බලාගාර ජලාශ පිරෙන්න වැසි | Page 2 | සිළුමිණ

බලාගාර ජලාශ පිරෙන්න වැසි

දැනටමත් නිරිතදිග මෝසම් වැස්ස ආරම්භ වී ඇති බවත් ලබන සතියේ විශේෂයෙන් 23, 24, 25 සහ 26 දිනවලදී නිරිතදිග ප්‍ර දේශයටත් බස්නාහිර, ඌව, මධ්‍යම හා වයඹ පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මි.මී. 100 ට වැඩි වර්ෂාවක් ලැබෙනු ඇති බවත් එමඟින් විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ හා සියලු වැව් හා ජලාශ පිරී ඉතිරී යනු ඇති බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

මහවැලි අධිකාරියේ ජලකළමනාකරණ අංශයේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සිකුරාදා වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සියල්ලම පසුගිය සතියට වඩා පිරී තිබිණි. ඒ අනුව උඩවලව ජලාශයේ ජල මට්ටම 95.6% දක්වා ද රන්දෙනිගල ජල මට්ටම 73% දක්වා ද මොරගහකන්ද ජල මට්ටම 74% දක්වා ද, මාඋස්සාකැලේ ජල මට්ටම 60% ක් දක්වාත් කාසල්රී ජල මට්ටම 62% ක් දක්වා ද වික්ටෝරියා ජල මට්ටම 42% දක්වා ද බෝවතැන්න ජල මට්ටම 46% දක්වා ද වැඩිවී තිබිණි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශය පවසන්නේ වාරි මාර්ග මහවැලි ජලාශවල ද ජල මට්ටම වැඩිවෙමින් පවතින බවයි. ඒ අනුව ගිරිතලේ ජලාශය දැනට වාන් දමා ඇති අතර මින්නේරිය හා නුවරවැව, කවුඩුල්ල ජලාශවල ජල මට්ටම 94% දක්වා වැඩිවී තිබේ. මාදුරුඔය 92% දක්වා ද උල්හිටිය රත්කිඳ 82% දක්වා ද කලාවැව, රාජංගණය හා නාච්චදූව 92% දක්වා ද ජල මට්ටම වැඩිවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ඉදිරි දිනවල ලැබෙන අධික වර්ෂාවත් සමඟ තෙත් කලාපය තුළ නාය යෑමේ ඉඩකඩ ඇතිවීමට ඉඩ ඇති බවයි. නාය යෑමේ පූර්ව ලක්ෂණ ගැන අවධානය යොමු කර නායයෑම් විපත් අවම කරගත හැකි බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශය පවසයි.

Comments