
මෙරට ඉතිහාසයේ පළමුවරට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉකුත් සිකුරාදා පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, එක්සත් මහජන පක්ෂයෙන් හා ස්වාධීනව කටයුතු කරනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව සමන්විතය. ඊට අමතරව මුදල් ඇමති ධුරය එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහයන් විසින් හොබවනු ඇති බවටද වාර්තා වේ.
ඉදිරි සතියේ තවත් කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකු දිවුරුම්දීමත් සමඟ මෙයට තවත් පක්ෂ එක්වීමට නියමිතය. සියලු පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ විශේෂත්වය වන්නේ ආණ්ඩුවට සම්බන්ධ නොවූවත් විපක්ෂයේ සිටින හා ස්වාධීනව සිටින පක්ෂ හා මන්ත්‍රීවරුන්ගෙන් රජය විසින් ජනතා හිතවාදීව ගනු ලබන ක්‍රියාවන්ට සහාය ලබා දීමය.
ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ ගණනාවක්ම පවසා සිටින්නේ රට අර්බුදයකට පත්ව ඇති මේ අවස්ථාවේදී රට වෙනුවෙන් රජය විසින් ගනු ලබන සියලු ජනතා හිතවාදී කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවයි.
එමෙන්ම මේ වන විට අගමැතිවරයා හා එම පක්ෂ අතර ඇති කරගත් සාකච්ඡා හා එකඟතා අනුව ඉදිරියේදී පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් පිහිටුවීමට ද කටයුතු කරනු ඇත. එමෙන්ම පාර්ලිමේන්තුවේ ආංශික කමිටු 10ක් සහ මුල්‍ය කමිටු 5ක් වශයෙන් කමිටු 15 පිහිටුවා ඇමැති ධුර බාර නොගත් දේශපාලන පක්ෂවලට එම කමිටු සභාපති ධූර ලබා දීමට සැලසුම් කර තිබේ.