රටේ පවතින ආර්ථික දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

රටේ පවතින ආර්ථික දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. රටේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීමට අගමැතිවරයාට අවශ්‍ය සහය ලැබෙයිද?   
2.  ජනතා බදු මුදලෙන් නඩත්තු වන රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගැනීමට ප්‍රායෝගිකව කළ යුත්තේ කුමක්ද? 
3. අගමැතිවරයා අනාවරණ කළ ඉදිරි දුෂ්කර කාලයට මුහුණ දීමේ අභියෝගය ජයගැනීමට කළ යුත්තේ කුමක්ද?
4. උද්ධමන අනුපාතිකයේ දෙවැනි තැනට ලංකාව පත්වීම අන්තර්ජාතිකව කෙසේ බලපෑම් කරයිද? 
5. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කළ යුතුයිද?

කාටවත් හදිසියේ පෙළහර පාන්න පුළුවන් තත්ත්වයක් නැහැ
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර

1නව අගමැතිවරයා රටේ තියෙන තත්ත්ව සමඟ මේ අභියෝගය බාර ගැනීමත් ලොකු දෙයක්. මේ සඳහා ආරාධනා කළත් සජිත් ප්‍රේමදාස මේ අභියෝගය බාර ගත්තේ නැහැ. රට වෙනුවෙන් අපිට යුතුකමක් තියෙනවා. මේ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන යන ක්‍රියාමාර්ගයට අපේ සහයෝගය ලබා දෙන්න අවශ්‍යයි. ඒ සඳහා අපි කකුලෙන් අදින්නේ නැතුව අපේ රට බව හිතට ගන්න ඕන. මේ ඇතිවෙලා තියෙන විශාල අර්බුදයෙන් කොහොමද ගොඩ එන්නේ කියන කාරණය පිළිබඳව යම් ස්ථිරසාර වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සඳහා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය හා ශක්තිය අපි දෙනවා. අද වෙනකොට මුලික අවශ්‍යතා විදිහට ඩීසල් පෙට්‍රල් වගේම ගෑස් අර්බුදය හා විදුලි කප්පාදුව ආහාරවල මිල ඉහළ යාම, බෙහෙත්වල විශාල හිඟය වගේ ඒවා පවතිනවා. මේ සමස්ත ප්‍රශ්නවලටම විසඳුම් හොයනවා කියන අභිගෝගය හදිසියේ කරන්න බැරි වුණත් රටක් හැටියට අපි සියලුදෙනාම මේ වෙලාවේ මේ අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කළ යුතුයි යන මතයේ තමයි අපි ඉන්නෙ.

2 මේ රාජ්‍ය සේවයේ අර්බුදය කාලයක් තිස්සේ ඇති වූ දේවල්වල ප්‍රතිඵලයක්. කාලයක් තිස්සේ තිබුණ ක්‍රියාවලියක්. හදිසියේ සිදුවූවක් නෙවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ටම බණිනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ රටේ අතිවිශාල රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම පිළිබඳවත් ගැටලු තියනවා. 2005 වෙනකොට ලක්ෂ අටක් තිබුණු රාජ්‍ය සේවක සංඛ්‍යාව 2015 වෙනකොට ලක්‍ෂ දාහතරකට වැඩි වුණා. ඇත්ත වශයෙන්ම මෙවන් රාජ්‍ය සේවයක් නඩත්තු කරන්න අපිට හරි අමාරුයි.ලංකාවේ අදායමින් සියයට 58 ක්‌ වැටුප් හා වියදම පමණක්. අපි අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය බැරෑරුම් ප්‍රශ්නයක්. කාර්යක්ෂමතාව සිදුවෙන්නේ නැහැ; විශාල සේවකයින් සංඛාවක් සිටීම නිසා. ඒ නිසා මෙය විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. මම සෑම විටම විශ්වාස කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන්වලට අවශ්‍යකරන රාජ්‍ය සේවකයන් නැහැ කියලා. නමුත් අවශ්‍ය නැති සේවාවන්වලට ඕන තරම් සේවකයන් සිටිනවා. මෙය වහාම විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඒ වගේම විශේෂයෙන්ම උපාධිධාරීන්ට රජයේ රැකියා දීම අපි කරගන්නා විශාල වරදක්. රට තුළ අධ්‍යපන ක්‍රමය සම්පූර්ණයෙන්ම සකස් කරගත යුතුයි. උසස් අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ට යම්කිසි විදිහකට රාජ්‍ය සේවයට එමේ හැකියාවක් ඇති නම් එහිදී යම් යම් ක්ෂේත්‍ර පිළිබඳ කල්පනා කර ඒ සඳහා සුදුසු අධ්‍යපාන ක්‍රමවේදයන්හි වෙනසක් ගෙනාවොත් හොඳයි. එසේ නොමැතිව සංවර්ධන නිලධාරීන් විදිහට බඳවා ගැනීමෙන් විශාල අර්බුදයක්‌ නිර්මාණය වෙනවා. අපිට අවශ්‍ය නොවන විශාල පිරිසක් රට තුළ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සිදු වෙනවා. මෙය විශාල අර්බුදයක් හැටියට තමයි අපි දකින්නේ.

3 නව අග්‍රාමාත්‍යවරයාට පමණක් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අගමැතිවරයාට අපේ ශක්තිය දිය යුතුයි. ඒ වගේම සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපි ස්ථාපිත කළ යුතුයි. එම ආණ්ඩුවේ සියලුම පක්‍ෂ එකතු වෙලා වැඩ කරනවා නම් එහිදී විශාල ස්ථාවරභාවයක් රටේ ඇති කරන්න පුළුවන් වෙයි. දේශපාලන ස්ථාවරභාවය නොමැති වීම තමයි අද රටේ ඇති ප්‍රධානතම අර්බුදය. IMF සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ ඇති ප්‍රධාන කාරණය තමයි රජයේ ස්ථාවරභාවය. එම ස්ථාවරභාවය ඇතිකර ගැනීමට නම් මේ රජයේ හෝ අග්‍රාමාත්‍යවරයාගේ කකුලෙන් අඳින්නේ නැතිව වැඩකරන වැඩපිළිවෙළක් අපි හදාගත යුතුයි.අවුරුද්දක් වැනි කාලයක් සියලුදෙනාම යම් සහයෝගයක් දෙනවා නම් නිහඬවම; එයයි මේ රට කරගෙන යන්න පුළුවන් හොඳම ක්‍රියාදාමය. මේ අර්බුදය අභියෝගයක්. අපි කාටවත් හදිසියේ පෙළහර පාන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා ඒක හොඳින් තේරුම් අරගෙන අපි සියලුම දෙනා කටයුතු කළ යුතුයි කියලයි මම හිතන්නේ.

4 ඒ සඳහා ඇත්ත වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ පොළී අනුපාතය ඉහළ යෑම වගේම රුපියලේ අගය පහළ යෑම. ඒ නිසා ඩොලරයට ගෙවන්න සිදුවෙලා තිබෙන රුපියල් සංඛ්‍යාව වැඩි වෙලා. ඒත් සමඟම ආනයන භාණ්ඩවල මිල විශාල ලෙස වැඩිවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම සිදුවුණා. මේ අර්බුදය ඇතිවෙලා තියෙන්නේ ඒ අර්බුද හරහායි. 46% උද්ධමනයකට දැන් රට තල්ලු වෙලා තියෙනවා. ඉන් 30% පමණ අද වනවිට අහාර උද්ධමනය විදිහට බලපාල තියෙනවා. මේවත් එක්ක විශාල අර්බුද. මෙය ක්‍රමානුකූලව පහළට දාගැනීම කරන්න අවශ්‍යයි. ස්ථාවර වැඩපිළිවෙළක් සහිතව විශේෂයෙන් රුපියල ස්ථාවර කරගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ සඳහා අපිට ඩොලර් බිලියන හතරක් විතර අවශ්‍ය වෙනවා. හදිසියේ මේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම සඳහා. ඒ වගේම ඩොලර් බිලියන අටක් විතර අපිට එකතු කරගන්න පුළුවන් නම් මේ අර්බුදය අපිට යම්තාක් දුරකට සමනය කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවෙයි කියලා අපි විශ්වාස කරනවා.

5මෙය පෞද්ගලීකරණය කර තිබූ සමාගමක්. 2009/10 වකවානුවේ. ඇතිවූ පුද්ගලික ආරවුලක් මත එයාර් ලංකා එක නැවත පවරා ගත්තා. රටක් මේ විදිහට නෙවෙයි ඇතැම් පාලකයන් කල්පනා කරන්නේ. ඒත් කල්පනා කළ යුතු වන්නේ රට ගැනයි. ඇත්තටම ශ්‍රී ලංකන් එයාර් ලයින් එක පුද්ගලීකරණය කළ යුතුමයි. එසේ නොමැතිව වෙන විකල්පයක් නැහැ. එය කරන්නේ කොහොමද කියලා කතා කරන්න ඕන. අපි එමිරේට් එකත් එක්ක මීට කලින් පෞද්ගලීකරණ ක්‍රියාවලියකට ගියා. ඒක නිසා තවදුරටත් මේ වගේ ගුවන් යානයක නොයන අය අද රුපියල් 17000/= ගෙවන්න ඕන මාසෙකට ඒ වියදමින්. ගම්වල ඉන්න අහිංසක දුප්පත් මනුස්සයත් ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක වෙනුවෙන් ගෙවන්න ඕන. ඔවුන් කවදාකවත් ගුවන් යානයක ගිහින් නැතුව ඇති. එය මහා ජාතික අපරාධයක්. ඒ නිසා අපි කියන්නේ මේ වගේ ආයතන තියෙනව නම් ලාබ ලබන්න බැරි; ඒවා වහාම පුද්ගලික හා රාජ්‍ය මිශ්‍ර වැඩපිළිවෙළකට යා යුතුයි. සම්පුර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීම නෙවෙයි මම මේ කියන්නේ. සබඳතා වැනි ක්‍රියාමාර්ග වැදගත්. ඒ නිසා යම් කොටසක් රජයට තියාගෙන ලාබ ලබන තත්ත්වයකට මේ ආයතන ගේන්න අවශ්‍යයි. අනිවාර්යෙන් පුද්ගලික අංශයත් සමඟ බද්ධ වෙලා කටයුතු කරන්න සිදු වෙනවා. ඒ හැර වෙන විකල්පයක් නැහැ. ගුවන් සේවා ලෝකේ හැම රටක්ම රාජ්‍ය ආයතන විදිහට තියාගත්තේ නැහැ. මොකද හේතුව මේවා ඉතාම ලාබ ලබන ඒවා නෙවෙයි. සේවා විදිහට තමයි මේවා තියාගෙන හිටියේ. නමුත් තවදුරටත් මේවා තබා ගැනීම තුළ ආර්ථික අර්බුදය වැඩිවෙනවා විතරයි.

සල්ලි අච්චු ගහපු නාටකේ ප්‍රතිඵල තමයි අපි මේ විඳින්නේ
- සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක

1 ඇත්ත වශයෙන්ම විදේශීය සහයක් අවශ්‍යයි. විදේශීය විනිමය අවශ්‍යයි කියන පදනමෙන් නම් ඔහු පත් කළේ. ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔහුත් එක්ක ඒ දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙන විදිහට කටයුතු කරනවා මිසක් මම පොර පෙන්වීමට කටයුතු කිරීමට උත්සහ නොකළ යුතුයි. පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයේ සිදුවුණේ එහෙම දෙයක්.රටේ නියෝජ්‍ය කථානායක ධූරය විශේෂයෙන්ම උගත් කැපී පෙනෙන කාන්තාවකට ලබා දුන්න නම් ජාත්‍යන්තර වශයෙන් අපේ ප්‍රතිරූපය ඉහළ යනවා. ජාතික වශයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපයත් ඉහළ යනවා. ඒක කරන්න පුළුවන් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේට, තලතා අතුකෝරලට, රෝහිනී කවිරත්න කියන තුන්දෙනානටයි. එහිදී රෝහිණී කවිරත්නව යෝජනා වුණා. ඒකට අකුල් හෙළලා, තවමත් පොරවල් කියලා පෙන්වන්න පිරිසක් කටයුතු කළා. තවමත් මේක පවුලේම වැඩක් කියන එක ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැතිරුණා. නව අගමැතිගෙන් බලාපොරොත්තු වෙනවා නම්; විදේශ විනිමය ගෙන ඒමට. IMF වැනි ජාත්‍යන්තර ආයතනයන් සමඟ සහ විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට නම් දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ මම පොරවල් වෙන්න දරන උත්සාහය ඒකට බාධාවක්.

2 රාජ්‍ය සේවය අනවශ්‍ය තරම් විශාල කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි. ඔහු 2004 බලයට එන වෙලාවේ 2005 ලක්‍ෂ හයයි රාජ්‍ය සේවකයන් හිටියේ. ඔහු යනකොට ලක්ෂ 15යි. ඒ කියන්නේ පඩිපත හතර ගුණයකින් වැඩි කළා. ඊළඟට ආව ආණ්ඩුවලිනුත් මෙය ආදර්ශයට අරන් තවත් පිරෙව්වා. නමුත් රනිල් වික්‍රමසිංහ යනකොට 10,6000 ක්‌ පුරප්පාඩු තිබුණා රාජ්‍ය සේවයේ. ගෝඨාභය රාජපක්ෂයන් ආපු හැටියේ; ඒ 106000 පිරෙව්වා. ඒ නිසා රාජ්‍ය සේවය එක පැත්තකින් මහා බරක් බවට පත්වන අතරම; රාජ්‍ය සේවයේ උපාය මාර්ගික ආයතනවලට දේශපාලන හෙංචයියෝ දැම්මා. අද සේවකයන්ගේ වැටුප් කපන්න කතා කරන එක වැරදියි. ඒ මූලික තීරණ අරන් තියෙන්නේ ඒ අයමයි. ඒ නිසා රාජ්‍ය සේවය අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. රාජ්‍ය ආයතන ප්‍රමාණය අනිවාර්යයෙන් මීට වඩා අඩු වෙන්න ඕන. රාජ්‍ය සේවක සංඛාවත් මීට වඩා අඩුවෙන්න ඕන.රාජ්‍ය මංකොල්ල කාපු පිරිසක් සමඟ ඒ ප්‍රතිසංස්කරණය රාජ්‍ය සේවයේ කරන්න බැහැ. රාජ්‍ය සේවකයෝ ඒක පිළිගන්නේ නැහැ.

3 අපි මේ වන විටත් ණය ගෙවීම පැහැර හැරලා තියෙනවා. ඊළඟට කිසිම රටකින් අපිට ආධාර මුදලක් ගන්න බැහැ. IMFඑකත් අපි ගැන සැහීමකට පත්වෙන්නේ නැහැ. අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව කළ යුතුයි. ඒ සඳහා අපේ මුල්‍ය උපදේශකයන් වගේම නීති උපදේශකයන් පත් කිරීමත් කෙටි කලකින් කළ යුතුයි. තවත් කල්මරමින් ඉන්න වෙලාවක් නැහැ. දැනට අපිට ඇත්තටම ඉතුරු වෙලා තියෙන්නේ ඉන්දියානු ණය ආධාර ක්‍රමයයි; චීනයෙන් ගන්න භාණ්ඩ සඳහා ලබා දීලා තිබෙන ණය ආධාර මුදලයි; ලෝක බැංකුවෙන් ලැබිලා තියෙන මානුෂිය ආධාර ප්‍රමාණයයි විතරයි. ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකු දෙකේ අපි හිරවෙලා තියෙනවා. නව අගමැතිතුමාට මිලියන 2000 ක්‌ පමණ ආපහු ගන්න හැකියාවක් ලැබුණොත් හා කෙටි කලක්‌ ඇතුළත අපගේ විදේශික ශ්‍රමිකයන් හා අනෙකුත් අයගේ ප්‍රේෂණ මිලියන 500 දක්වාවත් මසකට වැඩිකර ගන්න නැතිනම් යම් ආකාරයක පාලනයක් ඇතිකර ගන්න පුළුවන් වෙයි.

4 උද්ධමනයෙන් දෙවන ස්ථානය නෙවෙයි; ලංකාව එක කියලා පේනවා. උද්ධමනය පිළිබඳ ඔය දත්ත සකස් කරන රාජ්‍ය නිල ප්‍රතිපත්තියනේ. නමුත් රටේ මොකක්ද තත්ත්වය. රටේ තත්ත්වය පසුගිය අවුරුදු දෙකක කාලය තුළ සියයට තුන්සියයකින් බඩු මිල ඉහළ ගිහින් තියෙනවා. රටේ වැවෙන මැන්ගුස් ගෙඩියක් රු 240 යි; පේර ගෙඩියක් ඒකත් රු.240 යි. තුන් ගුණයකින් මිළ ඉහළ ගිහින්. ඒ නිසා ඔය කියන උද්ධමනය නෙවෙයි; ඇත්ත උද්ධමනය. උද්ධමනය ඊට වඩා බොහොම වැඩියි. ඒකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන මේ ආණ්ඩුවේ හිටපු මුදල් ඇමැති සහ මහ බැංකු අධිපති යන දෙන්නයි. සල්ලි අච්චු ගගහ නාටකයක් නැටුවා. ඒ නාටකයේ ප්‍රතිඵල තමයි ජනතාවට විඳින්න වෙලා තියෙන්නේ.

5 ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාබ ලැබුවයි කියන්නේ අමූලික බොරුවක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මෙතෙක් කාලයක් ආණ්ඩුවට බදු ගෙවන එක නතර කළා. ඒ නිසා ඩොලර් මිලියන දශම හතරක පමණ සුළු ලාබයක් ලැබිල තියෙනවා. එය ශ්‍රී ලංකන් එකට නෙවෙයි; සමස්ත සමාගමට. ඒක ලාබයි ලාබයි කියලා බොරු ආරංචි ඇරියේ ඒකෙ අලුතෙන් ගුවන්යානා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සකසන්න මතවාද හදන්නයි. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයට 2021 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 240ක්‌ දීලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට පෝර ටික ගන්න; බෙහෙත් ටික ගන්න තියෙන සල්ලි ටිකයි දීලා තියෙන්නෙ මේවට. ජනතාව අතරමං කරලා බලන් ඉන්න බැහැ අපිට. නමුත් මම හිතන්නේ නැහැ කිසි කෙනෙක් ඕක බාර ගනියි කියලා. ඔය තියෙන ණය කන්දත් එක්ක. අාසන්න වශයෙන් ඩොලර් මිලියන 900 ක ණය තියෙනවා.ඒ නිසා කවුරුවත් බාරගනී කියලා මම හිතන්නේ නැහැ. අන්තිමට ඒ ණය බාරගන්න වෙන්නෙත් මේ රටටමයි

මේ ආණ්ඩුවට බලයක් තියෙන අයගේ ප්‍රශ්නම තමයි ප්‍රමුඛම ප්‍රශ්නය වෙලා තියෙන්නේ
- ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිණි අමරසූරිය

1 අගමැතිවරයාට අවශ්‍ය සහය සහය ලැබෙන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුවේ වෙන දේවල් බැලුවාම පැහැදිලි වෙනවා අගමැතිවරයාට සහය ලැබෙනවාද නැද්ද කියලා නියෝජ්‍ය කථානායක පත්කිරීමට නැවත වතාවක් ඡන්දයකට යන්න වුණේ; අගමැතිගේ වුවමනාවට එහායින් ගිහිල්ල පොහොට්ටුව ඔවුන්ගේ නියෝජිතයෙක් ඉදිරිපත් කළා. ඒ අයට සම්මුතීන් හා එකඟතාවන් නැති බව ඉතාමත් පැහැදිලියි. අගමැතිවරයාට කොයි පැත්තක හිටගන්නද කියලා දන්නේ නැහැ කියලා අගමැතිවරයාම කිව්වා. මේ සිදුවූයේ ජනතාව අපේක්ෂා කළ දෙයක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා අගමැති කරලා ජාත්‍යන්තර සම්බන්ධතා වගේම ඔහු සතු අත්දැකීම් හා පරිණතභාවය තුළින් ඔක්කොම ප්‍රශ්න විසඳයි කියලා සමහර අය හිතුවේ. අපි මුල සිටම කිව්වේ මේ පත්වීම සිදුවුණේ අගමැති හැටියට තියෙන පරිණත බවක්වත් ජාත්‍යන්තර සම්බන්ධතා හින්දවත් නෙවෙයි . ඔහු විතරයි කොන්දේසි විරහිත ව මේකට එකඟ වුණේ. නමුත් ජනතාව මොකක්ද බලාපොරොත්තු වුණේ. ජනතාව බලාපොරොත්තු වුණේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම්. මේ දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයක් වෙන්නේ නැහැ‌. මෙයින් ඒ අයගේ ප්‍රශ්න විසඳෙයි ජනතාවට මුකුත් වෙන්නේ නැහැ. .

2 රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න රාජ්‍ය සේවයට වැඩ දෙන්න ඕන.ඒ වගේම දේශපාලන ඇඟිලි ගැසීම් නවතින්න ඕන.මේ වනවිට කාරණා දෙකක් සිද්ධවෙමින් පවතිනවා. රාජ්‍ය සේවයේ ඉන්න කාර්ය මණ්ඩලය අනවශ්‍ය විදිහට වැඩිකරලා තියන බවට විවාදයක් නැහැ. දේශපාලනඥයන් රාජ්‍ය සේවය තමන්ගේ දේශපාලන අරමුණු මුඳුන්පත් කරගැනීමට ඔවුන්ට අයිති දෙයක් විදිහට සලකා කටයුතු කිරීම නිසා මේ තත්වයට පත්වෙලා තියෙන්නේ. රැකියා නිර්මාණය කරන ආර්ථිකයක් හදනවා වෙනුවට රාජ්‍ය සේවය හරහා රැකියා ප්‍රශ්නය විසඳන්න උත්සහ කළා. ඒ නිසා දේශපාලනඥයන් රාජ්‍ය සේවයට බරක් වූණා. මේ රටේ රාජ්‍ය සේවකයන්ට කරන්න වැඩ තියෙනවා. නමුත් වැඩ කරන්න නම් සැලැස්මක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කටයුතු ගත්තොත් පරිපාලන කටයුතු සිදුවන තැනක්‌ම විය යුතු නැහැ. ඔවුන්ව ප්‍රයෝගිකව වැඩක් කරන්න යොදවලත් නැහැ; එයට අවශ්‍ය සම්පත් ලබාදීලත් නැහැ .

3 ඉදිරිය දුෂ්කරයි කියලා අපි දන්නවා; මෙය අලුත් කතාවක් නෙවෙයි. අනුර කුමාර අපේ පක්ෂ නායකවරයා අවුරුද්දක් තිස්සෙම කියනවා මේ අවුරුද්දේ මැයි ජුනි වෙනකොට ඉතාමත් අමාරු කාලයක් එන බව. වෙනත් අයත් කියලා තියෙනවා. සති දෙකකට විතර කලින් හිටපු මුදල් ඇමති අලි සබ්රිත් කිව්වා. ජනතාවත් මෙය දැනගෙන හිටියා. මෙයට මුහුණ දීමට ජනතාවගේ පැත්තෙන් කරන්න තියෙන්නේ පුළුවන් අය තම තමන්ගේ ජිවන රටාව වෙනස් කිරීමයි. උදාහරණයක් විදිහට අනවශ්‍ය ආකාරයට වාහන පාවිච්චි කිරීම වැනි දේවල්. වැඩිපුර පොදු ප්‍රවාහනය පාවිච්චි කිරීම වැදගත්. තියෙන මිනිස්සුන්ට පුළුවන් තව එක්කෙනෙක්ට උදව් කරන්න.එවැනි දේ කළ යුතුයි. ගම් වගේම සංවිධාන හැටියටත් සංවිධානය වී මෙම කටයුතු සිදුකළ යුතුයි. මෙවැනි කටයුතු සඳහා ආණ්ඩුව මැදිහත් වීමත් ඉතා වැදගත්. ආහාර සුරක්ෂිතතාව වැඩි කිරීමට ගම් මට්ටමින් දේවල් කරන්න පුළුවන් ද කියන කාරණය විමසා බැලීම වැදගත්. අපි ජාතික ජනබලවේගය හරහා කොට්ඨාස මට්ටමින් ඒ ගැන සාකච්ඡා කරනවා. ආණ්ඩුවට මුකුත් සැලසුම් නැහැ. මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න අවශ්‍යයි. මේ අවස්ථාවේ ජනතාව විශාල ලෙස පීඩාවකට පත්වෙලා.

කාගෙවත් ගෙයක් පුච්චනවා කියනෙක හෝ කාවවත් ප්‍රහාරයට ලක්කරනවා කියනෙක අපි අනුමත කරන්නේ නැහැ. නමුත් ඒක කොහොමද සිද්ධ වුණේ. එයත් අපි හිතන්න අවශ්‍යයි. මේ දේවල් දේශපාලනික පළිගැනීම් යුද්ධය නිසා බොහෝ සිවිල් ජනතාවටත් වුණා. දේශපාලනඥයන් වීම අති විශේෂ සිද්ධියක් කියලා ප්‍රතිචාර දැක්වීමේදී නැවත වතාවක් අපි කරන්නේ ජනතාව කුපිත කරන එකයි. මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දී අත්‍යවශ්‍යම බෙහෙත් නැති වෙලාවක අපි හැඟීමක් දෙනවා නම් අපේ ප්‍රශ්න මීට වඩා විශාලයි කියලා ඒක වැරදියි. දේශපාලනයේ ඉන්න යම්කිසි බලයක් තියෙන අයගේ ප්‍රශ්නය තමා ප්‍රමුඛම ප්‍රශ්නය වෙලා තියෙන්නේ. අද ජනතාවගේ තියෙන හැඟීම් හා පීඩනය කිසිසේත්ම තේරුම් අරගෙන නෙවෙයි වැඩ කරන්නේ. ඒක මේ පාර්ලිමේන්තුවේ දිනපතා ඔප්පු වෙන දෙයක්. ඒ නිසායි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවගේ තියෙන ජනතා හැඟීම්, ඉල්ලීම් හා අරගලය නියෝජනය කරන්නේ නැති බව. මෙය විකෘති වූ පාර්ලිමේන්තුවක්.

4 එය තමයි අද රටේ යථාර්ථය. ඉදිරියේදී තවත් වැඩිවෙයි. ඒ සමඟ විශාල පීඩනයක් ජනතාව මත වැටෙනවා. අපේ සංඛ්‍යා ලේඛන ගත්තත් අපේ රටේ බොහෝ අය හිටියේ දරිද්‍රතා දත්ත වගුවේ දරිද්‍රතා මට්ටමට වඩා ටිකක් උඩින්. පුංචි ආතතියක් සිදුවුණත් දුප්පත් කණ්ඩායමට වැටෙන විශාල අවධානමකින් යුතු පිරිසක් හිටියා. දැන් ඒ අය එතනට වැටිලා. මේ මොහොතේ සංඛාලේඛන අනුව දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රතිශතය ඉතාමත්ම ශිඝ්‍රයෙන් ඉහළ ගිහින්. ඊටත් වඩා මාධ්‍යම පාන්තික හා මෑතක මධ්‍යම පන්තියට ඇතුළු වූ පිරිස ඉන්නෙත් විශාල අවධානමක. ඔවුන්ගේ ජීවන රටාවත් ණයෙන් පිරුණු ජීවන රටාවක් බවට අද පත්වෙලා. ඔවුන්ගේ නිවෙස් සාදන්න, ළමයින්ට උගන්වන්න, වාහන ගන්න ආදී දේ සිදුකරන්න ලබාගත් ණය තියනවා. ඉපැයීම තුළ වන යම්කිසි ඉදිරියට ඇති දේවල් සමඟයි; ඔවුන්ගේ ජීවන රටාව හදා ගන්නේ. එය ස්ථාවරම අදායම් මාර්ගයක් නෙවෙයි. මාධ්‍යම පන්තියත් විශාල අවධානමක ඉන්නේ. ඔවුන් ඔවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යා යුතුයි. නමුත් ඔවුන් උපයන මුදල වර්තමාන උද්ධමනය නිසා එයට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ණය ගෙවා ගැනීමේ අපහසුතාවකට ඔවුන් මුහුණ දෙනවා. අද ජිවත් වීම පවා මධ්‍යම පන්තියට විශාල අභියෝගයක්. මේ වෙලාවේ උද්ධමනය ඉහළ ගිහින්. අදායම කිසිසේත් වැඩිවෙලා නැහැ. අදායම් කඩා වැටිලා තියෙන්නේ. රටේ අදායම් හා වියදම් අතර විශාල පරතරයක් තියෙනවා.

5 ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කරනවද නැද්ද කියලා තීරණය කරනවද නැද්ද කියන එක නෙවෙයි වැදගත්. නමුත් අපි හිතන්නේ නැහැ එය කළා කියලා මේ ප්‍රශ්නය විසඳෙනවා කියලා. පෞද්ගලීකරණය මීට පෙරත් කළා. සාර්ථක නම් රටේ ප්‍රශ්න තියෙන්න බැහැ. පෞද්ගලීකරණය කරලා ශ්‍රී ලංකන් එක තියාගන්නවද නැද්ද කියනෙක වෙනම කතාවක්. ඒකෙන් ප්‍රශ්න විසඳෙයි කියලා නම් අපි හිතන්නේ නැහැ.

Comments