රාජ්‍ය සේවය පුපුරයි | සිළුමිණ

රාජ්‍ය සේවය පුපුරයි

රාජ්‍ය සේවය කෙතරම් ඵලදායීද ? සමස්ත ජනතාව විසින්ම නඩත්තු කරනු ලබන මිලියන ගණනක රාජ්‍ය සේවකයන්ගෙන් අවශ්‍ය සේවාව සිදු වන්නේද? පෞද්ගලික අංශයේ සේවකයන් දෙතුන් දෙනකුගෙන් සිදු කරන්නා වූ සේවාව සිදු කරන්නට රාජ්‍ය සේවයේ දහ පහළොස් දෙනෙක් අවශ්‍ය වන්නේ ඇයි?පෞද්ගලික බස් රථ සේවාව ලාබ ලබද්දී ලංගම කෝටි ගණනින් පාඩු ලබන්නේ ඇයි? ඉන්දියන් IOC සමාගම කෝටි ගණනින් ලාබ ලබද්දී සිපෙට්කෝ ආයතනය බිලියන ගණනින් පාඩු ලබන්නේ ඇයි? 

මේ වන විට සමස්ත රාජ්‍ය සේවයේ සියලු සේවකයන් සංඛ්‍යාව 14,91,622කි. එනම් ලක්ෂ 15කට ආසන්න සේවක සංඛ්‍යාවක් සිටී. මේ රාජ්‍ය සේවකයාගේ වගකීම යුතුකම වන්නේ කුමක්ද?

රාජ්‍ය සේවයේ දැක්ම වන්නේ ‘ජාතියේ විශිෂ්ටත්වය සඳහා කැපවූ රාජ්‍ය සේවයක්‘ යන්නය. රාජ්‍ය සේවකයාගේ මෙහෙවර ප්‍රකාශය වන්නේ ‘සාධාරණව, විනිවිද බවින් හා සමානුකූලව මහජනයාට සේවය කිරීමට, කාර්යක්ෂම, විනයගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.‘ යන්නයි. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයා බැඳී සිටිය යුතුය. ඇප කැපවී සිටිය යුතුය. එහෙත් පෙර දැක් වූ පරිදි පෞද්ගලික අංශයේ දෙතුන් දෙනකු කළ යුතු කාර්යයට රාජ්‍ය සේවයේ දහ පහළොස් දෙනකු යොදවන්නට සිදුවීමත් ඒ හරහා රාජ්‍ය සේවයේ මෙහෙවර වන කාර්යක්ෂම, විනයගරුක සේවාව වෙනුවට අකාර්යක්ෂම රාජ්‍ය සේවාවකට මඟ පැදී ඇත. එසේම තමන්ට වැටුප් ගෙවන්නට රාජ්‍ය ආදායමට දායක වන පුද්ගලයන්ගෙන් අල්ලස් ගැනීමටද මං පෙත් සාදාගෙන තිබේ. එවන් රාජ්‍ය සේවයකින් ඇති ඵලය කුමක්ද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරනු ඇත. ශ්‍රී ලංකාවට ණය ආධාර දෙන විදේශීය මූල්‍ය ආයතන පවා අවස්ථා ගණනාවකදී මෙරට රාජ්‍ය සේවාවේ අකාර්යක්ෂමතාවය ගැන කරුණු දක්වා තිබේ. කිසිදු හේතුවක් මත පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වා ගෙන නොයා යුතු බවට ඔවුන් නිර්දේශද ලබා දී ඇත. එහෙත් එම ආයතන පෞද්ගලීකරණය කරනවාට වෘත්තීය සමිති විරෝධය එල්ල වේ. එම නිසා රජයට එම ආයතන දිගින් දිගටම පාඩු පිට පවත්වාගෙන යාමට සිදුව ඇත.

සියල්ලටම පෙර රාජ්‍ය සේවාවේ අභ්‍යන්තරයට ඇස පොවා බැලිය යුතුය. රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් මීට වසර 3කට පමණ පෙර එනම් 2019 වසරේ පර්යේෂණයක් සිදු කරන ලදී. ඒ පෙර වසරේ එනම් 2018 වසරේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙනි.

ඒ වන විට සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,104,419 ක් විය. එයින් අ.පො.ස (සා.පෙළ) වත් සමත් නොවූ රාජ්‍ය සේවකයයන් 196,128 ක් සිටින බව දැක්විණි. එය සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ නම් 17.8% කි. එසේම අ.පො.ස (සා.පෙළ) සමත් වූ පුද්ගලයන් ගේ සංඛ්‍යාව 223,429 ක් විය. ප්‍රතිශතයක් ලෙස එය 20.2%ක් වූ අතර අ.පො.ස (උ.පෙළ) සමත් වු සංඛ්‍යාව 395,175 ක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 35.8%ක් ලෙස දැක්වුණි. උපාධිධාරීන් සංඛ්‍යාව 209,153 ක් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 18.9%කි. පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් සේවකයන් 46,847 කි. (ප්‍රතිශතය 4.2%කි). එසේම පශ්චාත් උපාධිය සමත් පුද්ගලයන් ගේ සංඛ්‍යාව 30.191කි.( ප්‍රතිශතය 2.7%කි) එසේම ආචාර්ය උපාධිය සමත් පුද්ගලයන් ගේ සංඛ්‍යාව 3,296 කි. (0.3%)

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ උපයන සෑම රුපියල් 100කින් රුපියල් 44 කට වැඩි මුදලක් වැය වනුයේ රාජ්‍ය සේවාව සඳහාය.

වර්තමානය වන විට ලක්ෂ 15කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයේ නියැළෙති. එම රාජ්‍ය සේවකයන් එක් අයෙක් දිනකට එක විනාඩියක් තම කාලයෙන් අපතේ ඇරියහොත් දිනකදී අපතේ යන මිනිත්තු සංඛ්‍යාව ලක්ෂ 15කි. එනම් දින 1041ක් හෙවත් වසර 3ක් පමණ පූර්ණ ශ්‍රමයක් එයින් අපතේ යනු ඇත. මිනිත්තු දෙකක් වූ කල එය දෙගුණ වේ. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ගැන ඊට වඩා අපට තර්ක අවශ්‍යයද? එසේම එක් සේවකයෙක් දිනකට එක් කඩදාසියක් අපතේ යැවුවහොත් හෝ එක් කඩදාසියක් රැගෙන ගියහොත් කඩදාසි ලක්ෂ 15ක් හෙවත් ඒ 4 ප්‍රමාණයේ කොළ 100ක් අඩංගු පැකට් 15,000ක් දිනකදී රජයට අහිමි වනු ඇත. එහිදී ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් අහිමි වනු ඇත. එක් සේවකයෙක් දිනකට එල් අල්පෙනෙත්තක් විසි කර දැමුවහොත් දිනකට අල්පෙනෙති ලක්ෂ 15ක් අහිමි වනු ඇත. මේ විනාශ වී යන රාජ්‍ය සම්පත් පිළිබඳ සරල පැහැදිලි කිරීමකි.

එසේම ඔවුන් නඩත්තුව වෙනුවෙන් වැය කළ යුතු අත්‍යවශ්‍ය සනීපාරක්ෂක හා ජල පහසුකම් හා විදුලි පහසුකම් වෙනුවෙන් වැය කළ යුතු මුදල් ප්‍රමාණය කෙතරම් යැයි සිතනවාද? සාමාන්‍යයෙන් වැසිකිළියක් භාවිත කිරීමෙන් පසුව එය පවිත්‍ර කිරීම සඳහා ජලය ලීටර් 12ත් 15ත් අතර ප්‍රමාණයක් වැය වේ. පැය 8ක කාලයක් සේවය කරන සේවකයකු අවම වශයෙන් දිනකට තුන් වරක් වැසිකිළි භාවිත කළහොත් සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දිනකට වැසිකිළි සඳහා පමණක් අවම වශයෙන් ජලය ලීටර් කෝටි 6.75ක් වැය වනු ඇත. ඒ සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණය කොතරම් වේදැයි සිතා ගැන්මට හැකි වේද?

රජයේ දත්ත අනුව 2022 වසරේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2284ක් වනු ඇත. රජයේ මුළු වියදම රුපියල් බිලියන 3912කි. අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවාගෙන ඇති 53,000කට අධික උපාධිධාරීන්ගේ සේවය 2022 ජනවාරි මස සිට ස්ථිර කරන ලදී ඒ සඳහා රුපියල් මිලියන 27,600ක් වැය වේ.

එවන් අතිවිශාල වැයක් දරනු ලබන රාජ්‍ය සේවකයාට ලැබෙන අසීමිත වරප්‍රසාද රැසකි. ඒවා ගැන සිහිනෙන්වත් සිතන්නට පෞද්ගලික අංශයේ සේවකයන්ට වරම් නැත. රාජ්‍ය සේවකයාගේ සේවා කාලය උදේ 8.30 සිට සවස 4.15 දක්වාය. සතියේ වැඩ කරන්නේ දින 5කි. සියලු ප්‍රසිද්ධ නිවාඩු ඔවුන්ට හිමි වේ. ඒ අනුව ආසන්න වශයෙන් මසකට වැඩ කරන දින ගණන 20ක් හෙවත් මාසයෙන් 2/3ක කාලයක් පමණි. ඔවුන්ට අනියම් නිවාඩු 21කි.

විවේක නිවාඩු 24කි. සීමාවක් නැති වැටුප් සහිත අසනීප නිවාඩු හිමි වේ. සේවා කාලය මත වාර්ෂිකව සිදුවන අනිවාර්ය වැටුප් වැඩිකිරීම් හිමි වේ. අග්‍රහාර රක්ෂණය හිමිය. වසර 10කට පසු විශ්‍රාම වැටුප් හිමි වේ. වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුපට සුදුසුකම් ඇත.

ඊට අමතරව සුබසාධන රැසකි. එයින් ප්‍රධාන වන්නේ වාර්ෂිකව සිය පවුලටම හිමි වන අවස්ථා 3කදී නොමිලේ දුම්රියේ ගමන් කිරීමට බලපත්‍ර හිමිවීමයි. එසේම දිවයින පුරා පිහිටි සංචාරක බංගලාවන් පහසු මිලට ලබා ගත හැකිය. බදු රහිත මිලට බයිසිකල් මිල දී ගත හැකිය. 4%ක සහන පොලියට ණය ලබා ගත හැකිය. දේපළ මිලට ගැනීම සඳහා ලක්ෂ 30ක් දක්වා ණය හිමි වේ. එසේම විධායක ශ්‍රේණියට දුරකථන දීමනා, ඉන්ධන දීමනා, විදේශීය පුහුණු, දේශීය පුහුණු, විදේශ සංචාර යන උපරිම පහසුකම් හිමි වේ.

රාජකාරියට පැමිණියත් නැතත් වැටුප් හිමි වේ. කොවිඩ් -19 නිසා රටම වසා තිබූ කාලය හොඳම උදාහරණයයි. වැඩ වර්ජනය කරමින් මාසයක් ගත කළත් වැටුප් හිමි වේ.

සමස්ත ලක්වාසී ලක්ෂ 220ක් වන ජනතාව විසින් ගෙවන බදු මුදලින් 86%ක මුදලක් ලක්ෂ 15 ක් වන මේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැයවේ. එවන් අතිවිශාල මුදලක් ගෙවා අපට ලැබෙන සේවාව තෘප්තිමත්ද? ශ්‍රී ලංකාව විසින් කිසිදු මුදලක් ණය ලෙසින් විදේශීය ආයතනවලට නොගෙවන්නේ යැයි උපකල්පනය කළද සමස්ත බදු ආදායමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවූ විට ඉතිරි වන්නේ 14%ක ප්‍රමාණයකි.

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,216 කි. එයින් පෙර පැවසූ ලෙසින් රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 1,051 ක් වැය වේ. ඒ අනුව රාජ්‍ය සේවයේ වැටුප් 1%කින් අඩු තළහොත් රජයට ඉතිරි වන මුදල රුපියල් බිලියන 10 කි. මිලියන 22ක් වන ජනගහනයෙන් රාජ්‍ය සේවකයන් මිලියන 1.5ක් නිසා රාජ්‍ය ආදායමට රාජ්‍ය සේවකයන්ගේ දායකත්වය 6.8%ක් පමණකි. ඒ අනුව ඔවුන් රාජ්‍ය ආදායමට 6.8%ක් ලබා දී රාජ්‍ය ආදායමෙන් 86%ක් ආපසු භුක්ති විඳිති.

ඒ අනුව මිලියන 1.5ක් වන රාජ්‍ය සේවකයන් රාජ්‍ය ආදායමෙන් 86%ක් භුක්තිවිඳින විට මිලියන 20.5ක් වන පෞද්ගලික අංශයේ හා අනෙක් සාමාන්‍ය ජනතාවට රාජ්‍ය ආදායමෙන් 14%ක ප්‍රතිලාභයක් පමණයි හිමි වේ. මෙය සැබැවින්ම සාධාරණද?

එවන් තත්ත්වයක් තුළ රජයේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය විසින් ගෙන එනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිවීමට රාජ්‍ය සේවකයන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බව බොහෝ දෙනාගේ මතයයි. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීමයි. කුමන හෝ අයුරකින් රජයේ බදු ආදායම වැඩි කළ යුතුය. නොඑසේ නම් රාජ්‍ය සේවය කප්පාදු කළ යුතුය. මේ ඇතැම් විද්වතුන්ගේ මතයයි.

එහෙත් මධ්‍යස්ථව බැලූ විට අපට මතුවන ගැටලුවට විසඳුමක් එහි නැත. රාජ්‍ය සේවය අකාර්යක්ෂම වන්නේ පාඩුවන්නේ රාජ්‍ය සේවකයාගේ වරදින්ද? නැත්නම් එහි ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටලුවක්ද?

සමස්ත පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව 246,592 කි. එයින් බහුතරයක් එනම් 74.7%ක් එනම් 184,125ක් ගුරුවරියන්ය. 25.3%ක් එනම් ගුරුවරුන් සංඛ්‍යාව 62,467ක් ගුරුවරුන්ය. මේ ගුරුවරුන්ගේ කාර්යය නිසි පරිදි සිදු කෙරෙන්නේ නම් ටියුෂන් පන්ති අවශ්‍ය වන්නේද? රජයේ පාසල් ආචාර්යවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම නොකළ යුතු බවට චක්‍රලේඛ උපදෙස් ලබා දී තිබියදී එසේ සිදු කරන්නේ කෙසේද?

රාජ්‍ය සේවාවේ විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දැමීම සම්බන්ධයෙන්ද සමාජයේ දැඩි කතාබහට ලක්විය. එය 60 දක්වා නොව පෙර පරිදි අවුරුදු 55 දක්වාම අඩු කළ යුතු බවට තවත් සමාජ විචාරකයන්ගේ මතය වී තිබේ.

රාජ්‍ය සේවයේ ඇති මේ කඩාවැටීමත් එය ගොඩ ගැනීම කළ නොහැකිද යන්න ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගෙන් සිළුමිණ විමසන ලදී.

රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් අපි බලන්න ඕන ඇයි රාජ්‍ය සේවය අකාර්යක්ෂම කියලා. ඒ වගේම ඇයි රාජ්‍ය සේවාව පාඩු ලබන්නෙ කියලා.

මේ සේවාවන් රජයේ අයිතිය තිබීම නිසාද මේ තත්ත්වය ඇතිව තිබෙන්නේ කියන එක ගැන ඇත්තේ වෙනම ගැටලුවක්. ඒක හරියට එක පාසලක දරුවන්ගේ නොමනා ක්‍රියාකාරීත්වය නිසා සමස්ත දරුවන්ම පාසල් නොයැවීම වැනි කතාවක්. රාජ්‍ය සේවය ප්‍රධාන වශයෙන්ම අංශ දෙකක් තියෙනවානෙ. එයින් රාජ්‍ය දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ වැනි ඍජු රාජ්‍ය ආයතන හා රජයට අයත් වාණිජ හා කර්මාන්ත වැනි ආයතනවල පරිපාලන ව්‍යුහය ආකාර දෙකකින් ක්‍රියාත්මක වන්නේ.

අයිතිය රජය සතුව තිබීම නම් ගැටලුව ලෝකයේ තියෙන සියලු රාජ්‍ය ආයතන කාබාසිනියා වෙලා තියෙන්න ඕනනෙ. නමුත් සිංගප්පූරුව වගේ රටවල රාජ්‍ය ආයතන ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ තියෙන්නෙ රාජ්‍ය සේවයේ සකස් කරගෙන තියෙන ආකාරය. ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය ආයතනවල කළමනාකරණය ස්වාධීන නැහැ. වාණිජමය කටයුතු ආයතනයට සකස් කර ගැනීමේ ව්‍යුහයක් සකස් කරලා නැහැ. විනය පද්ධතිය ආයතනයට සකස් කර ගන්න අවකාශ නැහැ. මේ සියල්ල රාජ්‍ය යන්ත්‍රණය ඇතුළේ තියෙන රෙගුලාසිවලින් කොටුවෙලා තියෙන්නෙ.

මීට එක් උදාහරණයක් පමණක් දෙන්නම්. මම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත් කටයුතු කළා. 17,000ක රාජ්‍ය සේවකයන් ඉන්න දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට මොකක්ද කරන්න පුළුවන්. ඔහුට දුම්රිය කාලසටහනක් වෙනස් කරන්න විතරයි පුළුවන්.

ඔහුට පිරිස නැත්නම් ප්‍රාග්ධනය පාලනය කිරීමේ හැකියාවක් නැහැ.

උදාහරණයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට ඉංජිනේරුවන් බඳවා ගැනීටම අවශ්‍ය වුණොත් ඒ බඳවා ගැනීම් කරන්නෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්. විනය කටයුතු කරන්නෙ රාජ්‍ය සේවා කොමිසම විසින්. වැටුප් සකස් කිරීම කරන්නෙ රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන්. මේ වගේ තත්ත්වයක් යටතේ ආයතන ප්‍රධානියකුට කටයුතු කරන්න බැහැ. යම් කිසි අයෙක් වරදක් කළොත් ආයතන ප්‍රධානියට තියෙන්නෙ ලිපි ගොනු පුරව පුරව එහාට මෙහාට යවන්න විතරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවට ලිපිකරුවන් 600ක පුරප්පාඩුවක් තිබුණා. මම බඳවා ගැනීම් කරන්න කියලා දැනුම් දුන්නහම මට ලිපියක් ලැබෙනවා ඔබට බඳවා ගැනීමට අයිතියක් නැත කියලා. ඒ බලතල තියෙන්නෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඉන්න ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. ඔහු ලිපිකරුවන් බඳවා ගෙන රාජ්‍ය සේවයට බෙදා හරිනවා. වැඩි ප්‍රමාණයක් පත් වෙන්නෙ කාන්තාවන්. එතකොට දුම්රිය අංගණ, ධාවනාගාර මේ අස්සේ දිවා රාත්‍රී කටයුතු කරන්න කාන්තාවන් යෙදවීම අපහසුයි. ඒ අය පත්වුණහම ඒ අයට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අදටත් ඉන්නවා මීට වසර කිහිපයකට කලින් දෙපාර්තමේන්තුවට කම්කරු තනතුර යටතේ බඳවා ගත්ත අය කිසිදු කාර්යයක් නොකර. ඒ අයට තියෙන්නෙ සිල්පර කොට එසවීම, රේල්පීලි දැමීමට සහාය වීම වගේ කාර්යයන්, කාන්තාවන් 400ක් පමණ ඒ ලෙසින් සේවයට බඳවා ගෙන තියෙනවා. නමුත් ඒ කාර්යයන්ට යොදවන්න බැහැ.

අත පය හතර බැඳලා පීනන්න කියනවා වගේ වැඩක් තමයි රාජ්‍ය සේවයේ තියෙන්නෙ. වම් අත රාජ්‍ය කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව අල්ලගෙන, දකුණු අත රාජ්‍ය සේවා කොමිසම අල්ලගෙන, වම් කකුල ඒකාබද්ධ සේවය අල්ලගෙන දකුණු කකුල වැටුප් කොමිසම අල්ලගෙන. ඉතින් පීනන්න පුළුවන්ද?

රාජ්‍ය සේවයේ ඕන දැගලිල්ලක් කරන්න පුළුවන්නෙ. වැඩිම වුණොත් සංචිතයකට දාන එකනෙ වෙන්නෙ.

රාජ්‍ය සේවයේ වගවීම සහ බලතල අවශ්‍ය වෙනවා. බලතල තිබුණොත් අදාළ කටයුතු නිසි ලෙසින් කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා වගවීමත් තියෙන්න ඕන. නැත්නම් අන්තයටම ගිහින් දූෂණය විතරයි ඉතුරු වෙන්නෙ.

රාජ්‍ය සේවයට හොඳම උදාහරණය සිංගප්පූරුවේ TEMASEK ව්‍යුහය හරහා ගන්න පුළුවන්. ඒ යටතේ රජයේ සේවා හා වාණිජ සැපයුම් ආයතන එකම රාමුවකට යොමු කර තියෙන්නෙ. ඒ අතරේ යම් සුබසාධන සේවාවක් තියෙනවානම් ඒ සඳහාත් අවශ්‍ය පියවර අරගෙන තියෙන්නෙ. රාජ්‍ය සේවයේ වගවීම හා බලතල ආයතන මට්ටමින් විමධ්‍යගත කළොත් ආර්ථිකයට බරක් නොවන සේවාවක් සපයන්නත් දූෂණය නැති කරන්නත් පුළුවන්. ඒක නොකර මොන සංකල්ප ගෙනාවත් වැඩක් නැහැ.

ඒ අතරේ රාජ්‍ය සේවකයන් නිවසේ තබා රාජකාරි කිරීමේ කාර්යයක් කෙරෙහි රජයේ අවධානය යොමු විය. එය සාර්ථක වෙයිද? මේ සම්බන්ධයෙන් අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිගෙන් විමසුවෙමු.

‘‘රාජ්‍ය සේවකයන් ඉන්නෙ මහජන සේවාවන් ඉටු කිරීම සඳහායි. මහජනතාව එනවිට ඔවුන් සේවයේ නැත්නම් එතන සේවාවක් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒක ජනතාවට කරන බලවත් අසාධාරණයක්.

ඒ වගේම අපි අතිවිශාල මුදලක් වැය කරලා මේ මිලියන 1.5කට වැටුප් ගෙවනවා. අනෙක් සේවාවන් මාසයකට දවස් 26ක් 27ක් වැඩ රාජ්‍ය සේවකයන් දින 20ක් පමණ වැඩ කරලා එයත් දින 4ක් 5ක් දක්වා අඩු කර ගැනීමත් ගැටලුවක්. ඒ වගේම පිරිසක් දින 20ක් වැඩ කරන්නත් තවත් පිරිසක් දින 5ක් වැඩ කිරීමෙත් ඇති සාධාරණය මොකක්ද? අලුතින් බඳවා ගත් අය කාර්යයක් නැතිව ඉන්න බව ඔබ ඇතුළු මාධ්‍යම පෙන්වා දෙනවා. ඒ අය නිවසේ තබා වැටුපෙන් 2/3ක් ගෙවීම වැනි කාර්යයක් කිරීමයි උචිත වන්නේ.

එසේ නොකර සමස්ත රාජ්‍ය සේවයටම පොදු ලෙසින් නිවසේ තබා කාර්යයන් කිරීම උචිත වන්නේ නැහැ. එය සේවාවක් වන්නේත් නැහැ. එතනයි ගැටලුව වන්නේ‘‘

එසේම අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති පදුල ශ්‍රී රෝහණ ද සිල්වා ගෙන් විමසුවෙමු.

‘‘ඇත්තෙන්ම 1972 හා 1978 ව්‍යවස්ථා මඟින් රාජ්‍ය සේවය දේශපාලනය වෙලා තියෙන්නෙ. ඒක නිසා තමයි පොලිස්පතිවරයා පසුගිය දවසක කියලා තිබුණෙ සුදුසුකම් අනුව පොලිස් ස්ථානාධිපතිවරු පත් කරන්න පුළුවන් වුණේ දෙදෙනකුට විතරයි කියලා. 

රාජ්‍ය සේවාව මේ පත්වෙලා තියෙන තත්ත්වයට වග කියන්න ඕන අය පිළිවෙළින් කියනවානම් පළමු වැන්න දේශපාලනයයි. දෙවැන්න මහජනතාවයි. තුන්වැන්න රාජ්‍ය සේවකයායි.

රාජ්‍ය සේවාවට අද බඳවා ගැනීම් කරන්නෙ දේශපාලන අවශ්‍යතාවයට මිස පුරප්පාඩු පිරවීමටම නෙමෙයි.

රාජ්‍ය සේවය ස්වාධීන විය යුතුයි. ගුරුවරුන්ට ග්‍රාම නිලධාරීන්ට වැනි ඇතැම් පාර්ශ්වයවලට ඍජුවම දේශපාලනය කිරීමේ අයිතිය ලබා දීල තියෙනවා. ඔවුන් පළාත්පාලන ආයතනවලට පවා තරග කරනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල දේශපාලන වෘත්තීය සමිති කරන්නෙ මොකක්ද? ඒ අය තමන්ගේ පක්ෂයේ මතය තමයි ගෙනියන්නෙ. ඉතින් සේවාවක් කරන්නේ කොහොමද?

රාජ්‍ය සේවය අකර්මණ්‍ය වෙලා තියෙන්නෙ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නිසි ප්‍රතිපත්තියක් නැතිකම නිසයි. ඒ සඳහා විනය මුල් කරගත් නිසි සේවා පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි. ඒ තත්ත්වය ඇති කළොත් සතියකින් සියලු සේවකයන්ට ඒ තත්ත්වයට අනුගත වෙන්න පුළුවන්. තවත් මාස දෙකකින් සමස්ත සේවාවම හදන්න පුළුවන් වෙනවා. විනයක් නැති තැන කිසිසේත්ම සේවාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහිදී විශ්‍රාම වයස 55ද 65 ද කියන එක අනුව නෙමෙයි එය රඳා පවතින්නෙ. ‘‘

ඇත්තෙන්ම රාජ්‍ය සේවය රටට බරක් යැයි පැවසුවද එතැන ඇත්තේ නිසි කළමනාකරණයක් නොවීම බව මේ කරුණු ඔස්සේ ගම්‍ය වෙයි. මෑතදී බඳවා ගත් උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එහාට මෙහාට ගමන් කරමින් සිටින්නේ අසුන් ගැනීමට අසුනක් පවා නොමැති නිසාය. එවන් තත්ත්වයක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුවෙ පුරප්පාඩු 7,000කි. දුර සේවා දුම්රිය 22ක් මේ වන විට නවතා දමා ඇත්තේ දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් නොමැති නිසාය. තැපැල් දෙපාර්තමේන්තුවේ දිනක අතිකාල රුපියල් කෝටියක් පමණ වන බවද අපි හෙළි කළෙමු. එහි පුරප්පාඩු අතිවිශාලය.

ඒවා එසේ තිබියදී තවත් තැනක අතිරික්තයක් උපාධිධාරීහු සිටිති. රාජ්‍ය සේවයේ පිරිහීම යනු මෙයයි. එය කළමනාකරණය කරන තුරු සේවාව රටට බරක් පමණි.

Comments