මම කැමති සිතිවිලි අවුස්සන ගීතවලට | Page 2 | සිළුමිණ

මම කැමති සිතිවිලි අවුස්සන ගීතවලට

සෞන්දර්යාත්මක ව්‍යාපාරයක් ලෙස ගොඩනැඟුණු ගීතයේ බලය ස්ව සංස්කෘතිය තුළ ස්ථානගත වෙයි. ගීතයක් අපට ඇති කරන බලපෑම තර්කානුකූල වචනවලින් ප්‍රකාශ කළ හැක්කේ කාටද? ගීතය යනු ජීවිතයමයි. හොඳ ගීත නොඅසා ජීවිතයක් දිනිය හැකිද? හොඳ ගීතයක ප්‍රභේදය අපට නොදැනේ. වැදගත් වන්නේ ගීතය අපට දැනෙන ආකාරයයි.

 

එම පදනමින් ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ටී. එම්. ජයරත්න හා සුනිලා අබේසේකර ගයන, ධර්මසේන පතිරාජ ලියූ, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ හංස විලක් ’ චිත්‍රපටයේ ‘හිමින් සැරේ පියා විදා’ ගීතය දෙසට හැරෙමි.

 

හිමින් සැරේ පියා විදා

හිමින් සැරේ පියා විදා

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

පලා ඇවිත් සිතුම් සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන

සිනිඳු සුකොමල රුවෙන් සරසන

විලක් නම් එය විලක් වුව මැන

නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුනු රොනින් මත් වී

සිහින නිම්නය සුපුෂ්පිත වෙයි

සිහින් හඬකින් මහද අමතයි

මුදා හැරදා පවුරු සිරි යහනේ

 

ගීතයේ ආරම්භක වචන, යම් හැඟීමක් හා මනෝභාවයක් යෝජනා කරන අතර එය තනු නිර්මාණයෙන් ප්‍රබෝධවත් කර ඇත. මෙම ගීතයේ පදවලට මාව සසල කිරීමට බලයක් ඇත. එක් සයනයක සිට තවත් සයනයක මනෝරථයේ යෙදෙන හැඟීම් උතුරන ආදරයක කතාවක් මේ පද රචනය කියයි. මතුපිට ජීවිතයට යටින් පවතින සංජානන මෙහෙයුම් හැමවිටම ඍජු භාෂාමය නොවෙයි. වචනවල සහජීවනය හා ආදරය ඇති සෑම තැනකම ගීතයක් ඇත. පතිරාජ මතුකරන ආදරය අතිශය ගැඹුරු හා උත්තරීතර වූවක් වන්නේ එබැවිණි.

බොහෝ සංගීත ප්‍රවාහ ගවේෂණය කරමින් සමකාලීන සංගීතයට ගැළපෙන පරිදි කේමදාසයන් අද්විතීය සංගීත ශෛලියක් අපට ප්‍රදානය කරයි. ඔහු ගායනයේ නාද මාලාවන් ද විසංයෝජනය කරයි. ගීතයක මූලික අවශ්‍යතාව විශිෂ්ට සිතුවිලි ඉදිරිපත් කිරීමයි. එහි හැඟීම්වලින් ආත්මය අවුස්සනු ඇත. මෙම ගීතය අසන මම ගීතය හෝ සංගීතය කලාවේ විද්‍යාවක් ලෙස දනිමි.

සෑම විටම හොඳම ගීතය කුමක්දැයි පුද්ගලයන් 10 දෙනෙකුගෙන් විමසූ විට විවිධ පිළිතුරු 10ක් ලැබෙනු ඇත. විශිෂ්ට ගීතයක සුන්දරත්වය එයයි. ගීතය ඔබව පුද්ගලික මට්ටමකින් කියවීමට බල කරයි. එය අන් අය සිතන දෙයට වඩා තමාට බෙහෙවින් වැදගත් ය.

 

යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්

ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්

අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්

කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්

පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්

රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්

එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්

කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්

කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ළඟ උතුම්

 

ගීතය ජීවිතයේ අභ්‍යන්තර හැඟීම වෙනස් කළ හැකි සාහිත්‍යයක් වැනි ය. ගීතයකට සීමා මායිම් නොමැති අතර එය ප්‍රකාශන ආකාරයකි. මෙම ගීතය සරලව ලියා ඇති ගී පද වලින් මනා වූ වියමනකි. යථාර්ථවාදී සංකේතවාදයේ පද ස්ථරවලින් පිරී ඇති, මෙම ගීතය සුනිල් ආරියරත්නයන්ගේ අද්විතීය පරිකල්පනයේ ඵලයකි. දියුණු නොවන සමාජයක සැඟවිය නොහැකි ගීතයක් බවට පත්ව ඇති මෙම ගීතය ගයන්නී නන්දා මාලිනියන්ය. නන්දා - සුනිල් ගීත යාත්‍රාව ගැඹුරු වී පුළුල් වූ දියමන්තියක් මෙන් විස්මිත හා තියුණු ව වීථියේ අවංකභාවයට නැවත ද එකතුව ඇත.

එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගායන කටහඬ සංගීත භාණ්ඩයක් වැනියැයි මට සිතේ. සංගීත භාණ්ඩයක ගුණාංග වලට අමතරව එයට වාචික සංරචක එකතු කරයි. ජෝතිගේ ගායන කටහඩේ බල ප්‍රභවය අපගේ මනෝභාව හා සමීප සම්බන්ධතාවකට හෘදයාංගමව ආරාධනා කරයි.

 

පහන් ටැඹ යට සොහොන් කොත ළඟ

කවුද කාටද අත වනන්නේ

දෑස නිදි නැති රෑක මැදියම

ඔබේ ඉකි හඬදෝ ඇසෙන්නේ

ඇසෙන්නේ...

ඔබ වියෝවින් වේදනාවෙන්

හීන් හිරිපොද වැටුණු දවසක

නෑ සියන් හා කරපිටින් මා

ගෙන ගියා ඔබ සොහොන් පිටියට...

ඒ සොහොන් කොත පෙනෙන මානේ

පුංචි කුටියක කවුළුවක් ළඟ

බලා ඉන්නෙමි සිතින් හමුවී

කියා ගන්නට සිතක බැඳි පෙම...

 

ජීවිත්වීමට ආදරයේ ආශ්වාදයක් සහ අභිප්‍රේරණයක් අත්‍යාවශ්‍ය වේ. ආශ්වාදජනක ගීතය මනෝභාව ඉහළ නැංවීමට හොඳම ක්‍රමයයි. මෙම ගීතයට මාගේ මනෝභාවය ඉහළ නැංවීමට, සතුටක් දැනවීමට සහ සාංකා මට්ටම අඩු කිරීමට හැකිය. සිතුවිලි අවුස්සන ගීතයට සවන් දීමට මම කැමතිය. නිරපේක්ෂ අරුතක් නැතිවීමත් සමඟ, ජීවිතයේ සැබෑ හැඩයක් හෝ ස්වරූපයක් නොමැති බැවින් හා එක් සත්‍යයක් තවත් සත්‍යයක් මත ගොඩගැසී ඇති බැවින් මෙම ගීතය නූතන ආදර සාංකාවේ ස්වභාවය ප්‍රකාශ කිරීමට සමත් ය.

Comments