Dialog, MAS හා Hemas එකතුවෙන් ඇරඹුණු ‘මනුදම් මෙහෙවර’ට CBL එක්වෙයි | Page 2 | සිළුමිණ

Dialog, MAS හා Hemas එකතුවෙන් ඇරඹුණු ‘මනුදම් මෙහෙවර’ට CBL එක්වෙයි

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා PwC Sri Lanka එක්ව රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සමඟ CBL සමූහය එක්වීම පසුගියදා සිදුවිය.

එහි බෙදාහැරීමේ සහකරු සර්වෝදය හා විගණන සහකරු PwC Sri Lanka ඇතුළු සම අදහස් ඇති හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් Dialog, MAS, Hemas සහ CBL අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතුරින් පවුල් 100,000කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට සියලුම දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රකෘතිමත් සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක කෙරේ.

CBL සමූහයේ, සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ අදහස් දක්වමින් “සෙනෙහස, ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා විශ්වසනීය බව යන මූලික හර අගයන් මත CBL ගොඩනගා ඇති අතර සෙනහස යන හර අගය සඳහා CBL හි විශේෂ ස්ථානයක් හිමිවනවා. මෙම ක්‍රියාන්විතයට හවුල් වීමට ලැබීම පිළිබඳ අප සතුටු වන අතර මෙම කාලෝචිත ප්‍රයත්නයේ කොටස්කරුවකුවීමට අපට ආරාධනා කිරීම පිළිබඳ ඩයලොග් ආයතනයට ස්තූතිවන්ත වනවා.වගකිවයුතු ආයතන ලෙස ප්‍රජාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි මාවත් තුළ ක්‍රියාකාරීව නියැළීමේ යුතුකමක් අප සතුවන අතර, මෙම අවස්ථාවේදී අවශ්‍යතා ඇති බොහෝ ශ්‍රී ලාංකිකයින්ට අපට උපකාර කළ හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා.

රටක් වශයෙන් අපට නව දැක්මක්, සැමට සෞභාග්‍ය අවශ්‍ය වන අතර මෙම දැක්මට තවත් පියවරක් ඉදිරියට තැබීමට උපකාර වන මානූෂීය ක්‍රියාන්විතය සමඟ හවුල්වීමට හැකිවීම පිළිබඳව CBL සතුටට පත්වනවා.” යනුවෙන් සඳහන් කළාය.නව හවුල්කාරිත්වය පිළිබඳ නිවේදනය කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ Dialog Axiata PLC හි Dialog Enterprise සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා “Dialog, MAS, Hemas, සර්වෝදය සහ PwC වෙනුවෙන් මම CBL සමූහයට ස්තූතිය පුදකර සිටිනවා හදිසි සහන අවශ්‍ය ප්‍රජාවන්ගේ යහපත උදෙසා සහාය දැක්වීමට අප හා සම්බන්ධ වීම පිළිබඳ. CBL සමූහය ‘මනුදම් මෙහෙවර’ වැඩසටහනට එක්වීමත් සමඟ පවතින ආර්ථික තත්වය හමුවේ පීඩාවට පත්වූවන්ට සහාය දැක්වීමේ අරමුණින් යුතුව ඇරඹුණු මෙම ආයතනික හවුල තවදුරටත් ශක්තිමත් වනවා.” යැයි පැවැසීය.

එම හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ චාමින්ද රාජකරුණා මෙසේ පැවැසීය. “මෙම උදාර කටයුත්ත සඳහා එක්ව සිටින Dialog, MAS, Hemas සහ CBL වෙත සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය වෙනුවෙන් මාගේ කෘතඥතාව හා ප්‍රශංසාව පළ කර සිටිනවා.මානුෂීය සේවා සැපයීම සඳහා ගොඩනැඟුණු සංවිධානයක් ලෙස සර්වෝදය දිවයින පුරා සිය සේවා සැපයීමේදී තම දරුවන්ට දෛනික ආහාර වේලක් සපයාගත නොහැකි අඩු ආදායම්ලාභී පවුල් මුහුණදෙන සටන සියැසින් අත්විඳ තිබෙන අතරම, වර්තමාන ආර්ථික අපහසුතා සමඟ මැදි ආදායම් ලාභී පවුල් ද තමන්ගේ මීළඟ ආහාර වේල සපයාගන්නේ කෙසේදැයි අවිනිශ්චිතතාවයකින් පසුවන ආකාරය අප දකින පළමු අවස්ථාව මෙයයි.සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම කුසගිනි නිවා මුවඟට සිනහවක් ගෙන ඒමේ ජාතික මෙහෙවරට මෙම වගකිවයුතු ආයතන සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයකි.”

මෙම ප්‍රයත්නයට එක්වන ලෙසත් හදිසි සහන බෙදා හැරීමේ මෙහෙයුම් පුළුල් කිරීමට සහාය වන ලෙසත් ‘මනුදම් මෙහෙවර’ සියලු ආයතනයන්ට ආරාධනා කරයි.

Comments