කල්පිටියේ උච්චමුනි දූපතේ කාලගෝට්ටිය | සිළුමිණ

කල්පිටියේ උච්චමුනි දූපතේ කාලගෝට්ටිය

සුන්දර උච්චමුනේ අර්ධද්වීපය ගුවනේ සිට ගත් දසුනක්

ල්පිටිය දූපත් සමූහයේ දූපත් 14කි. ඉන් දෙවැනි විශාලතම දූපත උච්චමුනේ දූපතය. වපසරිය අක්කර 1,200කට අධිකය. ධීවර පවුල් 300- 400 ක් පදිංචි වී සිටින බිමකි. ධීවර කර්මාන්තය වෙනුවෙන් පවුල් දහසක් පමණ යොදා ගනු ලබන දූපතකි. ඒ උච්චමුනේ දූපතේ භූමිය පසුගිය 11 වැනිදා සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් ආයෝජක ස්විස්ටර්ලන්ත සමාගමකට බදු දෙමින් සංචාරක සංවර්ධන අධිකාරිය ඒ සමාගම සමඟ අදාළ ගිවිසුම හා බැඳිණි.

මේ ගිවිසුම අත්සන් කිරීමෙන් රට තුළ ආන්දෝලනයක් ඉපදවූයේය. ගිවිසුම ගැන ප්‍රජාව අතරින් ප්‍රශ්න නැඟෙමින් පරිසරවේදීහු, වෘත්තීය සමිති ක්‍රියාධරයෝ සංචාරක සංවර්ධන මණ්ඩලයේ මෙම ප්‍රවේශය තියුණු ලෙස විමසමින් සිටියහ.

බිහිසුණු ආර්ථික අර්බුදයක් පවතින වටපිටාවක රට තුළ සිදුවන සංචාරක ආයෝජනයක් සම්බන්ධව මතුවන මෙම ගැටලුව කුමක්ද? මුලින්ම අප මේ සම්බන්ධව විමසා සිටියේ සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහය. ඇය ඒ පාර්ශ්වයෙන් මේ ව්‍යාපෘතිය පිළිබඳ කරුණු පැහැදිලි කළාය.

“උච්චමුනෙයි කියන්නෙ අවුරුද්දෙ එක් කාලයකට දූපතක් වන එක කාලයකට ගොඩබිමට යවන වැටියකින් එක්වන දූපතක්. ඒ කල්පිටිය දූපත් සමූහයේ දූපත් දොළහම සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ලබා දී තිබෙන්නේ සංචාරක සංවර්ධන අධිකාරියට.

අපි 2019 දී මේ දූපතට ආයෝජන යෝජනා කැඳෙව්වා. ඒ අනුව අපට ලැබුණු එක යෝජනාවක් තමයි ස්විස්ටර්ලන්තයේ මක්කා ස්ටේට් බ්ලූ ඕෂන් කියන සමාගම. ඔවුන් ඉදිරිපත් කර තිබුණු යෝජනාවට අනුව එය අමෙරිකානු ඩොලර් මිලියන 417.5ක ව්‍යාපෘතියක්. ඒ කියන්නෙ රුපියල් බිලියන 156ක්. ඒ මුදල මුළු ව්‍යාපෘති මුදල නොවෙයි. ඒ මුදල ඔවුන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ දූපතේ රිසෝට් එකක් හදන එකට.

සංචාරක සංවර්ධන අධිකාරියට අයිති රිසෝට්වල යම් නිර්ණායක තිබෙනවා. තිරසාර විදිහට පරිසර හිතකාමීව සෑදීම, භූමි ප්‍රමාණයෙන් සියයට තිහක් කිසිම වේලාවක ඉදිකිරීම්වලට ඉඩ නොදීම. ඒ කොන්දේසිවලට යටත්වයි ඉදිකිරීම් කළ යුත්තේ. ඒ කියන්නෙ මේ ව්‍යාපෘතිය දැඩිව අධීක්ෂණය වෙනවා. මේ සමාගම ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාව අපේ ඒ මූලික නිර්ණායකවලට එකඟයි.

මෙම දූපතේ පවුල් 400ක් පදිංචිව සිටිනවා. පොඩි ඉස්කෝලයක් සහ පල්ලියක් තිබෙනවා. මේ යෝජනාව ඇතුළෙ එක කොටසක් තිබෙනවා. එහි පදිංචි කිසිම කෙනෙක් ඉවත් කරන්නෙ නෑ. ඒ අනුව මේ ධීවර ප්‍රජාවත් මෙම ව්‍යාපෘතියෙම කොටසක්. පාසල, පල්ලිය, අලුත් වැඩියා කිරීම, රෝහලක් හදන්න ප්‍රතිපාදන වෙන් කිරීම ඒ සියල්ලට ඇතුළත්.

ඇය පවසන්නේ මේ ව්‍යාපෘතිය සම්බන්ධව ගොඩනැඟෙන ආකල්ප අතර තේරුම් ගැනීම්වල ඇති විෂමතා හේතුවෙන් දුර්මත පැතිර යන බවය. අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නේ මේ ආයෝජනය සඳහා ඉඩම බදු දීම සඳහා වූ මූලික ගිවිසුමට පමණක් එැළඹි බවය. රුපියල අවප්‍රමාණ වීමත් සමඟ මෙම ආයෝජනයෙන් ඉලක්ක වැඩ කොටසට වඩා වැඩි ඵලදායීතාවක් ලැබෙන බවය.

“මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම සඳහා රජයේ තක්සේරු වාර්තාව ලබා දී තිබෙන්නෙ වර්ෂ 2020දී. අපි තක්සේරුවක් කරන්නේ අවුරුදු පහකින් පහට. එතැනදි අපිට මේ දූපත බදු දීමෙන් ලැබෙන වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 137ක්.

එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරිය පැහැදිලි කරන්නේ ඉඩමක් බදු ගැනීමට පාරිසරික අනුමැතියක් අවශ්‍ය නොවුණත් ඉඩමේ කෙරෙන ඉදිකිරිම් සඳහා එවැනි අනුමැතියක් ආයෝජකයා විසින් ලබා ගත යුතු බවය. එම ඇගයීම් වාර්තාව ලබා දෙන්නේ සමාජ, පරිසර, ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රමුඛතම විද්වත් පර්ෂදයක අධීක්ෂණයෙන් බව ඇය කියන්නීය. ඉදිකිරීමකට අනුමැතිය ලබා දෙන්නේ ආයෝජකයා විසින් ඉදිරිපත් කරන සැලසුම රජයේ අදාළ සියලු වගකිවයුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු එක්වුන් ස්කෝප් කමිටුව විසින් සියුම් නිරීක්ෂණයකට ලක් කර ස්වකීය උපමාන හා අනුමිතීන්ට යටතේ සහතික කිරීමෙන් අනතුරුව බව ද ඇය පවසන්නීය.

“මෙය හොර රහසෙ කළ දෙයක් නොවෙයි. ඉඩමක් බදු දෙනකොට අපේ මණ්ඩලයක් තිබෙනවා. යම් ව්‍යාපෘතියක් ආවට පස්සෙ ඒ මණ්ඩලයට දාලා අනුමැතිය ලබා ගත යුතුයි. එහෙම අනුමැතිය ගත්තම 2005 අංක 38 දරන පනතෙ තිබෙනවා නිශ්චල දේපළක් බදු දීමේදී විෂයභාර ඇමතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව. අපි ඒ සියලු අනුමැති අරන් තිබුණේ 2020 දී. ඒ කාලෙ කොවිඩ් නිසා ආයෝජකයට එන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. අනතුරුව අපි මේ ආයෝජකයට ලේකම්ගෙ අත්සනින් යුතුව මෙය කෙරෙන්නෙ නැතිනම් ගිවිසුම ඉවත් කර වෙන කෙනකුට දෙනවා යැයි දන්වමින් ලියුම් කිහිපයක් යැව්වා. ආයෝජන මණ්ඩයත් ඔවුන්ට ලිඛිතව දන්වා තිබුණේ මැයි මාසේ 11 ට කලින් අත්සන් නොකළොත් ගිවිසුම අවලංගු වෙන බව.

ඔවුන් ගිවිසුම අත්සන් කරන්න ලංකාවට ආවේ මැයි 08. පසුදාම රට විශාල අර්බුදයක් ඇති වී ඇඳිරි නීතිය වැටුණා. බැංකු වැසුවා. මේ ගිවිසුම් අත්සන් කිරීම දීර්ඝ කාලීන සැලසුමක ප්‍රතිඵලයක්. ඒ නිසා අපේ සභාපතිතුමිය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යැවුවා. මේ සම්බන්ධව අපට මුල සිට උපදෙස් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අංශයේ අතිරේක ලේකම්වරයා. ඔහු අපට ලිඛිතව දැන්නුවා අපේ පනත වගන්තිය අනුව අමාත්‍යවරයා නැතිවුණා කියා පත් කළ කමිටුව අවලංගු නොවන බවත් ඒ නිසා අත්සන් කිරීමට බාධාවක් කළේ නෑ කියලා. ඒ නිසයි අපි අත්සන් කිරීම සිදු කළේ.

මෙම ගිවිසුම තුළ කිසිම නීති විරෝධි ගනුදෙනුවක් නොවුණ බව හා එය ඕනෑම අධිකරණය දී තහවුරු කළ හැකි බව ඇය කියන්නීය.

උච්චමුනේ දුපතේ මෙම ගැටලුව සමාජගත කළේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසිනි. ඔහු මේ සමස්ත ව්‍යාපෘතියම ප්‍රශ්න කරන්නේය.

“අපට මෙතැනදි ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. මේ උච්චමුනෙයි දූපත ටෙන්ඩර් දාන්නෙ 2019 දී. එය අවසන් කරන්නේ 2020 දී. 2020 අවසන් කළ ටෙන්ඩර් එකකට රටේ ආණ්ඩුවකුත් නැති කාලෙ ඇයි ගිවිසුම් ගහන්නෙ. මේ ව්‍යාපෘතියට තක්සේරු වාර්තා හැදුණේ කොහොම? අයෝජනය තමයි ඩොලර් මිලියන 417.5 එහෙනම් මේ දූපත බදු දෙන මිල කීය ද? එම බදු මුදල අදළ ගිවිසුමේ තිබෙනව ද? මේ භූමිය අක්කර 1200යි. අප දන්න විදිහට එහි වාර්ෂික බදු මුදල රුපියල් මිලියන 137යි. නමුත් මේ බදු මුදල ගැන රටට නොකියන්නෙ ඇයි? මේ කරුණ නිවැරදිව හෙළිදරව් වෙලා නෑ.

“ආයෝජනයකට ඉඩමක් බදු දෙනවා නම් ඒ ආයෝජන ව්‍යාපෘතිය ගැන නිශ්චිත සමාලෝචනයක් කළින් කළ යුතුයි. අප දැනුම්වත් වී ඇති ආකාරයට බීඕඅයි එක තමන්ගෙ පරණ ගිවිසුම් කල් ඉකුත් වෙනවා කියා අදාළ සමාගමට දැනුම් දෙනවා. ඒ දැනුම්දීමට අනුවයි මේ ආයොජකයගෙ නියෝජිතයෙක් එන්නේ බී. ඕ. අයි ගිවිසුම කල් දාගන්න. ඒ නියෝජිතයාට තමයි මේ ගිවිසුම් ගහලා දූපත දෙන්නේ. මොකක්ද නිලධාරීන්ට තිබෙන මේ හදිස්සිය. බී.ඕ.අයි ලියැවිල්ල අවසන් ලියැවිල්ලක් ද?. අපි මාස තුනක් කල් දෙන්නම්. ඇමතිවරයෙක් පත් වුණාම මේ ගැන කතා කරමු යැයි නොකියා ඇයි නිලධාරීන් මේකට ගිවිසුම් ගැහුවේ. 

අප අධිකරණයට ගොස් කියනවා මෙය අවලංගු කරන්න කියා. විධිමත් ක්‍රමවේද යටතේ ශක්‍යතා අධ්‍යයනයක්, පරිසර අධ්‍යයනයක් කරන්න. සංචාරක සංවර්ධනය සඳහා නම් කරන්නෙ ඒ වෙනුවෙන් වැඩ කරන්න. “

පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨම පාරිසරික නීති වේදියෙකි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ඔහුගේ කියැවීම වෙනස්ය.

“මෙතන පාරිසරික ප්‍රශ්නයකටත් වඩා නීතියේ ආධිපත්‍ය ගැන ගැටලුවක් තිබෙනවා. ආයතනයකට යම් කිසි පනතකින් නීතිමය කාර්යයක් පැවරිලා තිබෙනවා නම් ඒ කාර්යභාරය ඉෂ්ට වෙලා නෑ කියලයි මගෙ හැඟීම. නාගරික සංවර්ධන අධිකාරියෙන් කල්පිටිය නගර සංවර්ධන සැලැස්ම හදන්නේ වර්ෂ 2018 දී. නමුත් මේ දූපත් සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස නම් කරන්නෙ ඊට කලින්.

නමුත් ඕනෑම ආයෝජකයකුට කල්පිටිය සංචාරක කලාපය දෙන්න හෝ සංවර්ධන කටයුත්තක් කරන්න කලින් සංචාරක සංවර්ධන අධිකාරිය කළ යුතු පාරිසරික සහ වෙනත් ඇගයීම් මෙන්ම කළ යුතු නෛතික වැඩ කොටසක් තිබෙනවා. සංචාරක සංවර්ධනය සම්බන්ධව තිබෙන පනතෙ 06 වැනි වගන්තිය යටතේ, සංචාරක සංවර්ධන කලාපයක් ප්‍රකාශයට පත් කළාම 29 වැනි වගන්තිය යටතේ ගන්න ඕන වාර්තා ටික අරගෙන තමයි ආයෝජකයන්ට කතා කරන්නේ. ඒ වාර්තා අරන් නෑ කියනවා නම් ඒ අය වැරැද්දක් කළා කියලා පිළිගන්න වෙනවා.

ඊළඟ ප්‍රශ්නය සංචාරක සංවර්ධන අධිකාරියෙ යුතුකම් වගකීම් නොකෙරී තියෙද්දි වගකිවයුතු ආයෝජකයෙක් මේ වගේ ව්‍යාපෘතියකට ආයෝජනය කරයි ද යන කාරණාව. දැන් ප්‍රශ්නයක් මතුවෙලා. ඒ ප්‍රශ්නය මකා ගන්න ඒ අය ජාතික පාරිසරික පනතෙ තිබෙන පරිසර වාර්තාව ආයෝජකයා විසින් ගත යුතුයි යන තර්කය මතු කරනවා.

ආයෝජන ව්‍යාපෘතිය කියන්නෙ ප්‍රොජෙක්ට් එක. ව්‍යාපෘතියට අදාළ පාරිසරික ඇගයීම් වාර්තාව කියන්නෙ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව. ඒ කියන්නෙ උච්චිමොනෙ කියන කෑල්ලෙ කරන මොනවාහරි සංවර්ධනයකට ගන්න ඕන වාර්තාව. ඔව්... ඒ වාර්තාව ගන්න ඕන ආයෝජකයා තමයි. නමුත් දැන් මතුවන ප්‍රශ්නයට උත්තරය ඒක නෙමෙයි. ජගත් ගුණරවර්ධනයන් එසේ කියන්නේය.

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් ඉන්ෆාස්ය. ආන්දෝලනාත්මක මෙම ව්‍යාපෘතිය සමගම මේ දූපත් වාසීන් මෙන්ම ප්‍රදේශයේ පොදු ජනතාව ද ඉන්නේ තිගැස්මෙන් බව ඔහු අපට කියන්නේය.

“මේ ව්‍යාපෘතිය මොකක්ද කියලා අපි තව දන්නෙ නෑ. පිටරට කට්ටිය එක්ක කරන ගනුදෙනුවක දී අපේ මිනිස්සුන්ට මොනව වේවිද යන දෙගිඩියාවෙන් අපි ඉන්නේ. කල්මුණේ දූපත්වල මීට කලින් ඇවිත් කළ ආයෝජන මග දාලා ගිය අවස්ථා ඕන තරම්. ඒ අය යනකොට පරිසරයටත් හානියක් වුණා. මිනිස්සුන්ගෙ ජීවිතත් බිඳ වැටුණා.

ගමේ අයත් එක්ක සාකච්ඡා කරන්න අපට මේ දක්වා ලියුමක්වත් දීලා නෑ. සාමාන්‍යයෙන් මෙහෙම වැඩකදි විරෝධය නොදැක්වීමේ ලිපියක් ප්‍රාදේශීය සභාවෙන් ගන්නවා. එහෙම එකක් ආවොත් අපිට ගමේ අය එක්ක කතා කරලා අපේ අදහස් කියන්න පුළුවන්. අපි බලන් ඉන්නෙ එහෙම එකක් එනකම්.“ ගම දියුණු වෙනවා නම් මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව එය බව ඔහු කියන්නේය.

අරෝෂ් ප්‍රියංග පියතුමා කල්පිටිය මීසම් සේවක පියතුමාය. “මෙතැන තිබෙන විනිවිඳභාවය ගැන අපට ප්‍රශ්නය මතුවෙන්නෙ එතැනදි. සංචාරක ව්‍යාපාරයට අප විරුද්ධ නෑ. සංචාරක ව්‍යාපාරය හැරුණම කල්පිටිය බබළවන්න පුළුවන් ආර්ථික ක්‍රම කල්පිටියෙ තිබෙනවා. ඇයි මේ ගැන සංවේදී නොවී දූපත් විකුණන්න හෝ බදු දෙන්න යන්නෙ. මේ සිදුවීම් වුණු විදිහේ විනිවිද බවක් නැති වීම නිසාම මේ ව්‍යාපෘතිය ගැන ධනාත්මක අදහසක් මිනිස්සුන්ගෙ නෑ.

උච්චමුනෙයි කියන්නෙ දූපතක් නොවෙයි. එක් පැත්තකින් ගොඩබිමට සම්බන්ධ අර්ධද්වීපයක ආකාරයෙ ගොඩබිමක්. මේ බිමේ ගම්මාන 04ක් තිබෙනවා.

මේ දූපත්වල ඉන්නෙ බලපත්‍රයක්වත් නැතිව පරම්පරා උරුමයට පදිංචිවෙලා ඉන්න දුගී මිනිස්සු. මේ ව්‍යාපෘතිය ගැන බිම් මට්ටමේ විධිමත් සාකච්ඡාවක් අවශ්‍යයයි.“ පියතුමා කියන්නේ එවැන්නකි.

උච්චමුනේ වේලන්කන්නි මාතා ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති ලීනෙට් සෙබස්තියන් ඩයස් ය. මේ සිදුවන්නේ කුමක්දැයි ඔහුගේ ප්‍රජාව දන්නේ නැත.

“මේ ගමට අවුරුදු 70ක ඉතිහාසයක් තිබෙනවා. දැන් පවුල් 300ක් ඉන්නවා. ඒ පවුල් 300ම ඡන්ද හිමි නාම ලේඛනයේ ඉන්නවා. මේ වැලි පරය ජනාවාස කළ මිනිස්සු අතින් හිටවෙච්චි පොල් රුප්පාව තමයි මේ බිමේ තියෙන්නෙ.

මේක දූපතක් නෙමෙයි. තුන් පැත්තකින් මුහුදෙන් වටවූ ගමක්. මේ ගමේ ඉන්නෙ දුප්පත් ධීවරයො. ඔවුන් අවුරුදු මේ වසර 70 පුරාම ජලය, වතුර, විදුලිය හා මාර්ග පහසුකම් නැතිවයි ජීවත් වෙන්නේ. ඔවුන් තමයි වැලිපරය ලස්සන ජනාවාසයක් කළ මිනිස්සු.

ඒ මහා දුෂ්කරතා මැද පල්ලි හදාගෙන, පාසල්, පෙර පාසල් හදාගෙන අපි මේකෙ රස්සාව කරන් හිටියා. එහෙම ඉන්න අපව කිසිම දැනුම්වත් කිරීමක් නැතිව දැන් සංචාරක ව්‍යාපෘතියක් එනවා. අනේ හොඳයි ඉන් අපේ ජීවිත ගොඩනැඟෙනවා නම්. ලයිට්, වතුර එනවා නම්, ගෙවල් හැදෙනවා නම්. ඒත් එහෙම වැඩකට අපිව එකතු කරගන්න කිසිම වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාවක් මේ වනතුරු වෙලා නෑ. 

ධීවර සමිති සභාපති ලෙස මට හරිම උත්තරයක් නෑ. බොරුද ඇත්තද කියලා දන්නෙ නෑ මේ කියන්නෙ. මිනිස්සු කලබල වෙලා.

මෙහෙම වැඩකදි මුල්තැන දෙන්න ඕන මිනිස්සුන්ට එළවන්න නම් හදන්න එපා. අපි යන්නෙ නෑ. “ ඔහු කියන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දුය. ඇය මේ ව්‍යාපෘතිය සංක්ෂිප්ත කරන්නී මෙසේය.

අපට තිබෙන ප්‍රධාන රාජකාරි වගකීම් සහ අරමුණු මෙවැනි සංචාරක ව්‍යාපාරය ගොඩනැන්විය හැකි භූමි අපට පවරා දුන් පසු ව්‍යාපෘති තුළ ආයෝජයනයට සම්බන්ධවීම, රෙගුලාසි සම්පාදනය සහ ප්‍රචාරණය.

2019 දි තක්සේරු කර 2020 දී අත්සන් කළ මේ ගිවිසුම ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවීම සම්බන්ධව අපට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මේ ආයෝජන පමාවීම ගැන කෝප් කමිටුවෙදී අවවාද කළා. ඒ අනුවයි අපි අතිශය නීත්‍යානුකූල පදනමක් මත පසුගිය 11 වැනිදා මේ ගිවිසුමට අත්සන් කළේ. බදු ගිවිසුම අත්සන් කළාම ඉඩම ලීස් එකට දෙනවා පමණයි. ගොඩදෙනෙක් අහන දේ තමයි පරිසර අධ්‍යයන වාර්තා ගන්නව ද?. නැද්ද?. අපි ඒකට තාම ඇවිල්ලවත් නෑ.

ඉඩම බදු ගත්තට ඒ සමාගමට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් නොකර තවම මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ සැලසුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මට්ටමේ සියලුම වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් එකතුවෙන ස්කෝප් මීටින් එකට දාලා අත්සන් සහිතව අනුමත කරලයි මේ ව්‍යාපෘතිය වෙන්නෙ.

“සංචාරක කලාපයක් ප්‍රකාශයට පත් කළාට පස්සේ ගත යුතු මූලික වාර්තා තිබෙනවාද?“

“මාස්ටර් ප්ලෑන් එක හදලා ගයිඩ් ලයින් එක ගන්න ඕන. පෙබරවාරි මාසයෙ තමයි නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රධාන සැලසුම හදන්න අරන් තිබෙන්නෙ.

අවසාන වශයෙන් අපි ඇයව විමසුවෙමු.

“මේ ඉඩමේ බදු මුදලේ එක් වාරිකයක් හෝ අපට ලැබුණ ද?“

ඔවුන්ගෙන් වාර්ෂික බදු කුලිය වූ මිලියන 137ක මුදල ලබා ගන්නේ මාසික වාරික ලෙසිනි.

“පළවෙනි මාසේ වාරිකය සහ මුද්දර ගාස්තුව ගෙවන්න තිබෙනවා. බැංකු වැසී තිබුණු නිසා ඒ සඳහා සති තුනක කාලයක් අපි ඔවුන්ට දී තිබෙනවා“ සභාපතිනිය කියන්නේ එසේය.

මේ ව්‍යාපෘතිය දැනට රට තුළ විශාල සංවාදයක් උපදවා ඇත. රටේ ආර්ථිකය සමාජ ජන ජීවිතය කෙරෙහි එය කෙසේ බලපානු ඇතිදැයි අපි උපේක්ෂාවෙන් යුතුව බලා සිටිමු.

Comments