ගෘහ නිර්මාණ ශිල්පයේ නිර්මාණශීලී ලකුණ ජෙෆ්රි බාවා | Page 2 | සිළුමිණ

ගෘහ නිර්මාණ ශිල්පයේ නිර්මාණශීලී ලකුණ ජෙෆ්රි බාවා

සෞන්දර්යය නොමැති ගෘහ නිර්මාණකරණය තුළ යම් අසම්පූර්ණතාවක් පවතී. ගෘහ නිර්මාණකරණය පරිපූර්ණ වන්නේ, සෞන්දර්යත් ඊට ඈදා ගැනීමත් සමග ය. සෞන්දර්ය යන වචනය මඟින් ලස්සන, සුන්දරත්වය සහ රමණීයත්වය යන අදහස් ද එළියට එයි. රසය ජනනය කරන මාධ්‍යයක් වූ සෞන්දර්යයට මනෝභාවයන් පුබුදු කිරීමේ හැකියාවක් ද පවතී. විශ්ව භාෂාවක් බඳු සෞන්දර්ය, ස්වභාවිකවත්, නිර්මිතවත් පැවතීම ඊට ආවේණික වූ අනන්‍යතාවකි.

 

ස්වාභාවිකවත්, නිර්මිතවත් යන ද්විත්ව අනන්‍යතාව මැනවින් හඳුනාගෙන, එ් අනන්‍යතා ද්විත්වයම ගුරුතැන් හි තබා, මෙරට ගෘහ නිර්මාණ ශිල්පය සුපුෂ්පිත කළ නිර්මාණකරුවකු ලෙස කීර්තිමත් දේශමාන්‍ය ජෙෆ්රි මැනිං බාවා හැඳින්වීමට හැකිය. ඒවාගේම ඔහු තම පරිකල්පන හැකියාව උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය විශිෂ්ට මෙන්ම දුර්ලබ ගණයේ ගෘහ නිර්මාණ ශිල්පියකු යැයි සඳහන් කළහොත්, එම අනාවරණය නිවැරදි වනු ඇත.

මෙරට ඉපිද වර්ෂ 1946 දී යුරෝපීය සංචාරයක් සඳහා නික්ම ගිය ඔහු,දෙවර්ෂයක් පූර්ණ වීමත් සමඟ නැවත මෙරටට පැමිණෙන්නේ, නව චින්තනයකිනි. එහි ප්‍රතිඵලයක් ලෙස අත්හැර දමා තිබූ දෙද්දූව ගම්මානයේ ළුණු ගඟට සමීප වතුයාය ඔහු විසින් අත්පත් කර ගනු ලබයි. ඉනික්බිතිව ඔහු එම පරිසරය සෞන්දර්යයෙන් අනූන ස්ථානයක් බවට පත් කිරීමට සමත් වේ. මෙම නිර්මාණශීලී ප්‍රයත්නය එතුමන්ගේ පළමු ගෘහ හා උද්‍යාන අලංකරණ නිමැවුම බවට ද පත් වේ. එපමණක් නොව ජෛව විවිධත්වයෙන් මෙන්ම ස්වභාවික සෞන්දර්යයෙන් ද අනූන මෙම අලංකාර උද්‍යානය වර්තමාන‌යේ හඳුන්වනු ලබන්නේ, “බාව” උද්‍යානය ලෙසිනි.

ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව තවදුටත් න්‍යායිකව සහ ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයට යන ජෙෆ්රි බාවා, ලන්ඩන් හි ගෘහ නිර්මාණ ශිල්පී සංගමය මගින් ඩිප්ලෝමා පාඨමාලාවක් ද හදාරනු ලබයි. ඒ අතරතුර බ්‍රිතාන්‍ය රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීය සංගමයෙහි සාමාජිකත්වය හිමිකර ගැනීමට ද සමත් වේ. පසුව මෙරටට පැමිණ එතුමන් බොහෝ ගෘහ නිර්මාණ අලංකරණය කරනු ලැබුවේ, නිවර්තන නව්‍යවාදී සංකල්පය පෙරදැරි කරගෙන ය. එලෙසින්ම එතුමන් එම සංකල්පය මෙරට සමාජගත කිරීම වෙනුවෙන් අපමණ දායකත්වයක් ලබා දී තිබේ.

ජෙෆ්රි බාවාගේ බොහෝ නිර්මාණ තුළ සංකලනය වී තිබුණේ, පාරම්පරික සමාජීය අංගෝපාංග ය. ඉතිහාසයට සම්බන්ධ අංගෝපාංග ය. කෞතුක අගයකින් යුතු අංගෝපාංග ය. ඒවාගේම එතුමන්ගේ‌ බොහෝ නිර්මාණ ව්‍යාපෘති තුළ අපට අත් හැරුණු නැතිනම් මඟ හැරුණු අංගෝපාංග වලට මුල් කැනක් හිමි වී තිබුණි. තම අත්දැකීම් ඇසුරින් භූමියට අයත් සන්දර්භය මැනවින් කළමනාකරණය කළ ඔහු බොහෝවිට උපයෝගී කර ගනු ලැබුවේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ අමුද්‍රව්‍යය. එලෙසින්ම එතුමන්ගේ බො‌හෝ ගෘහ නිර්මාණ මෙරට කාලගුණයට ඉතා හොඳින් අනුගතව පැවති අතර, වියදම් අවම ව්‍යාපෘති බවට ද පත් වී තිබුණි. විශේෂයෙන් මෙරට අභියෝගත්මක වපසරි හමුවේ, ආලෝකය සහ අවකාශය මනා ලෙස සංකලනය කරමින්, එතුමන් සිදු කළ බොහෝ නිර්මාණ එදා පමණක් නොව, අදත් බොහෝ වාස්තු විද්‍යාඥයන්ගේ ඇගයීමට පාත්‍ර වී ති‌බේ.

එවක විදේශ සංචාරකයන් ස්වකීය ආකර්ෂණීය නවාතැන් බවට පත් කරගනු ලැබූ සංචාරක හෝටල් බොහෝමයක් නිර්මාණය කර දී ඇත්තේ, ගෘහනිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා විසිනි. ඒවාගේම එතුමන්ගේ නිර්මාණ හැකියාවන් ‌මෙරට බොහෝ ප්‍රකට ස්ථානයන් හි අදත් දක්නට තිබේ. කොළඹ බේරේ වැව මධ්‍යයේ ඉදිකර ඇති සීමාමාලකයත්, ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ මූලස්ථානයත්, කඳුවැටි පෙළක් මත අලංකාරව නිමැවුණු රුහුණු විශ්වවිද්‍යාල සංකීර්ණය ඊට ප්‍රබල සාක්ෂි දරයි.

වර්ෂ 1979 වර්ෂයේදී මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ. ආර් ජයවර්ධනගේ ආරාධනයකට අනුව ජෙෆ්රි බාවාට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට ද අවස්ථාව උදා විය. ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු සංකීර්ණය නිර්මාණය කිරීමේ වගකීම බාර ගැනීම තුළිනි. ජලාශයක සංවිධානාත්මක ආකෘතියක් තුළ සමතුළිතව නිමැවුණු නව පාර්ලිමේන්තු සංකීර්ණය සාම්ප්‍රදායික ගෘහ නිර්මාණවලින් ද සමන්විත ය. එමෙන්ම නව පාර්ලිමේන්තු සංකීර්ණය මෙරට සුවිශේෂී වූ ගොනැගිල්ලක් බවට පත් වූ අතර, ඒ සුවිශේෂීයත්වය තුළ ජෙෆ්රි බාවාගේ නාමයද සනිටුහන් වී තිබේ.

ස්වභාවික පරිසරය උරුමයක් කර ගනිමින්, විශේෂයෙන් ස්වභාවික සම්පත්වලට හා පරිසරයට හානියක් නොකර, අලංකරණ ගෘහ සහ උද්‍යාන නිර්මාණකරණයේ නියැළුණු ජෙෆිරි මැනිං බාවා 2001 වර්ෂයේ දී ලොව විශිෂ්ට ගණයේ ගෘහ නිර්මාණ ශිල්පීන් වෙත පිරිනැමෙන “Aga Khan” සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ. මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රකෘතිමත් කළ එතුමන්ට, දේශමාන්‍ය ගෞරවනීය නාමය ද පිරිනැමුණු අතර, වර්තමානයේ ගෘහ නිර්මාණයේ විශිෂ්ටයන් උදෙසා පිරිනැමෙන තිළිණය නම් කර ඇත්තේ ද “ජෙෆිරි බාවා” නමිනි. එතුමන් 20 වන සියවසේ අවසානයේ අග්නිදිග ආසියාවේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වී, ගෝලීය වශයෙන් ද මෙරටට තව තවත් කීර්තියම අත්කර දුන් නිමැවුම්කරුවෙක් විය. එබැවින් ජෙෆ්රි බාවා අනාගතයේ මෙරට බිහිවන ගෘහ නිර්මාණ ශිල්පීන්ට නියත වශයෙන්ම ආදර්ශවත් නිමැවුම් ශිල්පියකු වනු ඇත.

Comments