උන්ඩියල් ජාවාරමුන් අල්ලන්න එස් ටී එෆ් කළ මෙහෙයුම | සිළුමිණ

උන්ඩියල් ජාවාරමුන් අල්ලන්න එස් ටී එෆ් කළ මෙහෙයුම

- රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ඩොලර්: එක් කෝටි අසූ ලක්ෂයක යූරෝ සොයා ගනී
- බොරලැස්ගමුව පැපිලියාන නිවාස දෙකක් වටලයි

නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ මුදල් ගනුදෙනු කරන මධ්‍යස්ථාන (උණ්ඩියල් ගනුදෙනු) ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුවිශේෂී අවධානය යොමු වී ඇත්තේ විශේෂයෙන් දැනට මාස කීපයකට පෙර සිටම ය. 

උණ්ඩියල් ජාවාරම්කරුවන් වැඩිපුර සිය මධ්‍යස්ථාන පවත්වා ගෙන යන්නේ කොළඹ පිටකොටුව සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවලය. පොලිසිය මේ ගැන සුවිශේෂී අවධානයක් ද යොමු කැර තිබිණි.

උණ්ඩියල් ජාවාරම්කරුවන් ගැන මෙසේ විමර්ශනය කරන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉතා සුවිශේෂී තොරතුරක් පසුගියදා අනාවරණය කර ගෙන තිබිණි. ඒ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් ජාවාරමක් සිදුකරගෙන යන ස්ථානයක් පිළිබඳවය. එම ස්ථානය පිහිටා තිබුණේ බොරලැස්ගමුව පොලිස් වසමට අයත් ජී. එච්. පෙරේරා මාවතේය. එය නිවෙසකි.

උණ්ඩියල් ක්‍රමයට ඩොලර් ජාවාරම් සිදුකරන මෙම ස්ථානය වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැලැසුම් සකස් කරන්නේ ඉන් අනතුරුවය. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් අංක 01 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩී.එල්. විජේරත්න ඇතුළු කණ්ඩායම බොරලැස්ගමුව ජී.එච්. පෙරේරා මාවතේ අදාළ නිවෙස වටකර පරීක්ෂා කරන්නේ මැයි 14 වැනිදාය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරු සියයට සියයක් නිවැරැදි විය. අදාළ නිවෙසේ තිබුණු අමෙරිකානු ඩොලර් 47,000ක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි විය. එම ඩොලර්වල මෙරට වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවට ගණන් බලා තිබිණි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මේ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයනට හැකි විය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සැලැසුම සකස් කැරෙන්නේ ඉන් අනතුරුවය. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ලවා සෙසු තැනැත්තාට දුරකතන ඇමතුමක් ලබාදී ඔහු කිසියම් ස්ථානයකට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සැලැසුම් කැරිණි. ඒ අනුව ඔහු එස්.ටී.එෆ්. අත් අඩංගුවට පත්වන්නේ බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදීය. සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 40 කි. සෙසු පුද්ගලයා 52 හැවිරිදිය.

මේ පුද්ගලයන් දෙදෙනා තවත් කීපදෙනෙකුගේ සහයෝගය ඇතිව උණ්ඩියල් ක්‍රමයට ඩොලර් ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි විය.

මේ මෙහෙයුම අවසන් වනවාත් සමඟම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත ගසන්නේ තවත් එවැනිම මෙහෙයුමකටය.  

උණ්ඩියල් ක්‍රමයට ‘යූරෝ විදෙස් මුදල් ජාවාරම් සිදුකරන පුද්ගලයකු පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බළකාය තොරතුරු රැසක් සොයාගෙන තිබිණි. අදාළ ජාවාරම්කරුවා පදිංචිව සිටින පැපිලියානේ නිවෙස ගැන ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව වැටලීම සැලැසුම් කැරිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක වරුණ ජයසුන්දර ගේ උපදෙස් මත මේ වැටලීමට නායකත්වය දෙන්නේ බොරලැස්ගමුවේ උණ්ඩියල් ඩොලර් ජාවාරම වැටලීමට නායකත්වය දුන් සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර ය. වැටලීම් ඒකක අංක 03 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එන්.ටී. කුමාර ඇතුළු කණ්ඩායම පැපිලියානට යන්නේ අදාළ නිවෙස වැටලීම සඳහා ය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමට ලැබී තිබුණු තොරතුරු ඉතා නිවැරැදි විය. අදාළ නිවෙසේ තිබූ යූරෝ 50000 ක් සොයා ගැනීමට පොලිසියට හැකි විය. මෙම මුදල්වල දේශීය වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නය.

මෙම මුදල් ‘ප්‍රකට ආදායමෙන් කොටසක්‘ නොවන බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබිණි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පුංචි බොරැල්ලේ පදිංචිකරුවෙකි. ඔහු 55 හැවිරිදිය. මේ මුදල් ඉපයූ ආකාරය හෝ ගනුදෙනු සිදුවූ ආකාරය මේ පුද්ගලයා දැන නොසිටීම ඉතා සුවිශේෂීය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මේ ඩොලර් සහ යූරෝ උණ්ඩියල් ජාවාරම්කරුවන්ට විරුද්ධව වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියේ කිරුළපන පිහිටි නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට භාරදීමට කටයුතු යොදා තිබිණි.

කිසියම් මුදල් ගනුදෙනුවක් සිදුවූ තැනක් හෝ එම ගනුදෙනුව සිදුවූ ආකාරය කිසිම තැනක සටහන් නොවීම උණ්ඩියල් ජාවාරමේ සුවිශේෂී තත්ත්වයයි. කිසියම් රටක හෝ ප්‍රදේශයක සිටින පුද්ගලයකුට කිසියම් මුදලක් යැවීමට අවශ්‍ය වූ අවස්ථාවක නිත්‍යානුකූල ක්‍රමය වන බැංකු මඟින් එම මුදල් නොයවා මෙරට සිටින නියෝජිතයකුට එම මුදල් ලබාදී එම නියෝජිතයා මඟින් අදාළ රටේ සිටින ඔහුගේ තවත් නියෝජිතයකු මාර්ගයෙන් අදාළ පුද්ගලයාට අවශ්‍ය මුදල ලබාදීම උණ්ඩියල් ජාවාරමේ සිද්ධාන්තයයි.

මේ සඳහාම සැදී පැහැදී සිටින උණ්ඩියල් ජාවාරම්කරුවන් මෙරට සිටිති. එම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය, අවි ආයුධ ඇතුළු ජාවාරම් ගණනාවක් සඳහා උණ්ඩියල් ක්‍රමය භාවිතා කරන බව රහසක් නොවේ.

උණ්ඩියල් ක්‍රමය ලොව පුරා ද ත්‍රස්තවාදීන් සහ අවි ආයුධ ජාවාරම්කරුවන් අතර ප්‍රචලිතය. මිනිස් ජාවාරම් සඳහා ද මේ ක්‍රමය යොදා ගන්නේ අද ඊයෙක නොවේ.

කොටි සංවිධානයට අවශ්‍ය අවි ආයුධ ඇතැම් අවස්ථාවල ද ලැබී තිබුණේ මෙවැනි උණ්ඩියල් ජාවාරමුන්ගේ මැදිහත්වීමෙනි.

කොටි සංවිධානයට හිතවත් දෙමළ සංවිධාන ලොව රටවල් ගණනක ක්‍රියාත්මක වූ හැටි නොදන්නා කෙනෙක් නැත. මේ සංවිධාන කොටි සංවිධානය වෙනුවෙන් අවි ආයුධ මිලදී ගැනීම සඳහා එකතු කළ මුදල් උණ්ඩියල් ජාවාරමේ නිරත ඇතැම් සංවිධාන වෙත ලබා දුන් අතර එම සංවිධාන ඉන් අනතුරුව සිදු කරන්නේ අවි ආයුධ ජාවාරම්කරුවන්ට අදාළ මුදල් ලබාදීමයි. ඉන් අනතුරුව අවි ආයුධ ජාවාරම්කරුවෝ සිදු කරන්නේ තමන් සතු අවි ආයුධ කොටි සංවිධානයට ඉතා රහසිගතව ලබාදීමය.

වර්තමානයේ විදෙස්ගතව සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද නිත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ඩොලර් එවන්නේ මෙහි සිටින උණ්ඩියල් ජාවාරම්කරුවන් බැංකුවලට වඩා කිසියම් වැඩි මුදලක් ඔවුනට ලබාදෙන නිසා ය.

මෙහිදී සිදුවන ක්‍රියාවද සුවිශේෂීය. එතෙර සිටින අයකු මෙරටට එවන ඩොලර්වලට බැංකුවල ගෙවන මුදලට වඩා මුදලක් ලබා ගැනීමේ අරමුණින් එම ඩොලර් එරට සිටින නිල නොවන තැරැව්කරුවකුට ලබාදෙන අතර ඒ ඇසිල්ලේම මෙරට සිටින තැරැව්කරු එතෙර සිටින අදාළ ගනුදෙනුකරුවා නම් කරන මෙරට සිටින අයකුට මෙරට මූල්‍ය ආයතන ඩොලරයකට ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ලබාදීම සිදු කරයි. මේ ගනුදෙනු කිසිම තැනක සටහන් නොවීම ද උණ්ඩියල් ක්‍රමයේ සුවිශේෂී තත්ත්වයයි.

Comments