බොලිවුඩ් සිනමාවේ පාතාල ලොක්කන්ගේ සුරතල් තරු | Page 2 | සිළුමිණ

බොලිවුඩ් සිනමාවේ පාතාල ලොක්කන්ගේ සුරතල් තරු

වර්ණවත් බොලිවුඩ් සිනමාවේ රිදී තිරය මතදී සුපිරි වීරයන් පාතාල නායකයන්ට එලව එලවා පහර දුන්නත් තිරයෙන් පිටුපස සැබෑ යථාර්ථය එයට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ දන්නවාද? ෆැන්ටසි ලෝකයේදී පාතාලය විනාශ කරන දැවැන්ත සිනමා තරු සැබෑ ලෝකයේදී පාතාල නායකයන්ගේ කීකරු සුරතලුන් බවට පත්වීමේ උත්ප්‍රාසය පසුපස දත් විලිස්සාගෙන සිටින්නේ පාතාලය සතු මුදල් සහ බලය බව ප්‍රකට කරුණක්. සුරූපී නිළියන් ප්‍රධාන චරිතයක් වෙනුවෙන් පාතාලය ඉදිරියේ සිය සළුපිලි උනා දමද්දී, කඩවසම් රංගන ශිල්පීන් හා පාතාල නායකයන් අතර කැමරාව පසුපස සිදුවූ ගනුදෙනු කිහිපයක් ගැනයි මේ.

 

ගුල්ෂන් කුමාර් ඝාතනය

ඔබ හින්දි ගීත රසිකයෙක් හෝ රසිකාවියක් නම් T-SERIES ලේබලය ගැන අසා ඇති බවට සැකයක් නැහැ. ඉන්දියාවේ ප්‍රධානතම ගීත (හිමිකාරිත්ව ප්‍රතිශතය 35%) සහ සිනමාපට නිෂ්පාදන සමාගමක් වන එය වර්තමානයේ YOUTUBE අවකාශය තුළ වැඩිම ග්‍රාහකයන් පිරිසක් සමන්විත චැනලය ලෙසටද සැලකෙනවා.T-SERIES ගීත YOUTUBE තුළ පමණක් ප්‍රේක්ෂකයන් විසින් නරඹා ඇති වාර ගණන බිලියන 188ක් වීම තුළින්ම එහි ආධිපත්‍ය ගැන ඔබට අදහසක් ලබා ගත හැකියි.

ගුල්ෂන් කුමාර් මෙම දැවැන්ත සමාගමේ නිර්මාතෘ මෙන්ම හිමිකරු බවට පත්වුණේ ඉන්දියානු සිනමාව තුල සිංහයකු සේ දැවැන්ත බලයක් පතුරවමින් වුවත් ප්‍රකට පාතාල නායක ඩාවුඩ් ඉබ්‍රහිම් ගේ D-COMPANY කල්ලියට ඔහුව පෙනුණේ මුරණ්ඩු පූස් පැටියකු ලෙස පමණයි. කප්පම් ඉල්ලමින් පැමිණි ඩාවුඩ් සහ අබු සලීම්ගේ දුරකථන ඇමතුම් ගුල්ෂන් විසින් සත පහකට මායිම් නොකිරීමේ ප්‍රතිඵලය වුයේ කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ප්‍රසිද්ධියේ ඔහුව ඝාතනය කිරීමයි.

සුපුරුදු පරිදි ශිව දෙවියන් වන්දනාමාන කිරීමට කෝවිලකට යමින් සිටි 41 හැවිරිදි ගුල්ෂාන් කෙරෙහි වූ ඩාවුඩ්ගේ කෝපය පිටවී තිබුණේ වෙඩි උණ්ඩ 16ක් ලෙසිනුයි. ගුල්ෂාන්ගේ ඝාතනය ලුණු ඇඹුල් සහිතව ඉන්දියානු මාධ්‍ය වාර්තා කිරීම පසුපසද ඩාවුඩ්ගේ මුදල් තිබු බව පැවසෙන අතර, එම සිදුවීමෙන් පසු කිසිම බොලිවුඩ් බලවතකු ඩාවුඩ්ගේ දුරකථන ඇමතුමක් මඟහැර යාමට තරම් එඩිතර වී නැහැ.

 

රාකේෂ් රොෂාන් ඝාතන තැත

රාකේෂ් රොෂාන් යනු සුපිරි බොලිවුඩ් නළු රිතික් රොෂාන්ගේ පියායි. සුප්‍රකට රොෂාන් පවුලේ දැවැන්තයකු වූ ඔහු KAHO NAA PYAR HEI,KRISH වැනි ජනප්‍රිය සිනමාපට ගණනාවක අධ්‍යක්ෂකවරයා බව බොහෝ දෙනෙකු දන්නා කරුණක්. රාකේෂ් සහ පාතාල නායක අලි බබා බුදේශ් අතර ගැටුමක් ඇරඹුණේ KAHO NAA PYAR HEI සිනමාපටයේ අතිසාර්ථකත්වයද සමඟිනුයි.

කප්පමක් ලෙස තමාගේ කොටස ඉල්ලා අලි බබා විසින් කළ තර්ජන 'අලි කතා' ලෙස පමණක් සලකා ඉවත දැමීම තමා කළ විශාල වරදක් බව ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාට තේරුම් ගියේ පිස්තෝල උණ්ඩ දෙකක් ඔහුගේ පපුවට සහ අතට ඇතුළු වූ පසුවයි.

සිය කාර්යාලය පෙනී පෙනී වෙඩි පහරට ලක්වූ රාකේෂ් යන්තමින් දිවි ගලවා ගැනීමට සමත්වූ නමුත් දින ගණනක් රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට සිදුවුණා.

ඩාවුඩ් සහ අලි බුදේශ් දෙදෙනා රාකේෂ්ට අමතරව බොනී කපූර්, මුකේෂ් භාත් ආදී අධ්‍යක්ෂකවරුන් ගණනාවකට තමන්ගේ කොටස ඉල්ලා ඇමතුම් ලබා දී ඇති බව පැවසෙනවා.

එහි ප්‍රතිඵල කිසිවක් පොලිස් පොතේ ලියවී නොමැති අතර, ඊට හේතුව පිස්තෝල සහ සිනමා කැමරා අතර ඉන් පසු තිරය පිටුපස ඇතිවූ එකඟතාවන් බවත් සඳහන්.

 

සංජය දත් සහ මුම්බායි ප්‍රහාරය

1991 වසරේදී සාජන් සිනමපටයෙන් හින්දි ප්‍රේක්ෂකයන් මුසපත් කළ සංජය දත් එපමණටම ඉන්දියානුවන්ගේ කෝපයට පාත්‍ර වුණේ ඔහුගේ නම 1993 සිදුවූ සුප්‍රකට මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වීමත් සමඟිනුයි. ඩාවුඩ් ඉබ්‍රහිම් සහ අබු සලීම් ප්‍රමුඛ D- COMPANY කල්ලිය විසින් සංවිධානය කළ එම ප්‍රහාරයට අදාළ AK 47 ගිනි අවි ප්‍රකට නළුවාගේ නිවසින් මතුවීම ඊට හේතුවයි.

එම සිදුවීමෙන් පසු අත්අඩංගුවට පත්වූ සංජේ දත් මාස 18ක් සිරගත කෙරුණා. 2013 වසරේදී අදාළ නඩු තීන්දුවට අනුව ඔහුට හිමි වූ දඬුවම වසර 5ක්.

සන්ජේ දත්ට අමතරව ඔහුගේ පියා වූ ප්‍රවීණ නළු සුනිල් දත්හට ද පාතාල චෝදනා එල්ලවූ අතර ප්‍රකට පාතාල නායක හජි මස්තාන් ඔහුගේ සමීපතමයකු බවද පැවසෙනවා.

 

ශාරුක් ඛාන් , චෝටා සකීල් සහ අබු සලීම්

බොලිවුඩයේ රජු සහ 'පොඩ්ඩා' අතර සම්බනධය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නත්,ශාරුක් පුන පුනා මාධ්‍ය වෙත පවසන්නේ එය චෝටා ශකිල්ගේ ජිවිත කතාව සිනමාවට නැඟීම සඳහා වූ සාකච්ජාවක් පමණක් බවයි. HAPPY NEW YEAR සිනමාපටය තිරගත වීමෙන් පසුව එළඹුණු වසර ශාරුක්ට අසුබ කාලයක් වූයේ පාතාල නායක අබු සලීම් සහ ඔහු අතර වර්ධනය වූ විරසකය හේතුවෙනුයි.ඊට පෙර සිටම අබු සලීම් සහ ශාරුක් අතර ගැටුමක් පැවතුනු අතර ඒ හේතුවෙන් ශාරුක්ට පොලිස් ආරක්ෂාව පවා සපයා දී තිබුණා.

අබු සලීම් ශාරුක්ට හින්දි බසින් දුන් දුරකථන ඇමතුමකට ශාරුක් ඉංග්‍රීසි බසින් පිළිතුරු දීම ඔහුන් දෙදෙනාගේ ගැටුමේ ආරම්භක සලකුණක් බවද පැවසෙනවා. එම සිදුවීම සිදුව ඇත්තේ DIL THO PAGAL HAI සිනමාපටයේ රූගතකිරීම් අතරතුරෙදියි.

පසුව සලීම් විසින් තම හිතවත් නිෂ්පාදකයකු සමග සිනමාපටයක් නිර්මාණය කරන ලෙස ශාරුක්ට තර්ජනයක් සිදුකළ බවත් ශාරුක් එය කට කොනකින් ප්‍රතික්ෂේප කල බවත් වාර්තා වුණා. 'ඔයා ඔයාට කැමති කෙනකුට වෙඩි තියන්න මම මට කැමති කෙනෙක් එක්ක චිත්‍රපටි කරන්නම්' යනුවෙන් ශාරුක් සලිම්ට පැවසු බවත් පසුව සඳහන් වුණා.

 

සල්මන්, අනිල් සහ සහ ඩාවුඩ්

ඩාවුඩ් ඉබ්‍රහිම් ප්‍රමුඛ ඉන්දියානු පාතාලය සමඟ නොයෙක් ආකාරයෙන් ඇඟළුම් කම් පැවැත්වූ සුපිරි නළුවන් අතර සල්මන් ඛාන්ට ද ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. නැඟී එන නළුවකු සහ රියලිටි තරුවක් වන සුබීර් ඛාන් නැමැත්තා වරක් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සල්මන්ට චෝදනා කළේ සිනමාවේ ඩාවුඩ් ඉබ්‍රහිම් සල්මන් බව පවසමින්. සල්මන් ඩාවුඩ්ගේ පිහිටෙන් සිනමාව තුළ ස්ථාවර වූ බවත් ඔහු පවසනවා වැඩිදුරටත් චෝදනා කරනවා.

සල්මන් රඟපෑ බොහෝ සිනමාපට වල සැබෑ නිෂ්පාදකයා ඩාවුඩ් බවද බොලිවුඩයේ ප්‍රකට කතා පුවතක්. CHORI CHORI CHUPKE CHUPKE යනු ඩාවුඩ් විසින් බරපැන සම්පුර්ණයෙන්ම දැරූ සල්මන් රඟපෑ එවන් සාර්ථක සිනමාපටයක්. කෙසේවෙතත් එහි නිෂ්පාදකයා ලෙස නම සඳහන් වන්නේ නසීම් රිස්වි නැමැත්තාගේයි.

සල්මන්ට අමතරව අනිල් කපූර්ද කුප්‍රකට පාතාල නායකයා සමඟ සමීපව සම්බන්දතා පවත්වා තිබෙනවා. වරක් සාජා නුවර පවතී ක්‍රිකට් තරගයක් දෙදෙනා එක්ව නැරඹූ බවට සාක්ෂි ලෙස ඡායාරූප පවා මාධ්‍ය වෙත නිකුත් වුණා. ඇතැම් මාධ්‍ය පවසන්නේ ඩාවුඩ්ගේ කැමතිම නළුවා අනිල් කපුර් බැවින් ඩාවුඩ් ද අනිල්ගේ විලාසිතා පවා අනුගමනය කරන බවයි.

 

Comments