බේරේ දී අරගලකරුවන්ගෙන් පහර කා මිය ගිය කුලියාපිටියේ හර්ෂ කුමාර | සිළුමිණ

බේරේ දී අරගලකරුවන්ගෙන් පහර කා මිය ගිය කුලියාපිටියේ හර්ෂ කුමාර

අවමංගල්‍ය බැනරය සහ හර්ෂ ප්‍රියන්ත සත්කුමාර

ගාලු මුවදොරපිටියේ අරගලකරුවන්ට ඉකුත් 09 වැනිදා එල්ල වූ ප්‍රහාරයත් ඉන් කුපිත වූ පිරිස් විසින් පෙරළා කළ පහරදීම්වලින් රට පුරා සිදු වූ විනාශයත් හේතුවෙන් හටගත් තිගැස්ම ජන සිත්වලින් තවම පහව ගොස් නැත. පහර දුන් සහ ප්‍රතිප්‍රහාර එල්ල කළ පාර්ශ්ව විසින් එකිනෙකා වෙත ඇඟිලි දිගු කරගනිමින් සිටින නමුත් මෙම සිදුවීම්වලට සෘජු සබඳතාවක් නොමැති අහිංසකයන්ට ද තාඩන පීඩනවලට ලක්වන්නට සිදුව ඇති බවට මේ වනවිට අනාවරණය වෙමින් පවතී. එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය 16 වැනිදාය. ඒ කොළඹ, බේරේ වැව ආසන්නයේ සිදු වූ සමූහ පහරදීමක ගොදුරක් වූ අයකු එ් ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව එදින අවසන් හුස්ම හෙළීම හේතුවෙනි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ කුලියාපිටිය, ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි හර්ෂ ප්‍රියන්ත සත්කුමාරය. පවුල් බරක් නොමැති සැහැල්ලු ජීවිතයක් ගෙවා දමමින් සිටි කුමාර මියයන මොහොත තෙක්ම අවිවාහකව සිටි අයකු විය. මහමඟ සිදු වූ මිලේච්ඡ පහරදීමක ගොදුරක්ව සිය ජීවිතයෙන් ආකාලයේ සමුගන්නට සිදු වූ කුමාරගේ සැබෑ තතු සොයා ගලහිටියාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසට අප ගොඩවදින අවස්ථාව වනවිට කුමාරගේ මෘතදේහය පෙරටු කරගත් අවමංගල සභාව පැවැත්වෙමින් තිබිණි.

උප්පැන්න සහතිකයේ හර්ෂ ප්‍රියන්ත සත්කුමාර ලෙස සටහන්ව තිබුණද ගලහිටියාව සහ ඒ අවට ප්‍රදේශවාසීන් විසින් ඔහුව හැඳින්වූයේ හැදින්වූයේ වූ "වංගු කුමාර" යන අනවර්ථ නාමයෙනි. ගලහිටියාව ප්‍රදේශයේ කුමාර යන නම ඇති බොහෝ දෙනකු සිටීමත් ප්‍රියන්තගේ මුල් පදිංචි නිවෙස වංගු සහිත මාර්ගයක් අසල පිහිටීමත් නිසා ඔහුට වංගු කුමාර යන නාමය පටබැඳී ඇත.

පවුල් බරින් තොර අයකු වීම හේතුවෙන් කුමාරගේ ජීවිතය කිසිවකුටත් කරදරයක් නොමැතිව නිදහසේ ගලාගිය එකක් විය. ස්ථිර රැකියාවක් නොකළ කුමාර ලැබෙන ඕනෑම වැඩක් කර කීයක් හෝ උපයා ගැනීමට හුරුවී සිටි අයෙකි.

මේසන් වැඩ, කුලී වැඩ, වතු වැඩ ආදී මේ කොයි වැඩත් ඔහුගේ දෑතට හුරුව තිබිණි. පන්සලේ, ගමේ, සමිතියේ සිදුවන ඕනෑම කටයුත්තකදී සිය දායකත්වය නොමඳව ලබාදීමට ඔහු නොපැකිළව ඉදිරිපත් විය.

මරණය, මඟුල, දානය, පිරිත සහ ශ්‍රමදානය ආදී ඕනෑම පොදු වැඩකදී තමන්ට හැකි පමණින් ඊට උදවුපදවු කිරීමට කුමාර හුරු වී සිටියේය. කුමාර විසින් ගෙවමින් සිටි මේ සරල ජීවිතය නිසාම ඇතැමුන් ඔවුන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් ද කුමාර පාවිච්චි කරමින් තිබිණි. ගමනක් බිමනක් වැනි වැඩකට ඇරැයුමක් ලැබුණොත් කුමාර ඊට එක සිතින් එක්විය.

පසුගිය 09 වැනිදා කොළඹ ගමනට කුමාර එක්වන්නේ ද එවැනි හදිසි ඇරයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. සිය නිවෙසේ නිදාගෙන සිටි කුමාර සොයාගෙන ආ පිරිසක් ඔහුව දඩිබිඩියේ සූදානම් කරවාගෙන කොළඹ ගමනට එකතු කරගෙන ඇත.

කුමාරට ලේ කිරි කර පොවා, කරදඬු උස්මහත් කර වූ මෑණියන් වන 74 හැවිරිදි ලීලාවතී ඒ පිළිබඳ හැඬූ කඳුළින් යුතුව මෙසේ කීවාය.

" 09 වැනිදා උදේ පුතා ගෙදර නිදාගෙන හිටියේ. කට්ටියක් ඇවිල්ලා පුතාව ඇහැරෙව්වා. ගමනක් යන්න තියෙනවා ලෑස්ති වෙයන් කියලා කියනවා ඇහුණා. ඒ පාර තමයි පුතා කමිසයක්, කලිසමක් ඇඳගෙන ඒ අයත් එක්ක පිටත් වුණේ. පුතා යන එන ගමන් ගැන අපිට කියන පුරුද්දක් එයාට නෑ. එක එක විදිහේ වැඩවලට යනවා. මේසන් වැඩවලට තමයි හුඟක්ම ගියේ. කොන්ක්‍රීට් දාන ඒවා වාගේ වැඩ හම්බවුනාම දවස් දෙක තුන ගෙදර එන්නේ නැතිව නැවතිලා වැඩ කරනවා. ඒ නිසා අපිත් එයාගෙ ගමන් බිමන් ගැන අහන්න ගියේ නෑ. එහෙම අහනවටත් පුතා කැමැති වුණේ නෑ. නව වැනිදා හවස් වෙද්දි තමයි අපි දැනගත්තේ පුතාට ගහලා ඉස්පිරිතාලෙට ගිහින් දාලා ඉන්නවා කියලා. අනිත් දරුවෝ මාව ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. ඒ වුණාට මැරෙන්න ඉස්සරවෙලා මට පුතා එක්ක වචනයක් කතා කරන්න ලැබුණේ නැහැ. " යැයි කියමින් ඕ වියපත් දෑසින් කඳුළු සැලුවාය.

සිය නිවෙසින් පිටත්වීමෙන් පසුව ඔහුට මුහුණදීමට සිදුවූයේ මොනවාටදැයි දන්නේ කුමාර ම පමණි. ඔහු ඇතැම්විට ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ වන්නට ඇත. නොඑසේ නම් ඊට කිසිදු සම්බන්ධයක් නොමැතිව පැත්තකට වී සිටියා ද විය හැකිය. ඔහුව කැඳවාගෙන ආ පිරිස කුමාර බිලිවෙන්නට හැර එතැනින් පලා ගියා ද විය හැකිය. මේ කුමක් සිදු වූ නමුත් කුපිතව සිටි පිරිසගේ දෑස්වලට කුමාර පෙනෙන්නට ඇත්තේ ගෝල්ෆේස් ප්‍රහාරය සඳහා පැමිණි තවත් එක් ප්‍රහාරකයකු ලෙස පමණි. ඒ නිසාම ඔහුට වටකරගෙන පහර දෙන්නට ඇත. තමන් නිර්දෝෂී බව කියන්නට කුමාර බොහෝ උත්සාහ කරන්නට ඇති නමුත් පහර දුන් පිරිසට ඒ අයැදීම් ඇසෙන්නට නැත. ඒ නිසාම කුමාරගේ හිස සහ සිරුර පුපුරා යන ලෙස පහර පිට පහර එල්ලවන්නට ඇත.

කුමාර මෙලෙස පහරකෑමට ලක්වන්නේ කොල්ලුපිටිය පොලිස් වසමට අයත් පෙරහැර මාවත හා බේරේ වැව අතර පිහිටා ඇති පදික වේදිකාවේදීය.

පහරකෑමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි කුමාර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කෙරිණි. කුමාරගේ තත්ත්වය වඩා බරපතළ වූ බැවින් එතැනින් ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය. සතියක කාලයක් තිස්සේ ජීවිතය ඉල්ලා සටන් කළ කුමාර පසුගිය 16 වැනිදා ඒ සටන අතහැර දමමින් අවසන් හුස්ම හෙළීය.

ඒ ඔහු පහරකෑමට ලක්වීමෙන් හරියටම සතියකට පසුය. ඉකුත් 18 වැනිදා කොළඹ ජාතික රෝහලේ දී පැවැති කුමාරගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ පහරදීමේදී හිසට සහ පපුවට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බවටය.

කුමාරගේ මළගමේදී අපට මුණගැසුණු අනන්‍යතාව හෙළිකිරීමට අකැමැති වූ ඔහුගේ ඥාතියකු මෙලෙස පැවසීය.

"ගෙදර නිදාගෙන හිටිය මනුස්සයා අරගෙන ගිහින් මරලා දැම්මා වගේ වැඩක් තමයි මෙතැන වෙලා තියෙන්නේ. යම්කිසි පිරිසකගේ වුවමනාව වෙනුවෙන් ඒ අය සතුටු කරන්න ගිය ගමන කෙළවර වුණේ මරණයෙන්.

ඒ ගියෙත් හොඳ ගමනක් නම්, හොඳ දේකට ගියානේ කියලා හිතලා අපිට සතුටු වෙන්න තිබුණා. නමුත් එහෙම නොවුණු එක ගැන තමයි අපිට කියන කනගාටුව. මම ඊට වඩා ඔය ගැන කතා කරන්න කැමැතිත් නැහැ. " ඔහු පැවසුවේ වේදනාබරිතවය.

මේ කියැවෙන අදහස්වලට අනුව කුමාර සිය නිවෙසින් පිටත්වන්නේ ආණ්ඩු පෙරළීමට හෝ අරගලයකට ප්‍රහාර එල්ලකිරීමේ අරමුණකින් නොවූ බව පැහැදිලිය. තමන් කැඳවාගෙන යන්නට හා පිරිසගේ ඉල්ලීමට අවනවීම හැර ඒ යන ගමන පිළිබඳව කිසිදු අදහසක් බොහෝවිට කුමාරට නොතිබෙන්නට ද ඇත. නමුත් තමන් මියයන්නේ කුමන වරදක් වෙනුවෙන් නොදැනම මියයන්නට අවසානයේ කුමාරට සිදු විය.

බණ්ඩාර රත්නායක 
කුරුණෑගල අතිරේක

Comments