මෙරට සුභාවිත සංගීතයත්, ගීතයත් අභාවයට යන්නෙ නැති බව මට විශ්වාසයි | Page 2 | සිළුමිණ

මෙරට සුභාවිත සංගීතයත්, ගීතයත් අභාවයට යන්නෙ නැති බව මට විශ්වාසයි

සංගීතය මානසික ව්‍යාධීන් අවම කර ගැනීමටත් ඉවහල් වෙනවා

සංගීතය සම්බන්ධ බොහෝ විභාග වාණිජකරණය වෙලා

නිර්මාණ රසවිඳීමට හුරු කරවීම සංගීත අධ්‍යාපනයෙන් සිදුවිය යුතු වැදගත් කාර්යයක්

මෙරට ඇතැම් සමාජ කාරණා සෞන්දර්යාත්මකව සුභාවිත සංගීතයත් සමග මුසුවූ විට ව්‍යුත්පන්න වන්නේ අපූර්වත්වයකි. එවන් අපූර්වත්වයෙන් යුතු සංගීත ක්ෂේත්‍රයත් පිළිබඳව විවරණයක යෙදීමෙන් හට ගන්නේ රසානන්දයකි. සුභාවිත සංගීතය පිළිබඳ මනා අවබෝධයකින් පසුවන සහ එම සංගීතය මැනවින් ප්‍රගුණ කර, ඒ සංගීතය පෝෂණය කිරීමටත්, සුපුෂ්පිත කිරීමටත් නිබඳවම කැපවීම් කළ ප්‍රවීණ සංගීතඥයෙක් ලෙස සංගීතඥ ගයාන් ගණකධාරයන් හැඳින්වීමට පුළුවනි. වර්තමානයේ අපේ රටේ සුභාවිත සංගීතය සම්බන්ධව සංගීතඥ ගයාන් ගණකධාරයන් සමග සිදු කළ පිළිසඳරකින් මෙම ලිපිය දිග හැරේ.

 

මෙරට සුභාවිත සංගීතයේ ආරම්භයට පදනමක් වැටුණේ කවර ආකාරයකින් ද ?

සුභාවිත සංගීතයේ ආරම්භයට යම් පදනමක් වැටෙන්න හේතුවක් වෙන්නේ, හින්දුස්ථානී රාගධාරී සංගීතයයි. හින්දුස්ථානී රාගධාරී සංගීතය පදනම් කරගෙනයි‍; මෙරට සංගීතඥයන් දේශීය සංගීතයක් පිළිබඳව සොයන්න පටන් ගන්නේ, පර්යේෂණ කරන්න පටන් ගන්නේ, හදාරන්න පටන් ගන්නේ සහ නිර්මාණ කරන්න පෙලඹෙන්නේ. ඒ නිසා සිංහල සුභාවිත සංගීතයට පදනම වැටෙන්න හින්දුස්ථානී රාගධාරී සංගීතයත්, නැතිනම් උතුරු ඉන්දියානු සංගීතයත් යම් බලපෑමක් වූවා යැයි සඳහන් කළහොත් එය නිවැරදියි.

 

සුභාවිත සංගීතය මගින් මානසික හෝ ශාරීරික ව්‍යාධීන් සුවපත් කිරීමට හැකියාවක් පවතී ද?

මනුෂ්‍යයා තුළ නිර්මාණශීලී හැකියාවන් ගොඩනැගෙන්න, මානසික සුවයත් අවශ්‍යයි. සංගීතය මනසට සුවය ගෙන දෙන කලාවක්. සංගීතය තුළ පවතින්නේ සතුට. ඒ සතුට තුළ තමයි ප්‍රමෝදයට පත්වීමෙන් මනස සුව වීමට හේතුවක් වන්නේ. ඒ නිසා ශාරීරික රෝග සුවපත් වීමට විශේෂයෙන් සුභාවිත සංගීතය හේතුවක් වෙන්න පුළුවන්. ඒවාගේම මෙම සංගීතය මානසික ව්‍යාධීන් අවම කර ගැනීමටත් ඉවහල් වන බවයි මගේ විශ්වාසය.

 

සුභාවිත සංගීතය රසවිඳීමට හැකි වන්නේ උසස් මනසක් සහිත රසික රසිකාවියන්ට පමණක් ද?

සුභාවිත සංගීතය පමණක් නොවෙයි ඕනෑම් කාරණයක් තේරුම් බේරුම් කර ගැනීමටත්, ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්, ප්‍රමාණවත් දැනුමක් අවශ්‍යයි. දැනුම වර්ධනය කර ගන්නේ අධ්‍යාපනයෙන්. ඒ නිසා උසස් මනසක් ඇතිකර ගැනීමේ ක්‍රියාවලිය තුළ දී, රසික රසිකාවන්ට හොඳ අධ්‍යාපන මට්ටමක් තිබීමත් වැදගත්. එවැනි රසික රසිකාවන්ට සුභාවිත සංගීතය ඉහළ මට්ටමින් රසවිඳීමට පුළුවන්. අතීතයේ මෙරට නිර්මාණය වූ ඇතැම් සුභාවිත ගීත මගින් සමාජයට බෙහෙවින් බලපෑම් ඇති වී තිබුණා. විවිධ මුහුණුවරයන්ගෙන් යුතු සමාජ කාරණා පිළිබඳව කියැවෙන ගීත සමාජ දියුණුවට බොහෝ සේ උපකාරී වෙන බවයි මගේ අදහස. විශේෂයෙන් විරෝධාකල්ප ගීත මඟින් සමාජය තුළ නව ආකල්ප සංකල්පනා බිහි කළ හැකියි. විශාරද ගුණදාස කපුගේ, විශාරද නන්දා මාලනි වැනි ගායක ගායිකාවන් එවැනි අර්ථවත් හරවත් ගීත ගායනා කළා. ඒවගේම ගීත රසික රසිකාවින් මනස දියුණු කර ගැනීමට අමතරව ගීත රසවිඳීමේ කාලාවත්, අවබෝධ කරගත යුතුයි.

 

වර්තමානයේ මෙරට සුභාවිත සංගීතයේ ගමන්මඟ කෙසේ වන්නේ ද?

සංගීත විෂයෙහි බෙදීම් තිබිය නොහැකියි. සංගීතය වර්ගීකරණයක් නොකළ යුතුයි. නමුත් වර්තමානයේ සිදු වී තිබෙන්නේ එම තත්ත්වයයි. සංගීතය වර්ගීකරණය කිරීමේ කාරණාව මුල් කරගෙන වර්තමානයේ පාසල් අධ්‍යාපනය තුළ බොහෝ ගැටලු මතු වී තිබෙනවා. හින්දුස්ථාන, කර්ණාටක නැතිනම් පෙරදිග අපරදිග ලෙස සංගීතයේ බෙදීම් දූ දරුවන්ට ගෙන දෙන්නේ ව්‍යාකූලත්වයක්. ඒ නිසා මේ පිළිබඳව සැලකිළිමත් විය යුතුයි. ස්වර දොළහ හඳුනා ගනිමින් සහ එමඟින් නිර්මාණ කරමින්, පසුව ඒ නිර්මාණ රසවිඳීමට හුරු කර වීම සංගීත අධ්‍යාපනයෙන් සිදු විය යුතු වැදගත් කාර්යයක්.

 

සුභාවිත සංගීතය හැදෑරීමත්, රැකගැනීමත් කළ යුත්තේ ඇයි ?

මෙරට විද්යුත් මාධ්‍ය තුළින් සුභාවිත සංගීතයට හිමි කර දී තිබෙන තැන පිළිබඳව සතුටු වෙන්න බෑ. විශේෂයෙන් ගීතවල අන්තර්ගත භාෂාව නරක තත්ත්වට පත් කළේ විද්‍යුත් මාධ්‍ය තුළින්. වර්තමානයේ ගීත මාධ්‍ය වානිජකරණය වී තිබෙනවා, ඒවාගේම දේශපාලණකරණය වී තිබෙනවා.

යුද්ධ කාලයේදී වගේම දේශපාලනය හා සම්බන්ධව නිර්මාණය වූ ගීත නිරීක්ෂණය කිරීම තුළින් ඒ පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. ඒවාගේම ගීතය පිළිබඳව වූ මිනිසුන් තුළ තිබූ විශ්වසනීයත්වය පළුඳු වී තිබෙන බවයි පෙනී යන්නේ. එවැනි පසුබිමක් තුළ ගීතය රැක ගැනීමේ අවශ්‍යතාවක් පවතිනවා.

මෙරට විශ්වවිද්‍යාල මට්ටමින් පාසල් මට්ටමින් ගීත පිළිබඳව රසවින්දන වැඩ සටහන් ක්‍රියාත්මක වීමෙන්, සුභාවිත සංගීතයත්, ගීතයත් පිළිබඳ ව හැදෑරීමට පුළුවන්. පාඨශාලා පෙළ පොත්වල අන්තර්ගත ගීත පිළිබඳවත්, සෑහීමකට පත් විය හැකියි. පාඨශාලා පෙළ පොත් මගින් විශේෂයෙන් ජන ගායනා, සිංහල ගීත නිර්මාණකරුවන් පිළිබඳව හඳුන්වාදීමට දරන වෑයමත් ප්‍රශංසනීයයි.

එවැනි ප්‍රයත්නයන් නිසා මෙරට සුභාවිත සංගීතයත්, ගීතයත් අභාවයට නොයන බවයි මගේ විශ්වාස ය. වර්තමානයේ ඇතැමුන් විශාරද සහතිකයක් පැවතුණු නමුත්, රාගයක් වාදනය කර ගැනීමට පවා දැනුමක් නෑ. සංගීත විභාග සමත් වූවත්, නිසි අවබෝධයක් නොමැතිකමයි ඊට හේතුව.

මෙවැනි කාරණාවලින් පෙනී යන්නේ, සංගීතය සම්බන්ධ බොහෝ විභාග වාණිජකරණය වී ඇති බවයි. මෙරට සංගීතය සම්බන්ධ විභාග සංස්කෘතිය පිරිහීමකට ලක් වී තිබෙන බවක් ඉන් පිළිබිඹු වෙනවා.

Comments