි වැඩකි.

මේ වන විට රුපියල් 2.30කට මිල දී ගත් පැරසිටමෝල් පෙත්තක් දැන් අලෙවි කෙරෙන්නේ රුපියල් 4.16කටය. පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30ක් ලෙස ඉහළ දැමුවේ මෙම වසරේ පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන ආකාරයටය. එය නැවතත් රුපියල් 4.16ක් ලෙස ඉහළ දමා තිබෙන්නේ අප්‍රේල් 29 වැනිදා සිට ය. 

“අප්‍රේල් 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මිල පාලනය කළ ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දැම්මා. ඖෂධ නාමයෙන් තිබෙන ඖෂධ 60ක මිල ඉහළ දැම්මත් වෙළෙඳ නාමයෙන් ඇති ඖෂධ වර්ග 500කට වඩා ප්‍රමාණයක් මාර්තු මාසයේ 29%කින් වැඩි වුණා. අප්‍රේල් මාසයේ 40%කින් ඉහළ ගියා. ඒ අනුව ඖෂධ වර්ග 50කට අධික ප්‍රමාණයක මිල 69%කින් ඉහළ ගිහින් තිබෙනවා. එසේම මිල පාලනය නොවන ඖෂධ වල මිලත් 69%කින් ඉහළ ගියා. මේ ආකාරයට මිල ඉහළ දැමීමට බලපාන හේතුව හැටියට පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යෑම. ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ යන සෑම අවස්ථාවකම ඖෂධ මිල ඉහළ දමනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයක් හෝ ඖෂධ නියාමන අධිකාරියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනික ඩොලරයට සාපේක්ෂව ජනතාවගේ ආදායම ඉහළ යන්නේ නැහැනේ. ඒනිසා රෝගී ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත්වෙනවා.” යනුවෙන් අදහස් දැක්වූයේ රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න ය.

කෙසේ නමුදු ඖෂධ මිල ඉහළ යෑම ජනතාවට දරා ගත නොහැකි මට්ටමකට පත් වී තිබේ. ඖෂධවලට අමතරව අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස් වැනි සෑම භාණ්ඩයකම මිල ඉහළ යෑමෙන් ජනතාවගේ ජීවන වියදම අහස උසට නැඟී තිබේ. ජනතාවට නිරාහාරව සිටිය නොහැකිය. ආහාර මිල කොපමණ ඉහළ ගියද ආහාර මිලදී ගැනීම අනිවාර්යයෙන් සිදු වන්නේ එබැවිනි. ආහාර ද්‍රව්‍ය මිල දී ගත් පසුව ඉතිරි වන මුදලින් ඖෂධ මිලදී ගැනීමට පුරුදු වන ජනතාව, ක්‍රමානුකූලව නිසි පරිදි ඖෂධ භාවිත කරන බවට සිතීම අසීරුය. බාගෙට බෙහෙත් බීමට පුරුදු වුවහොත් ප්‍රතිඵල භයානකය. මක්නිසාද දවසට දෙවරක් ගැනීමට හෝ දවසට තුන් වරක් ගැනීමට නිර්දේශ කර තිබෙන ඖෂධ දවසකට වරක් භාවිත කිරීමෙන් රෝග සුවපත් නොවන නිසාය.

මේ වන විට රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් උග්‍ර ඖෂධ හිඟයකට මුහුණදී සිටියි. ඒනිසා දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි. පවතින ඖෂධ හා උපකරණ හිඟය විදේශීය රටවල්වල සිටින මිතුරන්ට පෞද්ගලිකව කතා කිරීමෙන් සපුරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කර තිබේ.

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහයන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේ ඖෂධ හිඟය විසඳා ගැනීමට උදව් කරන ලෙසයි. විපක්ෂ නායකවරයා ඊට සහයෝගය ලබා දීමට පොරොන්දු විය.

“ලංකාවේ ඖෂධ ගෙන්වීමේ බලය තිබෙන්නේ ඖෂධ නීතිගත සංස්ථාවට සහ බලයලත් සමාගම්වලට පමණයි. පෞද්ගලික රෝහල්වලට වුණත් ඍජුව ආනයනය කිරීමේ බලය නැහැ. මේ විදිහට ආනයන කරනු ලබන ඖෂධ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධීක්ෂණයට යටත් වෙනවා. ඊට පසුවයි රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් සහ ඖෂධ අලෙවිසැල්වලට බෙදා හරින්නේ. රටේ මතු වූ අර්බුදකාරි වාතාවරණය සමඟ ඖෂධ හිඟයක් ළඟ ළඟම එන බව අපි අවබෝධ කරගෙන හිටියේ. පෞද්ගලික රෝහල් වුණත් ඖෂධ ගබඩා කර තබා ගන්නේ මාස 3කට උපරිම මාස 6කට පමණයි. ඒනිසා තමයි අපි මේ අවදානම ගැන විටින් විට පෞද්ගලික සෞඛ්‍ය නියාමන සභාවේ ලේකම්තුමියව දැනුවත් කළේ. දැන් ඒ අර්බුදය උච්ච අවස්ථාවට ඇවිත් තියෙනවා. අප්‍රේල් මාසයේ මැද වන විට අත්‍යවශ්‍ය ඖෂධ 76ක හිඟයක් හඳුනා ගත්තා. ඒනිසා තමයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ පරිත්‍යාගශීලින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට ලබා දෙන ලෙස අපි ඉල්ලීම් කරන්නේ. මේ මොහොත වන විට අපිට විදේශ රටවල්වල කණ්ඩායම් කීපයක් කතා කරලා තිබෙනවා. ඒ විදිහට ලැබෙන ඖෂධ හා වෛද්‍ය උපකරණ පෞද්ගලික සෞඛ්‍ය නියාමන සභාවට බාරදීමට තමයි අපි අදහස් කරගෙන ඉන්නේ. මොකද අපිට ලැබෙන ඖෂධවල ප්‍රමිතිය, කල් ඉකුත්වීමේ දිනය වැනි කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයට අනුව බලන්න ඕනෑ නිසා. ඖෂධ කියන දේ ආවාට ගියාට හිතුමතේ ගෙන්වන්නවත් බෙදා හරින්නවත් බැහැ. ඒ ආකාරයට ලැබෙන ඖෂධ හා වෛද්‍ය උපකරණ අපි නොමිලේම ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රජයේ රෝහලක රෝගීන්ට යම් ඖෂධයක් හිඟපාඩු වෙලා තිබෙනවා නම් අපි ඒ අයට නොමිලේම දෙනවා. පෞද්ගලික රෝහල්වල රෝගීන්ට අවශ්‍ය වුණාම ඒ අයටත් නොමිලේම දෙනවා. පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ කිසිම අවස්ථාවක විකුණන්නේ නැහැ.” යනුවෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද කුරුප්පුආරච්චි පැහැදිලි කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද මැදිහත් වී විදෙස්ගත පරිත්‍යාගශීලින්ගෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට ගෙන්වීමට කටයුතු කරති.

ඒ අතරවාරයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රෝහල් කාර්යය මණ්ඩලය සහ රෝහල් කළමනාකරණ කමිටුව සමඟ සාකච්ඡා කර ශල්‍යකර්ම සිදු නොකිරීමට තීරණය කළ පුවතක් පසුගියදා වාර්තා විය. ඊට හේතුව වශයෙන් ඔහු පෙන්වා දී තිබුණේ නිර්වින්දන ඖෂධ හිඟය නිසා රෝගින්ගේ ජීවිත අනතුරට පත්වීමට හැකි අවදානමයි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ නීතිමය ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඔහු අවධානය යොමු කර තිබිණි.

වර්තමානයේ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගින්ගේ ඇතැම් ඖෂධ ෆාමසිවලින් මිලදී ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් ලියා දෙනු ලබන්නේ රජයේ රෝහල්වල ඖෂධ නැති නිසාය. එහෙත් සමහර ඖෂධ ෆාමසිවල ද නැත. නැතහොත් ගිනි ගණන්ය. රුපියල් 5.06ක ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 75 පෙත්තක් දැන් රුපියල් 7.08කි. මෙට්ෆෝමින් මිලිග්‍රෑම් 500 පෙත්තක පෙර මිල රුපියල් 6.64කි. නව මිල රුපියල් 9.34කි. රුපියල් 10.29ක්ව තිබූ තයිරොක්සින් මයික්‍රෝග්‍රෑම් 50 පෙත්තක නව මිල රුපියල් 14.41කි. රු. 59.79කට අලෙවි වූ ඇමොක්සිලින් ක්ලැචුලිනික් ඇසිඩ් පෙත්ත දැන් රුපියල් 83.71කි.

“අද ඖෂධ මිල ජනතාවට දරා ගන්න බැහැ. ජනතාව දවසින් දවසට පීඩාවට පත් වෙනවා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඖෂධ මිල තුන් පාරක් වැඩි වුණා. ඒනිසා තමයි අපි කියන්නේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ පැහැදිලිව දක්වා තිබෙන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා. ඩොලර් එක වෙනස් වෙන බව ඇත්ත. ඒත් මේ විදිහට ඖෂධ මිල ඉහළ යන්නේ ඩොලර් ප්‍රශ්නය නිසා විතරක් නෙමෙයි. ඖෂධ සමාගම්වල මාෆියාව නිසා. ලංකාවේ කිසිම ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යම් යම් ඖෂධ නිෂ්පාදනය කරන්නේ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරමින්. කොටින්ම කිව්වොත් ගෝස් නිපදවන්නෙත් නූල් පිටරටින් ගෙන්වලා. මේ වගේ තත්ත්වයක පවතින රටකට ඖෂධ මාෆියාවෙන් ගැලවෙන්න අමාරුයි. එක් ඖෂධ නාමයකට අයිති ඖෂධ වෙළෙඳ නාම 30ක් 40ක් තිබෙනවා. එය රුපියලේ සිට රුපියල් 50, 60 දක්වා විහිදෙනවා. උදාහරණයක් හැටියට අපි ඇමොක්සිලින් ඖෂධ්‍ය ගනිමු. එය වෙළෙඳ නාම තිස් (30) ගණනකින් වෙළෙඳපොළේ තිබෙනවා. වෛද්‍යවරයෙක් ලියලා දුන්න බේත් තුණ්ඩුව අරගෙන ෆාමසියට ගියාම වෙළෙඳසැල් හිමියා විකුණන්නේ වැඩි මිලට තිබෙන ඖෂධය. මොකද අඩු මිලට තිබෙන ඖෂධ විකුණලා ලාභ ලබන්න බැහැනේ. ඖෂධ අලෙවිසැල් හිමියා සහ ඖෂධ සමාගම් ලාභ ලබන විට ජනතාව පීඩාවට පත්වෙනවා. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල්වලට එකම ඖෂධය වෙළෙඳ නාම 30ක් 40ක් යටතේ ආනයනය කළාට සංවර්ධිත රටවල් ගෙන්වන්නේ වෙළෙඳ නාම 5ක් 6ක් පමණයි. ඒ අය ඖෂධ සමාගම්වල ඖෂධ මාෆියාව පාලනය කරගෙන තියෙනවා. ඒත් අපේ රට ඇතුළු බොහෝ දියුණු වෙමින් පවතින රටවල්වලට ඖෂධ සමාගම් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඒනිසා අපි ඖෂධ ජාවාරම්කරුවන්ගේ අතකොළුවක් වෙලා. ඇත්තටම බැලුවොත් අපේ රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සංඛ්‍යාව 800ක් විතර වුණත් විවිධ වෙළෙඳ නාම යටතේ එය 14,000ක් වැනි විශාල පරාසයක පුළුල්ව විහිදී තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ ඖෂධ මිල ඉහළ යෑමට බලපෑ එකම සාධකය ඩොලරයේ අගය ඉහළ යෑම පමණක් නොව බව” යනුවෙන් දීර්ඝ වශයෙන් විස්තර කළේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනමේ සංවිධායක සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර ය. 

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ සඳහන් මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සහ ඖෂධ නිෂ්පාදනය, ආනයනය, අලෙවිය සහ බෙදා හැරීම යන අංශ කෙරෙහි රාජ්‍ය මැදිහත් වීමත් රජයේ ඒකාධිකාරය පවත්වා ගැනීමත් මඟින් ඖෂධ මිල පාලනය කළ හැකි බව වෛද්‍ය ජයන්ත බණ්ඩාරගේ අදහස විය.

එහෙත් රාජ්‍ය මැදිහත්වීම මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ඉඳුරාම අත්පත් කර ගත හැකිදැයි අපට සිතෙන්නේ සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අනාවරණය කරන කරුණු නිසාය.

“ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද ලොකු ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒත් පහුගිය කාලේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කළේ ආර්ථික ගැටලු කිසිම දෙයක් නැති විදිහට. මේ වන විට රසායනාගාර පරීක්ෂණ 40%ක් පමණ බිඳ වැටිලා. ඊට හේතුව රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගන්නා ප්‍රතික්‍රීයකවල හිඟකම. රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීමේදී තාක්ෂණික ඇගයීමේ කමිටුවල ප්‍රතිපත්තිමය තීරණ නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. ප්‍රතික්‍රීයක කට්ටල ඉන්දියාවෙන් අඩු මිලට ගැනීමට ඉඩප්‍රස්ථා තිබෙද්දි යුරෝපීය රටවල්වලින් වැඩි මුදලකට මිල දී ගැනීමට ගිවිසුම්ගත වුණා. ඒ ගිවිසුම් නිසා අපිට අද ඉන්දියාවෙන් අඩු මිලට ගැනීමට හැකියාවක් නැහැ. නීත්‍යනුකූල බාධා ඇති වෙලා. මෙවැනි අකටයුතු නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ණය බර ඉහළ ගියා. රසායනාගාර සඳහා මිල දී ගැනීම්වලින් පමණක් ණය තුන් ගුණයකින් වැඩිවුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය ණය වෙනකොට ණය ගෙවන ක්‍රමවේදයක් ගැන කල්පනා කළේ නැහැ.” යනුවෙන් පැවසුවේ සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ය.

මෙවැනි අයථා ගනුදෙනු සහ ගිවිසුම් පිළිබඳව නව අග්‍රාමාත්‍යවරයාට සහ ඖෂධ ගැටලු කමිටු ප්‍රධානි රුවන් විජයවර්ධනට දැනුම් දීමට ඔහු කටයුතු කරන බව තවදුරටත් දැනුම් දුන්නේය.

Comments