කලහකාරීන් 1220ක් අත්අඩංගුවට | සිළුමිණ

කලහකාරීන් 1220ක් අත්අඩංගුවට

සුගිය 9 වැනිදා රටපුරා සිදුවූ කලහකාරි සිදුවීම්වලට අදාළව ඉකුත් සිකුරාදා වන විට පුද්ගලයන් 1220 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සිළුමිණට පැවැසීය.

ඒ අනුව කලහකාරි සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් 1,220 අතුරින් 540 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කෙරුණු බවත් 570ක පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පැවැසීය. එම කලහකාරි සිදුවීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් ස්ථානවලට පැමිණිලි 827ක් ලැබී ඇති බවත් එම පැමිණිලිවලින් 455ක් බස්නාහිර පළාතෙන්ද තවත් පැමිණිලි 132ක් දකුණු පළාතෙන්ද ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මේ අතර තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කිරීමට සිටින අයවලුන් ළඟම පවත්නා පොලිස් ස්ථානයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලින් පුද්ගලයන් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන් 13 දෙනෙකුම අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර ඇතැයි සඳහන් කළේය.

Comments