ලොව හෙල්ලූ ලංකා තේ පල්ලම් බසීද? | සිළුමිණ

ලොව හෙල්ලූ ලංකා තේ පල්ලම් බසීද?

- ශීඝ්‍රයෙන් වෙනස් වන වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම හදිසි ප්‍රතිනිර්මාණයක් අවශ්‍යයයි
- ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුමයි

සාම්ප්‍රදායික Ceylon Tea නාමයේ ප්‍රධාන ගැනුම්කරුවකු වන ජපානය මෙවර ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීම අඩකින් පමණ පහත හෙළා ඇත. පළමු කාර්තුවේදී කර්මාන්තයේ ඉපැයීම්වලින් ඇ.ඩො.මි. 52ක පාඩුවක් සිදුව ඇති පසුබිමක ජපානය, මේ වසරේදී ඔවුන්ගේ මිලදී ගැනීම් සියයට 42කින් පහත හෙළා තිබේ.

එනම්, පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මෙරට තේ කි.ග්‍රෑ. මිලියන 1.5 ක් මිලදී ගත් ජපානය, මේ වසරේ එම කාලය තුළ මිලදී ගෙන ඇත්තේ කි.ග්‍රෑ. 872,000ක් පමණි. මේ වන විට රට තුළ ප්‍රමාණවත් තරම් පොහොර තිබේද? එසේ තිබුණත් ඒවායේ ගුණාත්මක භාවය කෙසේද යන කාරණා සම්බන්ධයෙන් ජපානය තුළ පැන නැඟී ඇති අවිනිශ්චිතතාව මෙසේ Ceylon Tea මිලදී ගැනීම පහත හෙළීම කෙරෙහි ඍජුව බලපා ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තේ මණ්ඩලයේ සභාපති, ජයම්පති මොල්ලිගොඩ පැවැසුවේ මෙවැනි අදහසකි.

"අපේ තේ ගන්නා රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින්නේ, ඉරාකය තුර්කිය සිරියාව එක්සත් එමීර් රාජ්‍යය චීනය සහ රුසියාවයි. ප්‍රධාන රටවල් 10 අතරේ නැතත් ජපානයත් අපේ තේ මිලදී ගන්නා වැදගත් රටක්. මෑතක සිට ජපානය අපේ තේ මිලදී ගැනීමේ කැපී පෙනෙන අඩුවක් තිබෙන බව ඇත්ත. අපි ඒ අඩු වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ගෙන යනවා. උද්ධමනය නිසා බඩු මිල ඇතුළු හැමදේම වැඩි වුණාට අද වන විට තේ කර්මාන්තයේ නියැළෙන අයට ඉතිහාසයේ පළමු වතාවට රුපියල්වලින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා. නමුත් ඒකෙන් කියැවෙන්නේ නැහැ ඔවුන්ගේ ලාභය හොඳයි කියලා. ඔවුන්ටත් ප්‍රශ්න තිබෙනවා. පොහොර මිල අධිකයි. පොහොර නැහැ. රජයේ පාර්ශ්වයෙන් රසායනික පොහොර ලබා දීම පමා වී තිබෙනවා. නිෂ්පාදන වියදම් ඉහළයි. තේ කිලෝවකට ලැබෙන මුදල රු.1,300 වෙනකල් ඉහළ නැඟලා. එසේ වුණේ රුපියල අව ප්‍රමාණය වූ නිසා. නමුත් මේ තත්ත්වය ප්‍රයෝජනයට අරන් අපේ අපනයනකරුවන්ට පුළුවන් අලුත් වෙළෙඳපොළ සොයා යන්න. ඇණවුම් සොයා ගන්න. මොකද, දැන් ලැබෙන මුදල අනුව ඔවුන්ට ලාභයක් තිබෙන නිසා.

ඒ වගේම තේ නිෂ්පාදනය අඩු වීම කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරන, රටේ කාලගුණ දේශගුණ විපර්යාසවලට නිවැරැදිව ක්‍රියා කරන්න බැරි වීමත් මේ ප්‍රශ්නයට තදින් බලපානවා. ගසට අවශ්‍ය නයිට්‍රජන් අඩුවීම, කම්කරු හිඟය සහ තවත් කරුණු රැසක් බලපාන බව කිව යුතුයි. ඒ අනුව මට කියන්න තිබෙන්නේ තේ කර්මාන්තයේ වැටීමක් නැහැ. චීනය, ඉරානය, ලිබියාව වගේ රටවලින් අපේ තේ මිලදී ගැනීමේ අඩුවක් නැහැ. රුසියාව තමයි දැනට ගැටලුකාරී තත්ත්වයක තිබෙන්නේ. ඒ ගැටලුවත් විසඳා ගනිමින් අපි තේ යැවීම සිදු කරගෙන යනවා..."

තේ කර්මාන්තයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ Dilmah Ceylon Tea ප්‍රධාන විධායක නිලධාරී, ඩිල්හාන් ප්‍රනාන්දු පැවසූයේ මෙවැනි අදහසකි.

" ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට මේ තත්ත්වය උදා වුණේ එක රැයකින් කාබනික වගාවට සංක්‍රමණය වීමේ සැලසුම් රහිත උත්සාහය නිසයි. නමුත් දැන්වත් නිසි ආකාරයෙන් කටයුතු කළොත් ඉදිරියේදී මේ අහිතකර තත්ත්වයෙන් ගොඩඒමේ හැකියාව තිබෙනවා.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ තේවල කැපී පෙනෙන වෙනස ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කිරීම ශ්‍රී ලංකාවට ඇති එකම තිරසර විකල්පය බවයි මා දකින්නේ. ඒ සඳහා ගුණාත්මක බවින් යුතු යටිතල පහසුකම් සඳහා ශක්තිමත් කැපවීමක් අවශ්‍යයයි.

ලොව පුරා සිටින අපගේ පාරිභෝගිකයන්ට අපගේ තේ නිෂ්පාදනයේ පාරම්පරික රසය සහ ගුණය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රසායනාගාර පහසුකම් පුළුල් කිරීම සහ වඩා හොඳ සම්බන්ධීකරණය, භූගෝලීය දර්ශක (GI) සම්බන්ධයෙන් කර්මාන්තය සඳහා ශක්තිමත් උපාය මාර්ග මෙන්ම ගුණාත්මක බවින් අඩු නිෂ්පාදනයකින් කෙටිකාලීන ලාභයක් සඳහා ලංකා තේ ප්‍රතිරූපය දියාරු කරනවාට වඩා ලංකා තේවල සුවිශේෂත්වය ගොඩනඟා ගැනීමට සහ ශක්තිමත් කිරීමට අපනයනකරුවන් දිරිමත් කළ යුතු අතරම ලංකා තේ සන්නාමය ආරක්ෂා කිරීම බලධාරීන්ගේ වගකීමක්.

එමෙන්ම Ceylon Tea ප්‍රතිරූපය යළි ස්ථාපිත කිරීම සඳහා ශක්තිමත් පාරිභෝගික සන්නිවේදනයක් ද අවශ්‍යයයි. එසේම ලාභ නොලබන සාම්ප්‍රදායික වෙළෙඳපොළවල් සමඟ පමණක් තරග කිරීමට උත්සාහ කරනවාට වඩා ලංකා තේ සඳහා නව වෙළෙඳපොළවල් සොයා ගැනීමට සහ අවස්ථා පුළුල් කර ගැනීමට අප කර්මාන්තයක් ලෙස අලුත් පියවර තැබිය යුතුයි.

තේ පර්යේෂණායතනය, කුඩා වතු හිමියන් සහ ප්‍රාදේශීය වැවිලි සමාගම්, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ අපනයනකරුවන් අපගේ ගුණාත්මක යටිතල පහසුකම්වලට එකතු කළ හැකි දෑ සමඟින් හවුල් කැපවීමක් වටා පෙළ ගැස්වීම තුළ, ශ්‍රී ලාංකේය තේ කර්මාන්තය පුනර්ජීවනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි මා විශ්වාස කරන්නේ..."

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති, සන්ජේ හේරත් පැවසුවේ මෙවැනි අදහසකි.

"අප මුහුණ පා තිබෙන ප්‍රධාන ප්‍රශ්නය පොහොර. අපි ඒ ගැන දිගින් දිගටම විෂය භාර අමාත්‍යවරයාට සහ තේ මණ්ඩලයේ සභාපතිවරයාට කිව්වා. කාබනික පොහොරවලින් සියයට 40ක් අස්වනු බහින බව අපි ඔවුන්ට පහදා දුන්නා. නැහැ, සියයට 20යි බහින්නේ. එසේ වුණත් මේවා organic නිසා ඉහළ මිලකට දෙන්න පුළුවන්, පාඩු නැහැ...' කියන එක තමයි සභාපතිවරයා ගේ තර්කය වුණේ.

අපේ ලොකුම තේ අස්වනු ප්‍රමාණය වුණේ කිලෝ ග්‍රෑම් මිලියන 340යි. ලෝක වෙළෙඳපොළ එක්ක තරග කරන්න නම් අපේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 300 ඉක්මවන්න ඕනේ. එහෙම වුණොත් අපිට අනිවාර්යෙන් ම ඇ.ඩො.බි. 1.5 - 2 දක්වා විදේශ විනිමය රටට ගේන්න පුළුවන්. නමුත් පොහොර හිඟය නිසා මේ වන විට සියයට 15ක් අස්වනු බැහැලා.

බොත්තමක් ඔබනවා වගේ එක රැයකින් තේ වගාව කාබනික පොහොරවලට හරවන්න බැහැ. කාබනික පොහොරවලට bio charcoal සංඝටක සහ දියර නයිට්‍රජන් මිශ්‍ර කර, ගුණාත්මකව වර්ධනීය තත්ත්වයක් ඇති කරන්න ඕනේ.

ඒ නිසා තේ කර්මාන්තයට සිද්ධ වුණේ මහා විපැත්තියක්. ඒ විපැත්තිය තමයි, තේ අපනයනකරුවන්ට නිෂ්පාදිත ප්‍රමාණය අඩුවීම. ප්‍රමාණය අඩු වූ ගමන් ඉල්ලුම සැපයීමේ හැටියට, තේ වෙන්දේසියෙන් අප මිලදී ගන්නා තේ, දැරිය නොහැකි තරමට මිල ඉහළ ගියා. අපි ගැනුම්කාර රටවලට තේ ඇණවුමක් දෙනවා කිව්වොත් ඒ කිව්වා වගේම දිය යුතුයි. අපේ මිල ඉහළ ගියා කියලාවත් අස්වනු අඩු වුණා කියලාවත් අපට නොදී ඉන්න බැහැ. එහෙම හිටියොත් අපේ තැනට කෙන්යාව හෝ ඉන්දියාව රිංගනවා.

මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් බොහොම ඉක්මනින් පොහොර ටික දාලා නැවතත් තේ නිෂ්පාදනය වැඩිකර ගැනීමේ වැඩ පිළිවෙළකට අප යා යුතුයි. අපේ දේශපාලනඥයන් දුරදිග නොබලා ගන්න මේ තීන්දු තීරණ නිසා වැඩිම වාසි ලබන්නේ ඉන්දියාව.

දූෂිත දේශපාලකයන් ඇවිත් රට විනාශ කර ආපහු යන ගානේ සෑම ක්ෂේත්‍රයකම උන්නතිය වෙනුවෙන් හදන ප්‍රතිපත්තිත් අහෝසි වී යනවා. නමුත් කවුරු ආවත් වෙනස් නොවන, සෑම කර්මාන්තයකම උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් දැන්වත් හැදිය යුතුයි.

ඒ සඳහා විද්වතුන්, තේ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් එකතු විය යුතුයි. මෙවැනි පාර්ශ්වකරුවන් එකතු වී මීට අවුරුදු දෙකකට කලින් Ceylon Tea Road Map - 2030 වැඩපිළිවෙළ ආරම්භ කළේ, තේ කර්මාන්තයේ උන්නතිය සහ ස්ථිරසාර භාවය වෙනුවෙන්. මේ Road Map එක අපි අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු කාලය එළැඹ තිබෙනවා. එසේ කිරීමෙන් පමණයි අවුරුදු 150ක් පරණ Ceylon Tea... හෙවත් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය වැටී තිබෙන මේ ගැඹුරු අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ..." 

මේ සම්බන්ධයෙන් කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති සහ තේ මණ්ඩලයේ හිටපු සභාපති, නිරාජ් ඩි මෙල් පැවසුවේ මෙවැනි අදහසකි.

" ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ පැවැත්ම තීරණය වන්නේත් අපනයනය සිදුවන්නේත් නිෂ්පාදනයට සාපේක්ෂවයි. නිෂ්පාදනය වැටෙනකොට අපනයනය වැටෙනවා. නිෂ්පාදනය වැඩි වන විට අපනයනය ප්‍රමාණාත්මකව වැඩි වනවා. හැබැයි ඒ, එක පැත්තක් විතරයි. අනෙක් පැත්තෙන් බැලුවොත් මිල. සාමාන්‍යයෙන් සතියක් පාසා සියයට 95-97ක ප්‍රමාණයක් අලෙවි වන්නේ කොළඹ තේ වෙන්දේසිය මගින්. 2013 දී වාර්ෂික තේ නිෂ්පාදනය, කිලෝ ග්‍රෑම් මිලියන 340 ක් දක්වා වැඩි වුණා. ඒ තමයි, ඉතිහාසයේ වාර්තාගත වැඩිම තේ නිෂ්පාදනය. 2014 වසරේ තමයි වැඩිම අපනයන ප්‍රමාණය වූ, කිලෝ ග්‍රෑම් මිලියන 329 ක් අපනයනය කළේ. 2015න් පස්සේ තමයි තේ කර්මාන්තයට දේශපාලන බලපෑම් එල්ල වුණේ.

පහත රට තේ තමයි අපේ ජාතික නිෂ්පාදනයෙන් සියයට 62ක්ම නිෂ්පාදනය කරන්නේ. ඒ පහත රට තේවලට බහුතර දායකත්වය දෙන්නේ අපේ කුඩා වතු හිමියෝ. ඉතිරි සියයට 38 තමයි, උඩරට සහ මැදරට වතුවලින් ලැබෙන දායකත්වය. එයිනුත් උඩරට තේ ලැබෙන්නේ සියයට 22යි. මෙන්න මේ උඩරට තේ හෙවත් High Grown Tea තමයි ජපානය බහුල වශයෙන් මිල දී ගන්නේ.

මේ වසරේ අපේ පළමු කාර්තුවේ මුළු නිෂ්පාදනය කි.ග්‍රෑ. මිලියන 63.1යි. ගිය අවුරුද්දේ 74.5 යි. එහෙම බලද්දී අපි පළමු කාර්තුවේ විතරක්, කිලෝ ග්‍රෑම් මිලියන 11.4 වැටිල්ලක් තිබෙනවා. අපි මැයි, ජූනි හොඳ අස්වැන්නක් නොගත්තොත් ඒකෙන් තමයි තීරණය වෙන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව අපි වැඩි නිෂ්පාදනයක් කරනවාද, නැද්ද කියන එක. මේ තමයි, අපි වැඩිම අස්වනු නෙළිය යුතු මාස දෙක. එය නොකළොත් අපි ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දම ඍණ අගයකට වැටෙනවා..."

Comments