බැරි දේවල් කරන්න මම දඟලන්නේ නෑ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකාරිණී අනූෂා නානායක්කාර | සිළුමිණ

බැරි දේවල් කරන්න මම දඟලන්නේ නෑ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකාරිණී අනූෂා නානායක්කාර

ඒ විශ්වාසය තියෙනවා නම්, කැපිලි කෙටිලි මොනවා ආවත් බය වෙන්න දෙයක් නෑ

දකුණු පළාතේ කුඩා ගමක හැදී වැඩී අකුරැස්ස දියලපේ මහා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය නමින් අනූෂා නානායක්කාරය. ඈ සමඟ අප පසුගියදා කළ පිළිසඳර මෙසේ දිග හරිමු.

 

නිෂ්පාදන කළමනාකාරිනියක් වෙන්නේ කොහොමද?

මහවිරු පණ්ඬු නාට්‍ය නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ කෙනාගෙ පෞද්ගලික හේතුවක් නිසා එතනින් ඉවත් වුණා. මම කරපු වැඩ හොඳයි කියලා නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සනත් අබේසේකර නිෂ්පාදන කළමනාකරු ලෙස වැඩ ටික බාර ගන්න කිව්වා. කවුරුත් ඒ වෙලාවේ මේ වැඩේ බාර ගන්න හිටපු නැති නිසා නාට්‍යයේ වැඩ කටයුතුත් කෙරෙන්න ඕන නිසා අභියෝගය බාර අරගෙන මම වැඩ කරන්න පටන් ගත්තා ඒ අභියෝගය මට ජය ගන්න ලැබීම ගැන මම අද සතුටු වෙනවා.

 

දැනට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදන කළමනාකරු වුණු ගැහැනු ළමයි කීදෙනෙක් ඉන්නවාද ?

දන්න හැටියට මම ඇරුණාම තව එක්කෙනයි ඉන්නේ.

 

නිෂ්පාදන කළමනාකාර කෙනකුගෙ කාර්යභාරය මොන වගේද?

නිෂ්පාදන කළමනාකරු අතේ තමයි මුළු නාට්‍යම රඳා පවතින්නෙ. කුමන හෝ දේකින් සුළු වරදක් හෝ සිදු වුණොත් එදා දවසම ඉවරයි. උදේ පාන්දර ටී බෝයි නැගිටින වෙලාවේ ඉඳන්. අධ්‍යක්ෂකවරයාට තේ එක දෙන තැන ඉඳන්. ඉන් අනතුරුව නළු නිළියන් ගෙන ඒම, ඇතුළු දර්ශන තලයේ සියලුම කාර්යයන් ඔහු හෝ ඇය සතුයි. ඒ කිසිදු දෙයක් අත පසු නොකර හරියට වෙලාවට කලාවට සිදු කිරිම නිෂ්පාදන කළමනාකරුගේ කාර්යභාරයයි.

 

ඔබ කොපමණ නිර්මාණ සංඛ්‍යාවකට දායකත්වය සපයලා තියෙනවාද?

මම ඇවිල්ලා කෙටි කාලයයිනේ. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ මහවිරු පාණ්ඩුට. ඉන් අනතුරුව encounter, සුසුම් රස්තියාදුව, සකිරා, පාර දිගේ, හැරවුමක ඇරඹුමක් කෙටි චිත්‍රපටය සහ වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහභාගි වුණා. එඩින්බරෝ, ලංකා බැංකුවේ හා දේශපාලන දැන්වීම් ඒ අතරට ඇතුළත්.

 

පිරිමින් හා කරට කර හැප්පිලා මේ ජොබ් එක කරන්න පුළුවන්ද?

අපෝ පුළුවන්. මොකද ක්ෂේත්‍රයේ අපි හැසිරෙන විදිහෙන් තමයි මේ ජොබ් එක කරන්න පුළුවන්. සියලු දෙනාත් එක්කම සහයෝගයෙන් වැඩ කරනවා නම්, හොඳට වැඩ කරන්න පුළුවන්. මට ඕනෙම කෙනෙක් කතා කරලා වැඩක් බාර දුන්නොත් මං වැඩේ බාර අරගෙන හරියට කරනවා.

 

ක්ෂේත්‍රය තුළ කැපිලි කෙටිලි නැද්ද ?

ඕනෑ තරම් තියෙනවා. ටෙලි නාට්‍ය ෆීල්ඩ් එක තුළ තියෙන්න ඕනේ විශ්වාසය. ඒ විශ්වාසය තියෙනවා නම්, කැපිලි කෙටිලි මොනවා ආවත් බය වෙන්න දෙයක් නෑ, සමහර අය තමන්ට අවංක නැති වෙනවා. ඒක තමයි කැපිලි කෙටිලිවලට මූලිකම වෙන්නේ. තමන් තමන්ව තේරුම් ගත්ත නම් මේ ගමන් මාර්ගයෙ යන්න පුළුවන්. හොඳට වැඩ කිරීමත්, කැපිලි කෙටිලිවලට එක සාධකයක් වෙනවා.

 

අධ්‍යක්ෂකවරයාට සහ නිෂ්පාදකවරයාට ඕනෑම ප්‍රශ්නයකට වගකියන්න සූදානම් ද?

අනිවාර්යයෙන්ම. නිෂ්පාදකවරයා ආරක්ෂා කළේ නැත්නම් සියලුදේම විනාස වෙනවා. ඔහු මුදල්වලට වගකීමක් බාර දෙන්නේ නිෂ්පාදන කළමනාකරුට. මුදල් හදල් එක්ක ගනුදෙනු කිරීම හරියට දැලිපිහියෙන් කිරි කනවා වගෙයි. ඒ නිසා ඔවුන් දෙන්නාම ආරක්ෂා කිරීම මගේ යුතුකමක්. මම බාර ගන්න ඕනෑම වැඩකදී ඔවුන් ආරක්ෂා කරන්න බැඳිලයි ඉන්නේ. එහෙම වුණොත් ක්ෂේත්‍රයේ සියලුම දෙනාම රැකෙනවා. මම අදටත් මතුවටත් ඒ දේ ඒ විදියටම ඉටු කරනවා.

 

සෙට් එකෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම හොඳ සහයෝගයක් තීරය ඉදිරියෙන් සහ පසුපසින් ලැබෙනවා. ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය නම් කියලා වැඩක් නෑ. ඒත්, ආධුනිකයන්ගේන් එච්චරම සහයෝගයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ක්ෂේත්‍රය ගැන අවබෝධයකින් නෙවෙයි ගොඩක් අය එන්නේ. ක්ෂේත්‍රය ගැන ඉගෙනගෙනත් නෑ. ආපු වෙලේ ඉඳන් ෆෝන් එක ඔබන එකයි කරන්නේ. මම කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්නව නම් හොඳ ප්‍රායෝගික අත්දැකීම් තියෙන්න ඕනෑ. එසේ නොවන සියලු දෙනාම හැළෙනවා.

 

නිෂ්පාදන කළමනාකරුට අමතරව සහාය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරනවා නේද?

මම එයට අමතරව දෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. දැනට කිහිපයකම ඒ විදිහට කළා. සමහර වෙලාවට හිතෙනවා නිෂ්පාදන කළමනාකාරකමෙන් අයින් වෙලා දෙවන සහ අධ්‍යක්ෂකවරයා වෙන එකත් හොඳයි කියලා. කොහොම නමුත් වගකීම් සහිත ඕනෑම දෙයක් කරන්න මම කැමතියි.

 

නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට කොච්චර පිරිවැයක් දරන්න වෙනවා ද ?

අද පවතින වාතාවරණය අනුව එහි මිල තීරණය කරන්න අමාරුයි. පසුතලය, තෝරාගන්නා නළු නිළියන් අනුව දරණ පිරිවැය වෙනස් වෙනවා. කොළඹ අවට රූගත කිරීම් කරනවා නම්, දරන පිරිවැය අඩු වෙනවා. ඒත්, කොළඹින් පිට නාට්‍යයක් රූගත කිරීම් කරනවා නම් යන පිරිවැයත් අධික එනවා. ඒ වගේම තමයි නාට්‍යයේ තත්ත්වය නම් වැඩි වෙනවා. ගුණාත්මක බවින් වැඩි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න නම් පිරිවැය ටිකක් අධික වෙනවා. අඩුවට කරන නිෂ්පාදකවරු හා අධ්‍යක්ෂකවරුත් ඉන්නවා. ඒවා කොලිටියෙන් අඩුයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනය කරන්නයි.

 

ඔබ වඩාත් කැමති ටෙලි නාට්‍ය කලාවට ද? වෙළඳ දැන්වීම් කලාවට ද ?

මම නම් ගොඩාක් කැමැති වෙළඳ දැන්වීම් කලාවටයි. මොකද ලොකු පිරිවැයක් දරනවා. කෙටි කාලෙකින් නිෂ්පාදනය කරලා ඉවර කරනවා. අනික ආයතනයක් හරහා මේ වෙළඳ දැන්වීම් කරන්නේ. එයාලා එතැන සියලුදෙනා වෙනුවෙන් බැඳිලා ඉන්නවා. ඒ නිසා වැඩ කරන්න ලේසියි. ටෙලි නාට්‍ය කලාව ටිකක් අමාරුයි. එ්ක දිගට ඇදගෙන යන්න ඕනෑ. ලැබෙන පිරිවැය අතින් ද අඩුයි. ඒ නිසා ගොඩක් දෙනෙක් වෙළෙඳ දැන්වීම් කලාව තෝරා ගන්න කැමතියි.

 

ඔබට නිළියක් වෙන්න කැමැත්තක්ති යෙනවද?

කොහෙත්ම එහෙම ආසාවක් නෑ. ගොඩක් අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු මට රඟපාන්න කතා කරනවා. මට බැරි දේවල් කරන්න මම දඟලන්නේ නෑ. දන්න දේ කරන්නයි මම ගොඩක් කැමති.

Comments