ගාලුමුවදොර ගිනි තැබූ අය කොටුවෙන හැටි | සිළුමිණ

ගාලුමුවදොර ගිනි තැබූ අය කොටුවෙන හැටි

- ඉකුත් බ්‍රහස්පතින්දා වෙද්දි සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට
- විමර්ශන සඳහා සිඅයිඩී නිලධාරීන් 225 දෙනෙකු පමණ

ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ලවූ ප්‍රහාරයට මේ වන විට සති දෙකක පමණ කාලයක් පිරෙමින් තිබේ. සමාජයේ ඇතැමුන් එම ප්‍රහාරයේ පොලිස් විමර්ශන දෙස වපර ඇසින් බැලුවත් පොලිසිය දෙසින් දිනපතා ඇසෙන්නේ එකී විමර්ශන ඉතා කඩිනමින් සිදුවෙමින් පවතින බවටයි.

ඒ අනුව ඉකුත් බ්‍රහස්පතින්දා දින වෙද්දී අරගලකරුවන්ට ප්‍රහාර දියත් කිරීම සම්බන්ධව පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන එදින වෙද්දී ඉන් 13 දෙනෙකුම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කටයුතු කර තිබිණි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකද විය. මන්ත්‍රීවරුන් දෙදෙනා ඉකුත් 17 වැනිදා කොළඹ බෞද්ධ­ාලෝක මාවතේදී සහ මල් පාරේදී අත්අඩංගුවට ගෙන සීඅයිඩී ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව 18 වැනිදා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එදිනම ගෝල්ෆේස් අරගලයට පහර දීමේ චෝදනාවට රත්මලානේදී සීඅයිඩී අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා සහ මොරටුව නගර සභාවේ සේවකයකුද බන්ධනාගාරගත කෙරිණි.

එසේම 18 වැනිදාද පළාත් පාලන නියෝජිතයන් වන මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, බන්දුල ජයමාන්න සහ දිනෙත් ගීතික, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න, කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර චතුරංග යන පුද්ගලයෝද අත්අඩංගුවට ගෙන ඉකුත් 19 වැනිදා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. බන්ධනාගාරගත කෙරුණු එම පිරිස අතර අරගලයට පහර දීමට පැමිණි සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ද වූයේය. එලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් රක්ෂිත බන්ධනාගාර ගතකරමින් විමර්ශන කඩිනමින් සිදු කෙරෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් දිනවලදී එම ප්‍රහාරයෙන් තුවාලලත් අයගෙන් මෙන්ම එදින රාජකාරියේ නිරතව සිටි පොාලිස් නිලධාරින් ඇතුළුව ප්‍රකාශ සටහන් 500කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබිණි. එම ප්‍රකාශ සටහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විය. ඔවුහු නම් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලකට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, සී බී රත්නායක සහ ඉන්දික අනුරුද්ධ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ සැමියා වන කාංචන ජයරත්න යන අය ද සිටින බවට සැල වේ.

ප්‍රකාශ සටහන් කරගත් පිරිස අතරේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළුව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මෙන්ම කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ කොට්ඨාස බාර නිලධාරින්ද වේ. 17 වැනිදා සවස තුනට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් පසුදා අලුයම 1 පමණ වනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

නීතිපති සංජය රාජරත්න ගේ ඍජු අධීක්ෂණයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්නගේ සහ එහි අධ්‍යක්ෂ කාවින්ද පියසේකරගේ උපදෙස් මත එකී විමර්ශන සඳහා නිලධාරින් 225කට අධික සංඛ්‍යාවක් යොදවා ඇත. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට සහාය සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද මෙකී විමර්ශන සඳහා අනුයුක්ත කර ඇත.

අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරයේ විමර්ශන ඉකුත් 13 වැනිදා සිට ආරම්භ කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ඇතුළු තවත් පොලිස් ඒකක කිහිපයකම නිලධාරින් අරගල භූමියටම ගොස් ගිනි තැබූ ස්ථාන විමර්ශනය කරමින් පුද්ගලයන්ගෙන් ප්‍රකාශද සටහන් කරගනිමිනි. එලෙස විමර්ශන ආරම්භයත් සමඟ නීතිපතිවරයා විසින් 22 දෙනෙකුගෙන් යුත් නාමලේඛනයක්ද ඉකුත්දා ප්‍රකාශයට පත් කළේ චෝදනා ලත් එකී පිරිසගෙන් පර්යේෂණාත්මක සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂිද රැස්කර අදාළ චූදිතයන්ගෙන් ප්‍රකාශ සටහන් කර අනතුරුව එකී අපරාධයට සම්බන්ධ බවට පැහැදිලි වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සඳහන් කරමිනි.

එසේ අරගලකරුවන්ට පහර දීමේ විමර් ශනයේදී මුලින්ම අත්අඩංගුවට ගැනුණේ මොරටුව නගර සභාවේ කම්කරු සේවකයකු වන මොරටුවැල්ලේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. ඒ, ඉකුත් 15 වැනිදා අලුයම් කාලයේදීයි. අනතුරුව 16 වැනිදා සවස් යාමයේ පාණදුර පින්වත්තේදී සහ රත්මලානේදී හිටපු පළාත් සභා මන්ත්‍රී 55 හැවිරිදි අමල් සිල්වා සහ මොරටුව නගර සභාවේ 39 හැවිරිදි සේවකයකු අත්අඩංගුවට ගැනිණි. එසේ ප්‍රහාරයට තිදෙනෙකු අත්අඩංගුවේ පසුවෙද්දී 17 වැනිදා සවස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත කොළඹ මල් පාරේදීත් මිලාන් ජයතිලක බෞද්ධාලෝක මාවතේදීත් අත්අඩංගුවට පත් වූහ.

18 වැනිදා දින මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ඇතුළු අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සමත් වූහ. ඊට අමතරව තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 19 වැනිදායි. ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවකු හා සැකකාරියකි.

එසේ අත්අඩංගුවට පත් සැකකරු 53 හැවිරිදි හංවැල්ල, තුංමෝදර ප්‍රදේශයේ පදිංචි හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයායි. සැකකාරිය වයස අවුරුදු 59ක් වන රත්මලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියකි.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් අරගලකරුවන්ට පහර දීමේ විමර් ශන සඳහා මහජන සහායද පතමින් ඉකුත් 16 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ඊට අදාළ ඡායාරූපද 76ක් පමණ නිකුත් කරමිනි. ඒ අනුව මහජනතාව දන්නා තොරතුරු දැනුම් දීම සඳහා සීඅයිඩීහි අධ්‍යක්ෂවරයාගේ [email protected] යන විද්‍යුත් ලිපිනය සහ 071-8594901, 071-8594915, 071-8592087, 071-8594942, 071-2320145, 011-2422176 යන දුරකථන අංක මාධ්‍යයට නිකුත් කෙරුණේ ‘වට්ස්ඇප්‘ ඔස්සේද තොරතුරු ලබාදිය හැකි බවට දන්වමිනි.

පොලිස් දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරයේ සැකකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම් සිදු කරමින් සිටිද්දී එම ප්‍රහාරයේ ආන්දෝලනාත්මක පැතිකඩක් ඉකුත් 18 වැනිදා පාර්ලි මේන්තුවේදී හෙළිදරව් විණි. ඒ, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ එම ප්‍රහාරය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමඟිනි. එහිදී ඔහු පැවැසුවේ, මෙසේය. “ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටවත් කිසිම අවශ්‍යතාවක් තිබුණේ නෑ මේ උද්ඝෝෂණවලට ගලක්වත් ගහන්න. ඒවාට සම්පූර්ණ ආරක්ෂාව සැලැසුවා. ඒක ආණ්ඩුව පත්වූ දවසේ සිටම භාවිත කළ ප්‍රතිපත්තිය. හැබැයි අවාසනාවන්ත ලෙස එතැනට පිරිසක් ගියා. මම ඒ අවස්ථාවේ අරලියගහ මන්දිරයේ හිටියේ. මං ඩීඅයිජී තෙන්නකෝන්ට කතා කරලා කිව්වා, අවාසනාවන්ත සිදුවීමක් වෙන්න යනවා. කරුණාකරලා මේක නවත්වන්න. ඩීඅයිජී තෙන්නකෝන් මහත්තයා මට කිව්වා, කිසිම ගැටලුවක් නෑ සර්... සියලුම රෝඩ් බ්ලොක් දාලා තියෙන්නේ. මේක නවත්වනවා කියලා.

ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ කතා කරලා කිව්වා, ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමැතිතුමා; වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්න කියලා. ඒ වෙලාවේ මම ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවේ හිටියේ. මං ජනාධිපතිතුමාට කිව්වා, ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම නවත්වන්න කියලා.

ජනාධිපතිතුමා මම ඇතුළු ඇමැතිවරු කීපදෙනෙක් ඉදිරිපිටදීම දුරකථන ඇමැතුමක් ගත්තා ඩීඅයිජී තෙන්නකෝන්ට. එතුමා ඇහුවේ මොකද්ද මේ සිද්ධ වෙන්නෙ කියලා. එතකොට හරියටම එදා දවල් 12.40ට විතර ඇති. ඩීඅයිඩී තෙන්නකෝන් ජනාධිපතිතුමාට කීවා මේක නවත්වන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා කියලා.

ජනාධිපතිතුමා එසැණින් ඔහුට කීවේ, තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති. වහාම නවත්වනවා කියලා. ජනාධිපතිතුමා එසේ කිව්වට පස්සෙයි කඳුළු ගෑස් ගහලා ඒ දේ නතර කළේ. ඒ නිසයි ඒ තරමින් හරි ඒ දේ බේරුණේ. එම ප්‍රහාරයට ගියපු පිරිස නවත්වන්න එපාය කියලා නියෝග කළේ, පොලිස්පතිතුමාත්, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්තුමා කියන කාරණය තමයි සත්‍යය...“ ඇමතිවරයා කීය.


Comments