උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලන්න පොඩි කාලේ ඉඳන් මට හුරුවක් තිබුණා | Page 2 | සිළුමිණ

උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලන්න පොඩි කාලේ ඉඳන් මට හුරුවක් තිබුණා

වසර 37ක වෘත්තීය කාලය ඇතුළත මේ මා ලැබූ ලැබූ පළමු සම්මානයයි

වර්තමානයේ සමහර  ටෙලි නාට්‍ය‍  නිර්මාණය වෙන්නේ ව්‍යාපාරිකයන් හරහා

 

සුදත් දේවප්‍රිය යනු ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. තිර පිටපත් රචකයෙකි. අඹ යහළුවෝ, මඩොල්දූව, හඳයා, සුළඟ මහමෙරක වැනි ටෙලි නිර්මාණ හරහා ද තරණය, උඩුගං යාමය වැනි චිත්‍රපට හරහා ද සිය නිර්මාණකරණයෙහි යෙදුණ ඔහු 'ඉල්මහේ පියෙක්' සහ 'දුක් සැප කුමන්දා' යන කාව්‍ය කෘතිහි රචකයායි. ඔහු රයිගම් සම්මාන උලෙළේ දී හොඳම ගී පද රචනයට හිමි සම්මානයෙන් පුද ලැබුවේ "සුළඟ මහ මෙරක" ටෙලි නාට්‍යයේ 'නිල්ල නඟන උදෑසනක' ගීතය ලිවීම වෙනුවෙනුයි. සුදත් දේවප්‍රිය සිය නිර්මාණ චාරිකාව පිළිබඳ රසඳුන අපත් සමඟ කළ සංවාදයයි මේ.

 

වසර තිස් හතක රූපවාහිනී ජීවිතයේ ඔබ සම්මානනීය වූ පළමු අවස්ථාව නේද මේ?

ඔව්. මට සිනමාවට ඇවිල්ලා සමාන කිහිපයක්ම ලැබුණත් රූපවාහිනී ජීවිතය තුළ මට ලැබුණු මුල්ම සමානය තමයි මේක. උඩුගං යාමය චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර නාටකය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ජනාධිපති, සරසවි, සිග්නීස් සම්මාන උළෙලවලදී හිමි වුණා. හැබැයි අවුරුදු තිස් හතක සේවා කාලය තුළ රූපවාහිනී කලාව වෙනුවෙන් එකදු සම්මානයක් හෝ ලැබුණේ නැහැ. ප්‍රථම වතාවට රූපවාහිනි සම්මානයක් ලැබුණේ රයිගම් සම්මාන උළෙලේදී. ඒත් ගීත රචනාව වෙනුවෙන්. හැබැයි කනගාටුවක් නැහැ. මොකද ඊට වැඩිය උපේක්ෂාවෙන් ජීවිතේ දිහා බලන්න පොඩි කාලේ ඉඳන් මට හුරුවක් තිබුණා.

 

ඔබ ජාතික රූපවාහිනියේ ළමා අංශයට එකතු වුණේ ඇයි?

ළමා අංශයට එනකොට ළමා වැඩසටහන් සඳහා විශේෂ කැමැත්තක් තිබුණෙ නැහැ.මට ඕන වුණේ නාට්‍ය අංශයට ඇතුළු වෙන්න. ඒ වෙනකොට මම සෝමලතා සුබසිංහගේ ළමා හා යොවුන් රංග පීඨයේ ඉගෙනගෙන තිබුණ.ඒ වගේම සෝමලතා මිස්ගෙ "විකෘති" නාට්‍යයේ තාත්තා හැටියටත් විජය නන්දසිරිගෙ "කුස පබාවතී", හේමසිරි ලියනගේ "චිත්‍රාගේ ප්‍රේම කතාව" වැනි නිර්මාණ කිහිපයක රඟපාලත් තිබුණා. මේ හේතු එක්ක මාව ළමා අංශයටයි බඳවා ගත්තේ. ශ්‍රීමතී ලියනගේ යටතේ "හත්පණ" වැනි නිර්මාණවල සහාය අධ්‍යක්ෂකවරයා විදිහට මුලින් වැඩ කළා.

 

අඹ යහළුවෝ වැනි විශිෂ්ට ළමා කෘතියක් පුංචි තිරයට ගේන්න හිතුවෙ ඇයි.?

අඹ යාළුවෝ කතාව මට පුංචි කාලේ මගේ අම්මා උපන් දිනයකට තෑග්ගක් විදිහට ලබා දුන්නා. ඉතින් සුනිල් සහ නිමල්ගේ ආදර අන්දරයට එදා ඉඳන්ම මං කැමතියි. සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරගෙන එන අතර මට හිතුණා මමත් අධ්‍යක්ෂණයට එකතු වෙන්න ඕනේ කියලා.

එවිට නිරායාසයෙන්ම ඔළුවට ආවෙ අඹ යහළුවෝ කතාව. ඒ කාලේ මගේ අංශයේ ප්‍රධානියා වු ආචාර්ය සලමන් ෆොන්සේකා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් වූ ඉන්ද්‍රානි හේරත් ගුණරත්නගෙ මැදිහත්වීමත් සමඟ මට අවසර ලැබුණා අඹ යහළුවෝ ටෙලි නාට්‍යය පුංචි තිරයට ගේන්න.

නාට්‍යය යටින් ස්වාමි-සේවක අරගලයක් දිවෙනවා. මේක මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න බලපෑවේ සුනිල්ගෙ දෙමව්පියන් සහ නිමල්ගෙ දෙමව්පියන් අතර පන්ති නියෝජනයේ තියෙන දේවල් ප්‍රේක්ෂකයාට වඩා හොඳින් සංවේදී වීම.

 

වර්තමානයේ තිබෙන මෙගා ටෙලි නාට්‍යය රැල්ල පිළිබඳව ඔබේ අදහස?

වර්තමානයේ ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නේ ව්‍යාපාරිකයන් හරහා.මෙගා නාට්‍යවල තියෙන ව්‍යාජ බව ඇඳුම් පැලඳුම්, ඔවුන්ගේ සංස්කෘතික මුසාව දිගහැරෙන නාට්‍ය මුල් කාලේ හැදුණෙ නැහැ. පෞද්ගලික නාළිකා ආරම්භයත් එක්ක ඔවුන්ට ඕන වුණා කුමන හෝ ක්‍රමයකින් ලාබ ලබන්න.ඉන්දියානු ආකෘතික ටෙලිනාට්‍ය ලංකාව බිහිකළේ මේ නිසයි. මෙගා ටෙලි නාට්‍යවලින් වෙච්ච ලොකුම දේ තමයි මේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොට වෙච්ච එක සහ මේ රටේ ප්‍රවීණ නිර්මාණකරුවන්ව පැත්තකට දාලා සතත්‍යාභ්‍යාසයවත් නැති අධ්‍යක්ෂක කියන නම දීපු වෙනම පිරිසක් බිහි කළ එක. දැන් ඉන්න අධ්‍යක්ෂකවරයා කිසියම් මෙහෙයුම් සම්බන්ධය කරන කටයුත්තක් තමයි කරන්නේ. ටෙලි නාට්‍යය හැදෙන්න ඕනි කොහොමද කියල තීරණය කරන්නේ රූපවාහිනි ආයතන.

 

ඔබේ සිනමාවේ ආරම්භය සිදු වූ ආකාරය මතක් කළොත්?

මගේ පළවෙනි චිත්‍රපටිය එළිවෙන දවසට 1990 යෞවන සම්මාන උළෙලේ හොඳම තිර නාටකයට සම්මානය ලැබුණා. දැවැන්ත නළු නිළියන් ප්‍රමාණයක් රඟපාපු ඒ චිත්‍රපටය ආර්ථික ප්‍රශ්න නිසා ප්‍රදර්ශනය කරන්න බැරි වුණා. ඊට වසර ගාණකට පස්සේ තමයි ජාතික චිත්‍රපට සංස්ථාව හරහා උඩුගංයාමය චිත්‍රපටය කරන්න ලැබුණේ.

 

කවියට පෙම් බඳින්න ගත්තෙ කොහොමද ?

පුංචි කාලේ ඉඳන්ම මං කවියට ආදරය කළා. පුවත්පත් වලට පවා පාසල් කාලයේදී කවි ලියල යැව්ව මට මතකයි. දෘශ්‍ය මාධ්‍යයට පැමිණීමත් එක්කම විවේකය සීමා වුණත් කවුරුන් හෝ ලියපු කවි කියවීමෙන් ලොකු ආස්වාදයක් ලැබුවා. ඉල්මගේ පියෙක් සහ දුක් සැප කුමන්දා හි පිටුපස සැඟවෙලා තියෙන්නෙ මගේ ආත්මයේ හෘදය සාක්ෂියයි.

 

රූපවාහිනියෙන් ඉවත්වීමෙන් පසුව නිදහස් කලාකරුවෙක් ලෙසත් ඔබගේ වැඩ කටයුතු පුළුල්ව විහිදී ගියා?

රූපවාහිනියෙන් ඉවත් වුණාට පස්සෙ වෙළඳ දැන්වීම්කරණයෙහි නිරත වෙලා ලංකාවේ ජනප්‍රිය සන්නාම කිහිපයක් සඳහා වෙළඳ වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළා. ඒ වගේම ස්වර්ග ටීවී ආයතනයෙ වසර කීපයක් වැඩ කළා."සිනෙරූ" නම් සිනමාව සම්බන්ධ වැඩසටහන ආරම්භ කළේ එහෙමයි. කලා ක්ෂේත්‍රයේ ඉන්න වගේම තමයි මම දෙවියන් වහන්සේගේ සුබාරංචිය රැගෙන ඈත පළාත්වල,දේවස්ථාන සහ සිර කඳවුරුවලට යනවා. මේ වනවිට මැගසින් බන්ධනාගාරයෙහි කිතුනු දේශකයෙක් විදියටත් සේවය කරනවා. ඒ දේශනා ඇතුළත් කරල කෘති කීපයකුත් පළ කළා.

Comments