විසකුරු සතුන් සුරකින ජීවිත | සිළුමිණ

විසකුරු සතුන් සුරකින ජීවිත

මේක ටිකක් අමුතු සැර කතාවකි. හැමෝටම කරන්න බැරි දේවල් කරන උදවිය ගැන නිරන්තරයෙන් ඇසුණත්, මේ අයත් මේ කරන්නේ කාටවත් කරන්න බැරි ගනුදෙනුවකි. විසකුරු සතුන් මෙල්ල කරන්න පුළුවන් , විසකුරු සතුන් දමනය කරන්න පුළුවන් මේ තරුණයෝ අතීතයේ බුද්ධදාස රජතුමා සේ කිසිදු ප්‍රතිලාභයක් නොමැති විසකුරු සතුන්ට ආදරය කරුණාව දක්වමින් සතුන් සුවපත් කරන්නට, කවා පොවා ඇති දැඩි කරන්නට වෙහෙසුන අයුරු විස්මය ජනකය. මේ කතාවට මුල පුරන්නේ එවන් කිහිප දෙනකුගේ සැබෑ අත්දැකිම් හරහා ඔබව දැනුම්වත් කරන්නටය.

* අල්ලා ගත් සර්පයන් මුදා හරින තෙක් ආරක්ෂාව පමණක් නොව මාසයක් යන තෙක් ආහාරත්
* ගෙදරට සර්පයෙක් ආවොත් මරන්න එපා අපට කතා කරන්න 
- ‘සර්පයන් සුරකිමු’ සංවිධානය

උරග ගණයට අයත් සර්පයන් අපේ ස්‌වභාවික පරිසරයේ ජෛව විවිධත්වය ආරක්‍ෂා සුරැකිරීමට මහත් දායකත්වයක්‌ සපයන සත්ත්ව කොට්‌ඨාසයකි. බොහෝ දෙනා දකින පමණින් දෙවරක් නොසිතාම මේ සර්පයන්ගේ විසකුරු බව මත පමණක්‌ පදනම්ව මරා දමන්නට පෙලඹෙන හෙයින් ඔවුහු ජීවත්වීමේ වරම නොලද වඳවෙමින් සිටින ජීවින් පිරිසක් ලෙසටයි සත්ත්ව විද්‍යාඥයන් හඳුන්වන්නේ. ලෝකය පුරා සර්ප විශේෂ 2,400 ක්‌ පමණ වාසය කළත් ලංකාවේ සිටින්නේ විශේෂ 96 ක්‌ පමණි. ගොඩබිම ජීවත්වන සර්පයන් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවත්, විෂ සහිත ගොඩබිම් සර්පයන් මාරාන්තික විෂ සහ මඳ විෂ සහිත සර්ප වර්ග දෙකට අයත් වෙති. සර්පයන් දෂ්ට කිරීම් අනුව ලොව රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක්‌ හිමිකරගෙන තිබුණත්, හේතුවක් නැතිව හිරිහැරයක් නොකරන මොවුහු දුටු තැන මරා දැමීමේ සම්ප්‍රදාය අපට අලුත් දෙයක් නොවේ. 

ලංකාවේ සත්ත්ව ලෝලින් විසින් ‘සර්පයන් සුරකිමු’ යන තේමාවෙන් ‘මිනිසුන් විසින් දුටු තැන සර්පයින් මරා දැමීමේ’පටු හිංසාකාරී සංකල්පයට වැට බඳින්නට සමාජ මාධ්‍ය ජාලා හරහා මේ වන විට එක්රැස් වී සිටින්නේ ඉන් රටට සේවයක් ද ඉටු කිරීමේ අභිලාශයෙනි. විසකුරු හෝ විස රහිත සර්පයන්ගෙන් යමෙකුට බාධාවක් කරදරයක් වේනම් ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සිය සේවාව දක්වන්නට මේ පිරිස් මැළි වන්නේ නැත. අවශ්‍ය එක් දුරකතන ඇමැතුමක් පමණි. ඒ නයෙකු හෝ පොළඟකු වූවාට ඔවුන්ට කම් නැත. කරදරයට ලක් වූ සර්පයා රැගෙන සිය නිවෙසට හෝ ආරක්ෂිත ස්ථානයට ගෙනැවිත් යළි නිදහස් කෙරෙන තෙක් කෑම බීම ලබා දෙමින් උග්‍ර විසකුරු උරගයන් රැක බලා ගන්නට මේ හිත් කරුණාවෙන් ඉතිරි ගොස් ඇත්තේ පුදුමාකාර ලෙසය. ආරක්ෂිත අභය භුමියකට මුදා හරින තෙක් අසනීපයක් ඇතිනම් සාත්තුවක් කරන්නට ද ඔවුහු පසුබට නොවේ. මේ ඒ අතරින් කිහිප දෙනකුගේ කතාවයි.

භාසුරු ප්‍රභාස්වර පදිංචි හෝමාගමය. විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා උපාධිය හදාරන තරුණ වියේ පසුවන ඔහු සර්පයෙක් අතපත ගාන්නේ වයස අවුරුදු 12 දීය. මේ වන විට දෙතුන් දාහකට වැඩියෙන් සර්පයෙන්ගේ ජිවිත සුරැකි ඔහු අදටත් සිය නිවෙසේ බේරාගත් සතුන්ට ආරක්ෂාව සපයන අයුරු අදහාගත නොහැකිය. මේ ලිපිය ලියන මොහොත වන විටත් සර්පයන් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයකට භාසුරුගේ නිවස ආරක්ෂිත ස්ථානය වී ඇත්තේය.

“ එදා සර්පයන්ගේ හැසිරීම් ඉගෙන ගන්න අන්තර් ජාල තිබුණේ නැහැ. සත්තු දෂ්ට කරන්න කරන්න මම ඒ සත්තු අතින් අල්ලලා තමයි, අද මේ කාර්යයට හුරු වුණේ. මුලින්ම මට සර්පයෙක් දෂ්ට කරන්නේ අවුරුදු 14 දි. ඉන් අනතුරුව බේරාගෙන ගෙදර ගෙනැත් මුදා හරින තෙක් සිටි තිත් පොළඟෙකුට ආහාර දෙන්න ගිහින් දෙවැනි වතාවට සර්ප දෂ්ටනයට ලක්වුණා. එදා මම සිහි විසඥ වී නොමැරී බේරුණා. මම ගෙදර ඇවිත් යළිත් මට දෂ්ට කළ සර්පයා නිදහස් භුමියකට මුදා හැරියා.” භාසුරු සිය කතාව කියන්නට වූයේ භායානක අත්දැකීමකට මුල පුරමිණි. 

“ බස්නාහිර පළාතේ සර්පයෝ වැඩියි. ආහාර සොයාගෙන ගෙවල් ඇතුළට එන මේ සර්පයෝ අහිංසකයි. මිනිස්සුන්ගේ හිරිහැර නිසා සමහර විට දෂ්ට කරන්න පුළුවන්. කවුරු කරි තැනක සර්පයෙක් ඉන්නවා කියලා මට දැනුම් දුන්නහම රැයක් දවාලක් නැතිව මම එතැනට යනවා. හුක් එකයි සර්පයා දාන්න බෝතලයයි පමණයි අරගෙන යන්නේ. මම එතැනට යනකම් ඒ අයට කියන්නේ ආරක්ෂිත දුරක සිට සතා යන දිසාව බලාගෙන ඉන්න කියලා. ගුලක් ඇතුළේ හිටියත්, ගහක් උඩ හිටියත්, ළිඳක හිටියක් මම කිසිම පැකිලීමක් නැතිව ඒ සර්පයා අල්ලනවා. සමහර විට සතාට භූමිතෙල් වැනි දෙයක් වැදි තිබුණොත්, සතෙකුගේ හෝ පහර කෑමකට ලක් වී තිබුණොත් අපි අපේත් අනික් අයගෙත් ආරක්ෂාව බලාගෙන සතාව පරිස්සමෙන් ඇල්ලීම කළ යුතුයි. සතාට කිසිම හරිහැරයක් නැතිව ඇල්ලීමට තමයි මම හැම වෙලාවේම උත්සහ කරන්නේ.....“

අතීතයේ බුද්ධදාස රජු නයෙකුට ප්‍රතිකාර කළ අවස්ථාව මගේ මතකයට නැඟෙන්නේ සර්පයන් ඇල්ලීමට පමණක් සීමා නොවූ මේ මිනිසුන්ගේ මිනිසත්කම පරයමින් සිදු කරන උදාර සේවාව නිසාමය. මේ භාසුරුගේ සර්පයන් ඇල්ලීම පිටුපස ඇති නොකි කතාවය. ලිපියට අර්ථයක් එක්කරන මේ සිදුවීම ඔහුගේ වචනයෙන් මෙසේය. 

“ අවුරුද්දට කලින් දිනක මට දුරකතන ඇමැතුමක් දුන්නා, නිවසක බටයක් තුළ නයෙක් සිටින බව. මම ඒ ස්ථානය ගියා. බටයක් දිගේ නයා හිටියා. මම ඌව එළියට ගත්තා. නයාගේ ඇඟ පුර­ාහම ගෙඩි. මම සතා එළියට අරගෙන ඌට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරයෙකුට කොල් කළා. පශු වෛද්‍ය ආර්.කේ.එස් සම්පත් මහතා කැමති වුණා, නයා ඔපරේෂන් කර ගෙඩි 11 ක් ඉවත් කරන්න. වෛද්‍යවරයා කිසිදු මුදලක් අය කර නොගෙන නයා සිහි නැති කරලා ශල්‍ය කර්මය කළා. මුලින්ම ගෙඩි 4 ක් ඉවත් කරලා සිහි අරගෙන මට ගෙදර ගිහින් තියා ගන්න කිව්වා. ඊට දින කිහිපයකට පසු දෙවැනි අවස්ථාවේ ඉතිරි ගෙඩි 7ක් ඔපරේෂන් කළා. සියල්ලම කළේ නොමිලයේ. ඉන්පසු සතාට මැහුම් දාලා ඇන්ටිබයිටික් ඉන්ජෙක්ෂන් දුන්නා. තවමත් මේ සතාට මම සාත්තු කරනවා, මගේ නිවසේ වෙනමම කාමරයක තියාගෙන. සතා හොඳ වූ පසු අභයභූමියකට නිදහස් කරනවා....”ඒ ඔවුන්ගේ මනුෂ්‍යත්වයේ හඬය. අවදානම තාරුණයයට අලුත් නොවුණද, මෙවැනි අවදානම් නම් විරලය. ඒ කතාව අදහාගත නොහැකි වුවද සත්‍යය තවමත් ඇස් පනා පිටය.

භාසුරු එසේ අල්ලාගත් සතුන් හිතු හිතු පරිදි නිදහස් කරන්නේ නැත. මාසයක පමණ කාලයක් සිය නිවසේ පුද සත්කාර ලබන්නේය.

“ අපිට මේ සතුන් ඇල්ලීමේදී කැමැත්තෙන් මුදලක් දුන්නොත් අපි බාර ගන්නවා. එසේ නැතුව මුදලට කරන්නේ නැහැ. කොළඹින් බැහැර අභයභූමිවලට මේ සතුන් නිදහස් කළ යුතුයි. මාසය පමණ කාලයක් මේ අල්ලාගත් උග්‍ර විස සතුන් අපි නිවසේ කාමරයක තියා ගන්නවා. සියල්ලම එකට එකතු කර මාසයකට පමණ පසුවයි, මේ සතුන් නිදහස් කිරීමට රැගෙන යන්නේ. ඒ කැමැත්තෙන් දෙන මුදලින් තමයි මේ සතුන්ට මාසයක්ම කන්න දෙන්නේ..“ භාසුරු පවසන්නේය. අදහාගත නොහැකි පරිදි ඔහු අල්ලාගත් සතුන්ට තාවකාලික රැකවරණය දෙන්නේ සිය නිවෙසේ ගබඩා කාමරයේය.

“ කුඩා සතුන් වෙනමත්, ලොකු නයි පොළොං වෙනමත් තමයි තියන්නේ. එයින් එළියට යාමට හැකියාවක් නැහැ. වතුර වගේම කෑමට බිත්තර, කුකුල් මස් දානවා. කාමරයේ ඉන්න සතුන් ගැන අවබෝධයක් තියෙන නිසා ඒ ඒ අවශ්‍යතාවන් අනුවයි ආහාර දෙන්නේ. සමහර සර්පයන්ට එක් වතාවකදි එක් අයෙකුට බිත්තර 4 ක් පමණ දෙන්න වෙනවා. කුඩා සර්පයන්ට වෙනමම වටු බිත්තර දෙනවා. මාසයකට පසු මේ සතුන්ව නැවතත් අල්ලා ගෙන මගේ ත්‍රී විලරයේ කැළයට මුදා හරින්න ගෙනියනවා. කිසිදු ප්‍රතිලාභයක් නැතුව මේ කාර්ය කරන්නේ හරිම ආසාවෙන්......“ 

ඒ භාසුරුගේ කතාවය. සම්පත් ගෝවින්න එහි තවත් එක් සාමාජිකයෙකි. කඩුවෙල පදිංචි සම්පත් විසකුරු සර්පයන් පන්සියයකට අධික ප්‍රමාණයක් අල්ලා මේ වන විට නිදහස් කර ඇත්තේය. සම්පත් ගෝවින්නට පසුගිය දිනයක රාත්‍රියේදී දුරකතන ඇමැතුමක් ලැබුණේ පාරක් අසල කන්දියක සිටින විශාල නාගයකු පිළිබඳවය. ඒ රාත්‍රී 12- 1 අතරය‍. 

“ රාත්‍රීයේ පස් කන්ඩියක සර්පයෙකු සිටින බව දැක ගත් පිරිසක් මට එන්න කියලා ඇමැතුමක් දුන්නා. මම මගේ ත්‍රිවීලර් එකෙන් එතැනට ගියා. යනකොට විශාල හැපින්නක් පස් කන්දියක් ඇතුළේ. සර්පයා ඉවතට ගන්න ගන්න ඌ ඇතුළටම යනවා. හරිම අපහසු වුණා. සර්පයේ අල්ලන්න ගියහම බයට උදවුවට කෙනෙක් එන්නේ නැහැ. කොහොම හරි වෙහෙසකින් අනතුරුව සර්පයා ගත්තත් ඒ වෙලාවේ දාන්න බෝතල් තිබුණේ නැහැ. සර්පයා දාන්න ළඟ පාත ගෙදරිකින් ලැබුණේ සීනි දාපු බෝතලයක්. ඒ එක්කම පස් කන්ඩිය යට බලද්දි තව බිත්තර 33ක් තිබුණා. මම ඒ සියල්ලම අරගෙන ආරක්ෂාකාරීව බිත්තර සියල්ල බියගම ප්‍රදේශයේ මේ වගේම කටයුතු කරන කෙනෙකුට දුන්නා. ඒ ඒවා රක්කවලා සතුන්ව කැළයට නිදහස් කරන්න. එහෙම නොවුණොත් බිත්තර නිකරුණේ විනාශ වෙනවා. ගෙදර යනවිට හැපින්න සීනිවලින් නැහැවිලා. පහුවදාම හැපින්න නිදහස් කළේ පයිප්පයකට අල්ලා නැහැවීමෙන් අනතුරුවයි.....”සම්පත් සිය වීරත්වය පවසන්නේය.

“ අපිට අල්ලා ගන්නා සතුන් ගිහින් දාන්න තැනක් නැහැ. සමහර විට පොලීසියෙන් අල්ලනවා. වාහනයක ගිහින් දාන්න පාස් එකක් නැහැ. ගෙදර පොඩි දරුවෝ ඉන්නවා නම් නිදහස් කරනකම් නිවසේ තියා ගන්න බැහැ. මේ නිසා අපිට මේ කාර්ය කරන්න වනජීවී එකෙන් බලපත්‍රයක් හෝ ලබා දෙනවා නම් හොඳයි.........”සම්පත් එසේ පවසන්නේ බොහෝ දෙනෙක් මේ කාර්යයේ භයානකකම, අවදානම නොතකන හෙයිනි. 

“ අපි වෙන රැකියාවක් කරනවා. ඒ කරන ගමන් මේ වගේ දෙයක් කරන්නේ සර්පයන් අපි ආරක්ෂා කර ගත යුතු නිසා. මේ අල්ලා ගන්නා සත්තු ගැන අපි ජනතාවට කියා දෙනවා. සත්තු අල්ලන්න ආස අයට ආරක්ෂිතව අල්ලා ගන්න දෙනවා. එසේ කරන්නේ මිනිසුන් තුළ හැඟිමක් ඇති කරන්න....”

ජෛව විවිධතත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ් ලංකාව පුරා ඇති ස්වේච්ඡාවෙන් සර්පයන් ඇල්ලීමේ බ්ලොග් අඩවියේ නිර්මාතෘය. සුපුන් ලහිරු ප්‍රකාශ් සර්පයන් සුරකිමු නමින් බ්ලොග් අඩවියක් ආරම්භ කළේ මේ සත් කාර්යය ලංකාව පුරාම ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිවය. මේ වන විට මීට සම්බන්ධ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විමට කැමැති පිරිස් ලංකාව පුරාම 70 කට අධික පිරිසක් සිටිති. 

“ අපේ බ්ලොග් අඩවියේ විශාල පිරිසකගේ නම, පළාත හා දුරකතන අංකය සමඟ ලිස්ට් එකක් තියෙනවා. මෙය වසරක් තුළ නැරඹුම් වාර 17,000 ක් පසුකරලා. ඕනෑම කෙනෙකුට හදිසියේම සතෙකු නිවෙසට හෝ වත්තට ආවොත් ඒ සතාට කිසිම හිරිහැරයක් නොකර තමන්ට ආසන්නව සිටින කෙනා ඇමැතීමෙන් ගෙන්වා ගත හැකියි. සියලු දෙනාම ස්වේච්ඡාවෙන් ඒ කටයුතු සිදු කළත් ප්‍රවාහන පහසුකම් ලබා දීමට කාරුණික වන්නේ නම් හොඳයි. අපේ රටේ මාරාන්තික සර්පයන් විදියට ඉන්නේ නයා, පොළඟා, තෙල් කරවලා, වැලි පොළඟා වැනි සතුන්. මේ සතුන් නැවතත් අල්ලා උන්ට සුපුරුසු පරිසර තත්ත්වයන්ට මුදා හැරීමේ වගකීම මේ අය ඉටු කරනවා. බොහෝ දෙනෙක් නොසිතුවාට මේ සර්පයන්ගෙන් පරිසරයට විශාල සේවාවක් වෙනවා. රෝග ව්‍යාප්තිය පාලනයට, පරිසර සමතුලිතතාවට . කිසිවෙකුත් කරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවෙන් නෙමෙයි. නමුත් ඔවුන් දරන අවදානම අති විශාලයි...”ඒ සුපුන් ලහිරු ප්‍රකාශ්ය.

සර්පයකු නිවෙසට පැමිණීම සිදුවන්නේ ආහාරයක් ලබා ගැනීමේ අරමුණින් විය හැකියි. නමුත් සර්පයෝ වනාහි ජෛව විවිධත්වයට බලපෑම් කළ හැකි සත්ත්ව කොට්ඨාසයකි. මේ නිසා දුටු තැන මරා දැමීමේ පටු පාපතර ක්‍රියාවෙන් බැහැරව, ‘ සර්පයෝ සුරකිමු’ බ්ලොග් අඩවියේ අයකු ඇමැතීමෙන් සතාගෙත් ඔබගේත් ආරක්ෂාව සැලසීමට හැකි වනු ඇත.

Comments