දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ පිපිරීම සිදු වූයේ කෙසේද ? | සිළුමිණ

දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ පිපිරීම සිදු වූයේ කෙසේද ?

මෙරට දේශපාලනික සහ ආර්ථික අර්බුදයේ ප්‍රභවය මා දකින ආකාරයට 1978 දක්වා ඈතට දිවයයි. රටේ ආර්ථික උපාය මාර්ගය 1978 වසරේදී මූලික වෙනසක් විය. එය විවෘත ආර්ථිකය නමින් හැඳින්වෙයි. එහෙත් එය ආර්ථීකය විවෘත වීම ම නොවේ. කෙසේවෙතත් එම කාලවකවානුවේදී සමකාලීනව නව ආර්ථීක උපාය මාර්ගයක් ලෝකයේ ඉදිරියට පැමිණිමත් වෙළඳපොළ විවෘත වීමත් සිදු විය. එය නව ලිබරල් වාදය ලෙසින් ද හැඳින්වෙයි. එය ක්‍රමානුකූලව මෝදුවී මෙරටට ද පැමිණි අතර එහි පුපුරා යෑම 2022 වසරේදී සිදුවිය. දේශපාලනික සහ ආර්ථික උපායමාර්ගික ක්‍රමවේදයන්ගේ ඇති අර්බුදය මේ සඳහා ඍජුවම බලපානු ලැබිණි.

මේ වත්මන් කාලයේදී රට මුහුණ පා ඇති දේශපාලනික අර්බුද සඳහා බලපාන ලද කාරණා සම්බන්ධයෙන් කතා කළ යුතුයි. ඒ සඳහා ප්‍රධාන හේතු ගණනාවක් වෙයි. ඒ හා සමඟාමීව මේ සඳහා බලපාන ආර්ථික ක්‍රමවේදයේ හේතු සාධක කිහිපයක් වෙයි.

මේ රටේ පළමු වැනි විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීම සිදුවන්නේ නව ආර්ථීක උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමටයි. එනම්, එය දියත් කිරීම සඳහායි. ඉන්පසු අපේ මැතිවරණ ක්‍රමයන් ද වෙනසකට ලක් කරන ලදී. පැවැති ආසන ක්‍රමය වෙනුවෙන් ඊට වඩා වෙනස් ක්‍රමයක් වන අනුපාතික සහ සමානුපාති ඡන්ද ක්‍රමය ස්ථාපිත කරන ලදී. මේ අනුව අපේ දේශපාලන සංස්කෘතිය ක්‍රමානුකූලව වෙනස් විය.

ආර්ථික වශයෙන් අද පවතින රටේ අස්ථාවරත්වයට ප්‍රධාන හේතු සාධක නිර්මාණය වන්නේ මේ හරහාය. දේශීය නිෂ්පාදන අඩුවීම ආරම්භ වීමෙන් අනතුරුව ආනයනයන් වැඩි වීම සිදුවිය. වෙළෙඳ පොළ විවෘත වීම සිදුවිය. ආනයන කිරීම සඳහා අවශ්‍ය වන ඩොලර් ලබාගැනීමට අපනයන, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සුළු වශයෙන් සංචාරක සේවාවන් යන ක්‍රමවේද තුනකට සීමා විය. මේවා රටට ඩොලර් ලැබෙන ක්‍රමවේදයන් වෙයි. මහ භාණ්ඩාගාරයට රාජ්‍ය ආදායමෙන් රුපියල් ලැබෙන්නේ රාජ්‍ය ආදායමෙනි. එයද වෙනස් වීම සිදුවිය. එහිදී වක්‍ර බදු වැඩිවී ඍජු බදු අඩු විය. 1977 දී හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට බලය පවරන විට මුදල් ඇමැතිවරයාගේ අයවැය වාර්තා අනුව රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24%කි. එය 2019 වනවිට 6% දක්වා අඩුවී ඇත. 2022 වනවිට එය 6% වෙයි. ඒ නිසා මේ අර්බුදය උග්‍ර වන විට භාණ්ඩාගාරයට ලැබෙන මුදල් නොලැබෙයි. එනම්, රුපියල් පවා හිඟවන තත්ත්වයට පත්ව ඇත. ඒ නිසා රුපියල් සඳහා මුදල් නොට්ටු අච්චු ගැසීම ට්‍රිලියන් 3.9ක් වෙයි.

ඒ මුදල් නොට්ටු අච්චු ගැසීමෙන් දේශීය වියදම් පියවා ගැනීම සිදුවිය. ඩොලර් වශයෙන් ගත්විට ඩොලර් ද අඩුවී ඇත. මේ ඩොලර් අඩුවූ විට විදෙස් විනිමය සංචිතය අඩුවීම ක්‍රමානුකූලව සෑම ආණ්ඩුවක් යටතේම සිදු විය. ඉන් පසුව කොවිඩ් සමඟ විදෙස් විනිමය පහළට පැමිණීම සිදු විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වන විට විදෙස් විනිමය සංචිත බිලියන 7.5 ශේෂ වී තිබිණි. එය මේ වනවිට මිලියන 50 දක්වා අඩු විය. ඩොලර් සහ රුපියල් එක්වර හිඟ වූ ඉතිහාසයේ පළමු වතාව ලෙස මෙය හැඳින්විය හැකියි. මේ අර්බුදයේ ප්‍රබලත්වය, පරිමාණය තීරණාත්මක ස්වභාවය පැහැදිලි වෙයි. මේ අර්බුදය පුපුරා යෑම ඉන් පිළිබිඹු වන්නේ විරෝධතා සහ පෝලිම්වලිනි.

වත්මන් ආණ්ඩුව තුළ මේ තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට නොහැකි හේතුව ආණ්ඩුවේ කැබිනට්ටු අභ්‍යන්තරයේ ප්‍රතිවිරෝධතාවන් මතුවීමයි. වත්මන් ආණ්ඩුව තුළ නිරන්තර කැබිනට් මාරුවීම්, ඇමැතිවරුන් ඉල්ලා අස්වීම් වැනි දේශපාලනික පෙරළි රැසක් සිදුවිය. මේ දේශපාලන අර්බුදවල අවසානයේ අගමැති ඉල්ලා අස්වීම විය.

මේ වත්මන් දේශපාලන කරළියේ පුපුරා යෑම කාලන්තරයක් පුරා සිදුවෙමින් පැවැති සිදුවීම් මාලාවක අවසාන ප්‍රතිඵලය විය. එනම්, මේ රටේ දේශපාලන සංස්කෘතිය, විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රම සහ ආර්ථික උපාය මාර්ගය මෙන්ම අවශේෂ ලෙස අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණයන් නොවීම වැනි ඉතිහාසය පුරා අනුගමනය කරන වැරදි ප්‍රතිපත්තිමය වැනි සියලු සාධක පසුබිම් කර ගනිමින් රටේ අද පවතින තත්ත්වය මතු විය.

දේශපාලන සංස්කෘතිය තුළ මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් මතුවීමට බලපෑ හේතු කාරණා කිහිපයක් සඳහන් කළ හැකිය. ව්‍යවස්ථාදාකය නියෝජනය කරන අමාත්‍ය මණ්ඩලය, විධායකය, අධිකරණය මෙන්ම රාජ්‍ය සේවය වැනි සාධක මේ යාන්ත්‍රණ සඳහා බලපායි. තවද මැතිවරණ ක්‍රමය අනුව දිස්ත්‍රික් ක්‍රමය සහ අනුපාත ක්‍රමය වැනි ක්‍රම හරහා පාර්ලිමේන්තුවට තේරී පත් වන පිරිසගේ ගුණාත්මක භාවය පිරිහී ඇත. වත්පොහොසත්කම් ඇති පිරිස බොහෝ විට පාර්ලිමේන්තුවට තේරී පත් වෙයි. මුදල දේශපාලනයට අවශ්‍ය සාධකයක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම අල්ලස, දූෂණයට බලපාන සාධක ඒ වටා ගොනුවෙයි. රාජ්‍ය සේවයට, යහපාලනයට එය අහිතකර ලෙස බලපානු ලබයි. 1948 වසරේ සිට මෙරට සියලු කැබිනට් ඇමැති මණ්ඩල අතුරින් දුර්වල, අකාර්යක්ෂම, දැක්මක් දැනුමක් නොමැති ඇමැති මණ්ඩලය මේ ආණ්ඩුව යටතේ පත්වී ඇති බව ජනතා විරෝධතාවන්ගෙන් පැහැදිලි වෙයි. පළමුවැනි වතාවට එකම පවුලේ විශාල පිරිසක් ඇමැති මණ්ඩලයට පත් විය. මෙය මෙරට දේශපාලන සංස්කෘතිය පිරිහීමට ලක්වීමට ප්‍රධාන හේතුවකි. මෙමඟින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්විය. කැබිනට් මණ්ඩලය ආණ්ඩුව ඉල්ලා අස් වන තුරු මේ ආර්ථික අර්බුදය පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් නොතිබීම අවාසනාවන්ත තත්ත්වයකි. හිටපු ඇමැතිවරුන්ගේ මත ගණනාවක් විය. කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමට සීමා වී ඇත. සාමූහික ප්‍රයත්නයක් පොදු එකඟතාවක් තිබුණේ නැත. ඒ හේතුවෙන් සාමූහික වගකීමක් නොතිබිණි. ජාතික ප්‍රතිපත්තියක් කිසිදු විෂයක් සම්බන්ධයෙන් නොතිබුණි. ආණ්ඩුවේ තීරණ ගැනීමේදී පොදු එකඟතාවක් වගකීමක් නොතිබීම මේ ආර්ථික සහ දේශපාලනික පසුබිම ඇති වීමට බලපෑම් කළ ප්‍රධාන හේතු විය. පාර්ලිමේන්තුව අද විනයක් නැති තත්ත්වයට පත්ව ඇත. විවාදකයන්ට මඩගැසීම් හැර කිසිවක් නැත. මේ රටේ ආර්ථීක අර්බුදය සම්බන්ධයෙන් තවමත් සාකච්ඡාවක් නැත. මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ ජනතාව මේ රටේ අර්බුදය පිළිබඳව අවබෝධයකට පැමිණියේ පෝලිම්වලිනි. බඩු මිල ඉහළ යනවිට සහ බඩු හිඟයක් ඇති වන විටත් ජනතාව ඒ සම්බන්ධයෙන් දැන සිටියේ නැත. එසේ දැනුම්වත් වී තිබුණේ නම් ජනාධිපතිවරයාට ඡන්දය ලබාදුන් පිරිසවත් අද ජනාධිපතිවරයා සමඟ සිටගනු ඇත.

කොවිඩ් අර්බුදය අවස්ථාවේදී මෝදුවෙමින් පවතින ආර්ථීක අර්බුදය සම්බන්ධයෙන් 2020දි මා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කළ අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමක් කළ යුතු බවද අවධාරණය කරන ලදී. මේ අර්බුදය නිදහසින් පසුව බරපතළම ආර්ථික අර්බුදයයි. මෙය වඩා තීව්‍ර වූයේ දේශපාලන සංස්කෘතියේ බලපෑම් නිසයි. ප්‍රජාතන්ත්‍ර රාමුවක් තුළ පක්ෂ නායකයන් රටේ නායකයන් ජනතාව සමඟ සංවාදයක නිරත විය යුතුය. ජාතිය අමතා කතා කළ යුතුයි. ගම් මට්ටමින් දේශපාලඥයන් ජනතාව සමඟ සංවාදයක යෙදීය යුතුයි. මේ වත්මන් රජයේ මෙවැනි කිසිදු දෙයක් නොවීම විරෝධතා ඇති වීමට සහ අරගල පෝලිම් ඇති වීමට ඇති වීමට හේතුවයි. සාමූහික තීන්දු ගැනීම කළ යුතුයි. සුදුසු තැන්වලට සුදුස්සන් පත් කළ යුතුයි. කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුය. ආණ්ඩුවට විරුද්ධව පළමු විරෝධතා රැල්ල පැමිණියේ ගමේ ගොවියාගෙනි. තවද අපේ රටේ වෙළෙඳපොළට රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වේ. එසේ නොවීම තුළ වෙළෙඳ ප්‍රජාව බඩු මිල ඉහළ දැමීම සිදු කරනු ලබයි. බඩු හිඟයක් ඇති කිරීම සිදු වෙයි. එවැනි අවස්ථාවක රාජ්‍ය මැදිහත් වීමට ආයතනයන් කිහිපයක් මේ රටේ ක්‍රියාත්මක වුවත් අද එය අකර්මණ්‍ය තත්ත්වයේ වෙයි. ඒ මැදිහත් වීම කළේ හමුදාවේ නායකත්වයක් මඟිනි. ඒ අත්හදා බැලීම් අසාර්ථක වූ බව ඉතා පැහැදිලිය. මේ සඳහා එම ආයතනයන් හි දැනුම්වත් පිරිස සිටියදි ඊට ඉහළින් මේ යෙදවීම් සිදුකර ඇත. වෙළෙඳපොළ ඒකාධිකාරිය මේ වනවිට ඇතැම් වෙළෙඳුන්ට පමණක් කේන්ද්‍ර වී ඇත. පාරිභෝගික ජනතාව ඒ තුළින් අර්බුදයට ලක්වී ඇත. ආණ්ඩුවේ නිසි දැක්මක් නැති වීම මෙයට හේතුවයි. විශේෂයෙන් පාර්ලිමේන්තුවට භූමිකා වෙයි; නීති සම්පාදන ප්‍රතිපත්ති සම්පාදනය, මුල්‍ය අධීක්ෂණය, ජනතාවගේ දුක් ගැනවිලි පාර්ලිමේන්තුව හමුවේ තැබීම ජනතා නියෝජිතයන් විසින් ඉටු කළ යුතු වගකීම් වන අතරම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ කිසිවක් ඉටු කරනු දක්නට නොලැබෙයි. විශේෂයෙන් ම පොදු ජන පෙරමුණ පක්ෂය පෙරමුණක් ලෙස ඉදිරියට පැමිණියද පෙරමුණ පිහිට වූ දිනයේ රැස්වීමෙන් පසුව නැවත රැස්වීමක් සිදු නොවිණි.

පක්ෂය පමණක් තීන්දු ගන්නා අතර පෙරමුණ පොදුවේ තීන්දු තීරණවලට එළඹීමක් නොවෙයි. පක්ෂ නායකයන් රැස් වන එකදු රැස්වීමක්වත් නොතිබිණි. පෙරමුණ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් අත්‍යවශ්‍ය සාධකයකි. තීරණ ගැනීමේදී කිහිප දෙනෙක් පමණක් තීරණ ගන්නා තත්ත්වයක් ඇති වීම, අභ්‍යන්තරික ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි කරුණකි. අභ්‍යන්තර සංවාදයක් නොතිබීම වැනි හේතු සාධකයන් දේශපාලනික විපර්යාසයන්ට මූලික හේතු වෙයි. වත්මන් පාර්ලිමේන්තුවේ හිටපු ඇමැතිවරුන් සියල්ල ඉවත් වීමත් අවසානයේදී කැබිනට් සංශෝධනයන් දෙකක් වීමටත් මෙය ප්‍රධාන හේතු සාධයක් විය. අගමැතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාකලාපය මෙහි අවසන් පුපුරා යෑමට හේතු විය. ගාලුමුවදොර 09 වැනිදා සිදු වූ දේශපාලනික අරගලය ඇති වූයේද ඒ හා සම්බන්ධ ක්‍රියාවලියක් හරහාය.

මේ රටේ සභාග ආණ්ඩු ඇති වූයේ එනම්, පෙරමුණු ආරම්භ වූයේ 1956 වසරේදි සිටයි. පළමුවැනි පෙරමුණ මහජන එක්සත් පෙරමුණ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ වන අතර, දෙවැනි පෙරමුණ සිරිමාවෝ බණ්ඩාරනායකගේ සමඟි පෙරමුණයි. තුන්වැනි පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පොදු පෙරමුණයි. ඉන් පසුව මහින්ද රාජපක්ෂයන්ගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ ආණ්ඩුවේ පෙරමුණ මහින්ද රාජපක්ෂ පොදු ජන පෙරමුණයි. ඒවා පෙරමුණ ලක්ෂණවලට වඩා පක්ෂයක ලක්ෂණ මතුකරයි. මෙවැනි පෙරමුණු පැවැති අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයට සහභාගී වීමට පෙර පක්ෂ නායකයන් රැස් වෙයි. පක්ෂ නායකයන්ගේ එකඟතාවකින් කැබිනට්ටුවට යෑම සිදුවෙයි. එසේ කිරීමක් අද සිදුවෙන්නේ නැත. චන්ද්‍රිකා මැතිනියගේ පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතරයට එක් ඡන්දයක් පමණක් විය. නමුත් වසර 5ම කිසිදු ගැටලුවකින් තොරව අවසන් විය. විශේෂත්වය පෙරමුණු තුළ අර්බුද මතු නොවීමයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් විපක්ෂය සමඟ ගනුදෙනු කළ අතර, ජනතාව සමඟ නිරන්තර සංවාදයක යෙදිණි. ජනතාව සහ ආණ්ඩුව අතර ප්‍රතිවිරෝධතා නැති වීම වඩා වැදගත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සභාග ආණ්ඩු ක්‍රමයක් හවුල් ආණ්ඩු ක්‍රමයට හැඩ ගැසීම මුල්කාලයේ සිට සිදුවිය. 

විශේෂයෙන් ඩඩ්ලි සේනානායක සහ චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුව වසර පහක් පැවැතියේ මේ ප්‍රජාතන්ත්‍රික රාමුවක සිට කටයුතු කිරීම නිසාය. හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ අර්බුදයක් නිර්මාණය වූයේ ගෝලීය බලශක්ති අර්බුදයක් මතු වීමෙන් පෙරමුණේ ඇතැම් පක්ෂ ඉවත් වී යෑමෙනි. ඉන් අනතුරුව දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් බිලී බා ගන්නා තත්ත්වයක් උද්ගත විය. එනම්, ඩීල් දේශපාලනය ඉන් පසුව මතුවිය. බහුතරය තිබුණත් ආණ්ඩුව ස්ථාවර කරගැනීම සඳහා පිටින් ගැනීම සිදුවෙයි. තුනෙන් දෙකේ බලය හිමි ආණ්ඩු 5ක් පමණ ඉතිහාසයේ පැවැතිණි. ඉන්පසුව තුනෙන් දෙකක බලයෙන් පත්වූ සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව වසර පහක් ගතවීමෙන් පසුව 6 වැනි වසරේදී බිඳ වැටුණි. ඉන්පසුව 1977දී ජේ. ආර්. ජයවර්ධන 5/6 බලයක් හිමිකරගනිමින් බලයට පත්වුවද එතැන් පටන් රටේ අර්බුදයන් රැසක් මතුවිය. කළු ජූලිය, ජූලි වැඩවර්ජනය වැනි අර්බුද විශාල ලෙස නිර්මාණය විය. ඉන්පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 6ක් සිට ඉන්පසු කාලය තුළ වසර 4ක් කාලයක් ඉදිරියට තිබියදී මැතිවරණයක් පැවැත්විණි.

මේ දේශපාලනික කරලියේ අර්බුදයන් ක්‍රමානුකූලව නිර්මාණය වන්නේ මේ සියලු ක්‍රියාදාමයන් හරහාය. ඉන්පසුව මේ අර්බුද මතුවෙමින් පැවැති ඒ අතරතුර පත් වූ යහපාලන රජය ද අතරමග කඩා වැටුණි. නැවත මහින්ද රාජපක්ෂයන්ට බලය හිමි වීමෙන් පසු සමාජ, ආර්ථීක කරුණු රැසක් මේ දේශපාලන පෙරළියට හේතුවිය. පිපිරිම සිදුවූයේ භාණ්ඩ හිඟය භාණ්ඩ මිල ඉහළ යෑම, මිල පාලනයෙන් තොරවීම, පෝලිම් සංස්කෘතියක් ඇතිවීම, විදෙස් සංචිත අඩුවීම ඩොලර් සහ රුපියල් ද හිඟවීම නිසා ජනතාව පීඩාවට පත්වීමෙනි. කාලාන්තරයක් පුරා ඒ මේ අත දෝලනය වන මේ දේශපාලනික අර්බුදය ආර්ථික අර්බුදයක් තුළින් මතුවී පුපුරා යෑම මේ අනුව සිදු විය.

Comments